Friday, March 29, 2024

ආණ්ඩුවේ තොරතුරු අධ්‍යක්ෂ රංග කළන්සුරිය බොරුකාරයෙක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

පින්තුරය: බොරු කියා නහය දික්කරගත් පිනෝකියෝට මෙන්  කළන්සුරියටත් ….

ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත   සකස් කිරීමේ ක්‍රියාදාමයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භයේ සිටම සම්බන්ධ වූ බව ගම්‍ය වන ආකාරයේ ප්‍රකාශයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා විසින් කරනු ලැබ ඇතත්  එය අර්ධ සත්‍යයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි. රංග කළන්සුරිය විසින් මෙම සාකච්ජා කැදවා ඇත්තේ මාධ්‍යවේදීන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යැයි වංචා සහගත ලෙසය.

මෙයින් පෙනී යන්නේ ස්වකීය මාධ්‍ය ජාවරම සාධාරණීයකරනය කිරීම පිනිස මාධ්‍ය සංවිධාන නාමයන් අලෙවී කිරීමට ලංකාණ්ඩුවේ තොරතුරු අධ්‍යක්ෂ වන කළන්සූරිය දරන ලැජ්ජා නැති ප්‍රයත්නයයි.

සිය නිවේදනය මගින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය  මෙසේද කියයි: ‘එම කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කළ පළමු රැස්වීමෙන් පසු සිදු වූ කිසිවක් පිළිබද ඇය හෝ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෝ දැනුවත් නොවීය. මාස කිහිපකට පසු මෙම ක්‍රියාවලියට අදාළ මහජන අදහස් විමසීකට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි අප දැන ගත්තේ පුවත්පත් දැන්වීමකිනි. සෙසු බොහෝ මාධ්‍ය සංවිධාන සම්බන්ධයෙන්ද එම දැනුම්වත්භාවය පිළිබඳ තතු ඊට වඩා යහපත් නොවූ බව අපගේ අවබෝධයයි.’

එම නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනය – 2017 ජුලි 07

ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත – නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් කරුණු පැහැදිලි කිරීමක්.

ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට රට තුළ කිසියම් විවාදාත්මක තත්වයක් පැන නැඟී ඇති අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නමද ඒ විවාදය තුළ කියැවෙමින් තිබේ. එබැවින් ඊට අදාළ කරුණු කිහිපයක් පිළිබඳ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරය පැහැදිලි කළ යුතුව ඇත. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඉහත සඳහන් පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාදාමයට ආරම්භයේ සිටම සම්බන්ධ වූ බව ගම්‍ය වන ආකාරයේ ප්‍රකාශයක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා විසින් කරනු ලැබ ඇත. එය අර්ධ සත්‍යයකි.

මාධ්‍යවේදීන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කියා මාධ්‍ය සංවිධාන හා පුද්ගලයන් කැඳවූ ආරම්භක සාකච්ඡාව සඳහා නිදහස් මාධ්‍යව්‍යාපාරයේ එවකට කැඳවුම්කාරිනී සීතා රංජනී මහත්මිය සහභාගි වූ අතර, එම ගැටලු සාකච්ඡා කිරීමට පත් කළ කමිටුවටද පත් විය. එම කමිටුවේ ප්‍රධානියා වශයෙන් විජයානන්ද ජයවීර මහතා පත් කරනු ලැබිණ. එක් එක් ක්ෂේත්‍රවල මාධ්‍ය කණ්ඩායම් කැඳවා සාකච්ඡා කිහිපයක් පැවැත්වූ අතර අවසානයේ විජයානන්ද ජයවීර මහතාට කෙටුම්පතක් සකස් කිරීමට පැවරිණ.

එම කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කළ පළමු රැස්වීමෙන් පසු සිදු වූ කිසිවක් පිළිබද ඇය හෝ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෝ දැනුවත් නොවීය. මාස කිහිපකට පසු මෙම ක්‍රියාවලියට අදාළ මහජන අදහස් විමසීකට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි අප දැන ගත්තේ පුවත්පත් දැන්වීමකිනි. සෙසු බොහෝ මාධ්‍ය සංවිධාන සම්බන්ධයෙන්ද එම දැනුම්වත්භාවය පිළිබඳ තතු ඊට වඩා යහපත් නොවූ බව අපගේ අවබෝධයයි. එබැවින් මෙම පනත් කෙටුම්පත බිහිවීමේ ක්‍රියාවලියේදී මාධ්‍ය ප්‍රජාවගේ සහභාගිත්වයද එහි විනිවිද දක්නා භාවයද මුල සිට ගැටළු සහගත විය. මෙම පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය පිළිබඳ විවෘත සංවාදයක් ඇති වීමට එයද බාධාවක් වීම අවාසනාවන්ත තත්වයකි.

කෙසේ වෙතත්, ආචාරධාර්මික මාධ්‍ය භාවිතය පිළිබඳ නියාමනයද ඇතුළත් පුළුල් මාධ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක අවශ්‍යතාව වෙනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙනී සිටින්නේ බොහෝ කලකට පෙර සිටය. අද එය වඩාත් ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවට පත් වෙමින් තිබේ. එහෙත් එම ක්‍රියාදාමය පුළුල් සංවාදයකින් හා මාධ්‍ය ප්‍රජාවගේ සහභාගිත්වයෙන් සිදු විය යුතු බව අපගේ ස්ථාවරයයි. කෙසේ වෙතත් මෙම පනත් කෙටුම්පත පිළිබඳව සංවිධානයක් ලෙස අප අධ්‍යයනයක යෙදී සිටින අතර එමගින් මේ පිළිබඳ අපගේ ස්ථාවරය පළ කිරීමට ද සූදානමින් සිටිමු.

එහෙත් අවසාන විග්‍රහයේදී මෙබඳු ක්‍රියාවලියක සාර්ථකත්වය රඳා පවතින්නේ මාධ්‍ය සංවිධාන ඇතුළු පුළුල් මාධ්‍ය ප්‍රජාවේ සහභාගිත්වය, හා විශ්වසනීයත්වය මේ කෙරෙහි දිනාගැනීමට හැකිවීම මත බව අවධාරණය කරමු.

සී. දොඩාවත්ත
කැඳවුම්කරු

Archive

Latest news

Related news