Thursday, April 18, 2024

කොව්ඩ් මරණ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ ප්‍රතික්ෂේප කරන ලංකාණ්ඩුවේ තර්කය කුමක්ද ? එක්සත් ජාතීන්ගෙන් ප්‍රශ්ණ පත්‍රයක්!

කොවිඩ් 19 මරණයන්ට පත්වන පුද්ගලයින් දාහනය පමණක් කළ යුතුය” යන ආණ්ඩුවේ නියෝගය ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් සිව් දෙනෙකු ජනාධිපති රාජපක්ෂට ලිපියක්.

මෙරට සෞඛ්‍ය දෙපාර්ථමේන්තුව විසින් කොවිඩ් 19 මරණයන්ට භූමිදානය තහනම් කරමින් අනීවාර්යයෙන්ම ආදාහනය කළ යුතු බවට කර ඇති නියෝගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට පටහැනි බව පෙන්වා දෙමින් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් හතර දෙනෙකු ජනාධිපති රාජපක්ෂ වෙත ලිපියක් එවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ් මෙම චක්‍රලේඛනය මගින් ශ්‍රී ලංකා ආණ්ඩ්ව ගිවිසගෙන ඇති සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය වන බව දීර්ඝ වශයෙන් එම ලිපියෙන් අවධාරණය කර තිබේ.

කොවිඩ් 19 මරණයන් අනීවාර්යයෙන්ම අදාහනය කළ යුතු බව ඇතුළු තවත් නිර්දේශ ගණනාවක් ඇතුළත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව මාර්ගෝපදේශයන්හි තර්කණය කුමක්දැයි එක්සත් ජාතීන් වෙත දැනුම් දෙන ලෙස එම ලිපිය ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලා සිටී.

එය මෙසේ ද කියයි:

දේශීය, සිරිත් විරිත් සහ ආගමික පිළිවෙත් කෙරෙහි සංවේදීතාව එනම් මියගිය අයගේ ගරුත්වය ද ඔවුන්ගේ සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායන් ද ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද ගෞරවයෙන් පිළිගෙන හා ආරක්ෂාව ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය පෙන්වා දී ඇත. සෑම විටම සම්මත පූර්වෝපායන් සෑම විටම අනුගමනය කරන බව සහතික කරන අතරම සංස්කෘතික සංවේදීතාවයේ මූලධර්ම අනුගමනය කිරීමේ අවශ්‍යතාවය හෝ සිරිත් විරිත් වලට අනුකූලව භූමදානය හෝ මළ සිරුර හැසිරවීමේ අවශ්‍යතාව උපදෙස් දී තිබේ.

රට තුළ පවත්නා සංස්කෘතික හා ආගමික සංවේදීතාවයන්ට හෝ සම්ප්‍රදායන් පිළිබඳ ‍සෞඛ්‍ය දෙපාර්ථමේන්තුවේ මාර්ගෝපදේශයේ අවධානය යොමු කරන ලෙස අපි නිර්දේශ කරමු. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (අයිසීසීපීආර්) 18 වන වගන්තිය, සිතීමේ, හෘදය සාක්ෂියේ සහ ආගමේ නිදහස සඳහා සෑම කෙනෙකුගේම අයිතිය ආරක්ෂා කරයි.”

ටක සුළුතර ප්‍රජාවන් සතු අයිතීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ පිළිබඳ දීගු විසතරයක් ඉදිරිපත් කරන එම ලිපිය අවසානයට මෙසේ සඳහන් කරයි.

අවසාන වශයෙන්, කොවිඩ්-19 වලින් මියගිය පුද්ගලයින්ගේ සිරුරු බැහැර කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශය විසින් ලබා දී ඇති ප්‍රධාන කරුණු සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය දෙපාර්ථමේන්තුවේ මාර්ගෝපදේශයේ විධිවිධාන නැවත සලකා බැලීමටත් ඒ අනුව එකී චක්‍රලේඛනය සංසෝධනය කරන ලෙසටත් ගරු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව දිරිමත් කිරීමට අපි කැමැත්තෙමු. වසංගතය විසින් අභිමුඛ කර ඇති අභියෝග දෙස බලන විට, ආතතිය වර්ධනය ඉඩ ඇති සහ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන්ගේ මූලික මානව අයිතිවාසිකම්හි ගරුත්වයට පටහැනි අනවශ්‍ය ක්‍රියාමාර්ග ආණෟඩුව විසින් නොගෙන සිටීම වැදගත් වේ.

[alert type=”success or warning or info or danger”]කොවිඩ්-19 හි වින්දිතයින්ගේ සිරුරු බැහැර කිරීම සම්බන්ධ අත්තනෝමතික තීරණ නිසා, තම ආදරණීයයන් සඳහා නිසි අවමංගල්‍යයක් හෝ සුසාන චාරිත්‍රයක් සහතික කිරීමට නොහැකි වනු ඇතැයි යන බියෙන් කොවිඩ්-19 සිද්ධීන් වාර්තා කිරීමට පවුල් සහ ප්‍රජාවන් අතර අකමැත්කත් ඇතිවී අපේක්ෂිත අරමුණට ප්‍රතිවිරුද්ධ බලපෑමක් ඇති කළ හැකිය. ඉතා යහපත් ක්‍රියාමාර්ගය වන්නේ එවැනි විධිවිධාන අදාළ සියලු ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් සහ අනෙකුත් අදාළ සෞඛ්‍ය විශේෂයින් සහ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර සංශෝධනය කිරීමය.[/alert]

මෙම අභියෝගාත්මක කාලය තුළ පවා ආගම ඇදහීමේ හෝ විශ්වාසයේ නිදහස මෙන්ම සුළුතර ජාතීන්ගේ අයිතිය ද ආණ්ඩුව විසින් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම අපි ගෞරවයෙන් නැවත අවධාරණය කරමු. රෝගීන්ගේ හෝ මියගිය අයගේ පෞද්ගලිකත්වය, ආගමික සහ වාර්ගික පසුබිම ප්‍රසිද්ධ නොකිරීම මගින් විශේෂිත ප්‍රජාවක සාමාජිකයෙකු ලෙස ඔවුන් අපකීර්තියට පත්කිරීම වලක්වනු ඇත.

කොවිඩ්-19 වසංගතය සඳහා වගකිවයුතු බවට විශේෂිත වාර්ගික හෝ ආගමික කණ්ඩායමකට චෝදනා කිරීම ද අතුළුව ජනවාර්ගික හෝ ආගමික ආතතීන් හෝ ප්‍රචණ්ඩත්වය හෝ උසිගන්නු ඇති ස්වභාවයේ වෛරී පණිවුඩ නිකුත් කරන හෝ පතුරුවා හරින කවර හෝ උත්සාහයක් දරන ඕනෑම අයෙකු තරාතිරම නොසළකා ගරු ජනාධිපතිවරයාගේ ආණ්ඩුව විසින් තරයේ හෙළා දැකීම වැදගත් බව අවධාරණය කිරීමට අපි මෙම අවස්ථාව ලබා ගනිමු.”

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් තමන්ටම දැන ගැනීමට ඇති සහ අදාළ රටවල මානව හිමිකම් පිරිස් විසින් සපයනු ලබන කරුණු මත පදනම්ව එකී ආණ්ඩු වෙත ලිඛිතව නිර්දේශ ඉදිරිපත් කරන්නේ ද එම කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවල ප්‍රතිචාර ඉල්ලා සිටින්නේ ද ඉතාම වැදගත්යැයි හැගී යන අවස්ථාවන්හිදී පමණ ය. එවැනි විශේෂ වාර්තාකරුවන් සිවි දෙනෙකු විසින් යවන ලද ලිපිය ශ්‍රී ලංකාණ්ඩුවෙන් පහත සඳහන් කරුණු විමසා තිබේ.

මානව හිමිකම් කවුන්සිලය විසින් අප වෙත ලබා දී ඇති රම යටතේ, අපගේ අවධානයට යොමු කර ඇති සියලු සිද්ධීන් පැහැදිලි කර ගැනීම අපගේ වගකීම වන බැවින්, පහත සඳහන් කරුණු පිළිබඳව ඔබගේ නිරීක්ෂණ දන්වන්නේ නම් අපි කෘත වෙමු.

1. කරුණාකර ඉහත සඳහන් චෝදනා සහ උත්සුකයන් පිළිබඳව ඔබ සතු කවර හෝ අමතර තොරතුරු සහ අදහස් ලබා දෙන්න.

2. මළ සිරුරු ආදාහනය කිරීම සඳහා පමණක් සීමා කිරීමේ තීරණය සඳහා වන තාර්කිකත්වය කරුණාකර සපයන්න. කොවිඩ්-19 වින්දිතයින් භූමදානය කිරීම තහනම් කිරීමේ තීරණය වෙනස් කොට සැලකීමකින් තොර, අවශ්‍ය සහ යෝජිත අරමුණ සඳහා සමානුපාතික බව සහතික කිරීම සඳහා අදාළ සෞඛ්‍ය විශේෂයින්, සිවිල් සමාජය සහ ප්‍රජා සාමාජිකයින් සමඟ කවර හෝ උපදේශනයක් පවත්වා තිබේද?

3. මියගිය අයගේ සමීපතම පවුලේ සාමාජිකයාට සිරුර මුද්‍රා තැබීමට පෙර දැක බලා ගැනීමට අවස්ථාව ලබා දී, ශරීරය ආදාහනය කිරීම පෙර කල්තියා ඔවුන් දැනුවත් කරන ලෙස COVID-19 හි වින්දිතයින්ගේ සිරුරු බැහැර කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන අදාළ පුද්ගලයින් පුහුණු කර හෝ දැනුවත් කර ඇත්නම් කරුණාකර එම තොරතුරු සපයන්න.

4. ජනවාර්ගික හා ආගමික සුළුතරයන් සෞඛ්‍ය දෙපාර්ථමේන්තුවේ මෙම මාර්ගෝපදේශය ක්‍රියාත්මක කිරීමේදී වෙනස් කොට සැලකීමකට ලක් නොකෙරෙන බවත් සහ සුසාන චාරිත්‍ර හා පිළිවෙත් සම්බන්ධයෙන් ආගමික හෝ ඇදහිල්ලේ නිදහස සඳහා ඇති අයිතිය තහවුරු කර ගරුකර ඇති බව සහතික කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කරුණාකර සඳහන් කරන්න.

5. කොවිඩ්-19 රෝගීන්ගේ හෝ මියගිය අයගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම ඇතුළුව, ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ට සහ අනෙකුත් ජනවාර්ගික හෝ ආගමික සුළුතරයන්ට එරෙහි ඉහළ නැගෙමින් පවතින වෛරී කථන කළමනාකරණය සඳහා ගෙන ඇති පියවර පිළිබඳ තොරතුරු කරුණාකර ලබා දෙන්න.

6. මෙම සන්නිවේදනය, අපේක්ෂිත හෝ මෑතකදී සම්මත කරන ලද නීති, රෙගුලාසි හෝ ප්‍රතිපත්ති පිළිබඳ අදහස් දැක්වීමක් ලෙස සහ අතිගරු ජනාධිපතිවරයාගේ ආණ්ඩුවෙන් ලැබෙන ඕනෑම ප්‍රතිචාරයක් පැය 48 ක් ඇතුළත සන්නිවේදන වාර්තාකරණ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ. පසුව ඒවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කැරෙන සුපුරුදු වාර්තාව ඇතුළත් කරනු ඇත.”

මෙයට

අහමඩ් ෂහීඩ්. ආගමේ හෝ ඇදහීමේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු

ඩයිනියස් පුරස්, ළඟා කර ගත ඉහළම කායික සහ මානසික සෞඛ්‍ය භුක්ති විඳීමට සෑම කෙනෙකුගේම අයිතිය පිළිබඳ විශේෂ වාර්තාකරු

ෆර්නැන්ඩ් ඩු වරෙන්ස්, සුළුතර ගැටළු පිළිබඳ විශේෂ වාර්තාකරු

ෆනුලා නිඔලොන්, ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන අතරතුරමානව හිමිකම් සහ මූලික නිදහස් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂ වාර්තාකරු

ඉංග්‍රිසි බසින් ඇති සම්පුර්ණ ලිපිය මෙහි කියවිය හැක.

Archive

Latest news

Related news