Tuesday, December 3, 2024

ලිංගික දූෂණයකට යුක්තිය ලබා ගැනීම: විනිසුරන් 9ක්, නඩුවාර 100ක්, අව්රුදු 14ක්

ශ්‍රී ලංකාව තුළ යුක්තිය වෙනුවෙන් අරගල සහ සහයෝගිතාවය –  රුකී ප්‍රනාන්දු.

2015 වසරේ දෙසැම්බර් 28 වන දින,  නුවරඑලිය මහාධිකරණය විසින් ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින්  2001 වසරේ අගෝස්තු 12 වන දින මධ්‍යම පළාතේ තලවකැලේ පදිංචි 17 හැවිරිදි දමිළ ගැහැණු දරුවෙකු පැහැරගෙන ගොස් දුෂණය කිරීමේ වරදට පුද්ගලයින් දෙදෙනෙකු වරදකරුවන් කරමින් ඔවුනට වසර 23 දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ වන්දි ලෙස රුපියල් ලක්ෂ දෙකක (200,000) මුදලක් ගෙවන ලෙස නියම කළේය.

මෙම අවස්ථාව රීටා  සහ ඇය සමග අධිකරණ භූමියේ රැඳී සිටි  සියලු දෙනාගේ සිත් සතුටට පත් කළ අවස්ථාවක් විය. එය රීටාගේ අප්‍රතිහත ධෛර්යයේ සහ අධිෂ්ඨානයේ සහ ඇයගේ දීර්ඝ සටනට උපකාර කල සියලුදෙනාගේත් ජයග්‍රහණයක් විය. යොවුන් ගැහැණු දරුවකු පැහැරගෙන ගොස් දුෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට වසර 14කට අධික කාලයක් වැය කළ මෙම  නඩුව අනෙක් අතට  පිළිඹිබු කර සිටියේ  ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ අසාර්ථකත්වයයි. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කෙරුනු හැඳින්වීමේදී විනිසුරුවරයාද යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ඇති පමාව සහ පොලිස් ස්ථානය පාර්ශවයෙන් සිදුවන ප්‍රමාද වීම් පිළිබඳව අවධාරණය කර සිටියේය.

රීටා මුහුණ දුන්  අභියෝග, ඇගේ අරගලය, ධෛර්ය සහ අධිෂ්ඨානය

 දුෂණයට ලක්වූ වින්දිතයන්, විශේෂයෙන්ම වතුකරයේ දමිළ පාසල් ශිෂ්‍යාවක්, යුක්තිය වෙනුවෙන් සටන් කිරීම ඉතා දුර්ලභ කරුණකි. ඊට හේතුවන්නේ එසේ යුක්තිය දින ගැනීමට යාමේදී ඇයට කරන විවිධ ප්‍රකාශ වලිනුත්  පුද්ගලයින් ඇය දකින අකාරයෙනුත් ඇයගේ ගමේදීත්, පාසලේදීත්, වැඩපොලෙහිදීත්  ඇය නැවත නැවතත් වින්දිතභාවයට පත් වීමයි. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණය, පවුල, මාධ්‍ය සහ සමාජය පොදුවේ ගත් කල අනුකම්පා සහගත නොවේ.  අනුකම්පාව දක්වන බොහෝ අය වුවද යුක්තිය දිනාගැනීම උදෙසා උපකාර කිරීමට කැප වන්නේ නැත. නිහඬව නොසිට යුක්තිය වෙනුවෙන් සටන් කිරීමට තීරණය කළහොත් මෙම ක්‍රියාවලියේදී ඇයටත් ඇයගේ පවුලේ අයටත් නොයෙකුත් තර්ජන, ගැරහුම් මෙන්ම අවමන්වලට මුහුණ දීමට සිදුවේ.

නමුත් රීටා  ඇය දුෂණය වූ මොහොතේ පටන්ම අප්‍රතිහත ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව යුක්තිය වෙනුවෙන් සටන් වැදුනාය. දුෂණය වීමෙන් පසු ඇය ගත් පළමු පියවර වුයේ පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කර දුෂණය වූ ස්ථානය පෙන්වීමට පොලිසිය සමග ගොස් සැකකරුවන් සෙවීමට උත්සාහ ගැනීමයි. නඩු තීන්දුවට හේතු ප්‍රකාශයට පත් කරමින් මෙය ධනාත්මක පියවරක් ලෙස විනිසුරුවරයා ප්‍රකාශ කළේය.  ඇයගේ නඩුව මෙහෙයවූ නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරුන් 15 වතාවක් වෙනස් වී ඇත. අවම වශයෙන් විනිසුරුවරුන් 9 දෙනෙක් ඇයගේ නඩුව විභාග කර ඇත. නුවර සහ නුවරඑලිය මහාධිකරණයන්හි නඩු විභාගද, ලඝු නොවන නඩු විභාගද තවත් සිවිල් නඩුවක් දිස්ත්‍රික් උසාවියේද ආදී වශයෙන් නඩු වාර 100කට අධික සංඛ්‍යාවක් පැවැත්වින.  ඇයට සිදු වූ දෙය වසර ගණනාවක් තිස්සේ තියුණු හරස් ප්‍රශ්න ඇසීම් හමුවේ  නැවත නැවතත් පැහැදිලි කිරීමට සිදු වීම නිසා ඉතාම තදබල මානසික පිඩාවන්ට මුහුණ දීමට ඇයට සිදු වූ අතර, ඇය වරක් සිහිමුර්ච්ඡා වී ඇදගෙන ද වැටුනාය. නමුත් රීටා  ඇගේ කතාව ඒ සෑම අවස්ථාවකදීම නොවෙනස්ව ඉදිරිපත් කළාය. විනිසුරුවරයා මේ බවද අවධාරණය කල අතර  වෛද්‍ය සාක්ෂි, පොලිසියේ නිරීක්ෂණ, අවස්ථානුගත සාක්ෂි සහ විත්තිකරුවන් කළ ඇතැම් ප්‍රකාශ සමග හොඳින් සැසඳුනු රීටාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සැකයක් මතු කිරීමට විත්තියේ නීතිඥවරුන් අපොහොසත් වූ බවද පැහැදිලි කළේය.

කුඩා වයසේදීම රීටාට තම පියා අහිමි විය.  මෙම නඩුවේදී ඇයට සහය දුන් , ඇය වෙනුවෙන් සාක්ෂි දුන්,  ඇය දිරිමත් කල ඇයගේ සීයා නඩුව අතරතුරු 2009 වසරේදී මිය ගියේය. ඇයටත් පවුලේ අයටත් එල්ල වුනු තර්ජන මෙන්ම මුදල් ලබා ගෙන නඩුව ඉල්ලා අස් කරගන්නා ලෙස කෙරුනු බල කිරීම් කිසිවක් හමුවේ නොසැලී ඇය දිගින් දිගටම යුක්තිය සොයා ගියාය. ආරක්ෂාව පිණිස, ඇයගේ යහළුවන් සහ පවුලේ අයත් හුරුපුරුදු වටපිටාවත් අතහැර දමා, පාසැල ද වෙනස් කරමින්, ආරක්ෂණ මධ්‍යස්ථාන 21 ක නැවතී සිටීමට ඇයට සිදු විය. ඇයට රැකියාව කිරීමට සිදු වුයේද හුරුපුරුදු ඇයගේ ගම්පළාතට බොහෝ දුරින් වූ නිදහස් වෙළඳ කලාපයකයි.

රීටා  වෙනුවෙන් වූ සාමුහිකත්වය සහ සහයෝගය

රීටා  දුෂණය වී සති කිහිපයකට පසු රීටා  වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් මධ්‍යම පළාතේ හැටන් නගරයේ පැවති උද්ඝෝෂණයකට මම සහභාගී වුනෙමි. එය සංවිධානය කර තිබුනේ නන්දන මනතුංග නම් කතෝලික පූජකතුමාගේ මූලිකත්වයෙනි. එතැන් පටන් ඔහු මාගේ ඉතා සමීප මිතුරෙක් මෙන්ම පුර්වාදර්ශ සපයන්නෙක් බවට පත් වුයේය. ඔහු එවකට නුවර කරිටාස් ආයතනයෙහි අධ්‍යක්ෂවරයාව සිටි අතර පසුව විවිධ ප්‍රදේශවල විවිධ  සංවිධානයන්හි සහ පල්ලිවල තනතුරුවලට පත්වීම් ලැබුවේය. නමුත් ඔහු කිසිදිනෙක රීටාට උපකාර කිරීම නැවත්වූයේ නැත. රීටාගේ සිද්ධිය  ඇතුළුව තවත් වින්දිතයන්ගේ සිද්ධිවල දී ද  සිය වරකට වඩා උසාවි පැමිණ ඇති   ඔහු එදින දෙසැම්බර් 28 වන දිනයේද අධිකරණයට පැමිණ සිටියේය. ඔහු සහ නුවර මානව හිමිකම් කාර්යාලයේ ඔහුගේ කර්යමණ්ඩලයත්, ස්වේච්ඡා නිලධාරීනුත් එක්ව, රීටාට ආරක්ෂක නිවාස සොයා දෙමින් අධ්‍යාපනයට උදවු දෙමින් රැකියා අවස්ථා සොයා දෙමින් නීති සහ වෛද්‍ය ආධාර ලබා දෙමින් මනෝ උපදේශනයට යොමු කරමින් මූල්‍ය ආධාර ලබා දෙමින් පවුලේ අවමංගල අවස්ථාවන්ට උදව් දෙමින්, අසනීප අවස්ථාවන්හිදී පමණක් නොව රීටාගේ මංගල උත්සවයට පවා සහය දෙමින් රීටාව ආරක්ෂා කළහ. මෙම නඩුව වේගවත් කරන ලෙස මන්නාරම භාර කතෝලික රදගුරුතුමා   එවකට ජනපතිනි කුමාරතුංග මැතිණියගෙන් ද ඉල්ලා සිටියේය. එසේම ජාතික හා  ජාත්‍යන්තර මට්ටමින් මෙම නඩුව වේගවත් කරන ලෙස ඉල්ලීම් කරමින් බල කිරීම් කෙරුනි.

නුවර එළියේ සිට කොළඹ දක්වා එන අතරතුර දුම්රියේ සිට මා මෙය ලියන අතර මා හට සිහි වන්නේ මේ වසර ගණනාව පුරාවටම අත් විඳි රීටාගේ අරගලයේ විවිධ අදියරයන් සහ ඇය හමුවූ අවස්ථාවලදී ඇය මා හට පැවසූ කරුණුයි. මා කල්පනා කරන්නේ රීටා ගේ නොවෙනස් වූ ධෛර්යයත් ඇයගේ පවුලේ සහ අනෙක් අයගේ සහයත් නොවන්නට වසර 14කට පසුත් යුක්තිය ඉටු වීමට ඉඩක් තිබේද යනන්යි.

වින්දිතයන්ගේ සහ පවුලේ අයගේ ධෛර්ය මත පදනම් වන දුර්ලභ සාර්ථකත්වය

 යුක්තිය තවමත් මායාවක් වී තිබෙන මෙන්ම බොහෝ දෙනෙකුට ලබා ගත නොහැකි දෙයක් බවට පත් වී ඇති මෙවන් රටක වුවද වින්දිතයන් සහ ඔවුන්ගේ පවුලේ අයගේ ධෛර්යය සහ අධිෂ්ඨානය නිසා තවත් අවස්ථා කිහිපයකදීම වින්දිතයන්ට යුක්තිය ඉටු වූ සාර්ථක අවස්ථා දක්නට ඇත.  එවන් අවස්ථා බහුතරයකදීම දිගු කාලීන රැකවරණය සහ සහය දැක්වීමත් විවිධ පුද්ගලයන් සහ සංවිධානවල සහයෝගයත් ලැබී ඇත.

රීටා  වැනිම වතුකරයේ දමිළ දැරියක් වූ 13න් හැවිරිදි දිව්‍යා නම් දැරිය දුෂණය කිරීමට වරදකරු වූ පුද්ගලයාට වසර 20ක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට 2012 වසරේ මැයි මස අධිකරණය විසින් නියෝග කරනු ලැබීය. මෙම මස මුල් භාගයේදී නුවර ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට කෘර ලෙස වද හිංසා පැමිණවීමේ වරදට පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වසර 7ක් බරපතල වැඩ සහිතව දඬුවම් නියම කෙරින. වසර ගණනක උත්සාහයෙන් අනතුරුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ දිගු කාලයක් රඳවා ගෙන සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු ඔවුන්ගේ පවුල්වල සහයෝගයද ඇතිව නිදහස් කර ගැනීමට නන්දන පියතුමාගේ මානව හිමිකම් කාර්යාලය සමත් වී ඇත.

ඉතාමත් දැඩි ලෙස මිලිටරිකරණය වූ යුද්ධයෙන් ඇලලී ගිය උතුරේ විශ්වමඩු ප්‍රදේශයේ දමිළ කාන්තාවන් දෙදෙනෙකු 2010 වසරේදී දූෂණය කිරීමත් ලිංගික අපයෝජනයට ලක් කිරීමත් යන කරුණුවලට වරදකරුවන් වූ හමුදා නිලධාරීන් සිවු දෙනෙකු, ඉතාමත් විරල නඩු තීන්දුවකින්, 2015 ඔක්තෝබර් මස  වසර 25ක් දක්වා සිරදඬුවමකට යටත් කෙරින.

වසර 6ක් පුරාවට ශ්‍රී ලංකාව තුළ සහ ඉන් පිටතත් ජාතික හා ජාත්‍යන්තර සහයද ඇතිව සන්ධ්‍යා එක්නැලිගොඩ[i] මහත්මිය කළ අධිෂ්ඨානශීලී අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ඇයගේ සැමියා වන කාටුන් ශීල්පී සහ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා  බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ යැයි සැකකෙරෙන, හමුදා සහ බුද්ධි අංශ ඒකකවල සාමාජිකයන් ඇතුළුව, කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගැනින.

නමුත් අනෙක් අතට 2007 වසරේදී රාමචන්ද්‍රන් සුබ්‍රමනියම් නම් දමිළ මාධ්‍යවේදියා බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට  හමුදාවේ මැදිහත්වීම පිලිබඳ පැහැදිලි සාක්ෂි තිබියදීත් ඒ සම්බන්ධ පරීක්ෂණවල කිසිදු සාර්ථකත්වයක් මා දන්නා තරමින් දක්නට නොමැත. ඊට හේතුව ඔහුගේ මහලු දෙමාපියන්ට සන්ධ්‍යා එක්නැලිගොඩ මෙන් සටන් වදින්නට නොහැකි වීමත් ඇයට ලැබුණු ජාතික හා ජාත්‍යන්තර සහයෝගය මොවුනට නොලැබීමත් ද?

දස දහස් ගණන් ස්ත්‍රී දූෂණයට සහ ලිංගික අපයෝජනයට, කෘරත්වයෙන් වද හිංසා හිංසා කිරීමට, අත්තනෝමතික රඳවා තබා ගැනීමට, නීතිවිරෝධී මිනි මැරුම් සහ අතුරුදන් කිරීම්වලට ලක් වූ වින්දිතයෝ සහ ඔවුන්ගේ පවුල්වල උදවිය  යුක්තිය ඉටු වන තුරු ශ්‍රී ලංකාව තුළ දශක ගණනාවක් සිට බලා සිටි‍ති.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ප්‍රතිසංකරණය කිරීම

  ශ්‍රී ලංකාව තුල යුක්තිය වෙනුවෙන් කළ අරගල වලින් සුළු ගණනක් පමණක් හෝ  සාර්ථක වීමට හේතු වී ඇත්තේ වින්දිතයන් සහ පවුල්වල අප්‍රතිහත ධෛර්ය සහ අධිෂ්ඨානය සහ අනෙක් පුද්ගල සහ සහයෝගිතා කණ්ඩායම්වල සහයෝගය මිස  රජයේ සහ යුක්තිය පසිඳලීම සඳහා පිහිටුවා ඇති ව්‍යවස්ථාපිත ආයතනවල කාර්යක්ෂමතාව නම් නොවේ.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ඇති ප්‍රධානම ගැටළුවක් වන්නේ යුක්තිය පුද්ගල අයිතියක් ලෙස සෑම පුද්ගලයෙකුටම  හිමි, ස්වාධීන සහ වේගවත් සහනයක් නොවීමයි. එසේ වනු වෙනුවට මේ වන විට යුක්තිය, වින්දිතයන්ගේ සහ පවුල්වල අයගේ ධෛර්යය සහ ඔවුනට සහය ලබා ගැනීමට ඇති හැකියාව මත පදනම් වන දෙයක් බවට පත් වී ඇත.  දූෂණය වූ ගැහැණු දරුවෙකුට යුක්තිය ලැබෙන තුරු වසර 14ක් බලා සිටීමට සිදු වීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක. එම නිසා  යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට දිගු කාලීන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම ඊට විසඳුම වේ.

සහයෝගිතාවය සහ වින්දිතයන් සහ පවුල් තනි නොකර සිටීම වැදගත් වන්නේ ඇයි?

වින්දිතයන් සහ පවුල් යුක්තිය ලබා ගැනීමට කරන සටනේදී, යුක්තිය පිළිබඳව විශ්වාස කරන අප සැම, අපගේ කාලයෙන් සහ මහන්සියෙන් කොපමණ  ප්‍රමාණයක් ඔවුන් හට යුක්තිය දිනා දීම වෙනුවෙන් වැය කරන්නේද යන්න යළි යළිත් සිතා බැලිම ඉතා වැදගත් බව  මාගේ විශ්වාසයයි. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය විසින්ම අප අතර සහයෝගය බිඳ දමමින් යුක්තිය දිනා ගැනීමට ඇති අදහස අතහැර දැමීමට අප පොළඹවන බැවින්, එහිදී වසර ගණනාවක් පුරාවට ඔවුන් තනි නොකර ඔවුන් සමග එක්ව සිටීම සිදු කළ හැකි ආකාර  සහ සහයෝගීතාවය  පවත්වාගෙන යා හැකි ආකාර පිළිබඳව සිතා බැලීම වටී.  රීටාගේ අරගලය, අධිකරණ ක්‍රියාවලියේ ඇති ප්‍රමාද දෝෂයන් හමුවේ නොසැලී සිදු කළ අඛණ්ඩ අරගලයක් වශයෙන් ද එක්ව සිටීමේ සහ සහයෝගීතාවයේ වැදගත්කම සම්බන්ධයෙන් ද හොඳම උදාහරණයක් සපයයි.

යුක්තිය දිනාගැනීම වෙනුවෙන් සියලු බාධක සහ අවදානම් තත්ත්ව විඳ දරා ගනිමින් කටයුතු කළ වින්දිතයන් සහ පවුල් සමග කටයුතු කරන්නට ලැබීම මා ලද  භාග්‍යයක් වන අතරම එම අත්දැකීම් මා දිරි ගන්වයි.  මරාදමන ලද මා මිතුරු පට්ටනි රසීක් ගේ පුත්‍ර රිස්ඛාන්,  මා ඉහත සඳහන් කල සන්ධ්‍යා එක්නැලිගොඩ, 2013 වසරේදී  තම සැමියා පහරගැනීමට ලක්වූ  මයුරි, මීට වසර 10කට පෙර තම පුතා අහිමි වූ වෛද්‍ය මනෝහරන්,  2007 වසරේ සිට නාවික හමුදා පාලනය යටතේ පවතින මුල්ලිකුලම් ප්‍රදේශයේ ගම්වාසීන් කිහිපදෙනෙකු සහ  අසාධාරණ ලෙස රඳවා සිටින රැඳෙවියන් කිහිපදෙනෙකුගේ බිරින්දෑවරු  ඒ අතර වෙයි. මේ කණ්ඩායමට ඇතුළත් වන තවත් අය බොහෝ ය.

ශ්‍රී ලංකාවේ නන්දෙසින් සහ පිටරටවලින් මෙවැනි අරගලවලට සහය දැක්වූ  තනි පුද්ගලයින් සහ කණ්ඩායම්වලට ද මාගේ ප්‍රශංසාව හිමි වේ.  මාගේ සමකාලීනයන් හා මිතුරන් සමග එක්ව එවැනි අරගලවලට උපකාර කිරීමට මමද උත්සාහ කර ඇත්තෙමි.  නමුත් අප විසින් සිදු කළ පෞද්ගලික කැපකිරීම් සහ අවදානම් දරා ගැනීම්  කොතෙක් වුවද  ඒවා තවමත් ප්‍රමාණවත් නොවේ.  ඇතැම් අවස්ථාවලදී  ඉතාම වේදනා සහගත ඉල්ලීම්වලට උපකාර කළ නොහැකි බව කීමටත් ඒවා නොසලකා හැරීමටත් සිදු වීම  මෙන්ම අපට උපකාර කළ නොහැකි විට එසේ උපකාර කළ හැකි අයෙක් සොයා ගැනීමට නොහැකි වීම සැබවින්ම සිත කම්පා කරයි.  දිවි බේරාගත්තවුන් සහ වින්දිතයන්ගේ පවුල් වෙනුවෙන් සහයෝගීතාවයෙන් හා එක්ව සිටිමින් කටයුතු කිරීමට මාගේ සමකාලීනයන් හා  මිතුරන් දිරිගැන්වීමට  මා හට නොහැකි වීම පිළිබඳව මම දැඩි ලෙස කම්පා වෙමි.

පර්යේෂණ කිරීම, දැනුවත් කිරීමේ ව්‍යාපාර කිරීම, නීති උපදෙස් ලබා දීම, නීති ක්‍රියාමාර්ග ගැනීම සහ පුහුණු කරවීම්  එක්ව සිටීම හා සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට වැඩ වැදගත් බව පෙනුනද මාගේ අත්දැකීම් අනුව වින්දිතයන් සහ පවුල් සමග පාරේ සිටගෙන උද්ඝෝෂණ කිරීම, ඔවුන් සමග උසාවියට සහ අනෙක් ආයතනවලට යාම, ඔවුන්ගේ සැප දුක් සොයා බැලීමට සිර ගෙවල් සහ නිවාසවලට යාම, මානසික ශක්තිය ලබා දීම, පරිවර්තන කටයුතු සඳහා උපකාර කිරීම, ඔවුනට උපකාර කළ හැකි අය හඳුන්වා දීම ආදී සරල ක්‍රියා මාර්ග වින්දිතයන්ට හා ඔවුන්ගේ පවුල්වලට යුක්තිය දිනා ගැනීමට සැබවින්ම උපකාරී වේ. මෙය රීටාගේ  සහ මා ඉහත සඳහන් කළ අනෙක් අරගලවලින් පැහැදිලි වේ.  අනාගතයේදීද,  අපගේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සියලු දෙනාටම සමාන ප්‍රවේශය තහවුරු කරන කාර්යක්ෂම සහ ඵලදායි එකක් වන තුරු මේ තත්වය නොවෙනස් ව පවතිනු ඇත.

සැලකිය යුතුයි:- මෙය 2015 දෙසැම්බර් මස 30 දින http://groundviews.org/2015/12/30/solidarity-actions-and-struggles-for-justice-in-sri-lanka/  හි ඉංග්‍රීසි භාෂාවෙන් පළවූ ලිපියෙහි සිංහල පරිවර්තනයකි.

[i]  සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මුල් වසර තුන පුරාවට කල අරගලය පිලිබඳ සවිස්තර වාර්තාවක් සඳහා  පිවිසෙන්න

Archive

Latest news

Related news