ජායාරූපය: (C)Abdul-Halik Azeez,
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය යටතේ පවතින යහපාලන ආණ්ඩුව සුළුජන ප‍්‍රජාවන්ට, විශේෂයෙන් මුස්ලිම් ප‍්‍රජාවට, ද්‍රෝහී වී ඇති බව, හිටපු ඇමතිවරයෙකුද, හිටපු කථානායකවරයෙකු සහ පේ‍්‍රමදාස/රාජපක්ෂ හිතවාදියෙකුද වන ඒ. එච්. එම්. අස්වර් ඇතුළු තවත් මහින්දවාදී මුස්ලිම් ජාතිකයෝ අතලොස්සක් කියති. ඔවුන්ගේ මතය සමග එකඟ නොවීමට මට හේතුවක් නැති අතර එම අදහස මම ද එකහෙලා අනුමත කරමි. එහෙත් මුස්ලිම්වරුන් සඳහා ඇති විකල්පය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යැයි ඔවුන් කියන විට ඊට මම එකහෙලා විරුද්ධ වෙමි.
2009 සිට 2015 දක්වා පාලනයේ සිටි මහින්ද රාජපක්ෂ සුළු ජාතිකයන්ට හිතවාදී ජනාධිපතිවරයෙකු සේ නොපෙනුණි. එසේම, ඔහු සුළු ජාතික ප‍්‍රජාවන්ගේ දුක්ගැනවිලිවලට ආමන්ත‍්‍රණය කිරීමේ කැමැත්තකින් සිටියේද නැත. සුළු ජාතිකයන් කෙරෙහි ඔහු තුළ පැවති තදබල නොතැකීම, යුද්ධයේ ජයග‍්‍රහණයට සම්බන්ධ කාරණයක් නොවේ. මන්ද යත්, ඒ ජයග‍්‍රහණය සඳහා මුස්ලිම් ජාතිකයන් ද ඇතුළු ශ‍්‍රී ලාංකිකයන් බහුතරයක් ඔහුට සහාය දී ඇති බැවිනි. අද වන විට තවමත් දිග් ගැස්සෙන ජාතිවාදී න්‍යාය පත‍්‍රය තුළ, මුස්ලිම් ජනතාව ‘ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩියක’ තත්වයට පත්ව සිටිති.
ගත වූ යහපාලනික වසර දෙක තුළ, මුස්ලිම් පල්ලිවලට සිදු කළ හානි, මුස්ලිම් ජාතිකයන්ට සිදු කළ අඩන්තේට්ටම් සහ තර්ජනවලට අදාල පැමිණිලි 38 ක් වාර්තා වී ඇති බව අස්වර් කියයි. (එය මම ප‍්‍රතික්ෂේප නොකරමි). එහෙත්, 2013 සිට 2015 ජනවාරිය දක්වා, මහින්ද රාජපක්ෂගේ ජනාධිපති කාලය තුළ මෙවැනි සිදුවීම් 538 ක් වාර්තා වී ඇති බව ඔහු සඳහන් නොකරයි. ඒ බව, ඉතා ඉහළ පිළිගැනීමක් ඇති මුස්ලිම් සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයක් වන ‘මුස්ලිම් ලේකම් කාර්යාලය’ මගින් සවිස්තරාත්මකව සූචිගත කොට තිබේ. සර්ව බලධාරී අල්ලා දෙවියන් වහනේසේට අපහාස කිරීම සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට එරෙහිව පියවර ගන්නා ලෙස ‘මුස්ලිම් කවුන්සිලය’ ඉල්ලා සිටි පෙත්සමකට අත්සන් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 25 දෙනා සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන දැක්වූ නොතැකීම ගැන සඳහන් කරන අස්වර්, බෞද්ධ අන්තවාදය සහ අලූත්ගම ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව පියවර ගන්නැයි ඉල්ලා සිටි මුස්ලිම් මන්ත‍්‍රීවරුන් 18 දෙනාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා සැළකූ ආකාරය අමතක කරයි.
අලූත්ගම ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව පියවර ගන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමට එදා සිටි මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතරින් අත්සන් නොකෙළේ ඔහු සහ නුවර අබ්දුල් කාදර් පමණක් වන බවත් මේ අතර අස්වර්ට අමතක වී තිබේ. මුස්ලිම් දේශපාලන නායකත්වයේ මතකය ඒ සා කෙටි වීම කණගාටුවට කාරණයකි. මැතිවරණයක් ළඟ එන විට ඔවුන් කරන්නේ දිනන පක්ෂයට ගාල් වීමයි.
බලහත්කාරයෙන් මුස්ලිම් පල්ලි වසා දැමීමට පවා මහින්ද පියවර ගත් බව කවුරුත් දනිති. මහියංගනය සහ ග‍්‍රෑන්ඞ්පාස් සිද්ධි ඊට උදාහරණයි. 2005 සහ 2015 අතර කාලයේ මේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂික මුස්ලිම් සටන්කාමීන් සිටියේ කොහේද? අලූත්ගම ගිනි ගන්නා විට මොවුන් සිටියේ කොහේද?
වෙළඳ ව්‍යාපාරයක් පමණක් වන ‘ෆැෂන් බග්’ ආයතනයේ සාප්පු සහ ගබඩා පවා, බෞද්ධ භික්ෂූන් යටතේ සංවිධානය වු මේ අන්තවාදියෝ එදා විනාශ කළහ. ඒ භික්ෂූන් සහ ප‍්‍රචණ්ඩකාරීන්ව අත්අඩංගුවට ගන්නැයි තදබල ඉල්ලීමක් ඇති වූ විට, ‘ෆැෂන් බග්’ හිමිකරුවන්ට කතා කොට මහින්ද රාජපක්ෂ මෙසේ කියා ඇති බවට ආරංචි තිබේ: ‘‘ඔයගොල්ලන්ට රට පුරාම ඔය සාප්පු තියෙනවා. ඉතිං, ඔයගොල්ලෝ පොලීසිට ගිහිං මේ භික්ෂුන් වහන්සේලාව අත්අඩංගුවට ගත්තොත්, ඒ සාප්පු ඉතුරු වෙයි කියලා හිතනවද?’’
මහින්ද රාජපක්ෂගේ ජාතිවාදි ප‍්‍රවේශය
2005 නොවැම්බර් මාසයේ මහින්ද රාජපක්ෂ බලයට පත්වූ දා සිට, සුළුතර ප‍්‍රජාවගෙන් බහුතරයක් ඔහු සමස්ත ජාතියේ ජනාධිපතිවරයා වශයෙන් දුටුවේ නැත. 2005 දී වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ට මිලියන 600 ක පගාවක් දී මුළු උතුරු පළාතේම ජනතාව ඡන්ද අයිතිය පාවිච්චි කිරීමෙන් වළකනු ලැබීය. එසේ නොවුණි නම් ඔවුන්ගෙන් අති බහුතරයක් රනිල් වික‍්‍රමසිංහ සඳහා ඡන්දය පාවිච්චි කොට ජනාධිපති වශයෙන් ඔහුව තෝරා පත්කර ගනු ඇත.
සුළු ජාතික ප‍්‍රජාව කොන් කොට, සිංහල බෞද්ධයන්ව සැනසීමේ ජාතිවාදී ප‍්‍රතිපදාව මහින්ද රාජපක්ෂ බලයට පත්වීම ආරම්භයේ සිටම පැහැදිළිව කැපී පෙනුණි. යුද්ධය අවසන් කිරීම සඳහා ඔහු අනුගමනය කළ සිංහල අන්තවාදය සහ හමුදාමය ප‍්‍රවේශය නිසා සිංහල බෞද්ධ ප‍්‍රජාව අතරේ ඔහුට විශාල සහායක් ලැබුණි. උතුරේ මුස්ලිම් ජනතාව පලවා හරිමින් වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ගෙන ගිය මුස්ලිම් විරෝධී අඩන්තේට්ටම් නිසා, ප‍්‍රභාකරන්ගේ භීෂණය අවසානයක් කිරීම සඳහා මුස්ලිම් ජනතාවගේ සහයෝගයත් මහින්ද රාජපක්ෂට ලැබුණි. 2010 දී ඔහු පෙර නොවු විරූ තරමේ ජයග‍්‍රහණයක් ජනාධිපතිවරණයෙන් අත්කර ගන්නේ ඒ තත්වය ඔස්සේ ය.
මේ ජයග‍්‍රහණයෙන් පසුව, තවදුරටත් සුළුජන ප‍්‍රජාවගේ සහයෝගයක් තමන්ට අවශ්‍ය නැතැයි ඔහුට සිතෙන්ට ඇති. තුන්වැනි වරටත් ජනාධිපති වීම සඳහා ඔහු පැවති ව්‍යවස්ථාව ඒ අනුව වෙනස් කර ගත්තේය. 2015 ජනවාරි මාසයේදී ඔහුට ආපසු මැදමුලනට යන්නට සිදුවුණේ ඒ ඉරණම්කාරී වැරදි ගණනය හේතුවෙනි. දැන් නැවතත් ඒ සුළුජන ඡන්ද දායකයාට බෝලයක් බස්සා අගමැති වීමට ඔහු මානබලයි.
මේ උපාය මාර්ගය දියත් කිරීමට වෙහෙසෙන බොහෝ දෙනා ඇති බව පෙනේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමන්ත‍්‍රණයකින් දෙවැනි වරටත් රනිල් වික‍්‍රමසිංහව පලවා හැර, පරණ ශ‍්‍රී ලංකා නිදහස්කාරයන් සමග ‘දීගයකට’ ගොස් තමන්ට ගොඩ ඒමේ හැකියාවක් ඇතැයි යන සිහිනය තුළට ජනාධිපති සිරිසේනව ගෙන ඇතැයි යන සැකයක් දැන් තිබේ. මහින්ද රාජපක්ෂ වෙනම තරග කළහොත් ඉදිරි මැතිවරණයකදී තමන්ට අත්විය හැකි පරාජයේ අවමානයෙන් ගැලවීමේ මගකට මෛත‍්‍රිපාල සිරිසේන අකමැති වන එකක් නැත.
මල්වතු සහ අස්ගිරි පාර්ශව නායක ගරුතර මහා සංඝයා වහන්සේලාගේ තත්වයට, රට පුරා වෛරය වපුරන ‘බොදුබල සේනා’ නායක වර්ගවාදී ගලබොලඅත්තේ ඥානසාර භික්ෂුවව මෛත‍්‍රීපාල සිරිසේන විසින් ඔසවා තබා ඇති බව සත්‍යයකි. ඒ මෝඩ කමට ඔහුව පොළඹවා ඇති බව පෙනෙන්නේ, අධිකරණ සහ බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ විසිනි. මහරගම/හෝමාගම බෞද්ධ ඡන්ද ගරා ගැනීම සඳහා තමන්ට ඒ මගින් සෙතක් සැලසේ යැයි මේ ඇමතිවරයා සිතනවා වන්නටත් පුළුවන.
රාජපක්ෂ ආණ්ඩුවේ අන්ත ජාතිවාදයත්, භීෂණකාරී කල්ලිවලට ඔහු සපයා දුන් ආරක්ෂාවත්, තව බොහෝ කලකට මුස්ලිම් ජනතා මතකයෙන් ඈත් නොවෙනු ඇත. යහපාලනය තුළට රිංගා ගත නොහැකි වු කිහිප දෙනෙකු රාජපක්ෂගේ අතීත අපරාධවලට සුදු හුණු ගෑමට දැන් ඉදිරිපත් විය හැකිය. එහෙත් ඒ අතීත අපරාධවලට සමාව දීමේ මනෝ භාවයක මුස්ලිම් ජනතාව නැත.
ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරු
ශ‍්‍රී ලංකාවේ මුස්ලිම්වරු සිංහල බහුතරය සහ දෙමළ ප‍්‍රජාව අතර සිර වී සිටිති. 30 අවුරුදු වාර්ගික යුද්ධය තුළදී මුස්ලිම් ප‍්‍රජාවෙන් බහුතරයක් ආණ්ඩුවට සහයෝගය දැක්වූ අතර ඒ සඳහා විශාල වන්දියක් ද ගෙව්වෝය. බොහෝ දෙනා ඝාතනය වුහ. කත්තන්කුඩු ජුම්මා පල්ලියේ යාච්ඤා කරමින් සිටියදී ඝාතනය වූ 147 දෙනා ද ඊට අයත් ය.
උතුරු පළාතේ සමස්ත මුස්ලිම් ජනතාවම බලහත්කාරයෙන් පලවා හරින ලදි. තමන්ගේ ගෙවල් දොරවල් අතහැර යාමට සමහරුන්ට ලැබුණේ පැය දෙකක කාලයක් පමණි. අනිත් අයට ලැබුණේ පැය 24 ක කාලයක් පමණි. ඔවුන් එසේ තම නිවෙස් හැර දා පිටත් වුණේ රුපියල් 500 ක් වැනි සොච්චමක් සහ අත්‍යාවශ්‍ය ලිපි ලේඛන කිහිපයක් පමණක් රැගෙන ය. එසේ ගිය ඔවුහූ අවුරුදු 22 ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ පුත්තලමේ සහ රටේ වෙනත් තැන්වල සරණාගත කඳවුරුවල ජීවත් වූහ.
මේ සරණගාතයන් පුත්තලමට පැමිණි අවස්ථාවේ තමන් ඔවුන්ට උදව් කළ බවට අස්වර් කී කතාව සැබෑවකි. ඔහු පමණක් නොව, එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය ඉදිරියේ වින්දිතයන් වූ මේ අසරණයන්ට පිහිට වූ තවත් දහස් ගණනක් සිටියහ. මේ ජනතාව මෙවැනි අන්තරායකට පත්වුණේ වෙන කිසිවක් නිසා නොව, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ඊලාම්වාදයට එකඟ නොවීම නිසා ය.
ඇතැම් බෞද්ධ අන්තවාදීන් සහ නොමග ගිය පරිසරවාදීන් පිරිසක් නැවතත් මෙම ජනතාව බිය ගන්වති. මුස්ලිම් ජනතාව තමන්ගේ ගේ දොරවලින් බලහත්කාරයෙන් පන්නා දමන අවස්ථාවේ ඔවුන් ජීවත්ව සිටි භූමිය විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත් භූමියකැයි ඔවුහූ කියති. ඒ අනුව, අවුරුදු සියයකට වඩා පැරණි ඔප්පු සහ ආණ්ඩුවේ අවසර පත් පවා ඇති එම ජනතාවගේ ඉඩම් ද ඇතුළත් වන ආකාරයෙන් විල්පත්තු සීමාව පුළුල් කිරීම දැනට කරගෙන යමින් තිබේ. යුක්ති ධර්මය විකාරයක් වී ඇති මහත!
ගෝඨා සාධකය
‘සමහර විට ගෝඨා ජාතිවාදියෙකු නොවිය හැකි’ යැයි මා කියන විට මුළු මුස්ලිම් ප‍්‍රජාවම මට එරෙහිව අවි අමෝරා නැගී සිටිය හැකිය. අර රකුසු ‘බොදුබල සේනාවේ’ නිර්මාතෘවරයා ගෝඨාභය බවට චෝදනාවක් තිබේ. එම ලේබලය ඔහුට ඇලවුණේ, එම සංවිධානයේ වැඩි කල් නොපැවති ගාල්ලේ ශාඛාව විවෘත කිරීමට ඔහු සහභාගී වූ නිසාත්, ජාතිවාදීන්ට සහ අන්තවාදීන්ට ඔහු එදා රැකවරණය සැපයීමත් නිසා ය.
ඒ නරක නාමය ඔහු කැමැත්තෙන්ම ආරෝපණය කරගත්තේ, ස්වකීය සහෝදරයා වු මහින්ද රාජපක්ෂව ආරක්ෂා කර ගැනීම සඳහා යැයි මම තරයේ විශ්වාස කරමි. 2009 යුද ජයග‍්‍රහණයෙන් පසු මේ රටේ සුළු ජන ප‍්‍රජාව පීඩාවට පත්කළ ‘බොදුබල සේනාව’ සහ වෙනත් අන්තවාදයන් සහ ජාතිවාදයන් පසුපස සැබවින්ම සිටි තැනැත්තා සමහර විට මහින්ද රාජපක්ෂ විය හැකිය.
‘බොදුබල සේනාවේ’ ගාල්ල ශාඛාව විවෘත කිරීමට ඔහු ගියේ මන්දැයි හිටපු ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂගෙන් ඇසීමට මට වරක් අවස්ථාව ලැබුණි. ඔහුගේ පිළිතුර නිරායාස එකක් විය. සරළ එකක් විය. පූජ්‍ය කිරම විමලජෝති ස්වාමීන් වහන්සේ තම පවුලට සමීප, තම ගම් පළාත වන වීරකැටියේ භික්ෂූන් වහන්සේ කෙනෙකු බවත්, දවසක් එම ස්වාමීන් වහන්සේ මිලින්ද මොරගොඩ සමග තමා හමුවීමට පැමිණ ගාල්ලේ බෞද්ධ මධ්‍යස්ථානයක් විවෘත කරන ලෙස ඉල්ලා සිටි බවත් ඔහු කීය. එය ‘බොදුබල සේනා’ මධ්‍යස්ථානයක් බව ඔහු දැන සිට නැත. එසේම බෞද්ධයෙකු වශයෙන් බෞද්ධ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ වරදක් ඔහු එහිදී දැක නැත.
මගේ මතකය නිවැරදි නම් ඔහු මෙසේ ද කීය: ‘‘කරුණාකරලා එතනදී මං කරපු කතාවට ඇහුම්කන් දෙන්න. මං කිව්වා, තම තමන්ගේ ආගම් අදහන අතරේ හැම ජාතියක්ම එකට ජීවත් වෙන්න ඕනේ කියලා.’’ ග‍්‍රීස් යකා සහ හලාල් සිද්ධියේදී ඔහු සමග කටයුතු කොට ඇති කෙනෙකු වශයෙන්, ඔහු කී එම කතාව විශ්වාස නොකිරීමට හේතුවක් මට නැත.
ඊළඟ මැතිවරණයකදී ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වන බවට කටකතා තිබේ. එසේම, චීනයට ගොස් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යයනය කිරීමේ සූදානමක් ඇති බවද කියැවේ. එයින් අදහස් වන්නේ, රට පාලනය කිරීම සඳහා චීනය විසින් ඔහුව පුහුණු කැරැුවීමක්වත්ද? මේ වන විට ලංකාවේ යොදවා ඇති යෝධ චීන ආයෝජන ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවත් ඇති පසුබිමක, රාජපක්ෂ කෙනෙකු ලංකාවේ නායකත්වයට පත්කර ගැනීම තරම් ඔවුන්ට හිතකර තවත් දෙයක් තිබිය නොහැක.
ගෝඨාභය රාජපක්ෂ රටේ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් මට ඇත්තේ මිශ‍්‍ර හැඟීමකි. සංවර්ධනයට අදාළව පොරොන්දු පරිදි ක‍්‍රියාකිරීමට ඔහුට ඇති හැකියාව ගැන මගේ ගෞරවයක් තිබේ. එහෙත් ඔහුගේ දරදඬු පාලන ඌරුව ගැන එසේ කිව නොහැක.
දිගට යන දීගය ද, නැත්නම් දික්කසාදය ද?
එළැඹෙන මාස කිහිපය තුළ, 1948 න් පසු එළැඹෙන දරුණුතම නියඟයට මේ රට මුහුණදීමට නියමිතයි. එහෙත් ජාතියේ ස්ථාවරත්වයට ඇති ඊට වැඩි අභියෝගයක් මම දකිමි. එය, දේශපාලනිකව දික්කසාද වීම හෝ එකට ජීවත් වීම පිළිබඳ ප‍්‍රශ්නයකි.
ජනාධිපතිවරයා ඒක පාර්ශ්වීය තීන්දු ගනිමින් විශාල භේදයක් ඇති කරවයි. ඊට මනා නිදසුනක් වන්නේ, මුදල් ඇමතිවරයා විසින් රුපියල් 30 දක්වා වැඩි කළ ලොතරැයි පත්වල මිළ රුපියල් 20 දක්වා ඔහු විසින් අඩු කිරීමයි. ඔහු යහපාලන ප‍්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම් කළ යුතුව තිබුණේ, එහි මිළ අඩු කරන ලෙස මුදල් අමාත්‍යවරයාට දන්වා සිටීම මිස ඔහුව හෑල්ලූවට ලක් කිරීම නොවේ. රාජ්‍යකරණයේදී ජනාධිපතිවරයා යම් සැලකිල්ලකින් තොරව කටයුතු කළ ප‍්‍රථම වතාව මෙය නොවේ.
අනිත් අතට එක්සත් ජාතික පක්ෂයත්, බැඳුම්කර සිද්ධියේ පටන් වොල්ක්ස්වාගන් හුටපටය දක්වා බොහෝ වැරදි කොට තිබේ. මේ තත්වය තුළ, මෙකී මගුල ඉදිරියට ගෙන යන්නේද නැත්ද යන්න ගැන නායකයන් එකට වාඩි වී කතා කිරීම අත්‍යාවශ්‍ය ය. එහි දී, 2020 දක්වා රට කැරැවිය යුත්තේ කවුරුන්ද යන්න ගැන ප‍්‍රබල පණිවිඩයක් නිකුත් කිරීමට රටට අවස්ථාව උදා වන්නේය.
හිල්මි අහමඞ්
*2017 ජනවාරි 21 වැනි දා ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පතේ පළවූ Yahapalanaya Lapses: Is Mahinda the Option for Muslims? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි