Thursday, May 9, 2024

රංජන් රාමනායකට නඩු පැවැරීම: නීතිඥ සංගමය කැපතකට එබී බැලිය යුතුය

ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය පුවත් පත් නිවේදනයක් කරමින් අධිකරණයට හා නීතිඥ වෘත්තියට විරුද්ධව කරන ලද යම් බරපතල විවේචන සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට විරුද්ධව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කරන බවට තර්ජනය කොට ඇත. අපගේ මේ ප්‍රකාශයේ අරමුණ එම නියෝජ්‍ය ඇමතිවරයා වෙනුවෙන් කරුණු කීම හෝ ඔහුගේ ප්‍රකාශය සාධාරණය කිරීමක් නොවේ. අධිකරණයට හෝ නීතිඥ වෘත්තියට විරුද්ධව විවේචන එල්ල කරන කාට විරුද්ධව වූවත් දඬුවම් පැමිණවීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ එම විවේචනයන්ගෙන් සිදුවිය හැකි හානියට වඩා විශාල වශයෙන් වැඩි හානියක් සිදුවීමය. මෙහිදී කීර්තිමත් ඩෙනින් ස්වාමිවරයා අධිකරණයට අපහාස කිරීම, අධිකරණයේ ආරක‍්ෂාව සඳහා යොදා ගැනීමේ අණුවන කම පිළිබඳව කරන ලද පහත සඳහන් ප්‍රකාශය නැවත මතක්කර ගැනීම සුදුසු යැයි සිතේ.

“මේ අධිකරණ බලය කිසිම සැකයක් නැතිව අපට ඇතත් අප එය පාවිච්චි කළ යුත්තේ ඉතාමත් මසුරු ආකාරයෙනි. එසේ විශේෂයෙන්ම මසුරු විය යුත්තේ එය අපටම සම්බන්ධ වන අවස්ථාවේ දී ය. මා ඉතාම පැහැදිලිව කියා සිටින්නේ මෙම අධිකරණ බලය අපගේම ගෞරවය රැකගැනීම සඳහා කොයිම අවස්ථාවකදීවත් අප විසින් යොදා ගන්නේ නැත. එමෙන්ම අපට විරුද්ධව කථාකරන්නන් මර්ධන කරගැනීම සඳහා ද මෙය අපි යොදාගන්නේ නැත. අප විවේචනයට බය නැත, අප එය නුරුස්සන්නේත් නැත. මන්ද යත් මෙහි අන් සියලු දේට වඩා වැදගත් දෙයක් තර්ජනයට ලක්වේ. එය නම් භාෂණයට ඇති නිදහසය.

පාර්ලිමේන්තුව වූවත් එයින් පිටතදී වූවත් මුද්‍රණ හෝ විකාශණ මාධ්‍යයන් මගින් වූවත් පොදු යහපත පිළිබඳව ප්‍රශ්ණ වලදී ඉතා තදින් වූවත් අදහස් ප්‍රකාශ කිරීම සෑම කෙනෙකුට ඇති අයිතියකි. අධිකරණයක දී සිදුවන සියලුම කරුණු පිළිබඳව නිවැරදිව ප්‍රකාශයක් කිරීමට ද අයිතියක් ඇත. අප (අධිකරණය)අතින් වරදක් සිදුවී ඇති බවත් හෝ අපගේ තීන්දු වැරදි බවත් එම තීන්දු අභියාචනයට යටත්ව තිබෙන අවස්ථාවල හා නැති අවස්ථා වල ඒ ගැන තම මතය ප්‍රකාශයට පත්කළ හැකිය. අප ඉල්ලා සිටින්නේ එකම දෙයක් පමණි, අප විවේචනය කරන්නන් අපගේ ස්වභාවය හා නිලය නිසාම මෙම විවේචන වලට උත්තර දිය නොහැකි තත්ත්වයක පසුවන බව මතක තබා ගත යුතු බවය. ප්‍රසිද්ධ මත භේද වලට ඇතුල්වීමට අපට නොහැකිය. විශේෂයෙන්ම දේශපාලන මතභේද පිළිබඳව අපට කථා කළ නොහැක. අපව සාධාරණ කරගැනීම සඳහා අපට යොදාගත හැක්කේ අපේම ක්‍රියාකලාපය පමණකි. විවේචනයේ මහා සුළං වලට අප මුහුණ දෙමින් සිටියත් මේ පුද්ගලයා හෝ වෙනත් පුද්ගලයෙකු කියන කිසිම දෙයක් අප විසින් නිවැරදි යයි විශ්වාස කරන දේ කිරීමෙන් අපව පසු බැස්ස විය නොහැකිය.”

ඩෙනින් ස්වාමිවරයා රැජින එදිරිව මැට්රෝ පොලීසිය (2WLR1204) 

නීතිඥ සංගමයේ ප්‍රකාශයේ අප සුවිශේෂව කම්පනයට පත්වන්නේ පහත ඇති සඳහන් කිරීමය.

“ලංකාවේ නීතිඥ සංගමය විශේෂ සැළකිල්ලෙන් සටහන් කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට විරුද්ධව, නීතිපතිවරයාට විරුද්ධව හා දැන් අධිකරණයට විරුද්ධව අයුතු හා අනවශ්‍ය පහරදීම් සම්බන්ධයෙනි.“

මේ අයුතු හා අනවශ්‍ය පහරදීම් මොනවාද? නීතිඥ සංගමය වැනි වැදගත් සංවිධානයක් වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට විරුද්ධව හා නීතිපතිවරයාගේ දෙපාර්තමේන්තුවට විරුද්ධව කෙරෙන අයුතු හා අනවශ්‍ය බලපෑම් මොනවාදැයි පැහැදිලිව ප්‍රකාශයට පත්කළ යුතුය.

1) ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් එනම් පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රාථමික කර්තව්‍යය පැහැර හැර තිබේ යැයි කීවොත් එය අයුතු හා අනවශ්‍ය ප්‍රකාශයක්ද?

2) ලංකාවේ රජයේ නඩු පවරන්නා වශයෙන් කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුව සියලුම අපරාධ සම්බන්ධයෙන් අපක්ෂපාතීව හා කාර්යක‍්ෂම ආකාරයෙන් කටයුතු කර නැතැයි කීවොත් එය අයුතු හා අනවශ්‍ය විවේචනයක් ද? සමස්ථ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයේ සියලුම කොටස්කරුවන් අයුතු හා අසාධාරණ නඩු පමා කිරීම් මගින් නීතිය මත පාලනය තර්ජනයට ලක්වන තත්ත්වයක් ලංකාව තුළ ඇතිකර තිබේ යැයි කීවොත් එය අයුතු හා අසාධරණ විවේචනයක් ද?

මේ කිසිදු විවේචනයක් අලුත් ඒවා නොවේ. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ අධිකරණයේ හා නීතිඥයින්ගේ නිදහස පිළිබඳව වාර්තාකාරිනිය ලංකාව සම්බන්ධයෙන් මෑතක දී කරණ ලද දීර්ඝ ප්‍රකාශය තුළ ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රමය තුළ ඇති බරපතල අඩුපාඩුකම් විශාල ගණනාවක් ලැයිස්තු ගත කොට ඇත. අතීතයේ දී නීතිඥ සංගමය විසින්ම කර ඇති සමහර ප්‍රකාශ දෙස බැලුව හොත් අව්‍යාජව හා පැහැදිලිව ලංකාවේ යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ඇති අඩුපාඩු හුවා දක්වා ඇති ආකාරය දකිත හැකිය. ආසියානු මානව හිමිකම් සංවිධානය ලඟදී නිකුත් කොට ඇති “වධ හිංසාව අමානුෂික කෘෘර හා අවමන්සහගත නීති ක්‍රමයක ලක‍්ෂණයක්“ යනුවෙන් ප්‍රකාශයට පත්කොට ඇති පොතක ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රමය තුළ පැණ නැගී ඇති ඉතා විශාල අඩුපාඩුකම් නිසා ලංකාවේ ජනතාවට යුක්තිය සඳහා ඇති අයිතිය අහිමිවන ආකාරය පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ නීතිඥ සංමගමය එම සංගමයේම වෘර්තිකයන් ඔවුන්ගේ වෘර්තිය ඉටුකිරීමට යෑමේ දී රටපුරාම මුහුණ දෙන ගැටළු පිළිබඳව දැන සිටිනවාට සැකයක් නැත. නීතිඥ සංගමයම අධිකරණ ඇමතිවරයා විසින් ගැසට් නියෝගයක් මගින් අත්අඩංගුවට පත්වන සැකකරුවන් හමුවීමට නීතිඥයින්ට ඇති අයිතිය සීමා කරමින් නීති සංශෝධනයක් ගෙන ඒමට විරුද්ධව මැදිහත් වීමක් ද සිදුවිය. නොබෝදා එක් නීතිඥවරයෙකු ඔහුගේ වෘත්තිය කටයුතු නිසා පැහැර ගෙන යෑමට ලක්වී එහිදී බරපතල පහරදීමකට ද තුවක්කුව පෙන්වා මරණ තර්ජන කිරීමකට ද, ලිංගික අපචාරයට ලක්කරන බවට තර්ජනයකට ද, ඔහු සතුව තිබූ මුදල් හා ටෙලිෆෝන් සොරා ගැනීමකට ද ලක්විය. මේ පිළිබඳව පසුව එම නීතිඥවරයා ප්‍රකාශකර සිටියේ ඔහුට විරුද්ධව සිදුවූ අපරාධ පිළිබඳ පරීක‍ෂණය පොලීසිය හිතාමතා නොමග යවා ඇති බවය.

අධිකරණය හා නීතිඥයින් පවතින්නේ රටේ ජනතාවට ඔවුන්ගේ සමාජ තරාතිරම ලිංගිකත්වය ජාතිය හා භාෂාව නොතකා යුක්තිය ඉටුකර දීමට ය. එහෙත් මෙම තත්ත්වය පිළිබඳව ඉතා බරපතල ගැටළු ලංකාවේ පවතින බව නොපෙනිය හැක්කේ අන්ධයෙකුට පමණි.

මොනයම් හේතුවක් නිසා හෝ යම් විවේචනයක් ඉදිරිපත් වන අවස්ථාවකදී එයට ඇහුම්කම් දී පවතින ගැටළු තේරුම් ගෙන ඒවා විසඳා ගැනීමට අවශ්‍ය රැඩිකල් ප්‍රතිසංස්කරණ ගැනීම අවශ්‍ය වේ. එසේ කළ නොහැකි වූවොත් නීතිය මත පාලනයත් සාධාරණව යුක්තිය ඉටුකර ගැනීමත් සිහිනයක් පමණක් වනු ඇත.

නීතිඥ වෘත්තිය උතුම් වෘත්තියක් ලෙස පැවතිය හැක්කේ නීතිඥයිනට යුක්තිය සඳහා සටනට මුහුණ දීමේ හැකියාව හා උවමනාව පවතිනතාක් කල් පමණි. සටන්කාමී නීති වෘත්තියක් නැතිව ගිය හොත් ඒ මගින්ම යුක්තිය සඳහා අරගලය ද යටපත් වී යනු ඇත.

කණ්නාඩිය දෙස එබී බලා තමන්ගේ පෙනීමේ යම් දෝෂයක් දුටුවහොත් ඒවා නිවැරදි කරගැනීම විවේචනයට පිටුපෑමට වඩා යෝග්‍යය. එවැනි අවංක කමකින් හා අව්‍යාජ භාවයෙන් වරදක් සිදුවන්නේ නැත. එහෙත් කුහකව විවේචන මගහැරීමට උත්සාහ කළ හොත් එය නීතිඥ වෘත්තියේ මෙන්ම අධිකරණයේ නිදහසටත් බියෙන් තොරව ජීවත්වීමට ජනතාවට ඇති අයිතියටත් තර්ජනයක් වනු ඇත.

ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය විසිනි/ ලංකා ඊ නිව්ස්

Archive

Latest news

Related news