Thursday, May 2, 2024

‘වින්දිතයන්ට පිළිගත හැකි යාන්ත්‍රණයක් අවශ්‍යයි; ශ්‍රී ලංකාවේ ප්‍රගතියක්; ඉඩම් දීම වේගවත් කරන්න’ – බැන්-කි මූන්

( 2009 ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවෙහි රෝගී අවතැන්වූවකුට අත දෙක බැන් කි මූන්ක ජයාරූපය දි හින්දු අනුග්‍රහයෙනි)

‘ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කළ යුතුයි’

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ බව පැවසෙන යුද අපරාධ සහ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විශ්වසනීය යාන්ත්‍රණයක් අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි.

එය වින්දිතයන්ට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවටද පිළිගත හැකි ආකාරයේ යාන්ත්‍රණයක් විය යුතු බවත් සිය ශ්‍රී ලංකා නිල සංචාරය අවසානයේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් බැන් කි මූන් කියා සිටියේය.

කෙසේ නමුත් අදාළ යාන්ත්‍රණයට විදේශීය විනිසුරන්ද සම්බන්ධ විය යුතු දැයි මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක් ලබා නොදුන් මහලේකම්වරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කළ යුතු බවයි.

යුද අපරාධ චෝදනා පිළිබඳව විභාග කිරීම සඳහා මසක් ඇතුලත පරීක්ෂණ මඩුල්ලක් පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය වසරේ මාර්තු මාසයේ ලන්ඩන් නුවර සංචාරයක් අතරතුරදී බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය.

‘වින්දිතයන්ට පිළිගත හැකි, විශ්වසනීය යාන්ත්‍රණයක් අවශ්‍යයි’

දේශීය සහ ජාත්‍යන්තර විනිසුරන්ගෙන් සැදුම් ලත් මිශ්‍ර අධිකරණයක් විසින් එම චෝදනා විභාග කළ යුතු බවයි, ඉන් අනතුරුව පසුගිය වසරේ සැප්තැම්බරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය නිර්දේශ කළේ.

එහෙත් අදාළ පරීක්ෂණය සඳහා විදේශීය විනිසුරන් යොදා ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව මේ වසරේ ජනවාරි මාසයේදී ජනාධිපතිවරයා බීබීසී සංදේශයට පැවසීය. (සාකච්ඡාව නරඹන්න)

කෙසේ නමුත් දේශීය අධිකරණය පිළිබඳව විශ්වාසය බිඳ වැටී ඇති බැවින් යුද අපරාධ චෝදනා පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව දෙමළ ජාතික සන්ධානය ඇතුළු පිරිස් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාව තුල ප්‍රබල මතභේදයකට ලක්ව තිබෙන එම ප්‍රශ්නය සම්බන්ධයෙන් සෘජු ප්‍රකාශයක් කිරීමට මහලේකම්වරයා උනන්දුවක් නොදක්වූ බවයි මාධ්‍ය සාකච්ඡාවේදී දක්නට ලැබුණේ.

සිය තෙදින නිල සංචාරයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා උතුරේ මෙන්ම දකුණේද සංචාරය කළ අතර, ආණ්ඩුවේ සහ විරුද්ධ පක්ෂයේ නායකයන්ද මුණගැසී සාකච්ඡා කළේය
.
ශ්‍රී ලංකාවේ ප්‍රගතියක්; ඉඩම් දීම වේගවත් කරන්න

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුව බොහෝ අංශවල ප්‍රබල ප්‍රගතියක් ලබා තිබෙන බව මහලේකම්වරයා පවසයි

ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාදාමයෙහිලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ආණ්ඩුව ප්‍රබල ප්‍රගතියක් දක්වා තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැන් කි මූන් පවසයි.

ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ ආරාධනයෙන් කොළඹදී දේශනයක් පැවැත්වූ මහලේකම්වරයා, යුද සමයේ උතුරු නැගෙනහිර ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් ආපසු ලබාදීම වේගවත් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක්ද කළේය.

රටේ යහපාලනය උදාකිරීම, දේශපාලන ප්‍රතිසංස්කරණ, වැරදිකරුවන්ට දඬුවම් නොදීම මෙන්ම බලය යුතු ලෙස යොදාගැනීම නිමාකිරීම සහ නීතියේ ආධිපත්‍යය උදාකිරීම පිණිස පසුගිය වසරේ ජනවාරි 08 වැනි දින ශ්‍රී ලංකාවේ ජනතාව සිය ඡන්දය භාවිත කළ බව මහලේකම්වරයා පෙන්වා දුන්නේය.
ජාතික ගීය දෙමළ භාෂාවෙන්

“පනහේ දශකයෙන් අනතුරුව පළමු වතාවට පසුගිය පෙබරවාරි මාසයේ නිදහස් දිනයේදී ශ්‍රී ලංකාවේ ජාතික ගීය සිංහල සහ දෙමළා භාෂා දෙකෙන්ම ගායනා කිරීම ඇතුළු ඔබ තැබූ සංකේතාත්මක පියවර මම අගය කරනවා. මේ පියවර මගින් විශ්වාසය ගොඩනැගුනු අතරම වගවීමත් විනිවිද පෙනෙන සුළු භාවයත් ශක්තිමත් කෙරෙනවා,” ඔහු පැවසීය.

උතුරේ ජනතාවගේ ඉඩම් පවරාදීමේ ක්‍රියාදාමය වේගවත් කරන මෙන් මහලේකම්වරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි

කෙසේ නමුත් ‘අතීතයේ උරුමයට’ අදාළ කරුණු සම්බන්ධයෙන් ක්‍රියාකිරීම සහ ‘වින්දිතයන්ගේ හඬ පිළිගැනීම’ පිණිස තවත් බොහෝ දේ කළයුතුව තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

“කලාපයේ සහ ජාත්‍යන්තර වශයෙන් තමන්ට හිමි ස්ථානයට යළිත් ලඟාවීමෙහිලා ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ මුල් අදියරකය,” මහලේකම් බැන් කි මූන් පැවසීය.

“අතීතයේ වැරදි සම්බන්ධයෙන් පියවර ගැනීම සහ විශේෂයෙන්ම අධිකරණය සහ ආරක්ෂක හමුදා වැනි ආයතනවල නීත්‍යානුකූලභාවය සහ වගවීම යළි ඇතිකිරීම පිණිස තවත් බොහෝ දේ කළයුතුව තිබේ.”

පශ්චාත් අර්බුද නිරාකරණය

විශේෂයෙන්ම ජාතික මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය සහ විශ්වසනීයත්වය යළි ඇතිකිරීම පිණිස ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් පියවර මහලේකම්වරයාගේ ප්‍රශංසාවට ලක්විය.

කොමිසමට කාර්යක්‍ෂමව සිය කටයුතු පවත්වාගෙන යාම පිණිස සම්පත් ලබාදීමේ මෙන්ම කොමිසමට නිසි ගෞරවය ලබාදීමේ අවශ්‍යතාවයත් ඔහු අවධාරණය කළේය.

ඒ අතරම යුද්ධයෙන් අවතැන් වූවන්ට යළි සිය නිජබිම් කරා ආපසු ඒමට හැකි වන පරිදි ඔවුන්ගේ ඉඩම් ආපසු භාරදීම වේගවත් කළ යුතු බවයි බැන් කි මූන් පවසන්නේ.

“මේ ඉඩම් ආපසු ලබාදීමට තමන්ගේ කැපවීම ජනාධිපති සිරිසේන මට දීර්ඝ වශයෙන් විස්තර කළා. එයට සමගාමීව, උණුසුම අඩුකිරීම සහ විශ්වාසය ගොඩනැගීම සඳහා උතුරේ සහ නැගෙනහිර රඳවා සිටින හමුදා භට පිරිස අඩු කළ හැකියි.”

සත්‍යය පැවසීම, වගවීම, හානිපූරණය සහ ආයතන ප්‍රතිසංස්කරණ යන පශ්චාත් අර්බුද නිරාකරණයේ සිවු වැදෑරුම් අංග ශ්‍රී ලංකාවත් ක්‍රියාවට නැගිය යුතු බව සඳහන් කළ මහලේකම්වරයා, කෙසේ නමුත් මෙවැනි බරපතල ගැටුමකින් අනතුරුව සංහිඳියාව උදාකරගැනීමෙහිලා ‘ක්ෂණික මාර්ගයක්’ නොමැති බවත් අවධාරණය කළේය.

– බීබීසී සිංහල
———

Archive

Latest news

Related news