Friday, April 19, 2024

ලන්ඩන් නාඩගම

කතුවැකිය/   ශ්‍රී ලංකා ගාර්ඩියන්.

ගැටුම් විසඳීමේදී වැදගත් වන්නේ, විසඳිය යුතු මූලික දෑ තවදුරටත් ව්‍යාකූල කිරීම නොවේ. එසේම, සියලු දෙනාම සතු වගකීම දියාරූ කිරීම සඳහා, පහත් තැනකින් වතුර ගලා යෑමට සලස්වන්නා සේ, වගකීම් විරහිතව කටයුතු කොට තම තමන්ගේ අත සෝදා ගැනීම නොවේ.
කතුවැකිය

මෙය පෞද්ගලික ගැටලුවක් නොවේ. මෙය සමස්ථ රටේ ප්‍රශ්ණයකි. එක්සත් රාජධානියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන ආරක්ෂක උපදේශකයාගේ වීරත්වය රටේ ආත්ම ගරුත්වය දියාරූ කිරීමට සමත්වී තිබේ. එසේම ඔහු, ලන්ඩන් නුවර උද්ඝෝෂකයින්ගේ නාටකයට කදිම අරුතක් ලබා දෙමින් ඔවුන්ගේ අවශ්‍යතා නිසි පරිදි ඉෂ්ඨ කොට තිබේ. ඔහුට ඔහුගෙන ඇසිය යුතු කරණය වන්නේ; ඔබට සතුටුයිද දැන්; යන්න පමණි. දැන් ඇත්තේ, සිංහලයින් ගෝත්‍රිකයින් ලෙස හුවා දක්වමින් හැකි පමණ තම තමන්ගේ වින්දනය විඳීමය.

නමුත් මෙය එක් පුද්ගලයෙකු පිළිබඳ ගැටලුවක් නොවේ.

අදාළ ගැටලුව විසඳීම සඳහා මේ වන විටවිටත් කටයුතු කොට ඇති බව සත්‍යයකි. එසේම අදාළ හමුදා නිලධාරියා වෙනුවෙන් විවිධාකාර අදහස්-උදහස් ඉදිරිපත් වෙමින් තිබේ. එහිදී ඔහුගේ කටයුත්ත බරපතළ විවේචනයට ලක් කළ හැකිය. ඔහු කළ කටයුත්තේ වදරක් තිබේය; ඔහු විනය විරෝධී නිලධාරියෙකි; එසේම අදාළ සිදුවීම ගැන වහාම තම අදහස දැක් වූ කැලම් මැක්රේට අනුව අදාළ නිලධාරියා හමුදා අධිකරණය ඉදිරියට පමුණුවා දඬුවම් කළ යුත්තේය, ආදී වශයෙන් විවිධ අදහස් ඉදිරිපත් විය හැකිය.

කිසිඳු සැකයක් නොමැති කාරණය වන්නේ; අදාළ නිලධාරියා රටට සහ තමන් නියෝජනය කළ ආයතනයට පමණක් නොව, තමන්ගේ පෞද්ගලික ජීවිතයටද කරගත් නින්දාසහගත කටයුත්තක් ලෙස අදාළ හැසිරීම හැඳින්වීමේ කිසිඳු වරදක් නොමැත. අපට අනුව මෙය තනි නිලධාරියකුගේ පමණක් වරදක් නොවේ. ඔහුගේ නියෝජනය සහ හැසිරීම සමස්ථ ආයතනික ව්‍යුහය පිළිබඳ ගැටලුවකි.

එනම් මෙහිදී මූලික වගකීමට බැඳී සිටින ආයතන දෙකවන, විදේශ කටයුතු අමාත්‍යංශය සහ ආරක්‍ෂක අමාත්‍යංශය යන ආයතන දෙකම මෙවැනි දෑ සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටිති. එක් අතකින්; ට්විටර් පණිවිඩ ඔස්සේ සිදුකරන ප්‍රචාරණ හැරෙන්නට, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය රාජ්‍යය තාන්ත්‍රික වශයෙන් රටේ සුගතිය සඳහා සිදු කරන කටයුතු මොනවාද යන්න, රට හමුවේ ඇති ප්‍රධාන ගැටලුවකි. ඒහා සමානව ආරක්ෂක අමාත්‍යංශය තානාපති සේවාවලට ආරක්ෂක නිලධාරීන් අනුයුක්ත කිරීමේදී අනුගමනය කරන කළමනාකරණ වැඩපිළිවෙල කුමක්ද යන්න ගැටලුවකි.

අදාළ නිලධාරීයා, තම වියෝව පහකර ගැනීම සඳහා හෝ තම වීරත්වය පෙන්වීම සඳහා වනගත වූ ගෝත්‍රිකයෙකු මෙන් හැසිරීම; සැබවින්ම, ඔහුට හෝ රටට නොව උද්ඝෝෂණයේ යෙදෙන අයවලුන්ගේ අවශ්‍යතාවයන් ඉතාම කෙටි කාලයක් තුළදී පිරිමසා ගැනීමකි. අනෙක් පසින්; ඔහුගේ හැසිරීම, රටේ කීර්ති නාමය රැක ගැනීම උදෙසා ජනතාවගේ මුදලින් නඩත්තු කරන ආයතන තම වගකීම් පැහැර හැරීමේ ප්‍රමාණය විදහා දක්වන්නකි. මෙම මූලික හරයට අනුව, අදාළ නිලධාරියාගේ හැසිරීම වූ කලී, රෝගය නොව රෝග ලක්‍ෂණය වේ.

එසේම මෙම කාරනයේදී පෙනීයන මනෝවිද්‍යාත්මක කාරණයක් තිබේ. එනම් ගැටුම් වලින් පසුව, එම ගැටුම් වලට මැදිහත් වූ පාර්ශවයන් නියමිත පරිදි තවමත් සුව අතට හැරී නොමැති බවයි. ගැටුම් නිමා වී වසර දහයකට අධික කාලයක් ගත වී ඇතත්, ගැටුම් වලදී සිදු වූ ගැඹුරු තුවාල තවමත් සුවපත් වී නොමැත. යුද්ධයකදී සියලුම දෙනාම වින්ධිතයෝ වෙති.

අදාළ නිලධාරියාගේ හැසිරීම වැරදි බව සියල්ලෝම දනිති. සිදුවීමෙන් පසු එය ඔහුද දන්නේය. එසේම, සාමන්‍යය හමුදා නිලධාරියෙකු හෝ සෙබලෙකු හමුවේ මෙම නිලධාරියාගේ හැසිරීම දක්වන වීඩියෝ පටය පෙන්නුවහොත් එය වැරදි හැසිරීමක් ලෙස දක්වනු ඇත. වැදගත් වන්නේ එවැනි හැසිරීමකට තල්ලු වන මානසිකවත්ය වෙනස් කිරීම සඳහා කටයුතු කිරීම මිස අදාළ නිලධාරියා සහ ඔහුගේ පවුල අනාථ කිරීම සඳහා කටයුතු කිරීම නොවේ. ඉන් ඔහු කළ කටයුත්ත නිවැරදි කිරීමට හෝ එය නොසලකා හැරීමට යැයි කියන්නේ නැත. ඔහුටද වගකීමක් තිබේ, නමුත් වැදගත් වන්නේ එලෙස හැසිරීම සඳහා හේතුවන මූලික කාරණා හඳුනාගෙන එවැනි දෑ නැසීම සඳහා කටයුතු කිරීමය.

ගැටුම් විසඳීමේදී වැදගත් වන්නේ, විසඳිය යුතු මූලික දෑ තවදුරටත් ව්‍යාකූල කිරීම නොවේ. එසේම, සියලු දෙනාම සතු වගකීම දියාරූ කිරීම සඳහා, පහත් තැනකින් වතුර ගලා යෑමට සලස්වන්නා සේ, වගකීම් විරහිතව කටයුතු කොට තම තමන්ගේ අත සෝදා ගැනීම නොවේ.

එසේම මෙහිදී අමතක නොකළ යුතු කාරණය වන්නේ ලන්ඩන් හී උපවාසයේ යෙදෙන පිරිස් මෙරට ගැටුම් සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය සහ ඔවුහු එහිදී අතිශෝක්තියෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සිදුකරන ඇරත් දැක්වීම් හඳුනා ගැනීමය. බොහෝ දෑ එක්කෝ තම තමන්ගේ සරණාගත ඉල්ලුම්පත්‍රය කෙසේ හෝ අනුමත කර ගැනීම සඳහා රඟදක්වන නාඩගම්ය. නැතහොත් වෙනත් දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා සිදුකරන අමූලික අසත්‍යය ප්‍රචාරණයන්ය.

එලෙස කෑකෝ ගසන කිසිවෙකු, යාපනයේ හෝ නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත් වූ එක පවුලකගේ හෝ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට යැයි කියමින් අඩුතරමින් වැසිකිලියක් හෝ තනාදී තිබේද? මෙරට ගැටලුව හිඟන්නාගේ තුවාලයක් මෙන් ඉතාම අප්‍රසන්න ලෙස අවභාවිත කරණ පිරිසක් නොසිටින බව කිසිවෙකුට හෝ කිව හැකිද? එබැවින්, මෙම කාරණාවල ඇති සියලුම පැති සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සහ ඒවා මෙම ආයතන වල සේවය කරන අයවලුන්ට ඉගැන්වීම ඉතාම වැදගත් වේ. එසේම ලපයි සිපයි සියල්ලම මාධ්‍යය ඉදිරියේ රජයේ මතය ඉදිරිපත් කිරීම සඳහා බලය දීම නොව, එම රටවලින් එම රටවල භාෂා කතා කරන අයවලුන් සේවයට යොදවා මාධ්‍යය ඉදිරියේ රජයේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා සේවයේ යෙදීම වැදගත් වේ.

රාජ තාන්ත්‍රික සම්බන්ධතා වලදී වැදගත් වන්නේ, රටේ අභිනවය උදෙසා ක්‍රමෝපායිකව කටයුතු කිරීම මිස, පුහු වීරත්වයෙන් සහ සංවේදී ( ඉමෝෂනල්) කාරණා වලට මූලික තැන ලබා දෙමින් දුර්වලයින් සේ හැසිරීම නොවේ. ලන්ඩන් නාඩගමින් රටේ ජනතාවගේ බදු මුදලින් යැපෙන සියලු දෙනාටම උගන්වා ඇති පාඩම නිවැරදිව හැදෑරීම වැදගත් වන්නේ මේ නිසාය.

තානාපති සේවය, යැයි රටට අවශ්‍යය වන්නේ; තම තනතුර අවභාවිතා කොට පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සිදුකරන බිස්නස්කාරයින් ස්ථූල කිරීම නොවේ. එසේම ස්ත්‍රී දූර්තයින් නඩත්තු කිරීම නොවේ. එසේම බේබද්දන් රාජ්‍යය කටයුතු මෙහෙවීම සඳහා යොමුකිරීම නොවේ. එසේම, හීන් නූලෙන් තම තමන්ගේ පෞද්ගලික ආශාවන් සපුරා ගැනීම සඳහා දිය රෙද්දෙන් බෙල්ල කපන ගතු කියන්නන් නඩත්තු කිරීම නොවේ. අවශ්‍යය වන්නේ, විෂය ගැන දන්නා සහ රටේ අභිනවය ගැන අවංක චේතනාවෙන් කටයුතු කළ හැකි පුද්ගලයින්ය. ඔවුහු සොයා ගැනීම සහ ඔවුහු වගකිව යුතු තනතුරු වලට පත් කිරීම නායකත්වයේ වගකීමකි.

රටේ ජනතාව තමන්ගේ නායකයා ලෙස පත්කරන පුද්ගලයා සතු මූලික වගකීම වන්නේ එයයි

2018 February 7

Archive

Latest news

Related news