Saturday, April 27, 2024

අාණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී වගකීම යළිත් කියා දෙන්න කාලය ඇවිත් – අලුත් පරපුර

වර්තමාන ආණ්ඩුව බලයට පත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ප්‍රජාතාන්ත්‍රිකව පරාජය කරමින් බැවත් ඒ සදහා අවශ්‍ය ශක්තියෙන් වැඩි කොටස එම බලවේගයන්ට හිමි වන්නේ සිවිල් සමාජ සංවිධාන හා සක්‍රිය පුරවැසියන් ගේ අසීමිත මහන්සිය තුළින බවත් ප්‍රකාශ කරන අලුත් පරපුර එසේ බලයට පත් වූ මෙම ආණ්ඩුව දැන් දැන් හැසිරෙන ආකාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ එය බලයට පත් වූ තත්ත්වය පිළිබඳ වන මතකය ගිලිහෙමින් තිබෙන බව සදහන් කරයි. අලුත් පරපුර කයා සිටින්න් එම මතකය අවධි කිරීම සිවිල් සමාජයේ වගකීම බවයි.

එම නිවේදනය පහත දැක්වේ:

මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරන අලුත් පරපුර සංවිධානය යනු පසුගිය ජනාධිපතිවරණයේ දී පැවතුණු රාජපක්ෂ පාලනය පරාජය කිරීමට සිය ශ්‍රමය කැප කළ සංවිධානයකි. අප මෙම නිවේදනය නිකුත් කරන්නේ පසුගිය දා (ඔක් 29) HNDA සිසුන්ගේ විරෝධතාවයට ශ්‍රී ලංකා පොලීසිය විසින් එල්ල කරන ලද නින්දිත ප්‍රහාරය අප සංවිධානය කොන්දේසි විරහිතව හෙලා දකින බව ප්‍රකාශයට පත් කිරීමට ය.

අපි වැඩ කලේ මොකටද?

ස්වාධීන කලාකරුවන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගෙන් සැදුම් ලත් අප සංවිධානය ජනවාරි 8 වනදා දේශපාලන වෙනස වෙනුවෙන් වෙහෙස වූයේ පැවතුණු ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, නීතියේ ආධිපත්‍යය ගරු නොකරන, විනාශකාරී පාලනය වෙනස් කිරීම ඒ මොහොතේ මේ රටේ අනිවාර්ය අවශ්‍යතාව වූ බැවිනි. කුමන හෝ හේතුවක් නිසා ජනවාරි අට වන දා රාජපක්ෂ රෙජීමය පරාජය නොවුණා නම් සමාජයක් ලෙස සේම රටක් ලෙස අප ඇදවැටීමට නියමිත ව තිබුනේ මේ මොහොතේ පවා අපට වටහා ගත නොහැකි තරම් ආගාධයකට ය. ඒ නිසා අප ඒ මොහොතේ සිදු කළේ ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය තුළ වඩාත්ම නිවැරදි දේ බවට අපට දෙගිඩියාවක් නැත. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති අත්‍යන්ත ගැටලුව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනයන් බිහිවිය හැකි වීම ය. එය සීමා කළ හැකි වන්නේ සිවිල් සමාජ‍යේ සහ පුරවැසියන්ගේ සක්‍රිය දේශපාලන මැදිහත් වීම්වලින් පමණ ය.

යහපාලනය යන්නෙත් මහින්ද ගිය පාරෙද?

වර්තමාන ආණ්ඩුව බලයට පත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ප්‍රජාතාන්ත්‍රිකව පරාජය කරමිනි. ඒ සදහා අවශ්‍ය ශක්තියෙන් වැඩි කොටස එම බලවේගයන්ට හිමි වන්නේ සිවිල් සමාජ සංවිධාන හා සක්‍රිය පුරවැසියන් ගේ අසීමිත මහන්සිය තුළිනි. එසේ බලයට පත් වූ මෙම ආණ්ඩුව දැන් දැන් හැසිරෙන ආකාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ එය බලයට පත් වූ තත්ත්වය පිළිබඳ වන මතකය ගිලිහෙමින් තිබෙන බව ය. එසේනම් එම මතකය අවදි කිරීම සිවිල් සමාජයේ වගකීම කි.

මීට වසරකට පමණ පෙර ලාංකීය දේශපාලන කතිකාව තුළ මෛත්‍රීපාල සිරිසේන යනු ජනාධිපති අපේක්ෂකයා වීමේ විකල්පයක් නොවේ. නමුත් දැන් ඔහු ලංකාවේ ජනාධිපතිවරයා ය. දේශපාලනයේ හැටි එහෙම ය. එය අතීරණාත්මක ය. දේශපාලනයේ ඇති සෞන්දර්යය ද එයයි. රාජපක්ෂට තවමත් යම් දේශපාලන හැකියාවක් පවතින නිසා මේ ආණ්ඩුව සිදුකරන ඕනෑම දෙයකට සිවිල් සමාජය බරපතළ විරෝධයක් නොදක්වා සිටී යැයි ආණ්ඩුව සිතන්නේ නම් එය ඔවුන්ට සිදුවන බරපතල අත්වැරැද්දකි. ඒ අත්වැරැද්ද විසින් නුදුරු දිනෙක මේ ආණ්ඩුව පරාජයට පත් කරන්නට ඉඩ ඇත.

පරීක්ෂණයක් වහාව අවශයයි

29 වන දා ශිෂ්‍ය වි‍රෝධතාවයට පොලීසිය විසින් එල්ල කල නින්දිත ප්‍රහාරය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා වහාම වග කිව යුතු සියල්ලන්ට නිසි දඩුවම් පැමිණවීම සිදු කළ යුතුව ඇත. මේ සදහා අභිනවයෙන් පත් වූ ස්වාධීන පොලිස් කොමිසමට ද විශාල වගකීමක් ඇත. එහි සභාපතිවරයා මහාචාර්ය සිරි හෙට්ටිගේ වීම නිසා වගකීම වඩා තීව්‍ර වෙයි. ශිෂ්‍ය ව්‍යාපාරය යනු දේශපාලනිකව ඉතා සක්‍රිය එකක් වන අතර ශිෂ්‍ය අරගල යනු ලාංකීය සමාජයට නුහුරු දේ නොවේ. නිදහස් අධ්‍යාපනය මේ ආකාරයෙන් හෝ පවත්වාගෙන යාමට ඓතිහාසිකව ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය සිදු කර ඇති දායකත්වය අතිවිශාලය. ඒ ගැන ජනතා ගෞරවයක් ශිෂ්‍ය ව්‍යාපාරයට හිමි විය යුතු ය.

වර්තමාන ආන්ඩුව දැන ගත යුතු වන්නේ යහපාලනය යන වචනය වැඩි වාර ගනනක් ප්‍රකාශයට පත් කිරීමෙන් යහපාලනයක් ඇති වන්නේ නැති බව ය. යහපාලනය යන්නට අර්ථයක් ලැබෙන්නේ එය ප්‍රජාතාන්ත්‍රික දේශාපාලන රාමුවක් තුළ භාවිතයක් බවට පත් කිරීමෙන් පමණ ය. දැන් දැන් යහපාලනය යන වචනය පොදුජනයා අතර ජනප්‍රිය වෙමින් පවත්නා විහිළුවක් බවට පත් වී තිබීම අපට දනවන්නේ දේශපාලන අනතුරක සේයාවක් මිස කුරිරු සතුටක් නොවේ. මෙවැනි නින්දිත පහර දීමවලින් සිදු ‍වන්නේ දේශපාලන අනතුරක සේයාව පැහැදිලි දේශපාලන අනතුරක් බවට පත් වීම ය

Archive

Latest news

Related news