Thursday, November 21, 2024

ප්‍රේමපාල හේවාබටගේ: 71 පරම්පරාවේ ව්‍යතිරේකය – නිර්මාල් රංජිත් ‌දේවසිරි

1971 වනාහී ලියා හෝ කියවා නිමකළ නොහැකි පොතක් වැන්න. තවමත් ඒ පිළිබඳ ලියමින් පවති. 1971 අර්ථකථනයට ප්‍රති-අර්ථකථනයට භාජනය වෙමින් පවතී. 71 පරම්පරාවේ ක්‍රියාශීලී සමාජිකයින් තමන්මත් සහභාගී වූ ඒ සංසිද්ධිය තේරුම් ගැනීම සඳහා සිදුවීමෙන් වසර පනහකට ආසන්න කාලයක් ගත වී තිබියදීත් තවමත් වැර වෑයම් දරණු මම දැක ඇත්තෙමි. කෙසේ වෙතත් මේ ලියා සහ කියවා නිම කල නොහැකි පොතේ වැදගත් පරිච්ඡේදයක් ප්‍රේමපාල හේවාබටගේ හිමිවන බව මගේ අදදහසයි.

ඔහුගේ දේහය මිහිදන් කළ දිනයේ අවමංගල සභාව ඇමතූ ඔහුගේ 71 සගයෙක් අපූරු අත්දැකීමක් සිහි කළේය. ඒ මෙසේය: 71 පොලීසි වලට පහර දීම අසාර්ථක වූ කල් හී, අත් අඩංගුවට පත් නොවූ පිරිසක් විල්පත්තුව වනාන්තරයට පසුබැස එහි කඳවුරු ලා සිටියහ. ඒ අතර අසල තිබූ පොලීසියකට පහර දීම සඳහා සූදානමක් ඇති වී තිබේ. ප්‍රේමපාල සහෝදරයා කර ඇත්තේ මේ අදහස කොයි තරම් අමනෝඥ එකක් ද යන්න පිරිසට ඒත්තු ගන්වා අදාළ තීරණය අත්හැර දැමීමට ඒ අය පෙළඹවීමයි. සාමාන්‍යයෙන් 71 කැරළිකරුවන් සමඟ කතා කිරීමේ දී හොඳින් පෙනී යන දෙයක් වන්නේ ඒ අය කොයිතරම් දුරට විප්ලවය හා සමාජ පරිවර්තනය පිළිබඳ රොමෑන්තික සිහිනවල ගැලී සිටියාද යන්නයි. එවැනි මානසිකත්වයක් ඇති පිරිස් අතර ඊට හාත්පසින්ම වෙනස අදහසක් දරා සිටීම මෙන්ම ඒ මානසිකත්වය තුළ ගැනෙන තීන්දු තීරණ වෙනස් කිරීමට ඉදිරිපත් වීම ද අතිශයින් බැරූරුම් හා අභියෝගාත්මක දේශපාලන කටයුත්තකි.

ප්‍රේමපාලගේ 71 සගයා අවමගුල් උළෙලේ දී කී මේ කතාව මට බෙහෙවින් තේරුම් ගත හැක්කේ ඒ මා හඳුනාගෙන සිටි ප්‍රේමපාල හේවාබටගේ ම වීම නිසාය. මා ඔහු හඳුනා ගත්තේ 1987-89 ජවිපෙ සන්නද්ධ නැගිටීමේ පසුබිමේය. ඒ වකවානුවේ ද ප්‍රේමපාල අවට පැවැතියේ එක්තරා ආකාරයකට විල්පත්තු සිදුවීම ට සමාන වූ තත්වයකි. එනම් ජවිපෙන් එල්ල වෙමින් තිබුණු ජීවිත තර්ජන හමුවේ ජවිපෙ ට පෙරළා පහර දීමට සූදානම් විය යුතුය යන අදහස ප්‍රේමපාල දේශපාලන වශයෙන් ගණුදෙනු කළ පර්ශද තුළ වේගයෙන් පැතිර යමින් පැවැතිණි. ප්‍රේමපාලට ජවිපෙ සම්බන්ධයෙන් පැවැතියේ ඊට හාත්පසින් ම වෙනස් වූ අදහසකි. විශේෂයෙන් ජවිපෙ සන්නද්ධ නැගිටීමට සම්බන්ධ වූ තරුණ පිරිස් පිළිබඳව සහවේදනාවකින් යුතුව බැලීම ඔහුගේ ප්‍රවේශය විය.

ප්‍රේමපාල සහෝදරයාගේ සමාජ-දේශපාලන චරිතය තුළ පැවැති අපගේ අවධානයට ලක්විය යුතු තවත් ලක්ෂණයක් ඇත. එනම් දේශපාලන ආධානග්‍රාහීත්වය සමඟ ගණුදෙනු කිරීමේ දී ඔහු දැක්වූ විවෘත ප්‍රවේශයයි. සාමාන්‍ය වශයෙන් ඔහුගේ දේශපාලන ක්‍රියාකාරිත්වය පදනම් වී තිබූ ක්‍රියාකාරී ක්ෂේත්‍රය දෙස බැලූ විට හොඳින් පෙනෙන කරුණක් වන්නේ දේශපාලන ආධානග්‍රාහීත්වයට ඇති නැඹුරුව ඉතා ශක්තිමත් එකක් වූ බවයි. ඔහු නිසැක ලෙසම ඉතා හොඳ සවන්දෙන්නෙක් සාවදානව විමසා බලන්නෙක්, ඉවසිළිවන්ත ලෙස තමාට අභිමුඛ වන සංසිද්ධීන්හී විවිධ පැති ප්‍රවේශමෙන් සලකා බලා තීරණ ගැනීමට යොමුවෙන්නෙක් වීය. මෙකී චරිත ලක්ෂණ ප්‍රේමපාල හේවාබටගේ 71 පරම්පරාවේ සුවිශේෂී පුරුකක් බවට පත් කළේය.

ප්‍රේමපාල සහෝදරයාගේ ඉහත සඳහන් කළ දේශපාලන චරිත ලක්ෂණ ඇසුරින් 1971 කැරළිකාරී පරම්පරාවේ දේශපාලන මනස දෙස බැලීමට කෙනෙක් පෙළඹුනහොත් ඒ දෙක අතර කිනම් සම්බන්ධයක් හඳුනාගත හැකිද? මා ඉහත විස්තර කළ ප්‍රේමපාලගේ විල්පත්තු සගයාගේ මතකය ඇසුරින් අපට මේ සඳහා ප්‍රවේශ වීමට පුළුවන. සාමාන්‍යයෙන් 1971 කැරළිකාරී මානසිකත්වය යනු ප්‍රේමපාලගේ විල්පත්තු සගයින් වෙතින් ප්‍රකාශයට පත් වූ මානසිකත්වයයි. 71 අරගලය මෙන්ම යම් තරමකට 87-89 අරගලය ද අපට සැලකිය හැක්කේ දේශපාලන සියදිවි නසා ගැනීමේ මෙහෙයුම් ලෙසටයි. වෙනත් ආකාරයකින් කියනවා නම් ඒවාගේ (විශේෂයෙන්ම 1971 අරගලයේ) පරාජයන් ඒ සන්නද්ධ අරගල දියත් වූ ආකාරයන් තුළම වියැවී තිබුණි. විශේෂයෙන්ම 1971 පරම්පරාව වනාහී පූර්ණ වශයෙන්ම අපේක්ෂාභාංගත්වයට පත් වූ, ස්ථාපිත සමාජ යථාර්ථය තුළ අනාගතය පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් ඇති කරගැනීමේ හැකියාවක් නොදුටු පරම්පරාවකි. පරිකල්පිත දේශපාලන බලාපොරොත්තුවක් වෙනුවෙන් සාමූහික සියදිවි නසාගැනීමේ මාවතට එළඹීම ඒ පරම්පරාවේ පොදු පැවැත්ම පැත්තෙන් ගත්කල තාම පහසුවෙන් තේරුම් ගත හැක්කකි. යථාර්ථවාදී තක්සේරුවකින් තොර වූ සන්නද්ධ අරගලයේ මාවත මේ සාමූහික සියදිවි නසාගැනීම සඳහා වූ කදිම මාවත විය.


සමාජ දේශපාලන පර්යාය විප්ලවීය ලෙස පරිවර්තනය කිරීම සඳහා, විශේෂයෙන්ම ඒ අරමුණ මත සමාජ පරිවර්තනයේ කාරකයින් ලෙස ක්‍රියාකළ හැකියැයි සිතූ පිරිස් අතට, රාජ්‍ය බලය සන්තක කරගැනීමට ඇති ප්‍රායෝගික මාවත ආයුධ සන්නද්ධ ක්‍රියාමාර්ගයක්ය යන්න 1960 ගණන්වල ජාත්‍යන්තර රැඩිකල් වාම කතිකාවන්හී ජනප්‍රිය වූ අදහසකි. මේ අදහස ලංකාව තුළට කාන්දු වී 1960 ගණන්වල රැඩිකල්කරණය වූ ග්‍රාමීය තරුණ පරම්පරාව අතරට කාන්දු වූයේ අතිසරළ හා රොමෑන්තික ආකාරයටයි. ආයුධ සන්නද්ධ අරගලය යන්න මේ තරුණ පරම්පරාව විසින් තේරුම් ගනු ලැබූයේ කොයිතරම් දුරට සරළ දේශපාලන ක්‍රියාවක් ලෙස ද යන්න අවබෝධ කරගැනීමට ඇති හොඳම නිදර්ශනය වන්නේ 1971 සන්නදධ අරගලයයි.

කෙසේ වෙතත් මේ පරම්පරාව කිසිසේත්ම දේශපාලන ප්‍රඥාවකින් නොතොර පරම්පරාවක් වූයේ නැත. මේ පරම්පරාව පිළිබඳ කතාව තවමත් ලියා හෝ කියවා නිම කළ නොහැකි පොතක් බඳු යැයි මා මුළින් කීවේ එබැවිණි. පැහැදිළි ලෙසම ප්‍රේමපාල සහෝදරයාගෙන් නියෝජනය වන්නේ 71 පරම්පරාවේ මේ සංකීර්ණත්වයයි. 71 පරම්පරාව බිහිවුනේ ඉතාම ඉහළ ගතිකත්වයකින් යුතු දේශපාලන සංවාදයක පසුබිමේ වීම අපගේ අවධානයට යොමු විය යුතුය. ගැටලුව වූයේ ඒ දේශපාලන සංවාදය මුළුමනින්ම මේ පරම්පරාව වෙත කාන්දු නොවීම විය හැක.
මේ පරම්පරාවේ අසහාය නායකයා වූ රෝහණ විජේවීර අතිශයින් සංකීර්ණ චරිතයක් වුවද ඔහු මේ දේශපාලන සංවාදය ග්‍රහණය කරගනු ලැබූයේ ඉතාම ආධානග්‍රාහී සහ ප්‍රයෝජ්‍යතාවාදී ආකාරයකටයි. මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව නොමැති වුව ද, සන්නද්ධ අරගලය පිළිබඳ මෙම අතිසරළ තේරුම් ගැනීම සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් රෝහණ විජේවීර සතුව ද පැවැති බව පෙනේ.

ප්‍රේමපාල සහෝදරයා 71 අරගලයට සක්‍රියව දායක වීම මෙන්ම එහි සීමාවන් පිළිබඳ හොඳ අවබෝධයකින් පසුවීම මේ පරම්පරාවේ සංකීර්ණත්වය හා ප්‍රතිවිරෝධී ලක්ෂණ කදිමට කියා පාන්නක් ලෙස ප්‍රකාශ කිරීමට පුළුවන. විය යුතුව තිබූ පරිදිම ප්‍රේමපාල සහෝදරයා 71 අරගලයෙන් පසු, ප්‍රමුඛ වශයෙන්ම සිර කඳවුර තුළ ඇති වූ අතිශය වැදගත් දේශපාලන සංවාදයේ ඍජු මැදිහත්කරුවෙක් විය. මගේ නිරීක්ෂණය වන්නේ ඔහු ඒ දේශපාලන සංවාදයේ ‘මොළය’ නොවූව ද ‘හදවත’ වූ බවයි. ඔහුගේ ද සක්‍රීය මැදිහත්වීම මත ගොඩනැඟුණු ‘ජනතා සංගමයේ’ ඉතාම වැදගත දේශපාලන හරයක් ගැබ් වී තිබුණි. එනම් 71 අරගලයේ විමුක්තිවාදී හරය ආරක්ෂා කරන අතරම ඒ සම්බන්ධ තියුණු හා විචාරාත්මක අවලෝකනයක් කිරීමට තිබුණු උනන්දුවයි. එම අවලෝකනය සඳහා යොදා ගැනුණු බුද්ධිමය මෙවලම් හී ප්‍රමාණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් ඇත්තේ වී නමුදු එය අතිශයින් වැදගත් කටයුත්තක් වීය.

මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව නොමැති වුව ද වැදගත් මා අවසාන වශයෙන් ප්‍රකාශ කිරීමට කැමති වන්නේ මෙයයි: 1971 අරගලයෙන් පසු ලංකාවේ රැඩිකල් දේශපාලනයේ සෑම හැරවුම් ලක්ෂයක්්ම සම්බන්ධව ඉතාම තියුණු බුද්ධිමය අවලෝකනයක් ප්‍රේමපාල හේවාබටගේ සහෝදරයා සතුව තිබුණි. එය ඉතාම විවෘත සහ ප්‍රඥාවන්ත ලෙස සංවාදයට භාජනය කිරීමට අවශ්‍ය සූදානම ද ඔහු තුළ තිබුණි. එය ප්‍රමාණවත් ලෙස සිදු නොවීම ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් ගත් කළ අවාසනාවන්ත තත්වයකි.

– ‌’තෙවැනි ඇස’ අනුග්‍රහයෙනි.

Archive

Latest news

Related news