Wednesday, June 29, 2022

කාලය ගෙවී ගියත් මතකය මැකී නොයන 1971 අප්‍රේල් 05; යාපනය ප්‍රහාරය සහ ඉන්පසු- බර්ටි රංජිත් හේනායකආරච්චි.

ඡායාරූපය: බර්ටි රංජිත් හේනායකආරච්චි වසර 49කට පෙර සිය මතකය අවදි කරයි. (© සුනන්ද දේශප්‍රිය)

අදින් වසර හතළිස් නවයකට පෙර අද වැනි දිනක විශ්වවිද්‍යාල සිසුන් එකොළොස් දෙනෙකු සමග අත් බෝම්බ 250 පිරවූ බෑග් එකොළහක් සමග පාන්දර හතරට පමණ අපි විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් පිට වී කොටුව දුම්රිය ස්ථානයට පැමිණියෙමු. උදේ 5.45 ට යාපනය බලා යන යාල්දේවී දුම්රියෙන් අපි ගමන් ඇරඹුවෙමු. 1971 අප්‍රේල් පස්වැනි දා රට තුළ තිබූ හදිසි නීති තත්වය නිසා අප යන දුම්රිය ද විටින් විට හමුදාව සහ පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කරනු ලැබීය. නමුත් තරුණ විශ්වවිද්‍යාල සිසුන් ලෙස රඟපෑ අපි ගී ගයමින් සතුටින් විනෝද ගමනක් යන සිසුන්ගේ රූපකායක් රඟපෑවෙමු. කෙසේ වුවත් අවහිරයකින් තොරව අප එදින දහවල් 1.45 පමණ වන විට යාපනය දුම්රිය ස්ථානය වෙත ළඟා වීමු.

[title]යාපන ප්‍රහාරයට සැළසුම[/title]

කතිකාකරගත් පරිදි විවිධ කණ්ඩායම් යාපනය ගංගාරාමයේ දී මුණ ගැසුණු අපි, එදා ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබූ පරිදි රාත්‍රී 11.45 ට පොලිසියට සහ හිරගෙදරට පහරදීමට සූදානම් වීමු. විවිධ බාධක මැද වුවද අප සැලසුම් කළේ එදා යාපනය හිර ගෙදර හිරකර සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හිරගෙදරින් නිදහස් කරගෙන දකුණට ගෙන ඒමටයි. එදා යාපනයට මෙම පහරදීම සඳහා රුණයින් 100ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් පැමිණ තිබුණි. කෙසේ හෝ විවිධ හේතු උඩ අපට එම පහරදීම සැලසුම් කළ ආකාරයටම කිරීමට යම් යම් බාධා ඇතිවුවත් නන්දන මාරසිංහ, සැම්සන් සිරිපාල සහ සිරිපාල අබේගුණවර්ධන යන අයගේ නායකත්වයෙන් යාපනය පොලිසියට පහර දීමටත් මා ඇතුළු තවත් කොටසකගේ නායකත්වයෙන් යාපනය හිරගෙදරට පහර දීමටත් තීරණය කළෙමු.

රාත්‍රී 11.45 ට අපි කණ්ඩායම යාපනය කොටුව තුළ තිබූ සිරගෙදරට පහරදීමට ගමන් කළ කළෙමු. අප සතුව පැවතුණේ එක් අයකුට අත්බෝම්බ දෙක බැගින් වූ අතර පහරදීම සිදුකළ යුතුව පැවතුනේ මෙම අත් බෝම්බ වලිනි. මෙය අද විහිළුවක් ලෙස පෙනිය හැකි වුවත් ඒ එදා තිබූ තත්ත්වය සහ අප සිටි තත්ත්වයයි. කෙසේ වුවද මා සමග ගිය කණ්ඩායම කුඩා කොටු පවුරෙන් ඇතුල්ව ප්‍රධාන කොටුපවුරේ දොර අසලට ළං වන විට කොටුව වටා ඇති ජල අගල ආසන්නයේ දී පොලිස් නිලධාරීන් අප දෙසට තුවක්කු මානාගෙන සිටින බව පෙනුණි. අප විසිකළ බෝම්බ දිය අගලට වැටී පුපුරා යන විට පොලිස් නිලධාරීන් තුවක්කු කර තබාගෙන දුවගොස් කොටුව තුල කොහේ හෝ සැඟවුණ අතර එයින් පසුව අපට ඔවුන්ගෙන් පහරදීමක් සිදුනොවිනි.

[title]කොටුවේ බලය අල්ලා ගැනීම[/title]

එළෙස එදා එක් ආකාරයකින් කොටුව තුල අප බලය අල්ලා ගත්තෙමු. කෙසේ වුවද තවත් පැය ගණනක් යද්දී හමුදාවන් සහ පොලිස් කණ්ඩායම් විසින් කොටුව වටකර පහර දෙන්නට පටන් ගනු ලැබීය. මා සමග සටන්කල කණ්ඩායමෙන් අයකු වූ කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායක නිමල් වසන්තට සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සුමනරත්නටද වෙඩි වැදී මියගිය අතර ජයන්ත අමරසේනට සහ කපිල ගුනරත්න දෙදෙනාටද වෙඩි වැදී වැටුණි.

රාත්‍රිය පුරා නැගෙන වෙඩි හඬ සහ හමුදා අණදීම් හඬ වාතලය පුරා පැතිර තිබූ අතර, අප සතුව පැවතුනේ බෝම්බ කීපයක් පමනි. නමුත් කොටුපවුර මත භූමියේ වාසිය ලබමින් අපට 6 වෙනි දින උදේ වෙනතුරු ආරක්ෂා වීමට ඉඩ ලැබිණි. නමුත් අප අත තිබූ ආයුධ වූ බෝම්බ දෙක අවසාන වූ විට නිරායුධ අපට සිදු වූයේ කොටුපවුර දිග හැකිතරම් දුරට ගමන් කිරීමටයි. අවසානයේ කොටු පවුරට ගොඩවූ පොලිස් සහ හමුදා කාණ්ඩ අප සිටි පෙදෙසට පැමිණි අතර අපට සිදුවූයේ දෑත් ඔසවා ඔවුන්ට යටත් වීමටයි.

[title]විප්ලවීය උණ[/title]

එදා හමුදා සහ පොලිස් අත්අඩංගුවට පත්වූ අප එදා යම්තම් ජිවිත ගලවාගත්තා වුවත්, අපට ඉන්පසු වසර 6 ක් පමණ සිරගත ජීවිතයකට උරුමකම් කියනු ලැබීමට සිදුවිය. සිරගෙදර තුල එකට කොටුවුණ අපි අප ගැන කතා කිරීම ඇරඹුවෙමු. අප සියලු දෙනාගේම ප්‍රධාන අරමුණව පැවතුණේ ලාංකීය විප්ලවය කිරීමයි. (ඒ විප්ලවය අප එදා තේරුම් ගෙන සිටි ආකාරයෙනි.) කෙසේ වුවද හිර ගෙවල් තුල සිදුවූ මත ගැටුම් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් අපව ඉවත් කරනු ලැබූ අතර එසේ ඉවත් කරනු ලැබූ අය අතර අප්‍රේල් පස් වෙනි දින රාත්‍රියේ මා සමග එක්ව සටන් වැදී වෙඩි වැදුණු ජයන්ත සහ කපිල ද තවත් සොයුරන් ගණනාවක් ද විය. සිරගෙවල් තුළ නැවත වීරයන් බවට පත්වූයේ අප්‍රේල් පස්වැනි දින රාත්‍රියේ සටන් මගහැරි අය බව කණගාටුවෙන් යුතුව වුවද අදටත් මතක් කළ යුතුව ඇත.

කෙසේ වුවද විප්ලවය කිරීමේ උණෙන් පෙළුණු මම 1973 මැයි මාසේ සිර ගෙදරින් පැනගොස් එවකට විප්ලවවාදී කණ්ඩායමක් ලෙස යටිබිම් ගතව වැඩකරමින් සිටි ගාමිණී යාපාගේ නායකත්වයෙන් පැවතුණු “පෙරදිග සුළඟ” කණ්ඩායම සමඟ එක් වුණෙමි. විවිධ ගරිල්ලා ක්‍රියා දාමයක කොටස්කරුවන් වූ අප 74 නැවත අත්අඩංගුවට පත්වූ අතර රහස් පොලිසියේ වධ බන්ධන වල රස වි අපි නැවතත් දේශපාලන සිරකරුවන් බවට පත්වීමු. අවසානයේ 1977 නිදහස් වීමේ වරම් ලද මුත් මගේ ජීවිතය කිසිදිනක දේශපාලනයෙන් මිදුනේ නැත.

කාලය ගෙවී ගියේය. අද වන විට අපි අපේ ජීවිත වල අවසාන වසර ගණනාවට නැත්නම් අවසාන කාලයටඟා වී සිටිමු. සමහරවිට මේ ඇතිවී ඇති කොරෝනා වෛරස විසින් එය තවත් ඉක්මන් කරවිය හැක. නමුත් එදා මතකයන් අප දිවි තිබෙනතුරු නොමැකී පවතිනු ඇත.

[title]ජර්මනියේ 40 වසරක්[/title]

මා අද ජීවත් වන්නේ මගේ නිජබිමෙන් ඉතා දුරබැහැර බර්ලින් නගරයේ ය. මා ජර්මනියට පැමිණ වසර හතළිහක් ගතවී හමාරය. ජර්මනියට පැමිණිදා සිට මගේ ජීවිතය තුන්වැනි ලෝකයේ රටවල් සමග, එම රටවල විවිධ විමුක්ති ව්‍යාපාර සමග සහයෝගීතා දේශපාලනයට යොමුකල අතර ඒ සඳහා මගේ ක්තිය වැය කළෙමි. ඒ වාගේම එදා සිට අද වන තුරුත් ලංකාවේ සිදු වන දේශපාලනය පිළිබඳව සංවේදී වූ මා මට හැකි ඉහළම ආකාරයෙන් ලංකාව තුළ ‍පජාතන්ත්‍රවාදය සහ මිනිස් අයිතිවාසිකම් රැකගැනීම සඳහා සහභාගීත්වයෙන් සහයෝගය දුන්නෙමි.

ලංකා දේශපාලනය තිබුනාටත් වඩා සමහර කාරණාවන් අතින් ආපස්සට ගොස් ඇතැයි මට සිතේ. 60 ගණන්වලදී අප දේශපාලනයට යොමු වන විට රට තුළ තිබූ වාතාවරයටත් වඩා අද තත්ත්වය නරක බව මගේ හැඟීමයි.

මෙසේ කියන්නේ මා තුළ පවතින අතීතකාමය නිසා නොවේ. රට තුළ එදා ද ජාතිවාදී ප්‍රවණතාවන් තිබුණේ වුවත් අද පවතින විදියට ජනවාර්ගිකව බෙදුණු තත්ත්වයක් සහ එකිනෙකාට වෛරකරන, සැකයෙන් බලන තත්ත්වයක් එදා නොතිබුන බව මගේ වැටහීමයි. ඒ වගේම බොරු ආගම් භක්තියක් ආරූඪ කරගෙන නොසිටි සමාජයක් අපට එදා තිබූ බව මගේ වැටහීමයි. අප දකින දකින කෙනාට බුදු සරණයි, දළදා සමිඳු සරණයි, නොකී අතර දකින දකින වැඩිහිටියාට දණගසනොවැන්දෙමු. අපේ පෙම්වතාට හෝ පෙම්වතියට, සහකරුවාට, සහකාරියට අයියා හෝ නංගී හෝ කියා නොඇමතූ අතර අප අපව හඳුන්වා ගත්තේ අපේ නම්වලිනි. මෙවැනි බොහෝ කාරණා වලින් මට දකින්ට ලැබෙන්නේ සමාජය ආපස්සට ගමන් කර ඇති බවකි.

[title]අතීතය පසුතැවීමක් නොවේ[/title]

ඒ වාගේම තවත් අතකින් රටතුළ මිනිස් අයිතීන් ගරු කරන, ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින, ස්ත්‍රී අයිතීන් වෙනුවෙන් සටන් කරන, එමෙන්ම ජනවාර්ගික සහයෝගය වෙනුවෙන් සටන් කරන කණ්ඩායම් බිහිවී ඇති බවද දකින්නට තිබේ. ඇත්තෙන්ම ඒවා සතුටට කරුණුය. නමුත් එය සුලුතරයයි.

කැරැල්ලට වසර 49 ගත වන අද දින මගේ මතකයන් සහ සිතිවිලි ඒ අතීතයට මෙන්ම අද පවතින ලංකාව වෙතත් යොමුවන්නේ මේ අයුරිනි. එදා මගේ ජීවිතයේ ඇතිවූ සන්ධිස්ථානයේ සිට අද මා මේ සිටින ස්ථානය දක්වාම නොකඩවා මා දිවිය දේශපාලනමය කාරණයන් සමග එකට වෙලී ගත වී ඇත. මගේ ජීවිතය දෙස ආපසු හැරී බලන්නේ නම්, එදා දේශපාලන උවමනාවක් වෙනුවෙන් සටනට ඉදිරිපත් වූ මා, අද වන තුරුම මගේ ජීවිතය පුරාවට දේශපාලන කාර්යයන් සඳහා මගේ ක්තිය වැයකර ඇත්තෙමි. නිසාම විවි අපහාසයන්ට සහ අතවරයන්ටත්, විවිද තර්ජනයන් සහ ගැරහුම් වලටත් ලක්වී ඇත්තෙමි. නමුත් මගේ ජීවිතය මේ අයුරින් ගතවීම පිළිබඳව මම හදවතින්ම සතුටු වෙමි.

 

Archive

Latest news

ගෝඨා-රනිල් ගොන් බානට කළ හැක්කේ බැරි මරගාතේ අදින කරත්තය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. – රංජිත් හේනායක ආරච්චි

ලංකා දේශපාලනය විසින් අද රටෙහි ජනතාව රසායනාගාර මීයන් හෝ හාවුන් ලෙස ගනිමින් රට අසාර්ථක  පර්යේෂණාගාරයක් බවට පත් කොට තිබේ.   එම තත්වයට රට පත් කර...

ඉන්ධන අර්බූදාය භයානක තත්වය සහ විය හැකි හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගන්න. – නීතිඥ සංගමය රජයට කියයි

ශ්‍රී ලංකා රජය  ජන ජීවිතයට අහිතකර ලෙස බලපාන වත්මන් ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ඉන්ධන හිඟය පාලනය කරන ආකාරය පිළිබඳව  සිය කනස්සල්ල...

පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක”  අයවැය – ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්

2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනව,...

තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන් 

තෙල් - ගෑස් - විදුලි අර්බුද අද සිට ජූනි 30 දක්වා මොකද වෙන්නේ? ලංකාවට දෙන්නට බැරි දෙයක්, ඉන්දියාව ඉල්ලයි.  ඉන්දු ලංකා ගිවිසුමේන් පසුව, ඉන්දියාවේ දැවැන්තම...

Related news

ගෝඨා-රනිල් ගොන් බානට කළ හැක්කේ බැරි මරගාතේ අදින කරත්තය තවතවත් මඩ ගොහොරුවේම ගිල්වීමයි. – රංජිත් හේනායක ආරච්චි

ලංකා දේශපාලනය විසින් අද රටෙහි ජනතාව රසායනාගාර මීයන් හෝ හාවුන් ලෙස ගනිමින් රට අසාර්ථක  පර්යේෂණාගාරයක් බවට පත් කොට තිබේ.   එම තත්වයට රට පත් කර...

ඉන්ධන අර්බූදාය භයානක තත්වය සහ විය හැකි හැකි බරපතල ප්‍රතිවිපාක තේරුම් ගන්න. – නීතිඥ සංගමය රජයට කියයි

ශ්‍රී ලංකා රජය  ජන ජීවිතයට අහිතකර ලෙස බලපාන වත්මන් ආර්ථික අර්බුදය සහ එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් ඉන්ධන හිඟය පාලනය කරන ආකාරය පිළිබඳව  සිය කනස්සල්ල...

පරිහානියේ මාර්ග සිතියම : “විද්‍යාත්මක”  අයවැය – ආචාර්ය (නීතිඥ) ශානුක සෙනරත්

2022 අයවැය කරළියට පැමිණෙන්නේ ලංකාවේ ආර්ථිකය විශාල ගැටලුකාරී තත්ත්වයක් අබිමුව පවතින අවස්ථාවකයි. ලංකාව ඒ වකවානුව වන විට එක් පැත්තකින් විදෙස් සංචිත හිඟ වෙමින් යනව,...

තෙල් නැව් ලණුව කෑ රනිල්ගේ අවසානයේ ආරම්භය තෙල්, ගෑස්, විදුලි අර්බුයද? – රජිත් කීර්ති තෙන්නකෝන් 

තෙල් - ගෑස් - විදුලි අර්බුද අද සිට ජූනි 30 දක්වා මොකද වෙන්නේ? ලංකාවට දෙන්නට බැරි දෙයක්, ඉන්දියාව ඉල්ලයි.  ඉන්දු ලංකා ගිවිසුමේන් පසුව, ඉන්දියාවේ දැවැන්තම...