Sunday, April 28, 2024

‘අපගේ මානසික විලංගු ගලවා දැමෙන්නේ කවදා ද?‘ – කිෂානිගේ සැමියාගෙන් ලිපියක්

(කිෂාණි ජයසිංහ ජයාරූපය මුහුණු පොතෙනි)

[පැරණි සිංහල භාෂිත ගීතයක් වන ‘දන්නෝ බුදුන්ගේ‘ ගීතය ඔපෙරා ආරට ගැයීම නිසා ප්‍රවීන ඔපෙරා සංගීත ශිල්පිනියක් වන කිෂාණි ජයසිංහ ශිල්පිණිය පිළිබදවත් ඇයගේ සංගීත භාවිතාව පිළිබදවත් විවිද තැන්හී විවද ලෙස අදහස් මතුවෙමින් තිබේ. දැක්වෙන ඇතැම් අදහස්වලව විශේෂය වන්නේ සංගීතය, ගීතය සහ ලෝකයේ නව ප්‍රවණතා පිළිබද අඹමල් රේනුවකවත් දැනුමක් නැති පිරිස් පවා ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමයි. ඒ ප්‍රතිචාර දැක්වීම කෙසේ ද යත් දෙරණ රෑපවාහිණි නාලිකාවෙන් ‘ගඩොල් භාග‘ වැනි ප්‍රචණ්ඩත්වය මුදාහරින ද්වේෂ සහගත අපහාසාත්මක වාග්මාලා ද ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීමයි. මේ ද්වේශ සහගත ප්‍රතිචාරයෙන් පෙන්නුම් කරන්නේ ලංකාව තවදුරටත් ‘ශිෂ්ඨ සංවාදයකට‘ සුදුසු නොවන බව යි.!

ඒ අතර තුර කිෂාණි ජයසිංහ ශිල්පිනිය ගේ සැමියා(කාවිනංග) ෆේස්බුක් පිටුවේ ඒ පිළිබද සටහනක් තබමින් පවසන්නේ ‘අප සැබවින් ම නිදහස් දැයි කෙනෙකුට විමතියක් ඇති විය යුතු ය. අපගේ මානසික විලංගු ගලවා දැමෙන්නේ කවදා ද?. යනුවෙනි. ඉංග්‍රීසි භාෂාවෙන් තබා ඇති එම සටහන සිංහල ට පරිවර්තනය කරමින් අප පාඨකයාට ඉදිරිපත්කරනු ලබන්නේ එහි ඇති වැදගත් කම සිංහල භාෂාව භාවිතා කරන පාඨකයට වැදගත් වනු අතැයි යන විශ්වාසය මතය.]
ආදරණීය මිතුරනි,

කිෂානි ”දන්නෝ බුදුන්ගේ” ගීතය ඔපෙරා ශෛලියෙන් ඉදිරිපත් කළා ය. ඒ සම්බන්ධයෙන් එල්ල කෙරුණු අතිශයින් ම දේශපාලනීකරණය වූ විවේචනවලට ප‍්‍රතිචාර දක්වමින් කිෂානිට සහායක් වූ ඔබ හැමට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙමි.

කිෂානි බෞද්ධයෙකි. ඒ බව අන් අයට ඔප්පු කිරීමට ඇය උනන්දු නො වේ. සියලූ ආගම්වලට ගරු කරන අතර ඇය බුදු දහම මුළු හදින් ම පිළිපදියි. එම නිසා, සිය ඥාතියෙකු ද වන ජෝන් ද සිල්වා විසින් රචිත මුල් ගේය පද සහිතව මුල් තාලයට ම ගායනා කර තිබිය දීත්, ඇය සාම්ප‍්‍රදායික සිංහල ගීතයක් ක‍්‍රිස්තියානිකරණය කළා යැයි කියන අය කරන්නේ අවංක ප‍්‍රකාශයක් නො වේ. දේශපාලනික අදහස් පළ කිරීම සම්බන්ධයෙන් ගත් කල ඇය මා මෙන් නො ව අතිශයින් ම පෞද්ගලික ය; වර්තමානයේ දී පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය 5%කටත් අඩු මට්ටමක පැවතීම ගැන කරුණු කියමින් කතා කළොත් මිස අන් යමක් නො කියයි.

ඔපෙරා ශෛලියෙන් ගීතයක් ගායනා කිරීමෙන් එම ගීතය බටහිරකරණය වීමක් හෝ ක‍්‍රිස්තියානිකරණය වීමක් සිදු නො වේ. එසේ වන්නේ නම්, ඉංග‍්‍රීසි හෝ ඉතාලි බසින් ලියන කියන හැම දෙයක් ම එසේ වෙති යි සැලකිය යුතු ය. සිංහල ගීතයක් ඔපෙරා ශෛලියෙන් ගායනා කිරීම සිංහල භාෂාවට කරන අවමානයක් නො වේ. එහෙත් සමහරු එසේ සිතති. බොහෝ දෙනෙකු මේ ගැන ප‍්‍රශ්න කර ඇතත් තව මත් කිසිවෙකුගෙන් ඊට නිසි පිළිතුරක් ලැබී නැත. සමහර සිංහල ගීත නම් පහළ ස්වර පරාසයන්හි ම ගැයිය යුතු බව නිසැක ය.

”දන්නෝ බුදුන්ගේ” ගීතය ගායනා කළ යුත්තේ එහි මුල් ස්වරූපයෙන් ම පමණකැයි, වරදක් සොයා ගැනීමට වලි කන අය කියති. කෙසේ වුව ද, ප‍්‍රකාශයක් කරන්නට පෙර කරුණු කාරණා සොයා බැලීමට කැමති අය, මෙම ගීතය මුල් වරට ගැයුණු 1903න් මොබ කාලය තුළ දී එහි ස්වරූපය මුළුමනින් ම වෙනස් වී ඇති බව පෙන්වන සාක්ෂි රාශියක් ම බෙදාහදා ගෙන ඇත. පණ්ඩිත් අමරදේවයන්ගේ අනුවාදය හියුබට් රාජපක්ෂගේ අනුවාදයට මෙන් ම රුක්මණී දේවියගේ අනුවාදයට ද බෙහෙවින් වෙනස් ය. කිෂානිගේ අනුවාදය මෙම සදාදරණීය සිංහල ගීතයට නව පණක් දුන්නා පමණකි. ගූගල් හැසිරීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ඇය ගායනා කළ තැන් පටන් ”දන්නෝ බුදුන්ගේ” ගීතය පෙර නුවූ විරූ අයුරින් සොයා බලා ඇති බව යි.

එය නිදහස් දිනයේ දී ගායනා නො කළ යුතුව තිබිණැයි ද නිදහස් දිනය යනු ශ‍්‍රී ලාංකික සහජ දක්ෂතා විදහා පාන අවස්ථාවක් බැවිනැයි ද සමහරු කියති. එසේ වුවත්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ බෞද්ධ බාලිකා පාසලක් වන විශාඛා විද්‍යාලයේ හිටපු ප‍්‍රධාන ශිෂ්‍ය නායිකාවක වූ ද ඔපෙරා ශෛලියෙහි ලා ගෞරවනීය හා උත්කෘෂ්ට ගායන විලාසයක පූර්ණ නිපුණතාව අත් කර ගෙන සිටින්නා වූ ද ජාත්‍යන්තර කීර්තියට හා සම්භාවනාවට පාත‍්‍රව සිටින්නා වූ ද ඔසරිය හැඳ, උදාර පැවැත්මෙන් යුතුව, රන් අබරණින් නො සැරහී, සදාදරණීය සිංහල ගීතයක් ඔපෙරා ශෛලියෙන් ගායනා කළා වූ ද සිංහල බෞද්ධ කාන්තාවක්, ඇයට කිසි සම්බන්ධයක් නැති අධම දේශපාලනික හේතු මත, ඇය අයත් ජන කොට්ඨාසයේ ම කොටසක් විසින් ගර්හාවට ලක් කෙරෙයි.

අප සැබවින් ම නිදහස් දැයි කෙනෙකුට විමතියක් ඇති විය යුතු ය. අපගේ මානසික විලංගු ගලවා දැමෙන්නේ කවදා ද?

මුළු අවධානය ම යොමු වන්නේ ඇය ”දන්නෝ බුදුන්ගේ” ගීතය ඉදිරිපත් කළ ආකාරය කෙරෙහි ය. කිෂානි ඒ සන්ධ්‍යාවේ දී දන්නෝ බුදුන්ගේ, මාතර ගගේ, දොයිය බබා, බඩගිනි වෙලා, නමෝ මරියනි සහ පුට්ෂීනිගේ නිසුන් දොර්මාවේ සංගීතයට ගළපා ඇය ඉංග‍්‍රීසි බසින් කළ පබැඳුම ඇතුළු ගීත 6ක් ගායනා කළ බව, සමහර විට බොහෝ දෙනෙකු නො දන්නවා විය හැකි ය. පුට්ෂීනිගේ සංගීතයට ඇය කළ පබැඳුම අවසන් වූයේ, ”මේ මින් ඉහළට නැග ගැනීමට කාලය යි, මින් ඉහළට නැග ගැනීමට කාලය යි, මින් ඉහළට නැග ගැනීමට කාලය යි!” යන වදන්වලිනි. ඔබ සියලූ දෙනාට ස්තුති වන්නට ඇය මින් ඉහළට නැග ගනු ඇත.

සෙනෙහසින්
කවීංග (කිෂානිගේ සැමියා)

පසු සටහන. කිෂානි මේ මුළු මහත් සිදුවීම සම්බන්ධයෙන් ම නිහඬ බව ඔබට පැහැදිලිව වැටහී ඇතැයි සිතමි. මෙය ද ඇතුළු මේ පිටුවේ (කවීංගගේ ෆේස්බුක් පිටුවේ) ඇති හැම තැපෑලක් ම මා විසින් ලියන ලද ඒවා ය. ඇය කිසි විටෙක තමන් විසින් ම තමන් පුම්බා ගැනීමට ක‍්‍රියා කරන්නියක් නො වේ. මොක ද ඔයා හිතන්නේ යැයි මා ඇයගෙන් ඇසූ විට පවා ඇය ප‍්‍රතිචාර දැක්වූයේ මෙහෙම යි: ”ප‍්‍රාසංගික කලාකරුවන් හැටියට අපි හැම විට ම නිර්මාණ කටයුතුවල යෙදෙනවා, ඉගෙන ගන්නවා, අලූත් දේවල් අත්හදා බලනවා, අපවාදය හා කීර්තිය අපේ ජීවිතයේ කොටසක්, මේක තමයි බුදුන් ඉගැන්වූ ‘අෂ්ට ලෝක ධර්මය’

– vikalpa.org

Archive

Latest news

Related news