Thursday, November 21, 2024

පාර්ලිමේන්තුව නැතුව යන්න පුලුවන් මාස තුනයි! ඉන් එහා නීති විරෝධියි! – ජයම්පතී වික්‍රමරත්න

රටක ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාර කිහිපයක් තියෙනවා. ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුව තුළින්. විධායක බලය ජනාධිපති සහ කැබිනට් මණ්ඩලය හරහා. අධිකරණ බලය අධිකරණ හරහා. මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය තියෙනවා, පරමාධිපත්‍ය බලයේ අනෙක් කොටස් දෙක හැටියට. රාජ්‍යය රඳා පවතින්නේ මුලින් කී කුලුනු තුන මත. එක කුලුනක් හරි කඩාවැටුණොත් රාජ්‍යයම කඩාවැටෙනවා.

අධිකරණයට තියෙන්නේ සීමාසහිත කාර්යයක්. අධිකරණයට තමන්ට ඕනෑ විදියට මැදිහත් වෙලා පාර්ලිමේන්තුවට හෝ විධායකයට කියන්න බැහැ, මේ අහවල් වැඩේ කෙරෙන්නේ ව්‍යවස්ථා විරෝධී ලෙස කියලා. මොකද ඒ සඳහා කවුරුහරි උසාවි යන්න ඕනෑ. ඒකට කාලයක් වැයවෙනවා. නීති විද්‍යාවේ කියමනක් තියෙනවා මේ කුලුනු තුනෙන් දුර්වලම කුලුන අධිකරණයයි කියලා.

[title]මාස තුනේ නීතිය[/title]

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව කියනවා, පාර්ලිමේන්තුව නැතිව තියෙන්න පුළුවන් වෙන්නේ මාස 3යි. 70 වගන්තියේ කියනවා, ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින වෙලාවක, ඒ විසුරුවා හැරීමේ ප්‍රකාශයෙන්ම පාර්ලිමේන්තුව රැස්වෙන්න දිනයක් නියම කළ යුතුය කියලා, ඒ කාලය මාස 3කට වැඩි වෙන්න බෑ කියලා. අවුරුදු පහක ධුර කාලය ඉක්මවා ගිහින් පාර්ලිමේන්තුව ඉබේම විසිරෙන විටත් ජනාධිපතිවරයා විසින් වහාම පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කරලා, මාස තුනකට නොවැඩි කාලයක් තුළ පාර්ලිමේන්තුව රැස්කිරීමට දිනයක් නියම කළ යුතුයි.

පාර්ලිමේන්තුව තියෙන්නේ නීති හදන්න විතරක් නෙවෙයි. නීති හැදීම එහි ප්‍රධාන කාර්යභාරයක් බව ඇත්තයි. ඊළඟට තිබෙන ඉතාම වැදගත් කාර්යභාරය තමයි අධීක්‍ෂණ කාර්යභාරය. පාර්ලිමේන්තුව තමයි විධායකය අධීක්‍ෂණය කරන්නේ. පාර්ලිමේන්තුව රැස්වෙන වේලාවට කෙළින්ම විධායකයේ කටයුතු ගැන සාකච්ඡා කෙරෙනවා. ප්‍රශ්න අහනවා. විවේචනය කෙරෙනවා. ඊළඟට ආංශික කාරක සභා, විශේෂ කාරක සභා, මූල්‍ය පිළිබඳ කාරක සභා තියෙනවා. මේ සියල්ලගෙන් අතිවිශාල සේවයක්, අධීක්‍ෂණ කටයුත්තක් සිදුවෙනවා.

සමහරු කියනවා, පාර්ලිමේන්තුව නැතිව මේ වැඬේ කරමු කියලා. මම දැක්කා එක ජ්‍යෙෂ්ඨ ස්වාමීන්වහන්සේ නමක් කියලා තියෙනවා, පාර්ලිමේන්තුව නැතිව අවුරුදු තුනක් යමු කියලා. ඒ කියන්නේ වෛරස් එක ඉවර වුණත් පාර්ලිමේන්තුව නැතිව යමු කියලා. ඒක ඉතාම භයානකයි.

[title]පාර්ලිමේන්තුව නැත්නම් වගවීමක් නෑ[/title]

ජනාධිපතිවරයා වගකිව යුතුයි පාර්ලිමේන්තුවට. විධායකය වගකියන ආයතනය නැතිවුණ ගමන්, වගවීමක් කොහේද? ඒ නිසා තමයි ව්‍යවස්ථාව මාස තුනකට විතරක් පාර්ලිමේන්තුව නැතිව යන්න ඉඩ දෙන්නේ. ඒ කාලය තුළ මැතිවරණය තියන්නට අවශ්‍යයි. විශේෂයෙන් 19වැනි සංශෝධනයෙන් පස්සේත් ජනාධිපතිවරයාට සෑහෙන බලතල තියෙන තත්වයක් යටතේ, ජනාධිපතිවරයා වගකිව යුතු ආයතනය පාර්ලිමේන්තුවයි. වගකියන ආයතනයක් නැතිවුණාම හරියට අධිකරණය නැතිවුණා වගේ. මිනිස්සු සහන ලබාගැනීමට යන අධිකරණය නැතිවීමයි පාර්ලිමේන්තුව නැතිවීමයි අතර වෙනසක් නැහැ. විධායකය වගකියන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම ඉතාම අවශ්‍යයි.

විශේෂයෙන් කියන්න ඕනෑ, පාර්ලිමේන්තුව අවශ්‍ය නැහැයි කියන අය කියන්නේ, ‘ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ නෑ’ කියන එකයි.

පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් ක්‍රම දෙකකින්. එකක්, ව්‍යවස්ථාවේ 155 වගන්තිය අනුව, මහජන ආරක්‍ෂක පනත යටතේ, ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරලා, හදිසි තත්ත්වයක් පැනවූ විට. ඒ අවස්ථාවේදීත් හදිසි තත්ත්වයක් පනවලා නිකං ඉන්න බෑ, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වහාම කැඳවන්න ඕනෑ. ජනාධිපතිවරයා එහෙම කැඳෙව්වේ නැතිනම්, හදිසි අවස්ථාව පනවලා දවස් 10ක් ඇතුළත පාර්ලිමේන්තුව නිකංම රැස්වෙනවා.

මේ වගන්ති අද ඊයේ දාපුවා නෙවෙයි. ලෝකේ වෙන රටවලත් තියෙන ඒවා. 1947 සිට අපේ ව්‍යවස්ථාවේත් තිබුණු දේවල්.

හදිසි අවස්ථා රෙගුලාසි පනවලා පාර්ලමේන්තුව රැස්කළාම 155 වගන්තියේ තියෙනවා ඒ රැස්වන පාර්ලිමේන්තුව දිගටම පවතිනවාය කියලා, හදිසි අවස්ථාව ඉවත් කරන තුරු හෝ මැතිවරණය පැවැත්වෙන තුරු. දෙකෙන් මොකක්ද ඉස්සෙල්ලා වෙන්නේ, එතෙක් පාර්ලිමේන්තුව තියෙනවා.

හදිසි නීතිය ප්‍රකාශ කිරීම බරපතළ වැඩක්, විශේෂයෙන් මැතිවරණ කාලයක. හදිසි නීතිය තියෙනකොට විධායකයට, ජනාධිපතිවරයාට යම් විශේෂ බලතල ලැබෙනවා. ඔහුට පුළුවන් නීතිමය තත්ත්වයක් තිබෙන හදිසි නීති රෙගුලාසි පනවන්න. ඒ නිසා කවුරුත් කැමති නැහැ මැතිවරණ කාලෙක හදිසි නීතිය තියෙනවාට.

[title]තීරණය ජනපති අතේ[/title]

එහෙම නම් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්නොකර පාර්ලිමේන්තුව රැස්කරන්න  අපේ ව්‍යවස්ථාව ඉඩ දීලා තියෙනවා, 70(7) වැනි උපවගන්තිය යටතේ. එහි තිබෙනවා, පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන තත්ත්වයක, ජනාධිපතිවරයා රටේ හදිසි තත්ත්වයක් තියෙනවා කියලා සෑහීමට පත්වෙනවා නම්, හදිසි නීතිය ප්‍රකාශයට පත් නොකළා වුණත්, ඒ හදිසි තත්ත්වයේ ස්වභාවය නිසා පාර්ලිමේන්තුව කලින් රැස්කළ හදිසි නීතිය ප්‍රකාශයට පත්කළොත් ඔහු පාර්ලිමේන්තුව කැඳවිය යුතුමයි. හදිසි නීතිය ප්‍රකාශ කර නැතත්, 70(7) යටතේ, ඔහු හිතනවා නම් පාර්ලිමේන්තුව කැඳවිය හැකියි.

හදිසි තත්ත්වයක් ගැන ඔහු ප්‍රකාශනයක් කළාම, පාර්ලිමේන්තුව රැස්වෙනවා. එය පවතිනවා, හදිසි තත්ත්වය අවසන් වන තුරු හෝ පාර්ලිමේන්තු මැතිවරණය තෙක්. හදිසි තත්ත්වය අවසන්වූ විට ජනාධිපතිට පුළුවන් තව ප්‍රකාශනයක් කරන්න හදිසි තත්ත්වය අවසානයි කියලා. එතකොට පාර්ලිමේන්තුව විසිරෙනවා.

මගේ අභිමතය අනුව රජය කරගෙන යනවා’ කියලා ජනාධිපතිවරයා හිතන්න පුළුවන්. නමුත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපේ ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා, කිසිම කෙනකුට අසීමිත අභිමතයක් නෑ කියලා. ඒ අභිමතය පාවිච්චි කරන්න ඕනෑ අත්තනෝමතිකව නෙවෙයි. සාධාරණවයි.

මේ හුඟාක් විධායක ක්‍රියාවන්ට පාර්ලිමේන්තුව සහයෝගය දෙනවා. පාර්ලිමේන්තුව කැඳෙව්වාම කුඩා මෙන්ම බරපතළ ප්‍රශ්නත් එහිදී මතුවෙන්න පුළුවන්. අද, අත්‍යවශ්‍ය ආහාර බෙදීම පැත්තෙන් ආණ්ඩුව හොඳ උත්සාහයක් දරනවා. නමුත්, අවිධිමත් ආර්ථිකයෙන් යැපෙන පුද්ගලයන් පිළිබඳ ප්‍රශ්නය බරපතළ ලෙස මතුවෙලා තියෙනවා. ඔවුන්ගේ සාමාන්‍ය ඉපැයීම් නිසා සමෘද්ධිය ලැබෙන්නේත් නැහැ. නමුත් අද ඔවුන් සමෘද්ධිය ලබන්නාගෙනුත් පහළ තත්ත්වයට හදිසියේ වැටිලා තියෙනවා. ඔවුන්ට සහන සැලසිය හැක්කේ කෙසේද වැනි දේ කතාකළ හැකි එකම තැන තමයි පාර්ලිමේන්තුව.

[title]පක්ෂ නායක රැස්වීම නිකං [/title]

පක්‍ෂවල නායකයන් රැස්කරලා කරන කතාවල නීත්‍යනුකූලභාවයක් නැහැ. නීත්‍යනුකූලභාවය තියෙන්නේ පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවේ තියෙන විශේෂත්වය, එහි සියලුම දෙනා එකතුවෙලායි තීන්දු ගන්නේ. සාමූහික තීන්දු ගැනීමේ ක්‍රමයක් (collegial decision making) තමයි පාර්ලිමේන්තුවේ සිදුවෙන්නේ. විධායකයේදී තනි පුද්ගලයකුයි තීන්දු ගන්නේ. අපේ ව්‍යවස්ථාව අනුව තවමත් ජනාධිපති ශක්තිමත්. ඔහු තමයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා.

ව්‍යවස්ථාව යටතේ බොහොම පැහැදිලියිනේ, පාර්ලිමේන්තුව නැතිව යන්න පුළුවන් උපරිම මාස 3යි. ජනාධිපතිවරයා නියම කරලා තියෙන්නේ මැයි 14 වැනිදා පාර්ලිමේන්තුව රැස්වෙන්න. එම ප්‍රකාශනය සංශෝධනය කරලා ඔහුටම පුළුවන් එම දිනය ජුනි 2 වෙනකම් දික්කරන්න. ඕනෑ නම් මැයි 30 වැනිදා වෙනකම් මැතිවරණය කල් දමන්න පුළුවන්. දවස් 3ක් ඇතුළත මැතිවරණ ප්‍රතිඵල නිකුත්කරන්න පුළුවන්නේ.

නමුත් මැතිවරණයක් කියන්නේ සාධාරණ මැතිවරණයක් වෙන්න ඕනෑ. ‘සාධාරණ’ කියන්නේ, කැම්පේන් කරන්න, මැතිවරණ ව්‍යාපාරවලට සහභාගි වෙන්න පක්‍ෂවලට සාධාරණ හා සමාන අවස්ථා ලැබෙන්න ඕනෑ. ඇඳිරි නීතිය තියාගෙන මැතිවරණ කියන්න බැහැනේ.

වාසනාවකට අපේ පාර්ලිමේන්තුවේ අවුරුදු 5ක කාලය ඉවර වෙලා නැහැ. ඒක ඉවර වෙන්නේ 2020 සැප්තැම්බර් 1 වැනිදාට. මාර්තු 2 වැනිදා ජනාධිපතිවරයා නිකුත් කළ ප්‍රකාශනය සම්පූර්ණයෙන් ඉවත්කරගන්න පුළුවන්. එවිට වත්මන් පාර්ලිමේන්තුව රැස්වෙලා සැප්තැම්බර් 2 වැනිදා විසිරිලා යනවා. පාර්ලිමේන්තුව නැතිව මාස 3ක්, එනම් දෙසැම්බර් 2 වැනිදා දක්වා යන්නට පුළුවන්. අලුත් පාර්ලිමේන්තුව රැස්විය යුත්තේ දෙසැම්බර් 2 වැනිදා. නමුත් ආණ්ඩුව කැමති නැහැ ඒ වැඬේ කරන්න. සමහරවිට නාමයෝජනා නැවත කැඳෙව්වොත්, විපක්‍ෂයේ සමහර කණ්ඩායම් සමගි වෙලා තමන්ට අභියෝගයක් වෙයි කියලාත් ඔවුන් හිතනවා වෙන්න පුළුවන්.

ඒකටත් විසඳුමක් නැත්තේ නෑ. කලින් රටට ප්‍රකාශ කරලා, සියලුම පක්‍ෂ තුනෙන් දෙකක ඡන්දයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත්, අපට මේ අවස්ථාවට විතරක් බලපාන ලෙස මාර්තු මාසේ ගත්ත නොමිනේෂන් ඊළඟ මැතිවරණයට වලංගු වන පරිදි බලපවත්වන්න පුළුවන්. හැබැයි ඒකට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. නමුත් ලේසිම දේ තමයි, ජනාධිපතිවරයාගේ ප්‍රකාශනය ඉවත් කරගැනීම. එතකොට පාර්ලිමේන්තුව රැස්වෙනවා. මේ අවස්ථාවේදී ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනෙන මෝඩ විපක්‍ෂයක් නෙවෙයිනේ ඉන්නේ. දේශපාලන පක්‍ෂ මේ වෙලාවේ වගකීමකින් වැඩ නොකරයි කියලා හිතන්න බැහැනේ. වගකීමකින් වැඩ නොකළොත් ඔවුන්ටමයි මැතිවරණයේදී අවාසි වෙන්නේ.

[title]20ක් ආවත් ඇති[/title]

සුමන්තිරන් මන්ත්‍රීතුමා කිව්වා වාගේ පාර්ලිමේන්තුව අඩුම මන්ත්‍රීන් ගණනකින් රැස්වෙන්න පුළුවන්. 20 තමයි පාර්ලිමේන්තුවේ ගණපූරණය. ඒකත් ප්‍රශ්නයක් වෙන්නේ මන්ත්‍රීවරයෙක් ප්‍රශ්න කළොත් විතරයි. ඉතින් එක්කෙනෙකුගෙන් වුණත් පාර්ලිමේන්තුව තියන්න පුළුවන්. ඒ වාගේ අවස්ථා ලෝකෙ ඕනෑ තරම් තියෙනවා. එංගලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එක්කෙනායි දෙන්නායි ඉන්නේ සමහර වෙලාවට. ගණපූරණය පිළිබඳ ප්‍රශ්නය කවුරුවත් මතු කරන්නේ නැහැ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වැඩ කිරීම හරිම වැදගත්. කොරෝනා ආවයි කියලා ව්‍යවස්ථාව පහළට දාලා වැඩකරන්න බැහැ. ගැටලු මතුවෙන විට ව්‍යවස්ථාවේ සීමාවන් තුළ අලුත් අර්ථකථන අනුව වැඩ කරන්න පුළුවන්. ලෝකේ හැම තැනම සිදුවෙනවා ඒක. නමුත් ව්‍යවස්ථාවේ සීමාව ඇතුළත.

(අනිද්දා පුවත්පතෙහි පළවූ ලිපියක් ඇසුරෙන් සකස් කරන ලදී)

Archive

Latest news

Related news