Sunday, April 28, 2024

ජනපති සිනහව බලෙන් බිත්තියේ එල්ලීමේ ප්‍රතිවිපාකය නරකය – නිලන්ත ඉලංගමුව

නිලන්ත ඉලංගමුව.

ප්‍රභාකරන් තම සේයාරුව දෙමළ ජනතාවගේ නිවෙස්වල එල්ලා තැබීම සඳහා බල කළේය. සෑම වීර පවුලකම ඔහුගේ සේයාරූ එල්ලා තිබීම අනිවාර්යය අංගයක් විය. එසේම ස්ටාලින්, හිට්ලර්, මුසෝලිනි ආදී නායකයන්ගේ සිට මාර්කෝස්, සුහර්තෝ, පොල්පොට් පමණක් නොව ඉඩි අමීන් දක්වා වූ සියලුම නායකයින් තම සේයාරුව එල්ලා තැබීම සඳහා ජනතාවට දේශපාලනික වශයෙන් බල කරනු ලැබීය. නමුත්, ඇතැමුන් ඇතැම් නායකයින්ගේ සේයාරූ තම නිවසේ එල්ලා තබා ගනු ලැබුවේ කිසිඳු බල කිරීමක් නොමැතිවය. මන්ද ඔවුහුට අදාළ නායකයින් ගැන සැබෑ ගරුත්වයක් තිබු හෙයිනි. ගාන්ධි, ජින්නා, මැන්ඩෙලා, අම්බෙඩ්කාර්, චේ, ෆිදෙල්, අවුන් සාන් සුකී ඊට කදිම නිදසුන්ය. මෙම සේයාරූ කතාව මූලික කොටගෙන පැන නගින උභතෝකෝටිකය තුළ බලයට පත්වන ඕනෑම නායකයෙකු පැටලේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සේයාරුව සහ හමුදා බට පිරිසකගේ සේයාරූ ඇතුළත් සේයාරූ දෙකක්, ශ්‍රී ලංකා රජයේ මුදල් වලින් තනා නැවත පදිංචි කිරීම යටතේ විපතට පත් ජනතාවට ලබාදෙන නිවාස වල එල්ලා තිබේ. එමඟින් මෛත්‍රිපාල සිරිසේන මහතා දේශපාලන සංහිදියාව බලාපොරොත්තු වන්නේද? එසේම සිරිසේන මහතාගේ “නිල සේයාරුව” රජයේ වියදමෙන් රාමුකොට අදාළ නිවාස වලට එල්ලා තැබීමෙන් බලාපොරොත්තු වන්නේ හුදු දේශපාලන වාසියක් ලබා ගැනීමද? මෙවැනි පටු ප්‍රචාරණ ව්‍යාපෘතියක නිරතවීමට හේතුව ජනාධිපතිවරයා තම අනන්‍යතාවය ගැන බරපතළ අර්බුදයකින් පෙළෙන බැවින්ද? එසේ නොවේ නම්, මෙය ජනාධිපතිවරයාගේ දේශපාලනය අපකීර්තියට ලක් කිරීම සඳහා වෙනත් කිසිවෙකු විසින් කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද?

අමිහිරි අතීතය තුළ අමිහිරි යට ගියාව යළිත් අවුස්සා සැකය නමැති බීජ වපුරණ මෙවැනි දෑ තුළින් සමාජය තුළ ව්‍යාප්ත කිරීමට උත්සහ දරණ පටු අරමුණු හේතුවෙන් සිදු විය හැකි එකම කාරණය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් උදා වී ඇති අමිල අවස්ථාව අහිමි වීමක් පමණක් වේ.

එවිට සිනහවපෑල දොරින් පැන යනු ඇත
එවිට සිනහවපෑල දොරින් පැන යනු ඇත

දේශපාලනඥයෙකු ලෙස, මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වී ආලවන්ත වාග්මාලාවක් මුදා හරිමින්, තමන්ට “උතුමාණන්” “හිස් එක්සලන්සි” සහ තම බිරිඳට “ආර්යාව” “ෆස්ට් ලේඩි” වැනි වචන භාවිතා කිරීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එවැනි දෙයක් කීම විප්ලවීය කාරණයක් ලෙස දුටු ඇතැමුන් එවැනි වදන් අසා සතුටු කඳුළු හෙළුහ.

නමුත්, ඉතාමත් කෙටි කාලයකින් පසු දැකීමට ඇත්තේ, සිහිනය තුළ කියවුණු දෑ වලට සම්පූර්ණයෙන්ම වෙනස්, කටුක සහ පැරණි අධිපතිකාරී සංස්කෘතියේ භාවිතයක් පමණි. මෙරට පරිපාලන ක්‍රමවේදය සකස් වී ඇත්තේ ඒ අනුවය. මෙය ඕනෑම නායකයෙකු ක්‍රමිකව විනාශයට ඇද දමන ක්‍රමවේදයක් මිස එම නායකයාට සමාජ ගරුත්වයක් සහ විශ්වීය පිළිගැනීමක් ලබා දෙන ක්‍රමවේදයක් නොවේ. මෙම පරළු වී ගොස් ඇති කෛරාටක සහ ස්ව-භක්ෂක ක්‍රමවේදය වෙනස් නොකරන තාක් දුරට, එය තමන් ගිල ගන්නා අවස්ථාව තමන්වත් නොදන්නේය.

මෙවැනි ගඳ ගහන ක්‍රමයක් වෙනස් කළ හැකි මූලික ක්‍රමවේද තුනකි. පළමුවැන්න; ප්‍රචණ්ඩත්වය මූලික කරගත් විප්ලවයක් මාර්ගයෙනි. දෙවැන්න; සමස්ථ භූමිය ගොදුරුවන ස්වභාවික විපතකින් හෝ නොදන්නා බලවේගයක් විසින් සිදුකරණ ආක්‍රමණයකිනි. තුන්වැන්න, රටේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සහ යුක්තිය කාටත් එක හා සමාන ලෙස සිදුවන බව රටේ මහජනතාවට දැනීමට සැලැස්වීම මඟිනි. ඉහත සඳහන් කළ කාරණා තුනෙන් පළමු කාරණය සඳහා මෙරට තල්ලු නොකිරීම කාගේත් වගකීම් වේ. මන්ද විප්ලව යැයි නම්කරමින් කළ සියලුම මගෝඩි කම් වලින් අහිමි වූයේ මෙරට බුද්ධිය සහ ශක්තිමත් මිනිසුන්ය. එසේම මේ රට ප්‍රචණ්ඩත්වයෙන් හෙම්බත් වූ රටකි. දෙවැනි කාරණය කිසිවෙකුට පාලනය කළ නොහැකි කාරණයකි. එසේනම්, රටේ ගැටලු විසඳිය හැකි එකම ප්‍රායෝගික ක්‍රමය යුක්තිය සිදු කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලීය ශක්තිමත් කිරීමෙන් පමණි. ප්‍රායෝගික වශයෙන් දැකිය හැකි සහ අනිවාර්යයෙන් යහපත් ප්‍රතිඵල උදා කර ගත හැකි එකම ක්‍රමවේදය එය වේ. ඒ සඳහා අවශ්‍යය වන්නේ අවංක කම මිස ව්‍යාජ මවා පෑම නොවේ.

ජනපතිතුමනි. බලෙන් පින්තූර එල්න්නේ ඇයි?
ජනපතිතුමනි. බලෙන් පින්තූර එල්න්නේ ඇයි?

බොහෝ දෙනෙකුට සුන්දර වාග් මාලාවන් මුදා හරිය හැකිය. එසේ, මුදා හැර තම සැබෑ ස්වභාවය තමන් හොඳාකාරවම දන්නා නිසා පූර්ණ සැකයකින් තම වටපිටාව තුළ ජීවත් විය හැකිය. හැකි තරම් අනෙකාට එරෙහිව ගුණ්ඩු අටවමින් අනෙකා විනාශ කිරීම සඳහා මාන බැලිය හැකිය. බලය නමැති මෝහනීය වස්තුව මිනිස් විෂයය තුළ සුනාමි ඇතිකරන්නේ එලෙසය. මෙවැනි දෑ මෙරට පමණක් නොව ලෝකයේ බොහෝ තැන් වල සිදුවුණා සේම සිදුවෙමින් තිබේ. මන්ද, සමාජයක් ප්‍රචණ්ඩත්වයට ඇද දැමීම ඉතාම පහසු කාර්යයකි. නමුත්, සමාජයකින් ප්‍රචණ්ඩත්වයේ බීජ ඉවත් කිරීම අතිශය අපහසු කාර්යයකි. එය දීර්ඝ කාලීන සාමුහික වැඩපිළිවෙලකි.

දශක තිහක යුද්ධයෙන් පීඩා වින්දේ උතුර පමණක් නොව දකුණද පීඩා වින්දේය. එසේම, ගැටලු ඇත්තේ උතුරේ ශිෂ්‍යයින්ට පමණක් නොව දකුණේ ශිෂ්‍යයින්ටද එක හා සමාන ගැටලු තිබේ. මෙහි ඇති වෙනස වන්නේ, සිංහල ජනතාව උතුරු-නැගෙනහිර පළාත් වල පැවති යුද්ධය නිසා පමණක් නොව 71 සිට 80 අගභාගය දක්වා දකෙනේ සිංහල තරුණයින් සිංහල ආණ්ඩුව විසින් මරා දැමීමේ මර්ධනයෙන්ද පීඩා වින්දේය.

එපමණක් නොව, අන්තවාදීන් සිටින්නේ සිංහල සමාජය තුළ පමණක් නොව, දෙමළ සහ මුස්ලිම් සමාජ වලද උග්‍ර අන්තවාදීන් සහ ප්‍රචණ්ඩත්වයට ආවඩන්නන් සිතිති. මේ සියලුම දෑ මතුපිට රෝග ලක්ෂණ මිස, සැබෑ රෝග කාරකයන් නොවේ. රටක සමාජ ක්‍රමය වෙනස් කළ හැකි එකම ක්‍රමය අවශ්‍යය තැනට අවශ්‍යය ප්‍රතිකාරය ලබා දීම මිස, කෙනෙකුගේ හද සනසන අතර තුර තවත් දහසකගේ හදවත් තුවාල කිරීම මාර්ගයෙන් නොවේ.

සිරිසේන මහතාගේ ශ්වේත වර්ණ සිනහව සටහන් වී ඇති නැවත පදිංචි කළ පවුල් වලට තනාදුන් නිවාස වල එල්ලා ඇති සේයාරුවෙන් ඔප්පු කරනු ලබන්නේ, රට හමුවේ ඇති ස්වර්ණමය අවස්ථාව අපහරණය කිරීමට තම සිතැඟියාවන් මෙහෙයවන අවලස්න්න ආකාරයයි. ගරුත්වය බලෙන් ලබා ගැනීමට වෙර දරණ සෑම අවස්ථාවකදීම, තම ජීවිතය පුරා ඒ දක්වා උපයාගෙන සිටි ගරුත්වයද පෑළ දොරින් පැන යන්නේය. එවිට, දේශපාලනික වශයෙන් ශක්තිමත් වීම සඳහා තමන් විසින් ඊට පෙර ප්‍රතික්ෂේප කළ බොහෝ අකටයුතුකම් බදා ගැනීමට සිදු වේ. නායකත්වය අප්‍රසන්න නායකත්වයක් ලෙස තම තනතුරින් බැහැරට යෑමට සිදු වේ.

එම අවාසනාවන්ත තත්වයට මෛත්‍රී ගොදුරු නොවේ යැයි සිතමු. මන්ද රටේ බොහෝමයක්, තවමත් ඔහුට පෙම් බඳින බැවිනි.

Archive

Latest news

Related news