Friday, May 3, 2024

වෛද්‍ය සංගමයේ ත්‍රස්තවාදය පරාජය කළ හැකි හොඳම මග – සුනිල් ජයසේකර

රටක ඕනෑම පුරවැසියෙකුට තමන් විශ්වාස කරන දේශපාලන දැක්මක් තිබිය හැකිය. ඒ දැක්ම තුළ රටේ පාලනයට අදාළ තීන්දු තීරණ ගැනීමට ද අයිතියක් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක එකී අයිතිය අභ්‍යාස කරන්නේ නිදහස් මැතිවරණ හරහාය. එහිදී අවශ්‍ය නම් කෙනෙකුට බලය උදෙසා ද පෙනී සිටිය හැකිය. ඒ තමන්ගේ වන දැක්ම තුළ විශ්වාසය තබන දේශපාලන පක්ෂයක් හරහා හෝ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස මැතිවරණය සඳහා තරග කරමිනි. එය පිළිගත් හා ශිෂ්ට සම්පන්න සමාජයක පාලනයට මැදිහත්වියහැකි ආකාරයයි.

අද වනවිට මේ රටේ පළාත් පාලන ආයතන සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීමට මැතිවරණයක් සඳහා දින නියම කර තිබේ. ඒ අනුව එකී පළාත් පාලන මැතිවරණයට තව ඇත්තේ සති දෙකකටත් අඩු කාල සීමාවකි. ඒ අනුව මේ රටේ පුරවැසියන් මෙන්ම පාලන බලය අපේක්ෂා කරන සියලු දෙනාම ඊට මැදිහත්විය යුත්තේ රටේ පවත්නා නීති රීති වලට අනුකූලව ය. පිළිගත් හා සදාචාර සම්පන්න ක්‍රමවේදයන්ට අනුගතව ය. එහිදී තමන්ට හෝ තමන් නියෝජනය කරන සංවිධාන වලට දේශපාලනික වශයෙන් ලැදියාවන් ද තිබිය හැකිය. එහෙත් ඒ සියලු දෙනා ඒ ලැදියාවන්ට අනුව ක්‍රියාත්මක වියයුතු ආකාරයක් තිබේ. සම්ප්‍රදායක් තිබේ. එහිදී අනුගමනය කළයුතු, අනුගමනය කිරීමට බැඳී සිටින නීති රීති ද පවතී. කිසිවෙකුට හෝ කණ්ඩායමකට හෝ අවශ්‍ය වූ නිසාම පවත්නා හා පිළිගත් සම්ප්‍රදායන්ට පිටස්තරව බලය උදෙසා ඒ අනුව පෙනී සිටිය නොහැකිය. යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඉන් පිටස්තරව සම්ප්‍රදාය විරෝධීව හෝ නීතියට පටහැනිව එවැනි කාර්යයක නිරත වේ නම් ඔවුන් සැලකිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ පුරවැසි අයිතිය සඳහා පෙනී සිටින පුද්ගලයන් ලෙස නොව, ත්‍රස්තවාදීන් ලෙසට ය.

අද වනවිට මේ රටේ සාමාන්‍ය පුරවැසියන් පවත්නා නීති රීති හා සම්ප්‍රදායන්ට ගරු කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් අභ්‍යාස කිරීමට සූදානම් වෙද්දි තවත් පිරිසක් තමන් සතු බලය යොදාගනිමින් මේ රටේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කර තම දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා උත්සාහ කරන ආකාරයක් ද දැකිය හැකිය. වෘත්තීය අයිතිවාසිකම් නාමයෙන් මේ මොහොතේ පෙරට එන බොහෝ කණ්ඩායම් වල සැබෑ අරමුණ ඒ කියන අයිතීන් දිනාගැනීම නොව, ඊට මුවා වී මහජනතාව පීඩාවට පත්කර ඒ තුළ නිර්මාණය කරන සමාජ අසහනය පවත්නා පාලනයට එරෙහිව යොදාගන්නට ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කඩිමුඩියේම තීරණය කර ඇති වැඩ වර්ජනය ද එවැන්නකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගකිව යුතු වෘත්තියක් ලෙස සැලකෙන වෛද්‍යවරුන්ගෙන් සමන්විත වුවද ඊට නායකත්වය ලබාදෙන අතලොස්සකගේ දේශපාලන රුචි අරුචිකම් හා අභිප්‍රායන් සලකා බැලීමේදී ඔවුන් මේ උත්සාහ ගන්නේ අයිතියක් දිනාගැනීමට නොව ඔවුන්ට අවශ්‍ය පිරිසක් බලයට ගෙන ඒම සඳහා උත්සාහ කිරීමකි. පසුගිය කාලය පුරා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සටන් නාමයෙන් සිදුකර ඇති ක්‍රියාමාර්ගයන් සැලකීමේදී ද ඒ තුළ ප්‍රදර්ශනය කර ඇති මහින්ද රාජපක්ෂ දේශපාලනයට ඇති පක්ෂපාතීත්වය අනුව ද ඒ බව තේරුම්ගත හැකිය. ඔවුනට මහින්ද රාජපක්ෂ මහතා හෝ ජී.එල්.පීරිස් මහතාගේ දේශපාලන පක්ෂය බලයට පත්කිරීමට නම් ඒ සඳහා කළයුතුව තිබුණේ එකී ලැයිස්තුවෙන් මැතිවරණයට තරග කරන්නට ය. එවැන්නක් සිදුකළේ නම් එය අතිශයින්ම යුක්ති සහගත වන අතර කිසිවෙකුට ඊට එරෙහි විය නොහැකිය. එහෙත් නිදහස් හා සාමකාමී මැතිවරණයක් සහතික කිරීම සඳහා වගකීමක් මෙන්ම බලය ද සහිත මේ රටේ ස්වාධීන මැතිවරණ කොමිසම වගකිවයුතු පුරවැසියන්ගෙන් හා වෘත්තිය සංවිධාන වලින් ඉල්ලා සිටින වගවීම බැහැර කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන ඇති වැඩවර්ජන තීරණය තුළ පැහැදිළි වන්නේ වෘත්තීය සමිති අරගලයකට පිවිසීමක් නොව, මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන අභිප්‍රායන් සපුරාලීම සඳහා දරන උත්සාහයක් ලෙසට ය.

මේ රටේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සියලුම වෘත්තිය සමිති හා දේශපාලන පක්ෂ වලින් සිදුකර ඇති බලවත් ඉල්ලීමක් තිබේ. ඒ මෙම මැතිවරණ කාලසීමාව තුළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වලට පිවිසීමෙන් වැලකී සිටින ලෙසටය. අඩුම තරමින් ජනවාරි මස 15 වනදා තෙක් එම වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවන ලෙසට ය. මැතිවරණ කොමිසම මෙම ඉල්ලීම කර ඇත්තේ මේ රටේ වෘත්තීය සමිති වලට හා වෘත්තීය සේවාවන්ට දිනාගත යුතුව ඇති සාධාරණ ගැටලු නැති නිසා නොවේ. මේ මොහොතේ සිදුකරන එවන් අරගල හා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයකට බලපෑමක් වියහැකි නිසාය.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෑත කාලයේදී අසාධාරණ හා අයුක්ති සහගත ක්‍රියාමාර්ග වලට පිවිසීම තුළ තම පටු අරමුණු උදෙසා ක්‍රියාත්මක වී ඇතත් වෛද්‍යවරුන්ට ද විසඳාගත යුතු ප්‍රශ්න නැතැයි කිසිවෙකු කියන්නේ නැත. සත්‍යවශයෙන්ම වෛද්‍යවරුන්ට ද විසඳාගත යුතුව ඇති ගැටලු ඕනෑ තරම් තිබිය හැකිය. වෛද්‍යවරුන්ට මෙන්ම අනෙකුත් වෘත්තීන්ට අදාළව ද එවැනි ප්‍රශ්න තිබිය හැකිය. එහෙත් ඒ කිසිම ප්‍රශ්නයක් හදිසියේම මේ මොහොතේම විසඳාගත යුතු තරමේ දැවැන්ත ප්‍රශ්න විය නොහැකිය. එසේනම් ඒ සඳහා ක්‍රියාකිරීමට පසුගිය කාලයේ ඕනෑ තරම් ඉඩකඩ තිබිණ. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ මොහොතේ වැඩවර්ජනයකට යන්නේ හෙට අනිද්දා ඇතිවිය හැකි ලෝක විනාශයකට පෙර තම ප්‍රශ්න විසඳා ගැනීමට නොවේ. තව දින කිහිපයකින් එළැඹෙන මැතිවරණය හේතුවක් කරගනිමින් තම දේශපාලන ස්වාමියාට වාසියක් අත්කර දීමට ගනු ලබන උත්සාහයක් ලෙස එය හැඳින්විය හැකිය. මේ රටේ මීට පෙර ද එවන් උත්සාහයන් ගෙන ඇති පිරිස් නොසිටියා නොවේ. පසුගිය කාලයේ මැතිවරණ කාලසීමාවන්ට අදාළව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් ගත් එවැනි උත්සාහයන් පරීක්ෂා කිරීමේදී ඒ බව පැහැදිළි කර ගත හැකිය.

ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ගන්නා උත්සාහය තුළ ද ඇත්තේ ත්‍රස්තවාදී උපක්‍රමයකි. මේ රටේ සබුද්ධික ජනතාව ඒ බව හොඳින් තේරුම්ගත යුතු වේ. එසේ තේරුම්ගෙන මෙවැනි ත්‍රස්තවාදී උපාය මාර්ග පරාජය කළයුතුව තිබේ. ඔවුන් බලයට ගෙන ඒම සඳහා උත්සාහ කරන ඔවුන්ගේ දේශපාලන ස්වාමීන් පරාජයට පත්කිරීම ඒ සඳහා ගතයුතු හොඳම මග වන්නේය.

සුනිල් ජයසේකර

Archive

Latest news

Related news