Monday, May 20, 2024

නව සුහුරු හැදුනුම්පත පුද්ගලිකත්වයට ඇති අයිතිය කෙළෙසීමකි.

ආන්ඩුව විසින් ඔක්තෝබර් 27 වෙනිදා නව ජාතික හැඳුනුම්පතක් හඳුන්වා දෙනු ලැබීය. සුහුරු කාඩ්පත (smart card) නමින් හඳුන්වන මෙය නවීන විද්‍යුත් තාක්ෂනයෙන් සමන්විතය. එය නිකුත් කිරීම මගින් “වංචනික ක්‍රියා, ව්‍යාජ හැඳුනුම්පත් ජාවාරම” නතර කර මහජනතාවට තම සේවාවන් “කාර්යක්ෂමව හා ගුනාත්මකව” ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසෙන බව පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුනතිලක පවසා ඇත. ආන්ඩුව පවසනුයේ මෙය “ජාතික ආරක්ෂාව හා රටේ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමට පහසුකම් සැලසීම” සඳහා ගනු ලැබූ පියවරක් බවයි.

එහෙත් ආන්ඩුවේ සැබෑ අරමුන එය නොවේ. එය ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව අරගලයට තල්ලුවන කම්කරු පීඩිත ජනයා මැඩලීම සඳහා ධනපති පාලක පන්තිය විසින් ක‍්‍රමානුකුලව ක්‍රියාවට දමමින් සිටින පොලිස් රාජ්‍ය සැලසුම්වල කොටසකි.

මෙම හැඳුනුම්පත සැලසුම් කිරීම ආරම්භ කෙරුනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව යටතේ 2011 වසරේ දී ය. 2011 අගෝස්තු මාසයෙන් ආරම්භ කෙරුන වසර පහක ව්‍යාපෘතියට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ, මහා භාන්ඩාගාරයේ සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති හා ජාතික බුද්ධි අංශ ප‍්‍රධානීහු සම්බන්ධ වූහ.

දැනට පවතින වර්ගයේ හැඳුනුම්පතක් නිකුත් කිරීමේ දී ඉල්ලුම් කරන්නා විසින් පුද්ගලයින් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට සම්පාදනය කලයුතු නම, උපන් ස්ථානය, උපන්දිනය, ස්ත්‍රී- පුරුෂ භාවය හා ලිපිනයට අමතරව නව හැඳුනුම්පත සඳහා ඔහුගේ පවුලේ සියලුම දෙනාගේ “ජීව දත්ත සහ ජීවමිතික ලක්ෂන ලෙස ඇඟිලි සලකුනු, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප‍්‍රමිතියට අනුකූලව ලබා ගනු ලබන ඡායාරුපයක්” ඇතුලත් වේ.

පවුලේ තොරතුරු දීම හෝ නොදීම අයදුම්කරුට තීන්දු කල හැකිබව කියතත් එසේ කල හැක්කේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්ගේ අනුමැතියට යටත්වය.

[alert type=”success or warning or info or danger”]මෙම තොරතුරු මධ්‍ය දත්ත පද්ධතියක් ලෙස ස්ථාපිත කරනු ලබයි. ඉලෙක්ට්‍රොනික යන්ත‍්‍රානුසාරයෙන් කියවිය හැකි තීරු සංකේත ක‍්‍රමයක් (barcode) ද ඊට ඇතුලත් වේ. දරුවෙකු උපන්දා සිට හඳුනා ගැනීමේ අංකයක් ලබා දෙන අතර වයස අවුරුදු 15 සම්පූර්න වූ විට විද්‍යුත් හැඳුනුම් පතක් නිකුත් කෙරේ.[/alert]

දැනට හැඳුනුම්පත් තිබෙන අයට නව හැඳුනුම්පත අනිවාර්ය නැතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කියා ඇති නමුත් ආන්ඩුවේ සැලසුමට අනුව නුදුරු අනාගතයේ දිවයිනේ සියලුම පුරවැසියන් විසින් එය ලබා ගත යුතුය. විද්‍යුත් හැඳුනුම්පත මෙන් ම ජීව දත්ත හා ජීවමිතික තොරතුරු සහිත විද්‍යුත් විදේශ ගමන් බලපත‍්‍රයක් ද නිකුත් කිරීමට ආන්ඩුව සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ආරම්භ කෙරුනේ 1971 ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) කැරැල්ලෙන් පසුව 1972 දී යන්න සැලකිල්ලට ගත් විට මෙවන් හැඳුනුම්පතක් නිකුත් කෙරෙනුයේ ධනපති රාජ්‍යයට එරෙහිව මතුවිය හැකි කවර හෝ දේශපාලන විරුද්ධත්වයක් තලා දැමීමේ දී උපයෝගී කරගනු සඳහා මිස මහ ජනතාවගේ ආරක්ෂාවට නොවන බව පැහැදිලිය.

ජාතික හැඳුනුම්පත සඳහා නෛතික පදනම සකස් කිරීම පිනිස 1968 අංක 32 දරන පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ පනත 1971 හා 1981 පනත සංශෝධනය කෙරුන අතර නව විද්‍යුත් හැඳුනුම්පත හඳුන්වා දීමට අදාලව 2016 අගෝස්තු මාසයේ එය යලි සංශෝධනය කෙරුනි.

නව විද්‍යුත් හැඳුනුම්පතට ඇතුලත් කරන මෙම ජීව දත්ත හා ජීවමිතික තොරතුරු මගින් මහජනතාවගේ පුද්ගලිකත්වය පිලිබඳ අයිතිය බරපතල ලෙස උල්ලංඝනය කෙරෙයි.

දන්ඩ නීති සංග‍්‍රහයට අනුව අපරාධකරුවෙකු ලෙස සැලකෙන අයෙකුගේ වුව ද ඇඟිලි සලකුනු ලබා ගත හැක්කේ ඔහුගේ හෝ ඇයගේ කැමැත්තෙන් හෝ අධිකරන නියෝගයක් මගින් පමනි. නව හැඳුනුම්පත් ක‍්‍රමය යටතේ ස්ථාපිත කෙරෙන විද්‍යුත් දත්ත පද්ධතිය හරහා ඕනෑම පුද්ගලයෙකු යනෙන තැන්, ඔවුන් ගේ දුරකථන කතා බහ ඇතුලු සියලු තොරතුරු ආරක්ෂක අංශවලට අවශ්‍ය මොහොතක ක්ෂනිකව ලබා ගත හැකිය.

ඒ අනුව කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වූ විට මෙම ජීවදත්ත හා ජීවමිතික තොරතුරු උපයෝගී කරගෙන ආරක්ෂක අංශවලට ඔහු හඹා ගොස් අත්අඩංගුවට ගැනීමේ හැකියාව ලබා දෙයි. ධනපති ආන්ඩුවේ ආරක්ෂක යාන්ත‍්‍රනය-පොලීසිය, හමුදාව සහ බුද්ධි අංශ- ක්‍රියාත්මක වනුයේ හුදෙක් අපරාධ කරුවන් දඩයම් කිරීමට නොව; දේශපාලන විරුද්ධවාදීන්, විශේෂයෙන් ම, කම්කරු-පීඩිත ජනයාට එරෙහිවය.

මෙම ජීව දත්ත හා ජීවමිතික තොරතුරු අවශ්‍ය වුවහොත් අන්‍ය රාජ්‍යයන් සමග හුවමාරු කර ගත හැකි අතර ඇමරිකානු රහස් ඔත්තු සේවය (සීඅයිඒ) වැනි ජාත්‍යන්තර රහස් ඔත්තු සේවාවන්ට අන්තර් ජාලය හරහා එම තොරතුරු රහසිගතව ලබා ගැනීමේ හැකියාව ද සැලසෙයි.

නව හැඳුනුම්පතට අමතරව සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ත‍්‍රස්තවාදය වැලක්වීමේ පනත සංශෝධනය කරමින් ඊට අලුතෙන් විෂ දල සවි කල අතර මහේස්ත‍්‍රාත්වරයෙකුට ඉදිරිපත් නොකර සැකකරුවෙකු පොලීසියේ රඳවාගෙන ප‍්‍රශ්න කිරීමේ කාලය පැය 24 සිට 48 දක්වා දීර්ග කල හැකි පරිදි අපරාධ නඩු විධි විධාන සංග‍්‍රහය ද සංශෝධනය කලේ ය.

ධනවාදයේ ගැඹුරුවන අර්බුදය මධ්‍යයේ ලොවපුරා පාලක පන්තීන් එහි බර කම්කරු පන්තිය මත පටවමින් සිටිති. මෙයට එරෙහිව රටක් රටක් පාසා කම්කරුවන් අරගලයට අවතීර්න වෙමින් සිටින තතු තුල එම අරගල මැඩීම සඳහා පොලිස් රාජ්‍ය සැලසුම් ක්‍රියාවට දැමීම පාලකයන්ගේ පිලිවෙත බවට පත්ව ඇත. මෙවන් හැඳුනුම්පත් හඳුන්වා දීමේ හා පුද්ගල ජීව දත්ත හා ජීවමිතික තොරතුරු සහිත දත්ත ගබඩාවන් පවත්වාගෙන යාම එහි කොටසකි.

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2017 නොවැම්බර් 3.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලෝක සමාජවාදි වෙබ් අඩවියෙහි ‘නව ජාතික හැඳුනුම්පත: පොලිස් රාජ්‍ය සැලසුම්වල තවත් විසකුරු පියවරක්‘ මැයෙන් වූ ලිපියෙන් උපුටා ගන්නා ලදී.

Archive

Latest news

Related news