සමාජය තුළ නව කොරෝනා වෛරසය පැතිරයාම වළක්වාලීම සඳහා එක්සත් රාජධානිය සහ සෙසු රටවල් අනුගමනය කළ පියවරවල සෘණ ඵලවිපාකාත්මක බලපෑම දැන් පෙනෙන්නට පටන්ගෙන තිබේ. මෙහිදී අවධානය යොමු වන එමෙන්ම උද්වේගය දනවන අංශයක් වනුයේ කොරෝනා මහා වසංගතය හමුවේ නිර්මාණය වෙමින් පවතින ගෘහස්ත ප්‍රචණ්ඩත්ව අර්බුදයයි. මේ ආකාරයෙන් මුහුණපා සිටින ලිංගිකත්වය පදනම් වූ ප්‍රචණ්ඩත්වයට මෙන්ම ළමා අපයෝජනය සහ නොසලකා හැරීම සදහා හේතුභූත වී ඇත්තේ (ගෝලීය වසංගතය නිසාවෙන් ඇතිවූ) ගමන් බිමන් සීමා කිරීම, ආදායම් අහිමි වීම, හුදකලා වන්නට වීම, අතිවාසය හෙවත් අධිගහනය(overcrowding) සහ මානසික පීඩනය සහ කාන්සාවයි. මේ සියල්ල, අසාමානුපාතිකව වර්ධනය වන හානියේ අවදානමකට කාන්තාවන් සහ ළමුන් හෙළයි.
මේ වැඩිවෙමින් පවතින අවදානම පුදුමය ගෙන එන්නක් නොවේ. බටහිර අප්‍රිකාවේ ඉබෝලා වෛරස රෝගයෙහි ක්ෂණික ව්‍යාප්තිය පමණක් නොව කොලරා සහ සිකා රෝග ව්‍යාප්තිය වැනි මින් පෙර ඇති වූ ගෝලීය වසංගත, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය කලාපීය පරිසරයන් හී වඩාත් ප්‍රචලිත වන්නට මග පෑදීය; ලිංගිකත්වය පදනම් කරගත් විශේෂඥ මහජන සෞඛ්‍ය සත්කාරක සේවා සඳහා අරමුදල් සැපයීම අඩු කෙරිණ; එමෙන්ම, ලිංගිකත්වය පදනම් කරගත් හිංසනයෙන් පීඩාවට පත්වූවන්ට සෞඛ්‍යය සත්කාරක සේවාවන් වෙත ප්‍රවේශවීමට ඇති ඉඩකඩ ඇහිරීමක් ද දක්නට ලැබිණ. Covid-19 ට අදාළව ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ, ප්‍රසිද්ධියට පත් කළ ජාතික ප්‍රවණතා ගවේෂණ අධ්‍යයන ගැන දැනගන්නට නැතත්, ජාතික ගෘහස්ත හිංසන ආධාරක සේවය (National Domestic Abuse helpline ) වැනි සහයක සේවාවන් මගින් එක්සත් රාජධානියෙන් මූලික වශයෙන් ලැබෙන වාර්තාවල දැක්වෙන්නේ ඒවායේ සේවාවන් පැතීමෙහි වැඩිවීමක් දැනටමත් පෙන්නුම් කරන බවයි. මෙය වෙනත් රටවලින් ද දැකිය හැකි රටාවකි. (චීනය, ස්පාඤ්ඤය සහ ප්‍රංශය මේ අතරින් විශේෂයි).
කොරෝනා වෛරස අර්බුදයට පෙරදී වනවිටත් එක්සත් රාජධානියේ ලිංගිකත්වය පදනම් ප්‍රචණ්ඩත්වය බෙහෙවින් ප්‍රචලිතව තිබූ අතර එය සැලකිය යුතු මට්ටමක සමාජීය, මනෝවිද්‍යාත්මක සහ කායික වශයෙන් සෘණාත්මක පල්ලම් බැහිමකට මග පෑදීමක් වී ඇත. එහෙයින් මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව අනුපාතයන්ගේ ඉහළයාම්, මානව අයිතිවාසිකම් තවදුරටත් සැහැල්ලුවට පත් කිරීමක් පමණක් නොව සමාජයට තවත් දිගුකාලීන වියදම් ද එකතු කිරීමට ද දායක වෙයි. එවැන්නක් වර්තමානයේ පෙනෙනට තිබෙන Covid-19 අර්බුදයෙන් ඔබ්බට සමාජය ගිය පසුව වුවද යළි ප්‍රකෘතිමත් කළ නොහැකි වියහැක. (එක්සත් රාජධානියේ) ලිංගිකත්වය පදනම් වූ ප්‍රචණ්ඩත්වය ගැන ක්‍රියා කිරීමට දැන් තරම් වැදගත්, දැන් තරම් යෝග්‍ය කාලයක් වෙනත් කිසිදාක නොවීය.
කාඩිෆ්, ග්ලැස්ගෝ හා ලන්ඩනය වැනි නගරවල ශාරීරික හිංසනය පාලනයකිරීම වඩාත් වර්ධනය කරනු වස් උපයෝගී කරගෙන ඇති මහජන සෞඛ්‍යය ප්‍රවේශයකින් හෙබි වැඩසටහන් සමානව, ලිංගිකත්වය පදනම් වූ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට උපකාර කිරීම සඳහා මහජන සෞඛ්‍යය ප්‍රවේශයක පිළිවෙත් ක්‍රියාවට නැංවිය යුතුය. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත්කරන ප්‍රවේශය පියවර හතරකින් සමන්විතය. මෙම ගෝලීය වසංගතය පවතින කාලය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ දී මෙම පියවර ගැනීම යෝග්‍යය බව පෙන්වා දිය හැක. වසංගතය පවතින කාලය තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ස්වරූපය නිසියාකාරව හසුකර ගැනීම ප්‍රමාණවත් අවේක්ෂණයකින්(surveillance) තොරව කළ නොහැකිය.
තේරීමේදී ඇති වන අගතීන් හේතුවෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව අපේක්ෂිත අනුපාතයන් (සෞඛ්‍ය) පරිපාලනමය දත්ත කට්ටල මගින් නිරතුරුවම දක්වනු ලබන්නේ අඩුවෙන් සිදු කළ තක්සේරු නැතිනම් ගණන් බැලීමය. අවේක්ෂණය වැඩි දියුණු කිරීමට නම් සිරිතක් වශයෙන් කෙරෙන සොයාබැලීම් (routine inquiry ) සහ අවදානම්ග්‍රාහී පුද්ගලයන් හඳුනාගැනීම පිණිස සෞඛ්‍ය දත්ත කට්ටල සහ පොලිස් දත්ත කට්ටල එකට බද්ධ කිරීම වහාම ක්‍රියාවට නැංවීම සිදු කළ යුතුය. තවද, අවේක්ෂණය වඩාත් හොඳින් ඉටුකිරීමෙන් ඉලක්කගත උපකාර සැපයීම් සහ මැදිහත්වීම්වලට අවස්ථාව සැලසේ. වර්තමාන නිල මට්ටමේ මැදිහත්වීම් මහා වසංගතය තුළ ඇගයීමට ලක් වී නැතත්, ප්‍රචණ්ඩත්වය, අපයෝජනය සහ නොසලකා හැරීම ගැන වාර්තා කරන අතරම ආරක්ෂා වී සිටීම යන කාරණා දෙකටම සම්බන්ධ මාර්ගෝපදේශ Women’s Aid, Safelives, and the National Society for the Prevention of Cruelty against Children) වැනි ජාතික මට්ටමේ පුණ්‍යාධාර වැඩසටහන් මගින් වින්දිතයන්ට සපයා තිබේ.
මෙම මහා වසංගතය තුළ ගෘහස්ථ හිංසනය, ළමා අපයෝජනය සහ නොසලකා හැරීම සම්බන්ධයෙන් අවදානම් දරන්නන්ට සහයෝගය දැක්වීම පිණිස වූ ඵලදායි මැදිහත්වීම් ගැන ඇගයුම් හා අවේක්ෂණවලට අදාල ලේඛනවල සැලකිය යුතු අඩුපාඩු දක්නට ලැබේ. මෙම ගැටළු ජයගැනීමේ දී සමාජයේ වඩාත්ම අවදානම්ග්‍රාහී කොටස්වලට සහයෝගය සපයන මහජන සෞඛ්‍යය ප්‍රවේශයක් ඉදිරිපත්කිරීම පිණිස වෛද්‍ය වෘත්තියට යුතුකමක් තිබේ.
(The Lancet -Public Health (8th May)) හී පළව ඇති COVID-19: a public health approach to manage domestic violence is needed යන ලිපිය ඇසුරෙනි – තතු වෙබ් අඩවියෙනි)