Tuesday, July 16, 2024

රන්ජන්ගේ සුළි සුළිය – වික්ටර් අයිවන්

රන්ජන්ගේ නිවසේ තිබී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙන පටිගත කළ දුරකතන ඇතුළත් තැටි සංඛ්‍යාව 338කි. ඒවාහි තිබෙන දුරකතන කතා සංඛ්‍යාව 13,000කටත් වැඩිය. තමන් කතා කරන හෝ තමන් සමග කතා කරන අයගේ කතා පටිගත කරන සම්ප‍්‍රදායක් ඔහු පවත්වාගෙන ගියේය. ආචාර ධර්මවලට අනුව නම් කෙනකු සමග දුරකතනයෙන් කතා කරන විට ඒ බව කතා කරන පුද්ගලයාට නොකියා පටිගත කිරීම යහපත් දෙයක් වන්නේ නැත. මා පුවත්පත් කතුවරෙයක් වශයෙන් දීර්ඝ කාලයක් ක‍්‍රියාකර ඇතත්, කවර පුද්ගලයකු සමග කතා කළත් අවසර ගැනීමකින් තොරව කොතරම් වැදගත් කතාවක් වුවත් පටිගත කරන්නේ නැත. එහෙත් අවසර ගැනීමකින් තොරව පුද්ගලයන් සමග කරන කතා පටිගත කරන ජනමාධ්‍යවේදීන්ද සිටිති. රන්ජන් රාමනායක දුරකතනයෙන් කරන සියලූ කතා පටිගත කරන සම්ප‍්‍රදායක් පවත්වාගෙන ගියේය. ඔහු ඒවා ආසාවෙන් එකතු කළේය. ප‍්‍රවෘත්ති සාකච්ඡා වැනි අවස්ථාවලදී ඔහු ඒවා අන්‍යයන්ට අසන්නට සැලැස්සුවේය.

රන්ජන්ගේ මේ දැවැන්ත කතා එකතුව ‘විකි ලීක්ස්’ ලෝකයේ ඇති කළ කලම්බනයට සමාන මහා කලම්බනයක් ලංකාවේ ඇති කිරීමට නියමිතය. ඒ නිසා විවිධ තරාතිරම්වලට අයත් ලොකු පිරිසක් ලොකු අවුලකට තල්ලූ කිරීමට නියමිතය. ඒ නිසා යහපාලන කාලයේදී පවරන ලද දේශපාලන ස්වභාවයක් තිබූ සියලූ නඩු පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් ඇති කිරීමට නියමිතය. මහජනයාටද ඒ නිසා ඊළඟ මැතිවරණය තෙක් රටේ පවතින යථාර්ථය නොසලකා රස කතා අසමින් සිහින ලෝකයක ජීවත්වීමට හැකියාව ලැබෙනු ඇත. ඒ සමග එම කතා විවිධ තරාතිරම්වලට අයත් බොහෝ පුද්ගලයන් අවුල්සහගත තත්ත්වයකට පත් කිරීමටත්, සමහරවිට නින්දාසහගත තත්ත්වයකටත් පත්කිරීමට හේතුවනු ඇති අතර සමහරෙකුට තනතුරුවලින් ඉවත්වීමට හේතුවන තත්ත්වයක් පවා ඇති කිරීමට හේතුවිය හැකිය. ඔවුන් අතර ජනාධිපති, අගමැති, ඇමතිවරුන්, විනිශ්චයකාරවරුන්, නීති නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන්ද ශාස්ත‍්‍රාලයීය උගතුන්ද විය හැකිය. එම නාමලේඛනයට පරණ විරුද්ධ පක්ෂයේ අයද ඇතුළත්විය හැකිය.

මහින්ද රාජපක්ෂ පාලන කාලය සීමාන්තික ගණයෙහිලා සැලකිය හැකි වැරදි සිදු නොවූ කාලපරිච්ඡේදයක් නොවීය. ලසන්ත ඝාතනය බොරුවක් නොවේ. පෝද්දල ජයන්ත, කීත් නොයාර් වැනි ජනමාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් තිරිසන් ලෙස පහරදීමේ සිද්ධීන්ද නිර්මාණය කළ බොරු ලෙස සැලකිය නොහැකිය. කප්පම් සඳහා තරුණයන් පැහැරගෙන ගොස් මරා දැමීමද බොරුවක් ලෙස සැලකිය නොහැකිය. නිර්මාණය කළ බොරු කතාද තිබුණා විය හැකිය. එහෙත් අත්අඩංගුවට ගෙන තිබෙන මෙම පටිගත කිරීමේ කතා නිසා ඒ කිසිදු නඩුවක් ඉදිරියට ගෙන යා නොහැකි මහා අවුලක් බවට පත්වනු නොවැළැක්විය හැකිය.

මෙවැනි සීමාන්තික ක‍්‍රියා මහින්ද රාජපක්ෂ පාලන කාලයේ පමණක් සිදුවූ දේවල් ලෙස සැලකිය නොහැක. ඊට පෙර චන්ද්‍රිකා පාලන කාලයේදීද එවැනි අවලස්සන දේවල් සිදුවිය. සටන කර්තෘ රෝහණ කුමාර ඝාතනය හා කුමාර් පොන්නම්බලම් ඝාතනය ඒ සඳහා දැක්විය හැකි නිදර්ශන දෙකකි. ඊට පෙර පේ‍්‍රමදාස පාලන කාලයේදී සේ ම ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදීද අවලස්සන දේවල් සිදුවිය. එහෙත් ඊට පෙර පරණ ආණ්ඩු කාලවලදී සිදුවූ වැරදි සොයා බැලීමක් සිදු නොවීය. ජේ.ආර්. ජයවර්ධන පාලන කාලයේදී පමණක් සිරිමා බණ්ඩාරනායකට හා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකට දඬුවම් කිරීමක් සිදුවිය. ඉන්පසු විරුද්ධ පක්ෂයේ සිටියදී ආණ්ඩුවක් කරන එවැනි වැරදි ගැන කතා කළත් එම විරුද්ධ පක්ෂ බලයට පත්වීමෙන් පසු ඒ ගැන සොයා බලා නඩු පවරන තැනකට ගියේ නැත.

පරණ ආණ්ඩුව කරන වැරදි සොයා බලා වැරදිකරුවන්ට එරෙහිව නඩු පවරන හා දඬුවම් ලබාදෙන සම්ප‍්‍රදායක් ආරම්භ කළේ යහපාලන ආණ්ඩුව විසිනි. ඒ සම්ප‍්‍රදාය ආරම්භ කරන අවස්ථාවේදීම මා රූපවාහිනී නාලිකාවක කරන ලද සංවාදයකදී කරන ලද ප‍්‍රකාශයක් මතක් කරදීම සුදුසුය. සාමාන්‍යයෙන් කළ යුතුව තිබෙන්නේ පරණ වැරදි හොයනවා නම් රාජපක්ෂ පාලනයට සීමා නොකොට සියලූ පරණ ආණ්ඩු යටතේ සිදුවී තිබෙන සීමාන්තික ක‍්‍රියා සොයා බැලීම බවත්, එහෙත් එසේ නොකොට පළිගැනීමේ අරමුණින් හෝ වැරදි සොයා බලන තැනකට යන ප‍්‍රතිපත්තියක් තුළ ඊළඟට බලයට පත්වන ආණ්ඩුවද පෙරළා පළිගැනීමේ අරමුණින් වුවද සොයා බලන
තත්ත්වයක් ඇති කිරීමද රටේ යහපතට හේතු නොවනු ඇති බවද ඒ නිසා ඉන්පසු ඊළඟට බලයට පත්වන ආණ්ඩුවටද පළිගැනීමේ අරමුණින් හෝ පරණ ආණ්ඩුවේ වැරදි සොයන තත්ත්වයක් ඇතිවනු ඇතැයි මම කීවෙමි. යහපාලන ආණ්ඩුව කාසියේ එක පැත්තක් රටට බලන්න සැලැස්සුවේය. දැන් වර්තමාන ආණ්ඩුව එම කාසියේම අනෙක් පැත්ත රටට බලන්න සලස්වමින් තිබේ. රටේ හැම වැදගත් ආයතනයක්ම කුණුවී තිබෙන තරම තේරුම් ගැනීමට ඒ නිසා මහජනයාට අවස්ථාව ලැබෙනු ඇත.

ශානි අබේසේකර ලංකාව බිහිකළ දක්ෂම අපරාධ පරීක්ෂකයා ලෙස සැලකිය හැකිය. එහෙත් යහපාලන ආණ්ඩුවේ මෝඩ වැඩසටහනේ පංගුකාරයෙකු වීම තුළ ඔහුද ඔහුගේ කීර්තිය මුළුමනින් අහිමි කරගෙන තිබෙන්නේ යැයි කිව හැකිය.

යහපාලන ආණ්ඩුව මොනව දෙයක්වත් හරියාකාරව හා විධිමත්ව කරන්නට දැන නොසිටි මෝඩ හා අකාර්යක්ෂම ආණ්ඩුවක් ලෙස සැලකිය හැකිය. මහින්ද රාජපක්ෂ පාලනයේ සිදුවූ වැරදි සොයා බලන්නට අවශ්‍ය වී නම් දේශපාලන ඇඟිලි ගැසීම්වලට ඉඩක් නැති සියලූදෙනාගේ විශ්වාසයට හේතුවන රාමුවක් ඇති කළ යුතුව තිබුණි. ඒ වෙනුවට ඔවුන් කළේ තමන්ට දේශපාලන වශයෙන් ඇඟිලි ගැසීමට ඉඩ ලැබෙන රාමුවක් පවත්වාගෙන යෑමය. පරීක්ෂණවලදී හොඳට සේ ම නරකටද විවිධ ආකාරවිලන් ඇඟිලි ගසා තිබෙන ප‍්‍රමාණය රන්ජන්ගේ පටිගත කළ කතා එකතුව ආශ‍්‍රයෙන් මහජනයාට දැනගන්නට ලැබෙනු ඇත. ඒ මගින් නින්දාවට හා දෝෂ දර්ශනයට ලක්වන අයගේ ප‍්‍රමාණය ඉතා විශාල වනු ඇත. ජනාධිපති, අගමැති, ඇමතිවරුන් පමණක් නොව විනිසුරුවන්, නීති නිලධාරීන් පමණක් නොව, නිල බලයක් නොතිබුණු එහෙත් යහපාලන ආණ්ඩුවේ කටයුතුවලට ඇඟිලි ගැසීමේ බලයක් තිබුණු සමහර සිවිල් පුද්ගලයන්ද රන්ජන්ගේ පටිගත කළ කතා සුළි සුළඟට අසුවී නින්දාවට හා අපසුතාවටද හා සමහරවිට ඊටත් වඩා ප‍්‍රතිවිපාක ලබන පාත‍්‍ර වර්ගයා බවට පත්වනු ඇත. ඒ මගින් ලංකාවේ රාජ්‍ය හා එහි ආයතන ක‍්‍රමය කුණුවී තිබෙන තරම හා ඉන් හමන දුගඳ කොතරම්ද යන්න තේරුම් ගැනීමට මහජනයාට අවස්ථාවක් ලැබෙනු ඇත. ලංකාවේ පවත්වාගෙන යන ස්වාධීන කොමිෂන් සභා ක‍්‍රමයේ ඇති අවිධිමත් හා අවුල්සහගතභාවයේ තරමද ඉන් තේරුම් ගැනීමට හැකිවනු ඇත.

කොහොමටත් රට තිබෙන්නේ සාමාන්‍ය තත්ත්වයක නොව, මහා සුළි සුළඟකට අසුවූ තත්ත්වයකට සමාන මහා අර්බුදයකය. රන්ජන්ගේ පටිගත කළ කතා ආශ‍්‍රයෙන් ඇතිවන්නට යන සුළි සුළිය නිසාවත් මේ රටේ දේශපාලනඥයන්ට, නිලධාරීන්ට, උගතුන්ට හා සාමාන්‍ය ජනතාවට රටේ ඇතිවී තිබෙන කුණුවූ තත්ත්වය ජයගැනීම සඳහා පටු පක්ෂ රාමුවකට කොටු නොකළ මහජනයා මත පදනම් වූ ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණ වැඩසටහනක අවශ්‍යතාව තේරුම් ගැනීමට හැකිවේ නම් නව රටක් රාජ්‍යයක් හා සමාජයක් ප‍්‍රතිනිර්මාණය කරගැනීමේ හැකියාව ලංකාවට ලැබෙනු ඇත.

Archive

Latest news

Related news