පාර්ලිමේන්තු මංත්‍රී රංජන් රාමනායකගේ් රඟපෑමේ චරිතය දේශපාලන චරිතය ඉක්මවා යන බව දැන් ප්‍රදර්ශනය වන ‘රංජන්පටි’ නාටකයෙන් පෙනේ. ප්රභාකරන් කී පරිදි දෙතුන් සතියකින් මේ පටි නාටකය අවසන් වී යන්නට බොහෝ ඉඩ තිබේ. කෙසේ වෙතත් ‘රංජන්පටි’ නාටකය ඉදිරිපත් කිරීම ගැන අප ඔහුට ස්තුතිවන්ත විය යුතු ය. ඒ් මන්ද යත් අප හැම දැන සිටි දෙයක් ඔහු විසින් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන නිසා ය. එනම් මෙරට දේශපාලන පංතිය සතු අසීමිත බලය යි.
පාලක දේශපාලනඥයින් තමන්ට අවනත, දූෂිත සහ ජාවාරම්කාර පොලිස් නිලධාරීන් සිය දේශපාලන බල ප්‍රදේශයන්ට ලබා ගැනීම 2015 වනතුරුම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබුණි. එය යම් තරමකට හේ නතර වූයේ 19වන සංසෝධනය මගින් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා නිසා ය. දැන් ‘රංජන්පටි’ නාටකය කරේ තියාගෙන දුවන රාජපක්ෂවරුන් තමන් 19වන සංසෝධනය අහෝසිකරන බව කියන්නේ පොලිස් සේවය ස්වාධීන කිරීමට ද?
19 වන සංසෝධනය තිබියදීත් නීතිය නැමීමට තමන් දන්නා බව කීවේ හිටපු පොලිස්පති ය. කෝටි ගණනින් වංචා කළ බවට චෝදනා ලත් ඇවන්ගාඩ් වෙනුවෙන් පෙනී සිටියේ් එජාප නීති උපදේශකයකු සහ ඇමැතිවරයකු වූ තිලක් මාරපන ය. එහි හිමිකරුවන් රැකගැනීමට දරදිය ඇද්දේ ප්‍රබල රනිල්වාදියකු වන වජිර අබේවර්ධන ය. බැදුම්කර දූෂිතයින්ගෙන් සුඛොපභෝගී නිවාස ලබා ගත්තේ එජාප උප සභාපතිවරයකු වූ රවි කරුණානායක ය. ඩීල් දේශපාලනය පිනිස රාජපක්ෂවරුන්ට එරෙහි වංචා දූෂණ නඩු පමා කළේ එජාප නායක රනිල් වික්‍රමසිංහ ය. රාජපක්ෂවරුන් රැකගැනීම පිනිස පොලීසියට දුරකථන ඇමැතුම් දී අතට ම හසුවූයේ පොලීසිය බාරව සිටි සාගල රත්නායක ය.
ඉදින් ‘රංජන්පටි’ අරුමයක් ද?
හිටපු අගවිනිසුරුන් දෙදෙනෙකු වන සරත් සිල්වා සහ මොහාන් පීරිස් අධිකරණයට රාජපක්ෂවාදී දේශපාලනය ගෙන ආ බව නොදන්නේ කව්ද? අනීතිකව ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඇමෙරිකානු අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ තවත් හිටපුු අගවිනිසුරුවරයෙක් වු අසෝක ද සිල්වා ය. තමා වැඩ අවසන්ව ගෙදර යමින් සිටියදී එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ තමාට එන්නැයි කියා ශේෂ්ඨාධිකරණ විනිසුරු පදවියක් දුන් බව කීවේත් රාජපක්ෂගේ හිතවතියකු වූ ඊවා වනසුන්දර ය. තමා දිගටම අගවිනිසුරු පදවියේ තබා ගත්නේ නම් අවශ්‍ය පරිදි නඩු තීන්දු දෙන්නම් යැයි පසුගිය ආණ්ඩුවට කීවේත් අගවිනිසුරුවරයෙකි. ගෝඨාභයගේ නඩු ඇසීමට බැහැයි කියා විනිසුරන් කී දෙනෙක් නඩු මඟ හැරියේ ද? විමල් වීරවංශගේ දුරකථනය හරහා උසස් පොලිස් නිලධාරියකුට සිය රාජකාරිය හැර දමා පැත්තකට වන්නැයි කීවේ ගෝඨාභය රාජපක්ෂ ය. හිටපු පොලිස්පතිවරු කී දෙනෙක් රාජපක්ෂවරුන්ගේ සාටකයට ගැටගැසී සිටින්නේ ද?
එනයින් ‘රංජන්පටි’ නාටකය වනාහී අහවල් අලුත් එකක් නොව අලුතෙන් ඩබ් කරන ලද පරණ නාටකයකි.
ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය පරිදි විනිසුරන් පත්කිරීමට ඉඩ ලබා ගැනීම පිනිස ව්‍යවස්ථා සංසෝධනයක් දැනටම ඉදිරිපත්ව ඇති බව ‘රංජන්පටි’ නාටකය නිසා උමතුවී උඩ පනින රාජපක්ෂවාදීන්ට මේ ටිකට අමතක වී තිබේ. රාජපක්ෂවරුන්ගේ සැළැස්ම තමන්ට අවශ්‍ය පරිදි අධිකරණයක් පොලීසියත් පත්කර ගැනීම බව එම සංසෝධනය කියවා බලන ඕනෑම දේශපාලන ළදරුවකුට පවා තේරුමි යයි.
වැළිකඩ සමූහ ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවන හිටපු බන්ධනාගාර නිලධාරී එමිල් රංජන් ළමාහේවාගේ සහෝදරයකු වන සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා එම නඩුව බාරව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට ඊයේ පෙරේදා පත් කරන ලද්දේ රාජපක්ෂ ආණ්ඩුව යි. එමිල් රංජන්ට විරුද්ධ සියලු පරිවේනීය සාක්ෂි තිබෙන්නේ අපරාධ පරීක්ෂන දෙපාර්ථමේන්තුවෙහි ය. දැන් ඔහුගේ සහෝදරයා එහි ප්‍රධානියෙකි! එහි දෙවන සැකකරු වන පොලිස් පරීක්ෂක රංගජීව යළි සේවයේ පිහිටවූයේ ද මේ ආණ්ඩුව ය. ‘රංජන්පටි’ බලමින් ගහන විසිල් පහරවල් මෙවැනි අනිසි පත්කිරීම්වලට වදින්නේ නැත්ද?
සිරිසේන සිය කැමැත්ත පරිදි අධිකරණ තීරණ කුණු කූඩයට දමා සල්ලිකාර මිනීමරුවක් නිදහස් කළේ ය. අනතුරුව ඔහුට රටින් පලා යාමට ඉඩ සළසා දුන්නේ ය. දැන් ලැහැස්තිය තවත් ධන කුවේරයකු වන දුමින්ද සිල්වාට ජනාධිපති නිදහස ලබා ගැනීමට ය. රංජන් පටි කිසිවකින් දුමින්ද සිල්වා නඩුවට කරන ලද බලපෑමක් තවම හෙළි වී නැති නමුත් දුමින්ද වීරයකු කිරීමේ සමූහ ගායනා දැන් ඇරඹී තිබේ. ගෝඨාභය දුමින්ද ගේ දුක සැප සොයා බැලූ සමිපවන්තයෙකි. දැන් සැප ළඟ ළඟ ය.
දුමින්ද සිල්වා සම්බන්ධ ‘රංජන්පටි’ ජනමාධ්‍ය වෙත ලබා දෙන බලධාරීන් එම පට අතර තිබිය හැකි වසීම් තාජුඩීන් විභාගය ගැන කියැවෙන හඩපටි හෙළදරව් නොකිරීමෙන්ම පෙනී යන්නේ නාටකය සංස්කරණය කරන ලද එකක් බවයි. අරලිය ගහ මන්දිරයේ සිට නාරාහේන්පිට පොලීසියට දුරකථන ඇමතුම් දුන් බව කියැවෙන හඩ පටි ඒ අතර වේද? අන්තිමේදී ‘රංජන්පටි’ පාරා වළල්ලක්වීමටත් ඉඩ තිබේ.
ජූඩ් ශ්‍රමන්ත සිය පෙම්වතියගේ හිස, ඇය මිය යන තුරුම තරප්පු පෙළක ඇන්නේ ය. නමුත් සිරිසේනගේ වචනයෙන් ම කියන්නේ නම් වරදක් කළද අනාගතයක් හිමි තරුණයකු ලෙස ඔහුට සමාව දිය යුතු විය. එසේ නමුත් තමාවත් නොදන්නා වරදකට සිරගත කරන ලදුව විසිහය වසරක් සිරගෙදර ම ගත කළ සෙල්ලපිල්ලෙයි මනෝහරන් පසුගිය දා සිර ගෙදර තුළම මිය ගියේ ය. වසර 14රෙහි දී කළැයි කී වරදකට 17වන වියෙහි දී අත් අඩංගුවට පත් ඔහු මිය ගයේ 49වන වියෙහි දී ය. සංවෙිදී යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බැවින් නීතිය බූරුවෙකි යැයි කියනු ලැබේ. නීතිය විටෙක බූරුවෙකුටත් අන්ත ය. ‘රංජන්පටි’ පෙන්වන එක් ඇත්තක් නම් එය යි.
රටක නීතියේ පාලනය පවත්වා ගත හැක්කේ තනි මිනිසකු වෙත බලය පැවරීමෙන් නොව ශක්තිමත් තුලන සංවරණ පිහිටුවීමෙනි. රාජපක්ෂවරුන්ට වහකදුරු වී ඇති 19වන සංසෝධනය සහ ස්වාධීන කොමිෂන් සභා මගින් යම් දුරකට හෝ ඇති කරන ලද්දේ එවැනි පද්ධතියකි. විධායක ජනාධිපතිවරයකුට/ගෝඨාභය රාජපක්ෂට අගවනිසුරු ඇතුලු විනිසුරන්, නීතිපති, විගණාකාධිපති, පොලිස්පති, මැතිවරණ කොමසාරිස් යනාදීන් පත් කිරීමට බලය දුන් විට ‘රංජන්පටි’ නාටකය බලු නොවටිනා තැනට පත් වනවා ඇත.
රටේම පටි ගැලවෙනවා ඇත්තේ එවිට ය.
රාජපක්ෂවරුන් විසින් පෙන්වමින් සිටින ‘රංජන්පටි’ නාටකය, නාග ලෝකයෙන් කැලණි ගග හරහා ධාතු පහළවීම හා සමාන මාධ්‍ය සංදර්ශනයකි. මේ සංදර්ශනය අවසානයේ ඇසෙනු ඇත්තේ ස්වාධීන කොමිසන් සභා අහෝසි කර ගෝඨාභය රාජපක්ෂට සියලු බලය පැවරිය යුතු ය යන කුණාටුවෙහි ගොර බිරම් හඩ ය.
අවසාන වශයෙන් මේ ටිකත් කිව යුතු ය.
රංජන් කුමන හේතුවක් නිසා තමා ගේ සියලු දුර කථන සංවාද පටිගත කර ගත්තේ දැයි අපි නොදනිමු. කොතෙක් ද යත් සුදු ළමයි ද කළු ළමයි ද අසන කතා පවා පටිගත කරගෙන තිබේ. නමුත් එකක් පැහැදිළි ය. ඔහුට මෙම හඬපට රහසේ සඟවා තබා ගැනීමට අවශ්‍යතාවයක් තිබී නැත. නැත්නම් ඒ ගැන කිසිම අවබෝධයක් තිබි නැත. ඔහු මේ සියල්ල සළකා ඇත්තේ සෙල්ලමක් ලෙස ය. දුර කතන සංවාද අනෙක් පාර්ශවයට නොදන්වා පටිගත කිරීමත් ඒවා නම්කර සීඩී තැටිවල ගබඩා කිරීමත් එකම අවිචාරමත් කාසියක දෙපැත්තකි.
නූතන ලෝකයෙහි මෙවැනි ඩිජීටල් හඬපට කිසිවකුට සොයා ගත නොහැකි වන සේ සඟවා අන්තර් ජාලයෙහි තැන්පත් කිරීම සඳහා කෙනෙකු රොකට් විද්‍යාවෙහි ප්‍රවීනයකු විය යුතු නැත. රාමනායක මෙන් හඩපට සීඩී තැටිවල ගබඩා කර තබාගත් යුගය දැන් ඇත්තේ දශක ගණනාවකට පසු පසිනි. අද බොහෝ ලැප්ටෝප් පරිගණකයන්හි සීඩී තැටි කියවනයන් පවා නැත. රාමනායක සිය හඩපටි තැන්පත් කර තිබූ සීඩී තැටියක සාමාන්‍යයෙන් තැන්පත් කළ හැක්කේ මෙගා බයිට් 700ක් පමණය. එසේ නමුත් අද වෙළද පොලෙහි පවත්නා මාපට ඇඟිල්ලටත් වඩා කුඩා ටෙරා බයිට් දෙකක යුඑස්බී/ප්ලෑශ් ඩ්‍රයිව් එකක මෙගා බයිට් තිස් ලක්ෂයක් ගබඩා කළ හැකි ය. එසේත් නැත්නම් ටෙරා බයිට් දෙකක අන්තර් ජාල ඩ්‍රොප් බොක්ස් අවකාශයක් ලෙහෙසියෙන්ම මිලට ගත හැකි ය.
රංජන් රාමනායකට අප ස්තුතිවන්ත විය යුත්තේ තමන්ද හෙළිදරව් වෙමින් පොලීසිය සහ අධිකරණය වැනි රාජ්‍ය ආයතනයන්හි සැබෑ තතු පෙන්වා දීම නිසා පමණක් ම නොවේ. මර්දනය ප්‍රධාන ආණ්ඩුක්‍රම යාන්ත්‍රණය බවට පත් කර ගැනීම අරමුණ කරගත් රාජපක්ෂ පාලනය හමුවෙහි ගත යුතු ඩිජිටල් ආරක්ෂන පියවර සම්බන්ධයෙන් සාකච්ජාවකට ද එමගින් ඉඩ සළසන නිසා ය.
‘රංජන්පටි’ සිදුවීම අපට තවත් පණිවිඩයක් ගෙන එයි. එනම් අප සතු ඕනෑම පරිගණකයක්, ජංගම දුරකථනයක්, දත්ත ගබඩා කරන උපාංගයක් අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමටත් ඒවා ජඩ මාධ්‍ය වෙත මුදා හැරීමටත් පොලීසියට බලය දී ඇති බවයි. මේ වනාහී පුද්ගලික නිදහසට එල්ල විය හැකි මරු පහරකි.
අප එළඹෙමින සිටින්නේ අකුරු පමනක් නොව අකුරු අතර ලියැවී ඇති අදෘශ්‍යමාන පණිවිඩ ද කියැවීම අවශ්‍ය කරන අවධියකට ය. පුද්ගලික නිදහසට විරුද්ධව ජාතික ආරක්ෂාව යක තර්කයේ දිසානතිය ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය දෙසට නොවේ. අඥාදායකත්වය කරා ය.
සහෝදර සහෝදරියනි, ප්‍රවේසමෙන්!