Sunday, April 28, 2024

හිටපු හමුදා නිලදරුවකු වීම වරදක්ද ? ඡායාරූපයක් ගැනීම නිසා අත් අඩංගුවට පත් වුනු බ්ලොග්කරුවෙකු කතාවක්

නාටකය පටන් ගත්තේ පෙරේදාය. අද මේ ලිපිය ලියන්නේ කෙළවරක් වී යයි සිතුවත් අවසන් නොවූ කතාවක් ගැන කියන්නටය. බ්ලොග් අවකාශයේ නිරන්තරයෙන් සැරි සරනා සහෘදයෙක් ගෙන් පෙරේදා මට පණිවුඩයක් ලැබුණි. “හදිසියක්. කල්‍යාණ මිත්‍ර පොලිසියෙන් අල්ලලා”. ඊයේ පෙරේදා ඌව පළාතේ සම්පත් මද යැයි කිව හැකි පාසලක ළමා ළපටින්ට නෙළුම් යායත් සමග එකතුව පොත් පත් උපකරණ ආදිය බෙදාදී ලංකාවේ පවසන විධිහට පින්කමක් ද කරගත් කල්‍යාණ මිත්‍ර තෙමේ මේ කුමක් නම් කරගෙනද. රාජපුරුෂයන් විසින් කුදලා ගෙන යන්නට “.

නියම විස්තරයක් සොයා ගැනීම සඳහා වහාම ලංකාවට කතා කලෙමි. සිදු වී ඇත්තේ මට නම් හිතා ගැනීමට නොහැකි දෙයකි. අතක් පයක් නිකන් තියාගෙන ඉන්නට බැරි මේ හාදයා ඡායාරූපයක් ගෙන තිබේ. එසේ මෙසේ එකක් නොව හමුදාපති තුමෙකුගේ එකකි. එයත් එසේ මෙසේ එකක් නොව ගමනක් යමින් සිටියදීම වැඩ කිඩ දා හමුදාපති වාහනය කැමරාවට හසු කරගෙන තිබේ. කැමරාව මොබයිල් එකේ ඇති කැමරාවයි. මෙය හමුදාපති මහතා ගේ ආරක්ෂාවට සිටි නිල දරුවන් ගේ උකුසු ඇසට හසු වී තිබේ. ත්‍රිවිලයකින් යමින් සිටියදී ගත් ඡායාරූපයක් පවා ඇසට හසු කරගන්නට ඔවුන් සැබවින්ම දක්ෂයන් විය යුතුය. මෙහිදී අවධාරණය කළ යුත්තේ ඔහු ගත්තේ ඡායාරුපයක් පමණක්ය යන්නය.

ලංකාවේදී ඡායාරූප ගැනීමට ගොස් සිදුවූ මේ ඇබැද්දිය නිසා ඡායාරූප ගැනීම ගැන ලංකාවේ නිලදරුවන් කොතරම් සංවේදීද යන්නද මා හොඳින් දන්නා නිසා කල්‍යාණ මිත්‍ර ගේ ක්‍රියාව අනුමත කිරීමට මට නම් නොහැකිය. කොටින්ම හමුදාපතිවරයෙකු ගේ වාහනයේ ඔහු සිටියදී පින්තුර ගැනීම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකිය. මෙය සිදු වූයේ 2009 ට කලින් නම් කල්‍යාණ මිත්‍ර මාස හයක් වත් ඇතුලට යන බව විශ්වාසය. කල්‍යාණ මිත්‍ර කියන අන්දමට ඔහු එය ගත්තේ හමුදාපති වරයා ගමන් ගත් රථයේ ඔහුගේ සන්නාමය (insignia) තිබු නිසාය. ඔහු එය දැක නොතිබූ නිසා පින්තුරය ගත් බව පවසයි. ඇත්තටම වෙන හේතුවක් ගැන මටවත් සිතා ගැනීමට නොහැක. බ්‍රිතාන්‍ය වැනි රටක නම් අගමැති ගේ, රැජිනගේ හෝ ඕනෑම ඉහල අයෙකුගේ ඡායාරුප ගත හැකිය. නමුත් හමුදාව සම්බන්ධ ස්ථාන වල ඡායාරුප ගත හැකිදැයි නොදනිමි. මා පසුගියදා එවැනි හමුදා කඳවුරක ඡායාරූප කිහිපයක් ගත්තෙමි. කඳවුර අවට ප්‍රදේශය ඉතා පියකරු බැවිනි. ඒ අහල පහලක එළදෙනුන් හා තවත් සතුන් කීප දෙනෙකු ඇරෙන්නට වෙනත් කිසිවකු නම් නොදුටිමි.

ඒ කියන්නේ එංගලන්තය වැනි රටක නම් බොහෝ විට සිදු වන්නේ මෙයයි. ඔවුන් රහසින්ම මා පසු පස කිසිවකු එවනු ඇත. මගේ ලිපිනය සොයාගෙන මා කවුදැයි සොයා ගැනීම අපහසු නැත. රහසේම ඒ විස්තර සොයාගෙන සාමාන්‍ය සිවිල් පුරවැසියකු නම් කිසිවක් නොකරති. නමුත් කිසියම් ම හෝ සැකයක් ඇති වුයේ නම් (ත්‍රස්ත සංවිධානයක සම්බන්ධකමක්) ඉන්පසු පසු පස යමින් වරදක් කරන තුරු සිට අත් අඩංගුවට ගනිති. හැබැයි ඒ හෙල්ලෙන්නට බැරි වෙන්නට සාක්ෂි සොයා ගෙනය. එතෙක් කිසිම හිරිහැරයක් කරන්නේ නැත. බොහෝ විට මුල් පැයේදීම සියලු තොරතුරු සොයා ගැනීමට ඔවුන්ට හැකිය. නමුත් ප්‍රධානම කාරණය නම් ඉහල නිලයක් ඇති පුද්ගලයෙකුගේ වාහනයක ඡායාරුපයක් ගැනීම වරදක් නොවන බවයි.

ඉතින් හිටපු නාවික හමුදා නිලධාරියෙකු මෙන්ම පදක්කම් තුනක් ලබා ගත් රණ විරුවකුද වන වන අපේ මිත්‍රයා ඡායාරුපයක් ගැනීමේ වරද කීම දැයි විමසන්නට ඇත. යුනිෆෝර්ම් හැඳි ආරක්ෂක භටයන් ගෙන් ප්‍රශ්න විමසිය යුතු නැත යන්න මම ජිවිතයේ මුල් කාලයේම ඉගෙන ගත් දෙයකි. හිටපු නාවික හමුදා නිලධාරියෙකු නිසා කල්‍යාණ මිත්‍රට අපට මෙන් ඒ ගැන විචිකිච්චාවක් තිබෙන්නට නැත. ඔහුගේ ප්‍රශ්න ඇසීමෙන් උරණවූ ගුවන් හමුදා නිලධාරීන් ඔහු පොලිසියට භාර දී ඇත.

මෙයට තවත් හේතුවකුත් තිබෙන්නට පුළුවන. ගුවන් හමුදාපති තුමාගේ ගේ දියණිය කිසියම් සංගීත සන්ධ්‍යාවකට යාම හෝ එහි දී සංගීතඥයා වැළඳ ගැනීමක් කිරීමක් පිළිබඳව කිසියම් මාධ්‍යයක් මගින් විවේචනයට ලක් වී තිබෙන බව දැනගන්නට ලැබී තිබේ. බ්‍රිතාන්‍යයේ ජිවත් වන අපට නම් මේවා මහා ලොකු දේවල් නොවේ. ඕනෑම සංගීත සන්ධ්‍යාවක එවැනි දේ කොහොමත් සිදු වන බැවිනි. අපේ කාර්යාල වල තරුණියන්ද අනන්ත මෙවැනි සංගීත සන්ධ්‍යා වලදී සංගීතඥයන් අසලට යාමට පොර කති. නමුත් මේ සිද්ධිය විවේචනය කරමින් පල කල පුවතක් නිසා භටයන් මෙහිදී මදක් සංවේදී වුවා විය හැක.

පොලිසියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුව ප්‍රශ්න කිරීමකට බඳුන් කර ඇත. එහිදී කල්‍යාණ මිත්‍ර විසින් බුකියේ හෙවත් වත්පොතේ පොලිසිය සම්බන්ධව පල කල කිසියම් පුවත් ප්‍රමානයක් ගැන විමසා තිබේ. මෙය නම් කණගාටුවට කරුණකි. රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන දේශපාලන හෝ වෙන මොනයම්ම ලිපියක් තමන්ගේ බිත්තියේ පල කිරීමට කාගේවත් අවසරයක් අවශ්‍ය නැත. බටහිර රටවල නම් ජාතිවාදී, ආගම්වාදී හෝ ත්‍රස්තවාදී හෝ පුද්ගලයෙකුට එල්ල කර මරණිය තර්ජන හා අපහාස කිරීම ආදියේදී බුකියේ හෝ වෙනයම්ම තැනක පල කරන දෙයක් පොලිසියේ අවධානයට ලක්විය හැකිය. බොහෝ විට එවැනි අයට නඩු පවරනු ලැබේ. මෙතැනදී කල්‍යාණ මිත්‍ර අතින් එවැන්නක් සිදුවී නැත.

මට දැන් ප්‍රශ්න කිහිපයක් මතු වී . එකක් නම් ශ්‍රී ලංකාව තවමත් අනාරක්ෂිතද යන්නය. නාවික හමුදාවෙන් ඉවත්ව පැමිණි රණ විරුවකු වන කල්‍යාණ මිත්‍ර ඡායාරුපයක් ගැනීමෙන් වරදක් කලාද? හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ත්‍රස්ත තර්ජන තිබේ යයි කි බව අප දනිමු. එය එසේ නම් ඒ ගැන හෙළි දරව් කිරීම රජයේ යුතුකමකි. සාමාන්‍ය සිවිල් වැසියන් මේවා දන්නේ නැත. ගුවන් හමුදාපති තුමා විසින් මේ සිද්ධිය පිළබඳ එතරම් තැකීමක් නොකළ බවක් අපට දැන ගන්නට ලැබී ඇත. එයට අපගේ ස්තූතිය. එසේම සිද්ධිය දැනගත් වහාම අප හා දුරකතනයෙන් සම්බන්ධවී ප්‍රශ්නය නිරාකරණය කිරීමට පොරොන්දු වූ නියෝජ්‍ය ජන මාධ්‍ය ඇමති කරණාරත්න පරණවිතාන මහතාටද නෙළුම් යාය වෙනුවෙන් ස්තුතිවන්ත වෙමු.

මගේ ඊළඟ ප්‍රශ්නය වන්නේ කල්‍යාණ මිත්‍ර ඇප දී පොලිසියෙන් නිදහස් කර ඇතත් පොලිසියෙන් ඔහුගේ බිරිඳගේ නිවසට ගොස් ඔහු පිළිබඳව විමසා තිබේ. ඔහුගේ බිරිඳ දැනට දරුප්‍රසුතිය සඳහා නිවසේ සිටි. කල්‍යාණ මිත්‍ර නාවික හමුදාවෙන් ඉවත්ව අවුරුදු හය හතක් වේ. එසේම ඔහු පිළිගත් ඉදිකිරීම් ආයතනයක කළමනාකරුවෙකි. නීති ශිෂ්‍යයෙකි. සමාජ සේවකයෙකි. සමාජ ජාලා ක්‍රියා කරුවෙකි. බ්ලොග් ලියන්නෙකි. මේ කිසිවක් නොව පොලිසියට ප්‍රශ්නය වී ඇත්තේ ඔහු හිටපු හමුදා නිලධාරියෙකු වීමය. මේ අව් අස්සේ ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු විසින් තවත් පුවතක් පල කර තිබේ. ඒ කල්‍යාණ මිත්‍ර මෙය වීඩියෝ කළා කියාය. අදාල මාධ්‍යවේදියා මෙය දුටුවා ද? ඔහුගේ මොබයිල් දුරකථනය තවම පොලිසියේය. ඔහු අත් අඩංගුවට ගත් පොලිසිය එය තමන් ගේ භාරයට ගත්තේය. පින්තුරයක් වීඩියෝවක් බවට පත් වූයේ කෙසේද? ලංකාදීප මාධ්‍යවේදියා කියන්නේ ඇත්තක් නම් කවුරුන් හෝ දුරකථනය නැවත රැගෙන ගොස් වීඩියෝ කළා දැයි අප දන්නේ නැත. කෙසේ හෝ වේවා අහිංසක ලෙස ගත් ඡායාරුපයක් නිසා කල්‍යාණ මිත්‍ර කිසියම් අන්දමකින් වරදකට හසු කරන්නට තැත් කරන්නේ යයි සැකයක් අපට මතුව තිබේ. අප පොලිසියෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ සත්‍ය තත්වය වටහා ගෙන අපේ සහෝදර බ්ලොග් කරු තේරුමක් නැති පරීක්ෂණ වලින් නිදහස් කරන ලෙසයි.
colaambagamaya

Archive

Latest news

Related news