Thursday, May 2, 2024

සුනිලා අබේසේකර: අතිශය තීරණාත්මක ඇගේ හඩ අතීතයේ මෙන්ම අදත් අවැසිම ය

දයාපාල තිරාණගම විසිනි.

‘‘ඇගේ කතිකාව, එය ‘න්‍යායාත්මක’ හා දේශපාලනික වන අවස්ථාවලදී පවා කවදාවත් සරලමතික හෝ ‘විෂයමූලිකකරණයට ලක්වූ’, විශ්වීයකරණයට ලක්වූ එකක් නොවූ අතර ඇය ඇගේ කථාව ඉතිහාසය තුළ රදවයි. — Helene Cixous and Catherine Clement, The Newly Born Woman, 1986.

සුනිලා අබේසේකර සමග මගේ පළමු හමුව අමතක නොවන එකකි. ඒ 1976 ජූලි මාසයයි. මා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය තුළ රදවනු ලැබ සිටියෙමි. මම මාගේ සිර කුටිය තුළ රැදි සිටියේ තවත් අලූත් වධදීම් වටයකට මුහුණදීමට සූදානමිනි. සති දෙකකට පෙර මාගේ විශ්වවිද්‍යාල නේවාසික ස්ථානයෙන් පැහැර ගත්තාට පසු මා දිගින් දිගටම එවැනි වධදීමේ අවස්ථාවන්ට මුහුණ පා සිටියෙමි.

එක්වරම, කොහෙන් මතු වූවා දැයි සිතාගත නොහැකි විදිහට තරුණ, වැදගත් ලෙස හද පැළදගත් මධ්‍යම පාංතික පෙනුමක් තිබූ තරුණියක් මාගේ පොලිස් සිරකුටිය ඉදිරියේ පෙනී සිටියාය. ඇය මා මගේ නමින් ඇමතුවාය. අත්අඩංගුවට ගත්තාට පසු මට සම්මුඛ වූ පළමු අමුත්තාය මේ. සීඅයිඩිය මගේ පැහැර ගැනීම හෝ මා පොලිස් ස්ථානයක රදවා සිටින බව වාර්තා කොට තිබුණේ නැත. කිසිවෙක්ට මා බැලීමට අවසරයද ලබා දී තිබුණේ නැත. රදවා ගත්තාට පසු, ඔවුහු මට වධ හිංසා පැමිණ වූහ. මගේ ශරීරය සහ මනස මවෙතින් ගිලිහී යතැයි හැ‍ෙගන තරමට ඔවුහු මට වධ දුන්හ. මගේ පැවැත්ම ගැන මට විශ්වාසයක් නොවීය. මට මෙවර ගෙදර යාමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි මාගේ වධකයෝ පැවැසූහ. මගේ අත් ඉදිමී තිබුණි. ඔවුන් මාගේ නියපොතු උගුල්ලා තිබූ නිසා මාගේ අත් බරපතල ලෙස තුවාල වී තිබුණි. ඒ නිසා මගේ ඇදුම්වල බොත්තම් දමා ගැනීමේ හැකියාව මට නොවී. මා සිටියේ මාගේ යට ඇදුමිනි. මගේත් සුනිලාගේත් මිත‍්‍රත්වය ආරම්භ වූයේ මේ අසාමාන්‍ය වටපිටාව තුළය. ඇය කැළණිය විශ්වවිද්‍යාලයෙන් මවෙත පණිවුඩයක් රැගෙනවිත් තිබුණාය. මා හට වධ හිංසා පැමිණවිම නතර කිරීම සහ වහාම මා නිදහස් කිරීම යන සටන් පාඨ මත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය පංති වර්ජනයක් සංවිධානය කොට ඇති බව ඇය මට දැනුම් දුන්නාය. සුලූ මොහොතකට හෝ පොලිස් ස්ථානය තුළ සිදු වූ ඇගේ ධෛර්යවන්ත පෙනී සිටීම, මාගේ පැහැර ගැනීමට හා වධ පැමිණවීමට සාක්ෂි තිබෙන බවට වූ තහවුරුවක් වූයේය.

සුනිලාගේ මරණයට සති කිහිපයකට පෙර, ඇය සමග වූ මාගේ එක් අවසාන හමුවකදී, අප මුල්ම වරට හමුවූ ආකාරය ඇය ආවර්ජනය කළාය. රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියාට මාව බැලීමට අවශ්‍ය බව ඇය ඒත්තු ගැන්වු අන්දම ඇය සිහිපත් කළාය. මා එවැනි සිද්ධීන් ගැන ලිවිය යුතු බවට ඇය එහිදී මගෙන් ඉල්ලා සිටියාය. මේ ලිපිය තුළින් මා උත්සාහ කරන්නේ අපගේ ඉතිහාසයේ දශක හතරක පමණ කාලයක් පුරා දිවෙන ඉතාම මර්දනකාරී යුගයක් තුළ සුනිලා විසින් දැක්වූ සමාජ ක‍්‍රියාකාරීත්වය නැවත හදුනාගැනීමට සහ ඇයට ආචාරය පුද කිරීමටය. රටේ බල පැවැත්වූ ප‍්‍රචණ්ඩ, සාහසික සහ මිනීමරු දේශපාලන ඉතිහාසය ඇගේ ක‍්‍රියාකාරීත්වයේ ස්වරූපය හැඩ ගැස්වීය. අනෙත් අතට ඇය ලංකාවේ මානව හිමිකම් ව්‍යාපාරයේ ස්වරූපය හැඩ ගැස්වූවාය.

‘සර්වාධීකාරී උපකරණ සමග නිහඩ කුමන්ත‍්‍රණයකින් සම්බන්ධ වූ දේශපාලන, සමාජ හා ආර්ථික සංසිද්ධීන් මිනිසුන් හුදෙක් වැඩිමනත් දෙයක් බවට පත් කරයි. එමගින් ගම්‍ය වන හැගවුම ජනතාවගේ උපයෝගිතාවාදී සාමාන්‍ය දැනුම විසින් මනාව ග‍්‍රහනය කරගනු ලැබෙන අතර බොහෝ රටවල ඔවුහු මරණයේ භීතිය ඉදිරියේ බලාපොරොත්තු විරහිත වෙතැයි හැනා අරෙන්ඞ්ට් නිරීක්ෂණය කරයි. (පිටුව 624, 2004)

මේ භීෂණකාරී වකවානුව තුළ ලංකාවේ රාජ්‍යය සහ සන්නද්ධ කණ්ඩායම් පැත්තෙන් ගත් විට, සාමකාමී දේශපාලන විසදුම් ඇති කරගැනීම සදහා වූ ශක්‍යතාවය නොසලකා හරින ලදී. එසේ නොසලකා හරින ලද්දේ සංවාදය සහ සාකච්ඡා සදහා දේශපාලන අවකාශයක් තිබියදීය. එවැනි යම් යම් අවස්ථා උදා වූ තැන්හීදී පවා, ඒවා නරුමවාදී ලෙස යොදා ගත්තේ ඊළග අදියරේදී නැවත ප‍්‍රතිසංවිධානය වී අනෙකාව නිර්දය බලය යොදා විනාශ කරදැමීමේ පරමාර්ථය වෙනුවෙනි. ජනතා විමුක්ති පෙරමුණේ 1971 තරුණ නැගිටීමත්, 1987-89 සමයේ ඔවුන් දියත් කළ සිංහල කැරැල්ලත්, එමෙන්ම ලංකා රාජ්‍යයට එරෙහිව දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වසර තිහක් පුරා ගෙන ගිය බෙදුම්වාදී යුද්ධයත් එවැනි අවස්ථා ගණනාවක් අත්දුටුවේය. මේ සියලූ ක‍්‍රියාවලීන් අවසන් වූයේ රාජ්‍යය මේ ව්‍යාපාරවල නායකයින් මුලිනුපුටා දැමීමෙන් සහ ඒවායේ ක‍්‍රියාධරයින් සමූලඝාතනය කර දැමීමෙනි.

ලංකාව තුළ මේ අරගල වකවානු වලදී මිනිසුන් ‘වැඩිමනත් දේ’ බවට පත් කෙරෙන භයානක අපරාධ තැති ගන්වන සුලූ පරිමාණයකින් පැතිරී ගියේය. මේ නැගිටීම්වල වින්දිතයින් පිළිබද අද වනවිට හෙළිදරවු වී තිබෙන දත්ත මනුෂ්‍ය සංහාරය පිළිබද මනා හෙළිදරවුවක් වන අතර අරෙන්ඞ්ට්ගේ නිරීක්ෂණයන්වල අදාළත්වය පෙන්නුම් කරන්නක්ද වන්නේය. මෙම අපරාධවල වගකීම ඒවායේ සැලැසුම්කරුවන් මත – එනම් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් මත – පැටවී ඇත. එහෙත් මේ අපරාධවල බලපෑම සහ ඒවා විසින් සිවිල් සමාජය මත ඇති කර තිබෙන තුවාල කැලැල් සමාජයේ සියලූමදෙනා කෙරෙහි බලපා තිබේ. එවැනි පසුබිමක් තුළ සුනිලා මානව ගරුත්වය සහ ජීවිතය සදහා වු අයිතිය වෙනුවෙන් අරගල කිරීමේදී නිර්භයව ඉදිරිපත් වූවාය.

1971 ජවිපෙ අරගලයට පසු අත්අඩංගුවට ගනු ලැබූ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සදහා පිහිටුවන ලද සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය සුනිලාගේ මානව හිමිකම් ක‍්‍රියාකාරීත්වයේ ආරම්භයයි. 1978 දී එක්සත් ජාතික පක්ෂ රජය විසින් දේශපාලන සිරකරුවන් නිදහස් කළාට පසු ඇය කෙටි කාලයකට ජවිපෙට සම්බන්ධ වූ අතර ඔවුන්ගේ සතිපතා ඉංග‍්‍රීසි ප‍්‍රකාශනය වූ ‘Red Power’ පුවත්පත සංස්කරණය කළාය. එහෙත් බරපතල මත ගැටුම් මත 1980දී ඇය ජවිපෙ හැර යයි. එතැන් පටන් සුනිලා අඛණ්ඩව මානව හිමිකම් ක‍්‍රියාකාරීත්වයේ නියැලූණු අතර ඉන්පසු කිසි අවස්ථාවක පක්ෂ දේශපාලනයට සම්බන්ධ වූයේ නැත.

1980 දශකයේ මුල් භාගය ජාතික ප‍්‍රශ්නය මගින් හැඩගැස්වන ලදී. ජාතික ප‍්‍රශ්නය ලංකාවේ වාමාංශය සදහා වූ ලිට්මස් පරීක්ෂණය බවට පත්විය. මේ දශකය අනුගාමී මර්දනකාරී රෙජිමයන් අත්දුටු දශකයක් විය. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති වැනි ඩ‍්‍රැකෝනියානු නීති හදුන්වා දෙන ලද අතර ඒවා දශක ගණනාවක් බලපැවැත්වීය. දෙමළ සටන්කාමී කණ්ඩායම්වල පැන නැගීමත් සමග දෙමළ ජනතාවගේ දේශපාලන දුක්ගැනවිලි කේන්ද්‍රීය තලයකට පිවිසුණේය. සුනිලා මර්ජ් (වාර්ගික හා අන්තර්වාර්ගික සමගිය හා සමානත්මතාවය සදහා වු ව්‍යාපාරය) සමග වැඩ කළාය. දෙමළ ජනයාගේ දේශපාලන හා ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් පිළිබද අවබෝධය වැඩි දියුණු කිරීම සදහා මේ ව්‍යාපාරය ක‍්‍රියා කළේය. 1980 දශකය අගභාගය දක්වාත්, ඉන් පසුවත් මේ ව්‍යාපාරය සජීවීව පැවැතුණි. දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට සහය පළ කරමින් දක්ෂිණ ලංකාවේ ප‍්‍රත්‍යන්තය තුළ ජාතිවාදී-විරෝධී සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කතිකාව බලගැන්වීම සදහා සුනිලා ඇප කැප වී කටයුතු කළාය.

දෙමළ ජනතාවට බලය විමධ්‍යගත කිරීමේ පරමාර්ථය සහිතව 13 වන සංශෝධනය හදුන්වා දුන්නාට පසු ජනතා විමුක්ති පෙරමුණ 1987-89 වකවානුවේදී රජයට එරෙහි සිය මිලිටරි ක‍්‍රියාන්විතය ඇරඹීය. බලය බෙදීමට පක්ෂ වූ සියලූමදෙනා ජවිපෙ විසින් දඩයම් කළ අතර, අනුකම්පා විරහිතව ඔවුන් ඝාතනය කළේය. වාමාංශික ක‍්‍රියාධරයින් පවා ජවිපෙ ඉලක්ක බවට පත්විය. 13 වන සංශෝධනයට සහය දැක්වූ සුනිලා වැනි කාන්තා ක‍්‍රියාකාරිනීන්ට පවා ජවිපෙ තර්ජනය හේතුකොට ගෙන යටිබිම්ගතවීමට සිදුවිය. මේ කාලයේ මම සුනිලා සමග සමීපව වැඩ කළෙමි. මා ඇතුලූ තවත් ක‍්‍රියාකාරීන් ගණනාවකට යටිබිම්ගත දේශපාලන ජීවිතයක් ගත කිරීමට ඇය උදවු කළාය. අනෙත් අය ජීවත් කිරීම වෙනුවෙන් සුනිලා දැනුවත්ව සිය ජීවිතය පරදු තැබුවාය.

ඇය පොලිස් ස්ථාන, බන්ධනාගාර සහ වෙනත් තැන්වල රදවා සිටින අය සහ යටිබිම්ගතව සැගවී ජීවත් වූ අය මුණ ගැසුණාය. ඒ ඔවුන්ට ඇවැසි ආධාර ලබාදීම පිණිසය. එවැනි හමුවීම් ඇය උදවු කළ අය තුළ ඇති කළේ මහත් බලපෑමකි. ඇය එලෙස දෙන ලද උපකාර ඔවුන්ට අතිමහත් වූවා පමණක් නොව අතිශයින් වටිනා දෙයක් වූයේය. එවැනි එක් උදාහරණයක් වන්නේ එල්ටීටීඊ සංවිධානය විසින් මාගේ බිරිද රාජිනී මරා දැම්මාට පසු ඇය සිදුකළ උදවු උපකාරයෝය. මා ඒ වනවිට සිටියේ යටිබිම්ගතව සැගවීය. මා හට රාජිනීගේ අවසන් කටයුතු සදහා සහභාගීවීම පිණිස යාපනයට යාම වෙනුවෙන් සැලැසුම් වූ දුෂ්කර වූත් අවදානම් සහගත වුත් ගමන සංවිධානය කළේ සුනිලාය. රාජිනීගේ ඝාතනයෙන් මාසයකට පසු යාපනය නගරයේදී උද්ඝෝෂණ පාගමනක් පැවැති අතර සුනිලාගේ මෙහෙයවීමෙන් ඊට දකුණින් ද ක‍්‍රියාකාරීන් පිරිසක් සම්බන්ධ වූහ. කොළඹ නගරයේත් සැමැරුම් රැස්වීමක් ඇය විසින් සංවිධානය කරන ලදී.
තමාට විරුද්ධකම් පෑ අය කෙරෙහි පවා ඇගේ මානව හිමිකම් ක‍්‍රියාකාරීත්වය විහිදුණි. ජවිපෙ ක‍්‍රියාකාරීන්ට එරෙහිව රාජ්‍යය විසින් මුදාහළ භීෂණය නිසා ඇය කම්පනයට පත්වූවාය. ජවිපෙ ක‍්‍රියාකාරීන් අමු අමුවේ මරා දමා පාරවල් අයිනේ දමා යාම රජයේ පුරුද්දක් බවට පත්වී තිබුණි. භාගෙට පිලිස්සී ගිය මල සිරුරු ලංකාවේ ගම්බද ප‍්‍රදේශවල එකල සුලභ දසුනක් විය. එල්ටීටීඊ සංවිධානයේ පරාජයට පසුව පවා, දෙමළ ජනතාවට දේශපාලන බලය බෙදීමක් කිරීමෙන් වැළැකී සිටීමට රජය විසින් විශාල වශයෙන් භාවිතා කරන ජාතිවාදයේ හා දේශපේ‍්‍රමය පිළිබද පටු සංකල්පනයේ ගොදුරක් බවට සුනිලා කවදාවත් පත් නුවූවාය. මේ අර්ථයෙන් ගත් විට සුනිලා අපගේ යුගයේ සැබෑ ශ‍්‍රී ලාංකිකයෙක් හා දේශපේ‍්‍රමියෙක් වන්නීය. සුනිලා කවදාවත් එල්ටීටීඊ සංවිධානයට හෝ ඔවුන්ගේ බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට සහය දැක්වූයේ නැත. කෙසේ වෙතත් මවිසින් එල්ටීටීඊ සංවිධානය දේශපාලනිකව විග‍්‍රහ කළ ආකාරය සහ ඔවුන්ගේ සාහසික ක‍්‍රියාවලට මා ප‍්‍රතිචාර දැක්වූ ආකාරය සම්බන්ධයෙන් සුනිලා ඇතැම් විට මතවාදීව වෙනස් වූවාය. අවුරුදු 30ක් පුරා ලංකා රජය සහ දෙමළ සටන්කාමීන් අතර ඇවිලී ගිය යුද්ධයේදී සුනිලා අපහාස හා ජීවිත තර්ජන නොතකා දෙමළ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියාය. මූලික අයිතීන්, මානව ගරුත්වය සහ ජීවිතය සදහා වූ අයිතිය මහා පරිමාණයෙන් උල්ලංඝනය වෙමින් පැවැති යුගයක අප සියල්ලන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් සුනිලා දැක්වූ කැපවීම හා ඇගේ ක‍්‍රියාකාරීත්වය අතිශය තීරණාත්මක විය. ඇය අපගේ යුගය නිර්වචනය කළාය. මහත් ලාලසාවකින් කැපවීමකින් හා අඛණ්ඩතාවයකින් ඇය එය සාක්ෂාත් කරගත්තාය.
ගෝත‍්‍රික සහ ජාතික සීමා මායිම් විනිවිද, දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම්වල ආරක්ෂාව වෙනුවෙන් ඇය දැක්වූ කැපවීමේ හදවතෙහි සුනිලාගේ ස්ත‍්‍රීවාදය ගැබ් වී ඇතැයි මම විශ්වාස කරමි. එදිරිවාදීකම්වල යුගයක බාහිර උපකාරයකින් තොරව පැවැතීමට අපොහොසත් වූ පවුල්, මිනිසුන්, ගැහැණුන් හා ළමුන් හට හඩක් ලබාදීම වෙනුවෙන් වූ සක‍්‍රීය කැපවීමක් ඇගේ භාවිතය විසින් විදහා දැක්වීය. වාර්ගිකත්වය, භාෂාව, ආගම, ස්ත‍්‍රීපුරුෂභාවය, පංතිය, සංස්කෘතිය සහ දේශපාලන පක්ෂපාතීකම් නොතකා ඇය මනුෂ්‍යත්වය පිළිබද ගැඹුරු හැගීමක් විදහා දැක්වූවාය. විශේෂයෙන් යුද්ධ කාලයේදී මෙය පැහැදිලිවම දක්නට ලැබුණි. මේ පරමාර්ථ සාක්ෂාත් කරගැනීම සදහා සුනිලා විවිධ ව්‍යුහයන් නිර්මාණය කළේය. ඇය ආරම්භ කළ ෂභත්‍ධඍඵ වැනි ආයතනත්, කාන්තා හා මාධ්‍ය සංවිධානත් තවමත් සක‍්‍රීයව පවතින අතර සුනිලා ආරම්භ කළ කටයුතු ඒවා විසින් දිගටම පවත්වා ගෙන යමින් සිටී. ඇය විසින් ඇරඹූ මාවත අනුගමනය කරන බොහෝ ස්ත‍්‍රීන් වෙත ඥානාලෝකය සපයන්නක් බවට ඇය මේ සංවිධාන හරහා සිදුකළ වැඩකටයුතු පත්වී තිබේ. කලාකාරිනියක, ගායිකාවක, නිළියක ලෙස සුනිලා තුළ පැවැති බහු විධ කුසලතා මිනිසුන් සමග වැඩ කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇයට අතිරේක පහසුවක් හා කාර්යක්ෂමතාවයක් ගෙන ආවේය.

අතීතයේ මෙන්ම තවමත් අතිශය තීරණාත්මක ඇගේ හෙඞ් අවශ්‍යතාවය තදබල ලෙස පවතී. ඇගේ වියෝව බරපතළ අහිමි වීමකි. මානුෂික හා ද්‍රව්‍යමය අර්ථයෙන් යුද්ධය විසින් මොන තරම් විශාල විනාශයක් සිදුකොට තිබුණත් තවමත් දේවල්වල ප‍්‍රගතියක් ඇති වී තිබෙන්නේ සුලූ වශයෙනි. අපගේ සමාජයේ දේශපාලන හා මානව හිමිකම් පිළිබද සංවාදය තුළ මැර කල්ලි සංස්කාතියක් මුල් බැසගෙන ඇත. සුලූතර ප‍්‍රජාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ජාතියක් ලෙස අප තුළ තවමත් ඇත්තේ අල්පතර ගෞරවයකි. අපගේ දේශපාලනය වඩා මානුෂවාදී වනු ඇති බවට සහතිකයක් නැත. ප‍්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතියක් ජනතාව බිය පත් කරන ආකාරයත් ප‍්‍රාදේශීයව ඔවුන්ගේ භීතිය ශක්තිමත් කරන ආකාරයත් ගැන මනා උදාහරණයක් ඌව පළාත් සභා ඡන්දය සමයේ දියත් වී ඇති ප‍්‍රචණ්ඩකාරීත්වය විසින් පෙන්නුම් කරනු ලබයි. වසරකට පෙර, 2913 නොවැම්බර් 13 වනදා, රටේ විවිධ පැති වලින් පැමිණි දහස් ගණන් ජනතාව සුනිලාගේ නිවෙසේ සිට මහරගම ගොඩිගමුව සුසාන භූමිය දක්වා ගමන් කළ ඇගේ අවමගුල් පෙරහැරට එක්වූහ. එම පෙරහැර ඇගේ මවගේ, දියණියගේ සහ මේ වසරේ මැයි මාසයේ පිළිකා රෝගය සමග කළ දීර්ඝ සටනකින් පසු ඛේදජනක ලෙස මිය ගිය ඇගේ පුතු සංජේගේ මූලිකත්වයෙන් ගමන් ගත්තේය. අවමගුල් පෙරහැරේදී දක්නට ලැබුණු ඔවුන්ගේ ශෝකභරිත මුහුණු සුනිලාගේ ජීවිතය සහ ඇගේ වැඩකටයුතු පිළිබද වූ අභිමානයක සලකුණු විදහා දැක්වීය. තම මව ධනය උපයනවාට වඩා මිනිසුන්ගේ විශ්වාසය උපයා ගැනීමේ වැදගත්කම ගැන තමාට නිරන්තරයෙන් සිහිපත් කළ බව අවමංගල සභාව ආමන්ත‍්‍රණය කරමින් සුනිලාගේ දියණිය – සුභා පැවැසුවාය. සුනිලාට අවසන් ගෞරව දැක්වීම පිණිස රැස්වී සිටි දහස් ගණනක ජනතාව සුනිලා තම දරුවන්ට පැවැසූ දේ සිය ජීවිතය තුළ සැබැවින්ම අභ්‍යාස කළ බව විදහා දැක්වූ මනා සාක්ෂියක් බදු විය.

1998දී මානව හිමිකම් ක්ෂේත‍්‍රය සදහා එක්සත් ජාතීන්ගේ ත්‍යාගයත්, 2007 දී හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් පිරිනමන මානව හිමිකම් ආරක්ෂක ත්‍යාගයත් ඇයට පිරිනැමිණ. ඒ වූ කලී මානව ගරුත්වය සහ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සුනිලා කළ අපිරිමිත වූත් අසමසම වූත් වැඩකටයුතු ජාත්‍යන්තර බහුමානයට පාත‍්‍ර වූ අවස්ථාවෝය. තරුණ පරම්රාව වෙනුවෙන් සුරක්ෂිත ලෝකයක් බිහිකරනු වස් ඇය අප‍්‍රතිහත ධෛර්යයකින් යුතුව වැඩ කළාය. සමාජ යහපත පිණිස වූ ඇගේ කැපවීම සියලූම දෙනාට අදර්ශයක් සහ මහත් අනුප‍්‍රාණයක් සපයයි. එවැනි මිනිසුන් දුලභය. සුනිලාගේ වැඩ කටයුතු ගැනත්, සියලූම ජාතික ප‍්‍රජාවන්ගේ දායකත්වයක් සහිත ජාතියක් ගොඩනැගීම සදහා ඒවා උදවු කරගත හැකි ආකාරය ගැනත් අප අපගේ බාල පරම්පරාවන්ට ඉගැන්විය යුතුය. අපගේ අනාගත පරම්පරාව, සියලූම ලාංකිකයන් සදහා සුරක්ෂිත ලෝකයක් බිහිකිරීම වෙනුවෙන් සිය මුලූ ජීවිතය කැප කළ නිර්භය ලෙස ඒ වෙනුවෙන් වැඩ කළ ශ්‍රේෂ්ඨ දේශපේ‍්‍රමියෙක් ලෙස සුනිලාට සිය ආචාරය පුද කරන යම් දිනක් අනාගතයේ උදා වනු ඇත.

( 2014 සැප්තරම්බර් මාසයේදී ලියන ලද ලිපියකි)

Archive

Latest news

Related news