Friday, March 29, 2024

ජෙයකුමාරි, ශෂී විරවංශ, සින්නතම්බි උදේනි සහ ශිරන්ති රාජපක්ෂ – සුනන්ද දේශප්‍රිය

ලෝක කාන්තා දිනය ගෙවී ගියේ ය.

ජෙයකුමාරි බාලේන්ද්‍රන් මාර්තු 08 දා වන විට දින 360ක් සිර ගතව සිට තිබුණි. ඇය මවක සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියකි.

කන්තා දිනයෙන් දෙදිනකට පසු ජෙයකුමාරි බාලෙන්ද්‍රන් ඇප සහ කොන්දේසි පිට නිදහස් කෙරැණි. ඒ වන විට ඇය 362ක්ම ඇය රැඳවා තිබුනේ කිසිදු චෝදනාවක් ඉදිරිපත් නොකර ය. අධිකරණය හමුවෙහි පොලීසිය දිගටම කියා සිටියේ ඇය සම්බන්ධ පරීක්ෂණය අවසන් නැති බැවින් ඇයට ඇප නියම කල නොහැකි බවය. අවසානයේ දී ඇයට ඇප ලැබුනේ දේශීය වශයෙන් ඇය නිදහස් කරන ලෙස ඉල්ලා නොනැවත කරගෙන ගිය උද්ඝෝෂණයන්ට ස්තුති වන්නට ය. එකී දේශීය උද්ඝෝෂණය මහත් අන්තර් ජාතික අවධානයක් දිනා ගැනීමට ද සමත් වී තිබුණි. කිසිදු චෝදනාවක් නඟා නොතිබුණ නමුත් ඇය නිදහස් කැරුණේ කොන්දේසි ගණනාවක් උඩ ය. ඇයට විදේශ ගමන් තහනම් කරන ලද අතර මාසිකව පොලීසියේ පෙනී සිටීමට ද නියම කරන ලදී. ඇය රඳවා සිටියේ කුප්‍රකට බූස්ස සිර කඳවුරෙහි ය.
ශෂි වීරවංශගේ කතාව ඊට සහමුළින්ම වෙනස් ය.

රාජපක්ෂවාදී දේශපාලනඥයකු වන විමල් වීරවංශගේ බිරිඳ කූඨ ලේඛන ඉදිරිපත් කර හොර ගමන් බලපත්‍ර ලබා ගැනීමේ වරදට පුද්ගලික රෝහලකදී අත් අඩංඟුවට ගත්තේ පසුගිය පෙබරවාරි 25 දිනය. රහස් පොලිසිය වැඩිදුරටත් පවසන ලද්දේ ශෂි වීරවංශටට උපන් දින දෙකක් ඇතිව හැදුනුම්පත් දෙකක් ද ගමන් බලපතු දෙකක් ද නිකුත් කර ඇති බව රහස් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය. එපමණක් නොවේ. එම කූඨ ලේඛන සම්බන්ධ ලියැවිළි ජාතික හැදුනුම්පත් දෙපාර්ථමේන්තුවෙන් මෙන්ම ආගමන සහ විගමන දෙපාර්ථමේන්තුවෙන්ද අතුරුදහන් වී තිබුණි.

එම ලිපිගොනු අතුරුදන් වීම පිළිබද විශේෂ පරික්ෂනයක් සිදු කරන බවටද රහස් පොලීසිය අධිකරණය දැනුම් දුන් අතර ඒ මත ඇය මාර්තු 04 දා දක්වා රැදවුම් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේ ය. සොයා ගැනීමට නොහැකි බවට වාර්තා වූ රෝගයක් නිසා ඇය රිමාන්ඩ් සිර ගෙදරට යැවුනේ නැත. යැවුනේ බන්ධනාගාර රෝහලට ය. එමෙන්ම දෙදිනකට පසු ඇප ලබා නිදහස් වූ ඇය ගියේ රෝහලකට නොවේ. සිය නිවෙසට ය. කව්රුත් ඒ ගැන ප්‍රශ්ණ කළේ නැත.
මඩකළපුවේ සින්නතම්බි උදේනි නම් විසි තුන් හැවිරිදි ය. දෙමළ ය‍. සේවය කළේ අඟ‍ළුම් කම්හලකය.

ලෝක කාන්තා දිනයට දිය හයකට පෙර ඇය දෙවසරකට සිර ගත කරනු ලැබුණි. ඒ සීගිරි කැටපත් පවුරේ ‘තෑන්ක් උදයා’ යනුවෙන් සිය කොන්ඩා කටුවෙන් කුරුටු ගෑමේ වරදට ය. එය සිදුවුයේ පෙම්වතුන්ගේ දිනය වූ පෙබරවාරි 14 දිනය. මෙම වසරේදී ම ය. මාර්තු 02 වන විට ඇය දෙවසරක් සිර දඩුවමකට යටත් කිරීමට තරම් පොලීසිය ද අධිකරණය ද කාර්‍යක්ෂම විය. නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ඇය වරද පිළිගෙන තිබුණි. ජනමාධ්‍ය වාර්තා කළේ ඇය විසින් ලියන ලද අකුරු මකා කැටපත් පවුර යථා තත්වයට පිළිසකර කිරිමට හැකිදැයි විනිසුරුවරයා පොලීසියෙන් විමසන ලද බවත් එය කළ නොහැකි බව පොලීසිය දැනුම් දීමෙන් පසු දෙවසරක සිර දඩුවමක් නියම කළ බවත් ය‍. එවැනි විශේෂඥ අදහසක් ප්‍රකාශ කිරීමට පොලීසිය සමත් නැත් ද යන්න විනිසුරුවරයා විමසා නැත.

සිය දියණිය අනපේක්ෂිත ලෙස සිර කරනු ලැබිමෙන් වික්ෂිප්ත වූ ඇයගේ මව නිදහස් කර දෙන්නැයි ආයාචනා කරමින් සින්නතම්බි උදේනිගේ මව ජනමාධ්‍යට කියා තිබුණේ උදේනි මෙම වරද කළේ නොදැනුවත්කමින් බවය. එහිදී තවත් නම් කුරුටුගා තිබෙනු දුටු සිය දුව ද තමන්ගේ නම එහි ලියා ඇති බව කී ඇය ඇයට සමාව දී නිදහස් කරන ලෙස ඉල්ලා තිබුණි. ‘ඇය නොදැන කරපු වරදකට දඬුවම් ලබා සිටිනවා.මේ අවනඩුව අපට කියන්න කවුරුත් නෑ. මේකට මුල්ම හේතුව අපි සිංහල දන්නේ නෑ. වෙච්ච දේ පහදා දෙන්න බැරිවුනේ ඒ නිසයි ’ යනුවෙන්ද ඇය කියා තිබුණි. සින්නතම්බි උදේනි ඇඟළුම් කම්හළක සේවිකාවකි. ඇයට අත් හිටවූ සිර දඩුවමක් වෙනුවට බර පතල වැඩ ඇතිව දෙවසරක් බන්ධනාගත කරන ලද්දේ ඇයි දැයි එම මවට සිතා ගත නොහැකි ය.

දැන් ශිරන්ති රාජපක්ෂ වෙත හැරෙමු.

ඇය හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ය. බලගතු චරිතයකි. එසේ නමුත් ඇයට එරෙහිව බලගතු චෝදනාවක් ද නැගී තිබේ. එනම් කූඨ හැදුනුම් පත් අංකයකින් බැංකු ගිනුමක් පවත්වා ගෙන යාම පිළිබඳවය‍. එනම් ඇය පවත්වා ගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානය වූ සිරිලිය ව්‍යාපෘතිය සඳහා මහජන බැංකුවේ සුදු වැල්ල ශාඛාවේ පවත්වා ගෙන ගිය ගිනුම (අංක 143100146235069) සඳහා ශිරන්ති රාජපක්ෂ නමට 222222222V නම් ව්‍යාජ හැදුනුම්පත් අංකයක් භාවිතා කරන ලද බවට ය. හැදුනම් පතක අංකය සඳහන් වෙන්නේ එහි හිමිකරැවාගේ උපන්දිනය ද අනුව ය. මෙම හැඳුනුම් පත අනුව ශීරන්ති රාජපක්ෂ ඉපදී ඇත්තේ 1922 අගෝස්තු 08 වනදා විය යුතුය! මෙම කූඨ ලේඛන චෝදනාව ජනමාධ්‍ය විසින් ප්‍රසිද්ධියේම කරනු ලැබ තිබේ. එසේ නමුත් ආන්ඩුවේ විවිධ ප්‍රකාශයන්ට පිළිතුරු දෙමින් සිය නම පිරිසිඳු කර ගැනීම පිණිස පුවත් පත් ප්‍රකාශ නිකුත් කරන ජනාධිපති රාජපක්ෂ තවමත් මෙම ගිනුමට අදාළ කූඨ හැදුනම්පත් අංකය ගැන කටක් ඇර වචනයක් හෝ කියා නැත. ඒ පමණක් නොවේ. කැටපත් පවුරෙහි අකුරු 10ක් ලිවීම නිසා දවස් 730ක සිර දඬුවමක් ලබා දීමට ක්‍රියා කළ ආන්ඩුව මෙම කූඨ ලේඛනය ගැන අඩුම වශයෙන් ශිරන්ති රාජපක්ෂගෙන් තවම ප්‍රශ්ණ කර හෝ නැත. ප්‍රශ්ණ කරන පාටක් ද නැත.
ශෂි වීරවංශට හෝ ශිරන්ති රාජපක්ෂට කූට ලේඛන සදා ඒවා භාවිතයට ද ගෙන කරදරයක් නැතිව දවසැරිය හැකි නමුත් ජෙයකුමාරිලාට සහ සින්නතම්බි උදේනිලාට වරදක් ඇතිව හෝ නැතිව අයිති වන්නේ සිර ගෙදරය.

තවත් කුප්‍රකට කූඨ ලේඛනකරුවකු වන තිස්ස අත්තනායක ද තවම යහතින් ගෙදර ය. අකුරු දහයක් නොව එක් අතුරක් හෝ කැටපත් පවුරේ ලිවීම වරදකි. එවැනි නොදැන කළ වරදකට දෙවසර බරපතල වැඩ ඇතිව සිර දඩුවම් දෙන රටක බරපතල කූඨ ලේඛන වංචාවන් සම්බන්ධයෙන් පිළිගත හැකි චෝදනා නැගී ඇති ශෂි වීරවංසලාට, ශීරන්ති රාජපක්ෂලාටත් තිස්ස අත්තනායකලාටත් කුමන දඩුවමක් දිය යුත්ද? එවැනි දඩුවම් ඔවුන්ට ලැබෙනු ඇත් ද?

Archive

Latest news

Related news