Monday, May 6, 2024

කෙටි කලකින් මෙතරම් සාධනීය වෙනසක් කළ ‘වෙනත් රටක් නෑ’ – සමන්තා පවර්

ශ්‍රී ලංකාව තරම් මෙතරම් කෙටි කලකින් සාධනීය වෙනසක් සිදු කළ ලොව වෙනත් කිසිදු රටක් පිළිබඳව තමන්ට සිතා ගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිනි සමන්තා පවර් පවසයි.

තානාපතිනිය ඒ බව කියා සිටියේ සිය තුන් දින ශ්‍රී ලංකා සංචාරයේ අවසන් දිනය වූ සඳුදා ශිෂ්‍ය නියෝජිතයන් පිරිසක් සමග සාකච්ඡාවකට එක්වෙමින්.

කෙසේ නමුත් වගවීම, ප්‍රතිසංස්කරණ ආදී ක්ෂේත්‍රවල තවත් ප්‍රගතියක් සිදුවිය යුතු බවත් ඇය සඳහන් කළාය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ උත්සාහය පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ අප්‍රිකාවේ සහ ආසියාවේ නායකයින් බොහෝ විට සිය බලය සංකේන්ද්‍රණය කර ගැනීමට උත්සාහ දරද්දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බලය අත්හැරීමට කටයුතු කිරීම ඉතා අගය කළයුත්තක් බවයි.

වගවීම, ප්‍රතිසංස්කරණ ආදී ක්ෂේත්‍රවල ‘තවත් ප්‍රගතියක් අවශ්‍යයි’ (ජායාරූපය ඇමෙරිකානු තානාපති කාර්යාලය)

සිය ශ්‍රී ලංකා සංචාරයේ සැබෑ අරමුණ කුමක්දැයි මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සමන්තා පවර්, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් ඇමරිකාවට කළ හැකි දායකත්වය පිළිබඳව ජනාධිපති බරක් ඔබාමාට කරුණු දැක්වීම එහි අරමුණ බව සඳහන් කළාය.

ඉරිදා උතුරේ සංචාරයෙන් අනතුරුව සඳුදා උදෑසන තානාපතිවරිය කොළඹ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මුණගැසුන අවස්ථාවට අගමැති රනිල් වික්‍රමසිංහද එක්ව සිටියේය.

ශ්‍රී ලංකාවේ තිරසාර සංහියාඳිවක් ඇති කිරීම සඳහා පසුගිය මාස 10 තුළ නව රජය කළ කැපවීම තානාපතිනිය එහිදී ඇගයීමට ලක් කළ බවයි, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

සංහිඳියා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේදී නව රජය ඉතා විශ්වාසවන්ත සහ පිළිගත හැකි අයුරින් එම කටයුතු සිදු කරන බව පවසා ඇති තානාපතිනිය එම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරන නිලධාරීන් සහ ආයතන අතර මීට වඩා සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබේ.

සත්‍ය ගවේෂණය, හානිපූර්ණය, යුක්තිපූර්ණය, නැවත සිදුවීම වළක්වා ගැනීම යන මූලධර්ම මත පදනම්ව සිය ආණ්ඩුවේ සංහිඳියා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා තානාපතිනියට පෙන්වා දුන් බවත් සඳහන්.

කලක් මුළුල්ලේ අර්බුදයකට මුහුණපා සිටි රටක විවිධ අදහස් සහිත කණ්ඩායම් සමග කටයුතු කිරීමට සිදුවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහිදී මතුවන අදහස් අතර විෂමතා පවතින බැවින් ඉතා ඉවසීමෙන් කටයුතු කිරීමට නව රජයට සිදු වී තිබෙන බවත් පවසා තිබේ.

තානාපතිනිය ශිෂ්‍ය නියෝජිතයන් හමුවූයේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. තානාපතිනියගෙන් ප්‍රශ්න ඇසීමට එහිදී ශිෂ්‍ය නියෝජිතයන්ට අවස්ථාව ලබාදුන් අතර එම වැඩසටහන සජීවීව ජාතික රුපවාහිනියේ විකාශය කෙරිණි.

ජනවාරි 8ට පෙර මානව හිමිකම් පිළිබඳව හඬ නැගුවන් ත්‍රස්තවාදීන් ලෙසින් හංවඩු ගැසූ බව ශිෂ්‍ය නියෝජිතයකු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව තවත් බොහෝ රටවලද දේශපාලනඥයන් සැබෑ ප්‍රශ්න වසන් කිරීම පිණිස විදේශිකයන්ට, බටහිර රටවලට සහ යටත් විජිතවාදයට පහර ගැසීම සාමාන්‍ය තත්වයක් බවයි, එයට පිළිතුරු දෙමින් තානාපතිවරිය කියා සිටියේ.

ලාංකීය දේශපාලනයේ වෙනස සිදු කරනු ලැබුවේ ශ්‍රී ලාංකිකයන් විසින් පමණක් බව ඇය අවධාරණය කළාය

– බීබීසී සිංහල

Archive

Latest news

Related news