ප්‍රශ්නය:- වංචා දූෂණ හෙළිදරව් සමග පසුගිය දිනවල ජනමාධ්‍ය මගින් දිගින් දිගටම පොදු ව්‍යාපාර කාරක සභාවට මල් මාලා පළඳවා තිබුණා. සභාපතිවරයා හැටියට මොකද හිතෙන්නේ?
පිළිතුර:- ඒ ගැන තිබෙන්නේ නිහතමානී සතුටක්. මොකද කෝප් කමිටුවේ කටයුතු ජනමාධ්‍යට විවෘත කරගැනීමට ලැබීම ජනතාවට ආශ්වාදයක් වගේම දූෂණවිරෝධී සටනේ අප ලද ජයග්‍රහණයක්. අපි කාමරයක් ඇතුලේ දකින කටුක තිත්ත ඇත්ත එළියට ගන්න පුළුවන් වුණොත් එයින් රටේ ජනතාවට ලොකු මතයක් අරගෙන යන්න පුළුවන් කියන මතයේ මම හැමදාම හිටියේ. මොකද මේ විවෘත කිරීම නිසා හොරකමට විරුද්ධ කොන්දක් තියෙන අවංක නිලධාරින්ට මේවාට හවුල්වීමෙන් මුළු රටටම පෙනෙන්නේ තමන් බව දේශපාලකයන්ට දැන් කියන්න පුළුවන්. ඒ වගේම බළලුන් ලවා කොස් ඇට බාවන වැඬේ තවදුරටත් නොකරන්න දේශපාලකයෝත් දැන් පරෙස්සම් වේවි කියලා මම හිතනවා. අවුරුදු දෙකක්වත් මේ තත්ත්වය තව ඉදිරියට ගෙනියන්න පුළුවන් වුණොත් චෙක් ඇන්ඞ් බැලන්ස් ක්‍රමයක් ඇතිවේවි. මේක මැජික් එකක් වෙලා තියෙන්නේ රටේ තිබෙන අනෙකුත් නීති රීති පද්ධතිය බිඳවැටිලා තියෙන නිසයි. නඩු පවරන්නට හෝ දඬුවම් පැමිණවීමට කෝප් කමිටුවෙන් දෙන නිර්දේශ ඉදිරියට යන්න ඕනෑ. කෝප් කමිටුවේ සභාපති නඩුකාරයෙක් නෙවෙයි. එතකොට ඒ කටයුතු කෙරෙන්න ඕනෑ වෙන ආයතනවලින්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම, ඇමැතිවරු හා ජනාධිපති යන විධායක ආයතන තිබෙන්නේ ඒකට. කෝප් නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැති නම් ඒ නිලධාරින්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා අනෙකුත් ආයතනත් මේ වගේ වැඩ කරන්න කියලා රටේ මහජන මතයක් හැදෙන්න ඕනෑ.
ප්‍රශ්නය:- කෝප් කමිටුව ගැන එහෙම කතා කළත් පහුගිය පාර්ලිමේන්තු රැස්වීම් ගණනාවකදීම දුටුවේ උත්තර දෙන්න විෂය භාර ඇමැතිවරයාවත් නැති තත්ත්වයක්. රාජ්‍යයේ මූලික නීති සම්පාදන ආයතනයේ කඩාවැටීමට පිළිතුරු නැද්ද?
පිළිතුර:- මුළු සිස්ටම් එකම කුණු වෙලා. එක තැනකින් විතරක් ප්‍රාතිහාර්ය පාන්න බෑ. ඇමැතිවරු පාර්ලිමේන්තු එන්නෙ නැත්නම් ඒකට වගකීම ගන්න ඕනෑ කවුද? මේ ජනතා ඡන්දයෙන් තේරී පත් වූ අය. මිනිස්සුම ඡන්දෙ දීලා පත්කරගෙන මෝඩයෝ පිස්සෝ කියලා බනිනවා. ජනතා පරමාධිපත්‍ය තිබෙන්නේ ජනතාවට කියලයි ව්‍යවස්ථාවේ තිබෙන්නේ. හැබැයි පරමාධිපත්‍යට ගැලපෙන අයද තෝරගෙන තිබෙන්නේ? ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු හය දෙනාට ඔය චෝදනා නැහැ. මොකද ජනතා පරමාධිපත්‍ය අපි ඒ අයුරින් නිරූපණය කරනවා.
ප්‍රශ්නය:- පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම මේ ආණ්ඩුව බලයට පත්වීමේදී ගෙන ආ ප්‍රධාන යෝජනාවක්. එහෙත් මේ වනවිට ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත් ගැනත් ආර්ථික විද්‍යාඥයන් චෝදනා එල්ල කරනවා. මේ සම්බන්ධයෙන් ඔබට ඇති නිරීක්ෂණ කෙබඳු ද?
පිළිතුර:- අපි උදාහරණයකට ශ්‍රී ලංකන් ගුවන් සේවයම ගනිමු. බස් එකේ කෝච්චියේ වගේ ටිකට් නැතිව ප්ලේන් එකේ යන්න පුළුවන්ද? බෑ. එතකොට ලංකාවේ ගුවන් සමාගම් අතර තරගයක් තිබෙනවද? නෑ. ලංකාවේ ගුවන් ගමන් ගමනාන්තය ලෝක සිතියමේ නරක තැනකද තිබෙන්නේ? නෑ. හොඳම තැනක. එවැනි පරිසරයක ගුවන් සමාගම පාඩු ලබනවා පැහැදිලිවම ඒක දේශපාලකයන්ගේ වරදක්. එතකොට දේශපාලනය නිසාම ඒවා පාඩු ලබන තත්ත්වයට පත්කරලා දැන් විකුණන්න කතා කරනවා. 2008 දී මිලියන ගණනක් ලාභ ලබපු ගුවන් සමාගම 2010 වෙනකොට මුළු රටටම බරක් වුණේ කොහොමද? 2015 වෙද්දි ඊට වඩා නරක් වුණේ කොහොමද? මේ ගුවන් බස් මිලදීගැනීමට ජනතාව සම්බන්ධ නෑ. ඒකට සම්බන්ධ රාජපක්ෂ මහත්තයාගෙ ඥාතීන් ටික. ඊටපස්සෙ ගනුදෙනුව අවලංගු කිරීමට සම්බන්ධ වික්‍රමසිංහ මහත්තයාගෙ යාළුවෝ ටික. විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව පාඩු ලබන්නේ ඇයි? ඒත් එහෙමයි. කිසි පාවිච්චියක් නැතිව දෙවැනි ලෝක යුද්ධ කාලේ හදපු තෙල් ටැංකි සංකීර්ණයක් තියෙනවා. ඒ ටික පාවිච්චි කළොත් ලෝක තෙල් මිල වැඩි වුණත් ලංකාවටම අඩුවට තෙල් දෙන්න පුළුවන්. ඒත් අද මේ ආයතන ගජමිතුරන් හොරකම් කරන මධ්‍යස්ථාන බවට රැකියා පුරවන තැන් බවට පත්කරලා. රාජ්‍ය ව්‍යවසායකයන්ගේ හොරකම, වංචාව, දූෂණය ඇතිකරලා තියෙන්නේ මෙච්චර කල් බලයේ සිටි ආණ්ඩුවල විෂය භාර ඇමැතිවරු.
ප්‍රශ්නය:- හැබැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ චෝදනා අධිකරණය හමුවේ ඔප්පු කිරීමට තවමත් ආණ්ඩුව සමත් නොවීමෙන් දිනෙන් දින තමන් නිර්දෝෂී වන බවයි. කතාව වැරදිද?
පිළිතුර:- ඔව්. ඔව්. ඒක හරි. මොකද අඹ යාළුවො වුණාම නඩු දාන්නේ නෑනෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මහින්ද මහත්තයට විරුද්ධව ජීවිතේට නඩු දාන්නේ නෑ. ඒ වගේම මහින්ද මහත්තයා මේ පාර්ලිමේන්තුවේ අවුරුදු හතරටම රනිල් මහත්තයට විරුද්ධව එක වචනයක් කතා කළේ නෑනෙ. එක වංචාවක් හොරකමක් ගැන කතා කළාද? දැන් අර්ජුන් මහේන්ද්‍රන්ව තමන්ගෙ යටතේ තිබෙන ආණ්ඩුවකට වඩා මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක් යටතේ ලංකාවට ගෙනැත් බේරාගන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහට ෂුවර්. දඬුවම් නොලබන්නේ නිදොස් නිසා නෙවෙයි. පාලනයේ සිටින්නේ ඒ අයගෙ යාළුවෝ නිසයි. ඇස් පනාපිට වෙච්ච දේවල් නෑ කියන්නෙ කොහොමද? තාජුඩීන් මැරුණෙ නැද්ද? රතුපස්වල මිනිස්සුන්ට වෙඩි තියල මැරුවෙ නැද්ද? ශ්‍රී ලංකන් එක පාඩු ලැබුවෙ නැද්ද? ග්‍රීක බැඳුම්කරවලින් හොරකම් කළේ නැද්ද? මිග් යානා ගනුදෙනුවේ වංචාවක් වුණේ නැද්ද? වැඩිය ඕන නෑ. ගෝඨාභය රජයෙ සල්ලිවලින් අම්මගෙ තාත්තගෙ සොහොන හදලා සල්ලි ගෙව්වනෙ. ආණ්ඩුවෙන් ගත්ත සල්ලි හැමෝටම එහෙම ගෙවන්න පුළුවන්ද? මේවා ඇහැට ඇඟිල්ලෙන් ඇන්නම පේන ඇත්ත නෙවෙයි. දෑහට පේන ඇත්ත.
ප්‍රශ්නය:- රූපවාහිනී සංස්ථාව තම විෂය පථයට ගැනීම ගැන ජනාධිපතිවරයාට දැඩි විවේචනයක් ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයෙන්ම එල්ල වුණා. ජනාධිපතිවරයා ගත් පියවර ගැන ජ.වි.පෙ මතය කුමක්ද?
පිළිතුර:- ජනාධිපතිවරයාගේ මේ වෙලාවේ හැසිරීම ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලයේ ප්‍රතිඵලයක්. ඒත් ජනාධිපතිවරයා කරන දේවල් මොන හේතු මතද කියලා පුරෝකථනය කිරීම පහසු නෑ. මේ ජනාධිපතිවරයා කරන දේවල් දේශපාලන විද්‍යාවටවත් විෂය වෙන්නේ නෑ. ජනාධිපතිවරයා දේශපාලකයකු වුණාට ඔහු ගන්නා තීරණ දේශපාලන විද්‍යාවෙන් විග්‍රහ කරන්න බෑ.
ප්‍රශ්නය:- මීළඟ ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපතිවරයා ගොපල්ලව පන්නයේ නාමික අයකු බවටත් එය ව්‍යාජ මතයක් බවටත් වශයෙන් දේශපාලන විවාදයක් හටගෙන තිබෙනවා. මේ විවාදයේදී ජවිපෙ ස්ථාවරය කුමක්ද?
පිළිතුර:- ඊළඟට පත්වන ජනාධිපතිවරයා මේ තියෙන විධායක ජනාධිපති බලතල සීයට සීයක් තිබෙන කෙනෙක් නෙවෙයි. මේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයට තිබෙන බලතලවත් නැති කෙනෙක්. එහෙම නෑ කියලා කවුරු හරි හිතනවා නම් එයා ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කරන ඒකාධිපතියෙක්. හැබැයි මුකුත්ම කරන්න බැරි කෙනෙකුත් නෙවෙයි. ඒ ජනාධිපතිවරයාගේ කටයුතු අනිවාර්යයෙන් මහමැතිවරණයෙන් නිර්මාණය වන ආණ්ඩුව සමග බැඳී තිබෙනවා. ජනතාවට ලැබෙන අවසාන මොහොතක් මේක. මොකද මීට පෙර සෑම ජනාධිපතිවරයෙක්ම ආවේ දේශපාලන තත්ත්වය විසින් ජනතාව අසරණ කරමින්. ඒ කියන්නේ ජනතාවට විකල්පයක් නෑ. ජනාධිපති ආවේ ගැලවුම්කාරයෙක් හැටියට. 2005 දි යුද්ධෙ නිසා. 2010 දි යුද්දෙ නිමා කළ නිසා. 2015 දි පවුල් පාලනය අවසන් කළ යුතු නිසා. දැන් එහෙම තත්ත්වයක් නෑ. ආර්ථික, සමාජ, දේශපාලන සියලු කොන්දේසිවලින් ජනතාවට බල කරන්නේ නිවැරැදි විකල්ප බලවේගයකට රට බාර කරන්න කියලයි.
ප්‍රශ්නය:- විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායකයන් හා ජනාධිපතිවරයා අතර පසුගියදා සාකච්ඡාවක් කර තිබුණා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පසුගියදා දේශපාලන පක්ෂවල සහාය ඉල්ලා සිටි ජවිපෙ මේ සාකච්ඡාව දකින්නේ කොහොමද?
පිළිතුර:- නටන්න බැරි මිනිහාට පොළව ඇදයි කියනවා. මේකත් අන්න ඒ වගේ තත්ත්වයක්. ජනාධිපතිවරණයට මුහුණදෙන්න බැරි වුණාම තමයි ඒගොල්ලන්ට 20 වැනි සංශෝධනය මතක්වෙන්නේ. අපි 20 වැනි සංශෝධනය හරහා මේ ගැන මහින්ද රාජපක්ෂ පාර්ශ්වය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සමග කතා කළා. ඒ සාකච්ඡාවේදි මේ අවශ්‍යතාව දැක්කේ නැත්තේ ඇයි? එතකොට මේ හදන්නේ අවංකවම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නද? නැත්නම් අභ්‍යන්තර අර්බුදයට උත්තරයක් පිණිස සෙප්පඩවිජ්ජාවක් කරන්නද? ජනතාව ඒක තේරුම්ගන්න ඕනෑ. දැන් ජනාධිපතිවරණයක් කට මුලට ඇවිත් ජනතාව නායකත්වයක් ඉල්ලනවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ වගකීම තිබෙන්නේ ඊළඟ ආණ්ඩුවටයි. මේ ව්‍යවස්ථාව අනුව කොහොමත් ජනාධිපතිට අහෝසි කරන්න බෑ. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් සම්මත කරන්න ඕනෑ. දැන් අපි ජනතාවට කියන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කළ හැකි ආණ්ඩුවක් හදමු කියලයි.
ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂය 20 වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා ජවිපෙ සහාය ඉල්ලා සිටි නමුත් ජවිපෙ එය ප්‍රතික්ෂේප කර එය එජාපයෙන්ම ඉදිරිපත් කරන හැටියට ප්‍රතියෝජනාවක් කළැයි මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. ඇත්තටම මොකද්ද වුණේ?
පිළිතුර:- නෑ. නෑ. අපට එහෙම යෝජනාවක් ආවේ නෑ. ආවත් වැඩකුත් නෑ. පාර්ලිමේන්තුවේ අපි හය දෙනයි. ආණ්ඩුවෙන් එහෙම ගේනවා නම් අපට විරුද්ධ වෙන්න හේතුවක් නෑ.
ප්‍රශ්නය:- බලය බෙදීමේ කාරිය හරිහැටි කරගත නොහැකි වුණේ පාර්ලිමේන්තුවේ බහුතර බලය නොතිබූ නිසා බවත් ඉදිරියේදී බලයට එන එ.ජා.ප ආණ්ඩුවක් මගින් පළාත් සභාවලට වැඩි බලතල ලබා දෙන බවත් අගමැතිවරයා යාපනයේදී පවසා තිබුණා. ජාතික ගැටලුව සම්බන්ධයෙන් එ.ජා.ප මතය ජ.වි.පෙ දකින්නේ කොහොමද?
පිළිතුර:- ඕකෙන් වැඩිපුරම රෙදි ගැලවිලා තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ තමයි. මොකද ඒගොල්ලෝ ආණ්ඩුවට සහාය දෙමින් ව්‍යවස්ථා සංශෝධනය ගේනවා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියන ඔය මිරිඟුව පස්සේ දිගටම ගියා. හැම අයවැයකදිම ඡන්දෙ දුන්නේ ඕකටනෙ. යූ.එන්.පී එක ඔය කතාව කියද්දී මේ පාරත් දෙමු කියලා උතුරට ගිහින් කියන්න දෙමළ ජාතික සන්ධානයට සිද්ධවෙනවා. ඇත්තටම ගත්තොත් ඒ අයට මේ ව්‍යවස්ථාවෙන් ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ වුවමනාවක් නෑ. ඒවා පෙන්නලා ජනතාවගෙන් ඡන්දය ගැනීමේ වුවමනාවයි. තවදුරටත් අපේ රටේ උතුරේවත් දකුණේවත් ජනතාව මේ කැරට් අල දේශපාලනයට රැවටෙන්න සූදානම් නෑ. ජාතික ගැටලුව විතරක් නෙවෙයි. ආර්ථිකේ ගැන පම්පෝරි ගහන්නෙත් මේ විදියටමයි. ඡන්දයක් ළංවෙද්දි ඔක්කොම කරන්නම් කියනවා. මේ කවුද? අවුරුදු හැත්තෑවක් අසාර්ථක වෙච්ච අය. මේක හරි විකාරයක්. මොකද මෙතෙක් රට පාලනය නොකරපු ඒත් විශ්වාස කළහැකි ජවිපෙ යමක් කියද්දී ඕගොල්ලෝ කරන්නේ කොහොමද කියලා ජනතාව අපෙන් අහනවා. හැබැයි කරලා අසාර්ථක වෙච්ච මිනිස්සු කියනකොට ඒක පිළිගන්නවා. අවුරුදු හැත්තෑවක් තිස්සේ කරන්න බැරි වූ දේවල් අවුරුදු පහකින් කරන්නේ කොහොමද කියලා ජනතාව කල්පනා කරන්න ඕනෑ.
ප්‍රශ්නය:- බැසිල් රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා මිලිටරි ස්වරූපයෙන් වෙනස් වී ඇති බවට සහතිකයක් දෙද්දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අසන්නේ ආරක්ෂක ලේකම් හැටියට ඔහු යම් වැඩ කොටසක් කළා නම් ජනාධිපති ධුරයට පත්වුවහොත් කොතරම් වැඩ කොටසක් කරනු ඇතිදැයි කියායි. ප්‍රධාන ප්‍රතිවාදියා ජ.වි.පෙට මොන වගේ අභියෝගයක්ද?
පිළිතුර:- පොදුජන පෙරමුණ මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය තමන්ගෙම ඡන්ද ටික එකතු කරගැනීමයි. 2005 දිත් 2010 දිත් ඒ අය ඡන්දෙ ඉල්ලුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අපේක්ෂකයකු නම් කළාම හවුල්කාර පක්ෂ ඒ අපේක්ෂකයාට සහාය දුන්නා. එහෙත් මේ වාරයේදී පොදුජන පෙරමුණ අපේක්ෂකයා නම් කරලා අනෙක් පක්ෂවලට සහාය දෙන්න කියනවා. අපේ අනන්‍යතාවලට මොකද වෙන්නේ කියන අර්බුදයට මේ නිසා අනෙක් පක්ෂ පැමිණ තිබෙනවා. එදා බුලත් කොළයෙන් එද්දී මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂ ලකුණ පුටුව. හැබැයි පොදුජන පෙරමුණ යටතේ අනෙක් පක්ෂ වහල්ලු බවට පත්කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් මෙවර පැන නැගී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝදලා වතුර බීලා ඒක රාජපක්ෂයක් කළා වගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයත් රාජපක්ෂයක් කරන්නයි යන්නේ. ඊටපස්සේ රාජපක්ෂලා ඇතුළේ අභ්‍යන්තර බල අරගලයක් වෙනම යනවා. සාමාන්‍යයෙන් මැතිවරණයක ඡන්ද කැම්පේන් එකකදි වෙන්නේ පටන්ගත්ත තැන ඉඳලා ඉදිරියට යන එක වුණත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කැම්පේන් එකේ වෙලා තියෙන්නේ ඒකෙ අනෙක් පැත්ත. ගෝඨාභය මහත්තයගෙ කටවුට් ගලවන්නේ ඒ අයගෙම කට්ටිය. ගෝඨාභයට තියෙන නඩු චෝදනා ආදිය නිරාකරණය කරන මට්ටමේ මැදිහත්වීමක් නෙවෙයි ඒ බලවේගවලිනුත් අපි දකින්නේ.
ප්‍රශ්නය:- දෙවැනි මනාපය කාටවත් දෙන්න එපා යැයි පොහොට්ටුව කියනවා. ජේ.වී.පී එක මොකද කියන්නේ?
පිළිතුර:- දෙවැනි මනාපයක් ගැන අපේ කිසිම කතාවක් නෑ. පළමු මනාපයෙන්ම ජනතාවගේ අපේක්ෂාව ජයග්‍රහණය කරවන්න. ඉතිහාසයේ පැවැති සියලු මැතිවරණවලට වඩා වෙනස්ම මැතිවරණයක්. ඒ නිසා වෙනස්ම ප්‍රතිපලයක් ජනතාව නෙළාගන්න ඕනෑ. රටට ඉදිරියට යන්න නම් ජනතාවට ඕනෑ හොඳ රටක් නම් අනුර කුමාර දිසානායක විතරමයි. ආපස්සට යන්න ඕනෑ නම් ඔය ඕනෑ කෙනෙක් ඔට්ටුයි. අනුර කුමාර දිසානායක සහෝදරයා තෝරන්න බැරි වෙන්න හේතු මොනවද කියලයි අපි ජනතාවගෙන් අහන්නේ? ඉතින් අර කොල්ලො කෙල්ලන්ගෙ භාෂාවෙන් කියනවා නම් ආයේ එකෙන්ම අනුර කුමාර දිසානායක තමයි. දේශපාලනයේ අලුත්ම බ්‍රෑන්ඞ් එක ඒ.කේ.ඩී විතරමයි.
සංවාද සටහන
බිඟුන් මේනක ගමගේ/ ලංකාදීප