Saturday, April 27, 2024

ජිනිවා යෝජනාවල පාර්ශ්වකරුවන් වීමට ශ්‍රී ලංකා ආණ්‌ඩුව ජාත්‍යන්තරය ඉදිරියේ පොරොන්දු වුණා

සුරෙන්ද්‍රන් සිංහල මාධ්‍ය ඔස්‌සේ කළ පළමුවන පුවත්පත් සාකච්ඡාව.

* ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරෙන් සුරේන්ද්‍රන් ලන්ඩනයේ සිට දිවයිනට කතා කරයි

* ජුනි මාසයේදී එහි ප්‍රගතිය ජිනීවාවලට වාර්තා කිරීමට ආණ්‌ඩුව බැඳී සිටිනවා

* යුද අධිකරණයට ජාත්‍යන්තර විනිසුරුවරුන් ඕනෑමයි

මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ආණ්‌ඩුව ලබන 2016 වසරේ මුහුණදෙන බරපතළම අභියෝගය වන්නේ යෝජිත යුද අධිකරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමයි.

වසරක්‌ වයසැති සභාග රජය මෙම අභියෝගයට මුහුණ දෙන ආකාරය ගැන පැහැදිලි අදහසක්‌ තවමත් ඉදිරිපත් කර නැත. රජයේ යෝජිත ක්‍රියාපිළිවෙතට දැඩි බලපෑමක්‌ කරන එක්‌ පාර්ශ්වයක්‌ වන්නේ යුරෝපය කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වන ගෝලීය ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ සංවිධානයවී කටයුතු කරන ගෝලීය දෙමළ සංසදයයි. (Global Tamil Forum) ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ සංවිධානගතවි කටයුතු කරන, ගෝලීය ද්‍රවිඩ සංසදයට බටහිර බලවතුන් සමඟ ඉතාමත් හොඳ සම්බන්ධතා ඇත.

එම හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහිදී සම්මත වුණ යෝජනාව ක්‍රියාත්මක කිරීමේදී ගෝලීය ද්‍රවිඩ සංසදයේ ස්‌ථාවරය ඉතාම වැදගත් වනු ඇත. එය නොසලකාහැර කටයුතු කිරීම කිසිලෙසකවත් යෝජිත ක්‍රියාවලියේ සාර්ථකත්වයට හේතුවක්‌ නොවනු ඇත.

ගෝලීය ද්‍රවිඩ සංසදය යෝජිත යුද අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පලකරන අදහස්‌ අනිවාර්යෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානය සහ බටහිර බලවතුන්ද එම කාරණය සම්බන්ධයෙන් දරන අදහස්‌ද පිළිබිඹු කරන බව ඉතාමත් පැහැදිලිය.

පහත සඳහන් වන්නේ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ගෝලීය ද්‍රවිඩ සංසදය මහා බ්‍රිතානයයේ වෙසෙන එහි ප්‍රකාශක සුරෙන් සුරේන්ද්‍රන් මහතාට යොමු කරන ලද ප්‍රශ්න සහ ඔහුගේ පිළිතුරුය. සුරෙන්ද්‍රන් සිංහල මාධ්‍ය ඔස්‌සේ කළ පළමුවන පුවත්පත් සාකච්ඡාවයි මේ.

ප්‍රශ්නය – යෝජිත යුධ අධිකරණය බලගන්වන කාලය පිළිබඳව ශ්‍රී ලංකා රජය, ජීනීවා මානව හිමිකම් කවුන්සිලය සහ අගතියට පත්වුණුq ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන පාර්ශ්වකරුවන් සමඟ එකඟතාවයක්‌ ඇතිවී තිබෙනවාද?

පිළිතුර – විදේශ අමාත්‍ය මංගල සමරවීර 2015 සැප්තැම්බර් මස ජිනීවා සැසියේදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රජය 2016 පෙබරවාරි මස අග වන විට මෙම අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කරනා බවයි.

ශ්‍රී ලංකා රජයේද අනුග්‍රහය ඇතිව පසුගිය සැප්තැම්බරයේ සම්මත වුණු යෝජනාවලිය අනුව ශ්‍රී ලංකා රජය 2016 ජුනි මස පැවැත්වීමට නියමිත සැසියට තමුන් දැනට කර තිබෙන වැඩ ප්‍රමාණය පිළිබඳ වාචික වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට බැඳී සිටිනවා.

එම පොරොන්දු ජිනීවා නුවරදී එකඟවූ ආකාරයට සිදු කිරිම රජයේ වගකීමයි.

ප්‍රශ්නය – ඔබලාගේ සංවිධානය මෙම යෝජිත යුධ අධිකරණය ඉදිරියේ පෙනී සිටිනවාද?

පිළිතුර – අපි ජිනීවා යෝජනාව හා එම ක්‍රියාවලිය සමඟ සම්පූර්ණයෙන්ම එකඟවෙනවා. එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. නමුත් මෙම ක්‍රියාවලියේදී වඩා වැදගත් වන්නේ යුධ ක්‍රියාවලිය නිසා පීඩාවට පත්වූ ජනතාව යෝජිත අධිකරන පද්ධතිය ඉදිරියේ කරන ප්‍රකාශයි. එලෙසම නොයෙකුත් හමුදා නිලධාරීන්, රජයේ නියෝජිතයන් ඉතිරි එල්. ටී. ටී. සාමාජිකයන්, සහ ඡායාරුප හා වීඩියෝ පටිගත කිරීම් සහ අනෙකුත් සාක්‌ෂි මෙහිදි ඉතාමත් වැදගත්.

සත්‍ය දැනගැනීමට මෙම සියලු දෙනාම ඉදිරිපත් කරනා සාක්‌ෂි විමසා බැලීමට සිදුවෙනවා. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළයුතු වන්නේ අවසන් සටනින් පසු තම ජීවිත ගලවාගෙන පැමිණි 290,000 අධික ප්‍රමාණයක්‌ සාක්‌ෂිකරුවන් ලෙස යොදා ගැනීමට ඇති හැකියාවයි.

පසුගිය රජය 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් කලාට පසු කරනා ලද අපරාධ සම්බන්ධයෙන් බොහෝ වින්දිතයන් සහ සාක්‌ෂිකරුවන් සිටිනා බව ද අප අමතක කළ යුතු නැත.

ප්‍රශ්නය – ගෝලීය ද්‍රවිඩ සංසදය සහ එම අදහස්‌ මතම ක්‍රියාත්මක කරන අනෙකුත් සංවිධාන ජිනීවා සම්මුතිය 100% ක්‍රියාත්මක කිරීමට බලකර සිටිනවාද?

පිළිතුර – මෙහිදී ප්‍රධානම කාරණය වන්නේ ගෝලීය ද්‍රවිඩ සංසදය හෝ ද්‍රවිඩ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් කණ්‌ඩායම් කරනා බලපෑම නොවේ.

අපි තේරුම් ගත යුතු වන්නේ ජිනීවා ක්‍රියාවලිය ඒ ආකාරයෙන් ඉටුකිරීමට ශ්‍රී ලංකා රජය එම යෝජනාවලියේ පාර්ශ්වකරුවකු හැටියට ජාත්‍යන්තර ප්‍රජාවටත්, රටටත් දී තිබෙන පොරොන්දුවයි. එම වගකීමෙන් මොනයම් ආකාරයකට හෝ මඟ හැර යැමට රජයට නොහැකියි. යුද්ධයේදී මියගිය දස දහස්‌ ගණනක්‌ ජනතාවට සහ එමගින් අගතියට පත්වූ ජනතාවට යුක්‌තිය ඉෂ්ඨ කිරීම පවතින රජයේ වගකීමයි.

යුද්ධයේදී සියලු ජාතීන් අගතියට පත්වූ අතර හමුදා සාමාජිකයන් දස දහස්‌ ගණනාවක්‌ද අතුරුදන් විය.

යෝජිත යුධ අධිකරණ ක්‍රියාවලිය සියලු ජාතීන් යුද්ධයෙන් පසු මුහුණ දෙන ගැටලුවලට බොහෝදුරට පිළිතුරක්‌ වන බව අපගේ හැඟීමයි.

ප්‍රශ්නය – ගෝලීය ද්‍රවිඩ සංසදය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර සම්බන්ධතාවය ඔබට පැහැදිලි කළ හැකිද?

පිළිතුර – අපි වෙනම කණ්‌ඩායම් දෙකක්‌. ගෝලීය ද්‍රවිඩ සංසදයට, ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ මිත්‍රශීලීව එකට වැඩ කළ හැකි සම්බන්ධතාවයක්‌ තියෙනවා. මෙහිදී මතක තබාගත යුත්තේ ද්‍රවිඩ ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ දෙමළ කථා කරන ජනතාව පාර්ලිමේන්තුවේ නියෝජනය කරන දේශපාලන පක්‍ෂය බවයි.

ප්‍රශ්නය – පසුගිය අගෝස්‌තු මහ මැතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානය හිටපු එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරීන් ඡන්දයට තම ලැයිස්‌තුවෙන් ඉදිරිපත් කිරීම ප්‍රතික්‌ෂේප කළා. එම තීරණය ගැනීමට ප්‍රථම එම සන්ධානය ඔබ සංවිධානයෙන් අදහස්‌ විමසා සිටියාද?

පිළිතුර – කිසිසේත් නෑ. මම මීට ප්‍රථමයෙන් පෙන්වා දුන් පරිදි අපි මේ කථා කරන්නේ සංවිධාන 2 ක්‌ සම්බන්ධයෙනුයි. අපගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය එකක්‌ නොවේ.

ප්‍රශ්නය – හිටපු ජනපති විසින් පත්කරන ලද වර්තමාන ජනපති විසින් පිළිගන්නා ලද පරණගම වාර්තාව යෝජිත යුධ අධිකරණ සම්බන්ධයෙන් යෝජනා කර ඇත්තේ, රජය විදේශීය විනිසුරුකරුවන් මෙම ක්‍රියාවලියට සම්බන්ධ කරගන්නේ නැත්නම්, ඉතාම දැඩිව පවසන්නේ විදේශීය තාක්‌ෂණික සහය සහ නිරීක්‍ෂණ බලය විදේශීය රටවලට ලබා දිය යුතු බව මෙම කොමිසම දැඩිව පවසනවා. ඒ ගැන ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර – ගෝලීය ද්‍රවිඩ සංසදය 100% ක්‌ම සහයෝගය පල කරන්නේ පසුගිය සැප්තැම්බරයේදී ජිනිවා නුවරදී ශ්‍රී ලංකා රජයේද පූර්ණ කැමැත්තෙන් ස්‌ථිර වූ ඇමැරිකාව ප්‍රමුඛ වී ඉදිරිපත් කරනා ලද යෝනාවලියයි. එම යෝජනාවලිය අනුව ජාත්‍යන්තර විනිසුරුකරුවන් නීතිඥයන් ඇතුළු ජාත්‍යන්තර ක්‍රියාකාරීන් සහ විශේෂඥයන් යෝජිත අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බවයි. එය ඒ ලෙසම ඉටුවිය යුතු බව අපගේ හැඟීමයි.

ප්‍රශ්නය – හිටපු ජනපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන පරිදි යෝජිත යුධ අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුත්තේ යම් අපරාධයක්‌ සිදුවුණා නම් එම අපරාධය කිරීමට නියෝග දුන් ඉහළ දේශපාලන හා හමුදා නායකත්ව ඉලක්‌ක කරගෙන බවය.

ඇය පවසන පරිදි වෙඩි තබන සොල්දාදුවාට වඩා වගවීම ප්‍රශ්නයේදී එයට මුහුණ දිය යුත්තේ ඉහළ නායකත්වය බවයි. මේ ගැන ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර – එම අදහස සමඟ මේ සම්බන්ධව කටයුතු කරන උනන්දුවක්‌ දක්‌වන බොහෝ පාර්ශ්ව එකඟයි.

ප්‍රශ්නය – යෝජිත යුධ අධිකරණ ක්‍රියාවලිය සියරා ලියොන්හි එක්‌සත් ජාතීන්ගේ මූලිකත්වයෙන් කරනා ලද යුද අපරාධ පරීක්‍ෂණයට සමාන කළ හැකිද?

පිළිතුර – මම යුධ අපරාධ විශේෂඥයෙක්‌ නොවේ. නමුත් යුද්ධය පැවැති කාලයේ සහ ඊට පසුවත් පාර්ශ්ව දෙකම ශ්‍රී ලාංකික සහ ජාත්‍යන්තර නීතිය කඩ කිරීම් කළ බව කවුරුත් දන්නා කාරණයක්‌.

ප්‍රශ්නය – පසුගිය සැප්තැම්බර් මස ජිනීවා නුවරදී සම්මත වුණු යෝජනාවලිය ගෙන ඒමට ගෝලීය ද්‍රවිඩ සංසදය ප්‍රධාන කාර්යභාරයක්‌ කළ බව කවුරුත් පිළිගන්නවා. ඔබට සහය දුන් කණ්‌ඩායම් කවුරුද? එලෙසම දේශීය සහ ජාත්‍යන්තර මාධ්‍ය හැසිරුණු ආකාරය ගැන ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර – රටවල් බොහෝමයක ක්‍රියාත්මක වන සංවිධානවල එකතුවක්‌ ලෙස ගෝලීය ද්‍රවිඩ සංසදය හැඳින්විය හැක. ද්‍රවිඩ ජනතාව මුහුණ දුන් බිහිසුණු තත්ත්වය ගැන පැහැදිළි කිරීමට විදේශීය රාජ්‍යය ශ්‍රී ලංකා මාධ්‍ය/විදේශීය මාධ්‍ය සහ ජාත්‍යන්තර මානව හිමිකම් කණ්‌ඩායම් සමගම ඉතාම කිට්‌ටුවෙන් කටයුතු කළා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ජිනීවා යෝනාවලිය පසුගිය සැප්තැම්බරයේදී සම්මත වුණා. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ ශ්‍රී ලංකා රජය මෙම යෝජනාවලිය සමඟ එකඟ වී එහි පාර්ශ්වකරුවකු වීමටද ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේදී පොරොන්දු ව බවය.

ප්‍රශ්නය- පසුගිය ජනවාරියේදී පැවැති රජය ජනාධිපතිවරණයේදී පරාජය වීමට පෙර දේශීය මාධ්‍ය කටයුතු කළ ආකාරය පිළිබඳ ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර- අපි කටයුතු කළේ දි අයිලන්ඩ් පුවත්පත ඇතුළු ඉතාම සීමිත ඉංග්‍රීසි මාධ්‍යවේදීන් කීප දෙනෙක්‌ සමඟයි.

පසුගිය ජනපති මැතිවරණයට පෙර රාජ්‍ය මාධ්‍ය ඇතුළු අනෙකුත් මාධ්‍ය අප පෙනී සිටි අදහස්‌වලට අවස්‌ථාවක්‌ දීමට කිසි විටෙකත් ඉදිරිපත් වුණේ නෑ.

අපි ගැන එම මාධ්‍යවල යම් සඳහනක්‌ වුණා නම් එය අනිවාර්යෙන්ම අපහට අවාසිදායක වැරදි අදහසක්‌ ඉදිරිපත් කරනා ප්‍රවෘත්තියක්‌. නමුත් අද රූපවාහිනිය හා ලේක්‌හවුස්‌ ආයතනය අපට අවස්‌ථාවක්‌ දෙනවා.

ප්‍රශ්න- සිරියාවට විරුද්ධව බටහිර බලවතුන් කරගෙන යන්නාවූ හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර – ගෝලීය ද්‍රවිඩ සංසදය කටයුතු කරන්නේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ප්‍රජාවට අදාළ කරුණු සම්බන්ධවයි.

අපගේ එකම අරමුණ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විස¹ ගැනීමයි.

අපි බැඳී සිටින්නේ ජාතික සන්හිඳියාව ඇති කිරීමට. අපි සහ ඩයස්‌පෝරා සංවිධාන ජිනීවා යෝජනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. යන ස්‌ථාවරයේ ඉන්නවා. එනම්. එම යෝජනා අධිකරණ ක්‍රියාවලියට පොදු රාජ්‍ය මණ්‌ඩලය ඇතුළු ජාත්‍යන්තර විනිසුරුකරුවන් සම්බන්ධ විය යුතු බවත්, එලෙසම අනෙකුත් ජාත්‍යන්තර ක්‍රියාකාරීන් එහි කොටස්‌කරුවන් විය යුතු බවත් යන යෝජනාව එ ලෙසම ක්‍රියාත්මක විය යුතු බවටත් වාදයක්‌ තියෙන්න බෑ.

විශ්‍රාමික මහා අධිකරණ විනිසුරු මැක්‌ස්‌වල් පරණගම මහතා යෝජිත යුධ අධිකරණ ක්‍රියාවලි සම්බන්ධයෙන් පල කළ පරස්‌පර විරෝධී අදහස්‌ (ජිනීවා යෝජනාවලියට සාපේක්‌ෂව) විදේශීය විශේෂඥයන් කීප දෙනකුගේම සහයෝගය ලබාගෙන තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා රජය ජිනීවා නුවරදී ජාත්‍යන්තර ප්‍රජාවට දුන් පොරොන්දුව පරණගම යෝජනාවලියෙන් වෙනස්‌වීමට අවකාශයක්‌ නොමැති බව අපගේ හැඟීමයි.

සාකච්ඡා කළේ
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ / Divaina

Archive

Latest news

Related news