Tuesday, July 16, 2024

ඇවන්ගාඩ් සමාගමට දේශපාලන පක්ෂයක හයිය කොහෙන්ද? – උපුල් ජෝශප් ප්‍රනාන්දු

“උසාවියෙන් තහනම් කරපු ඇවන්ගාඩ් අයිතිකාරයාගේ විදේශ ගමන් බලපත්‍රය විජේදාසයි – මාරපනයි සතියෙන් ලබා දුන්නා…”
අනුර කුමාර

අනුරගේ මේ කතාව අහනකොට මතක් වන්නේ 1994 බලයට ආ චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වූ පළමු දූෂණ චෝදනාව නොහොත් තවක්කාල් ගනුදෙනුවය. චන්ද්‍රිකාගේ ආණ්ඩුව තමන්ට ඡන්දය දුන් ඡන්දදායකයන් ඉදිරියේ ලැජ්ජාවට පත්වූයේ මේ තවක්කාල් ගනුදෙනුව නිසාය.

තවක්කාල් යනු රජයට අයත් පුත්තලම් සිමෙන්ති සමාගමේ කොටස් මිලදී ගත් පාකිස්තාන සමාගමකි. මෙම මිලදී ගැනීම සිදුවූයේ චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේදී නොව එ.ජා.ප. ආණ්ඩු කාලයේය. ඒ 1993දීය. එවකට විපක්‍ෂයේ සිටි පොදු පෙරමුණ සිමෙන්ති සමාගම පෞද්ගලිකකරණය කිරීමට එරෙහිව හඬ නැඟූහ. එහෙත් එ.ජා.ප. ආණ්ඩුව එය පෞද්ගලිකකරණය කළේ සමාගම් කොටස් තවක්කාල්වරුන්ට විකිණීමෙනි. 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුව බලයට පත්වූ විට තවක්කාල් සමාගම එහි කොටස් මෙරට කොටස් වෙළෙඳපොළේ විකිණීමට චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් අවසර ඉල්ලීය. එය සමාගම් පනත උල්ලංඝනය කිරීමක් විය. තවක්කාල්වරු මෙයට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට සල්ලි වීසි කළහ. මෙය එකල ඉංග්‍රීසි මාධ්‍ය හෙළි කළේ තවක්කාල් සමාගමේ හිමිකරු සහ තවත් විදේශ ආයෝජකයකු අතර පැවැති දුරකතන සංවාදයක් පටිගත කිරීමෙනි. එහි මෙසේ සඳහන් විය.

හොංකොං ආයෝජකයා – උඹ කැබිනට් අනුමැතිය ගන්න ගොඩක් සල්ලි වීසි කළාද?
ජාවේඩ් තවක්කාල් – එහෙම තමයි.
හොංකොං ආයෝජකයා – මිලියන විස්සක්.
ජාවේඩ් තවක්කාල් – නෑ. මිලියන තිහක්.

සන්ඩේ ටයිම්ස් 18-02-1996

මෙම දුරකතන සංවාදය එළියට ඒමට පෙර එවකට විදේශ ඇමැති කදිරගාමර් ජනාධිපතිනි චන්ද්‍රිකාට ලිපියක් ලියමින් කියා තිබුණේ මෙයට කැබිනට් අනුමැතිය නොදෙන ලෙසය.

“අප මේ තවක්කාල් ගනුදෙනුවේදී ගන්නා තීරණ තුළින් මේ රජය කිසිසේත්ම දූෂණය සහ වංචාවට ඉඩ නොදෙන බව ලෝකයාට ප්‍රකාශ කර සිටිමු. මෙය මහා පරිමාණ වංචාවකි. කොටස් වෙළෙඳපොළ ආරක්‍ෂා කිරීමට හෝ ආර්ථිකය ගොඩනැඟීමට කියා අප මෙවැනි වංචනික ක්‍රියාවලට සහයෝගය නොදිය යුතුයි”
මේ 1995 මාර්තු 22 කදිරගාමර් චන්ද්‍රිකාට යොමු කළ ලිපියේ උපුටා ගත් කොටසකි.
එදා කදිරගාමර් වගේ අද අනුර කුමාරද කියන්නේ මුහුදේ පාවෙන අවි නැවේ හිමිකරු ඇවන්ගාඩ් සමාගමේ අයිතිකරුගේ විදේශ ගමන් බලපත්‍රය උසාවියෙන් තහනම් කොට තිබියදී එයට ඇමැතිවරුන් මැදිහත් වී අනුමැතිය දීම මහින්දගේ ආණ්ඩුවේ වංචා සහ දූෂණ හෙළිකරන්නන්ට විශාල ප්‍රශ්නයක් වී ඇති බවය.

තවක්කාල් ගනුදෙනුව වගේම ඇවන්ගාඩ් ව්‍යාපාරයටත් අනුමැතිය ලැබී ඇත්තේ රාජපක්‍ෂ ආණ්ඩු කාලයේය. මේ ඇවන්ගාඩ් හිමිකරුගේ මුහුද මැද පාවෙන අවි නැව හෙළිදරව් කළේ වත්මන් ආණ්ඩුවමය. මේ ගැන මහා ආන්දෝලනයක් කොට හිටි හැටියේම ආණ්ඩුව මේ ප්‍රශ්නය යටගැසුවේය. ඇවන්ගාඩ් හිමිකරු රට ගියේය. ඒ ගැන කතා කිරීමද නතර විය. අනුර කුමාර ඔහු විදේශගත වූයේ කොහොමද කියා අසන තාක් කවුරුවත් මේ ප්‍රශ්නය ඇද්දේ නැත.

තමන් මැදිහත් වී ඔහුට රට යන්න විදේශ ගමන් බලපත්‍රය මුදාහැරියා යැයි අනුර කුමාර කී කතාවට විජේදාස රාජපක්‍ෂට කේන්ති ගියේය. ඔහු ප්‍රසිද්ධ රැස්වීමකදී එය ප්‍රතික්‍ෂේප කළේය. ඔහු එහිදී අනුර කුමාරටත් ජ.වි.පෙ.ටත් තදින් පහර ගසා ඇත.

“මොකක්ද මේ යහපාලනයට කඩාගෙන වැටුණ ඇවන්ගාඩ් හෙණගෙඩිය…”

අනුරගෙයි විජේදාසගෙයි ගහ බැන ගැනිල්ල දිහා බලාගෙන ඉඳල මිනිස්සු අහන්නේ එහෙමය.

ඇවන්ගාඩ් සමාගම මේ වන විට ලංකාවේ ධන කුවේර සමාගමකි. ඔවුන්ගේ මුහුද මැද පාවෙන අවි නැව මේ ආණ්ඩුව විසින්ම හෙළි කළාට පසු මෙම සමාගම මෙම චෝදනා යටපත් කරන්න වැඩ කළේ සමාගමක් ක්‍රියා කරන ආකාරයට නොව දේශපාලන පක්‍ෂයක් ක්‍රියා කරන ආකාරයටය. වරෙක ඔවුන් විසින් ධීවරයන් යොදවා ඇවන්ගාඩ් ව්‍යාපාරයට පක්‍ෂව රාජිත සේනාරත්න ඇමැතිවරයාට එරෙහිව දකුණේ මහා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරනු ලැබීය. ඒ රාජිත ඇවන්ගාඩ් සමාගමට එරෙහි චෝදනා රටට හෙළි කිරීමෙන් පසුවය. අනුර කුමාරගේ හෙළිදරව්වෙන් පසු ඇවන්ගාඩ් සේවකයෝ ජ.වි.පෙ. කාර්යාලය වැටලූහ. ඒ වගේම ඔවුහු අනුර කුමාරට විවාදයකට ආරාධනා කළහ. ඇවන්ගාඩ් සමාගමට පහර ගසන රජයේ මෙන්ම ජ.වි.පෙ. ප්‍රබලයන්ට එරෙහිව විරෝධතා ව්‍යාපාර දියත් කරන අතරතුර ඇවන්ගාඩ් සමාගමේ ප්‍රධානීන් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ ගෙවල්වල රිංගා කප්පම් දෙන්න හදන බව රාජිත හෙළිදරව් කර තිබුණි.

දැන් ආණ්ඩුව කියන්නේ ඇවන්ගාඩ් මුහුදේ පාවෙන අවි නැව් තියාගන්න ව්‍යාපාර කරගෙන යන්න හිටපු ආණ්ඩුවේ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් නීත්‍යනුකූලව අවසර අරගෙන ඇති බවය.

“එහෙනම් ඇයි මුහුද මැද පාවෙන අවි නැව ගැන කියලා බය කරලා ජනතාව කුලප්පු කළේ…?”
සෝභිත හිමි වැනි යහපාලන දූෂණ විරෝධීන් අනුර කුමාරලා වැනි ජ.වි.පෙ. නායකයන් අහන ප්‍රශ්නය එයය. ජනතාව මෝඩයන් නොවේ. ජනතාව තවමත් මුහුද මැද පාවෙන අවි නැව ගැන ආණ්ඩුව උත්තර බඳින ආකාරය දිහා බලාගෙන සිටී.
ඒත් ඇවන්ගාඩ් සිදුකර ඇත්තේ උෟරාගේ මාළු උෟරාගේ ඇඟේම තියල කපන්නා සේ ආණ්ඩුව තමන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා ආණ්ඩුව ලවාම පිරිසුදු කර ගැනීමය. එක් අතෙකින් ඔවුන් දූෂණයට එරෙහිව ඡන්දය දුන් ජනතාව ඉදිරියේ ආණ්ඩුව අප්‍රසාදයට ලක්කරන අතර අනෙක් පැත්තෙන් යහපාලනයට එක්වූ සන්ධානය එකිනෙකා කොටවා අසමඟි කර ඇත.

“ඇවන්ගාඩ් ඉටු කරන්නේ කාගේ වුවමනාවද…?”

ආණ්ඩුව සොයා බලන්න ඕන ඒ පැනයය. ඇමැතිවරුන්ට එරෙහි විරෝධතා ව්‍යාපාර පවත්වන, පක්‍ෂ කාර්යාල වටලන, දේශපාලන නායකයන්ට විවාදවලට අභියෝග කරන සමාගම් ලංකාවේ නම් නැත. ජ.වි.පෙ. එක්ක මාරාන්තික වෛරයකින් පසු වූ මහින්දද ජ.වි.පෙ. කාර්යාල වටලන්න බය විය. මහින්දටත් නැති හයියක් ඇවන්ගාඩ් හිමිකරුවන්ට ආවේ කොහොමද කියන එක සොයා බැලිය යුතු ප්‍රශ්නයකි. මොකද හෙට අනිද්දා මොවුන් සිරිකොත හෝ ඩාර්ලි පාරේ ශ්‍රී ල.නි.ප. මූලස්ථානය වුවද වටලන්න පුළුවන. අරලිය ගහ මන්දිරය හෝ ජනාධිපති මන්දිරය වුවද වටලන්න පුළුවන.

මේ රටේ ජනතාව දන්නා විදියට ජනතාව තෝරා පත් කර ගත්තේ එක් සේනාධිපතිවරයෙකි. ඒ මෛත්‍රිපාල සිරිසේනය. ඔහුටත් ඔහුගේ ආණ්ඩුවටත් නියෝග දෙන තවත් සේනාධිපතිවරුන් ඉන්නවාද කියා ජනතාව දන්නේ නැත. අනුර කුමාර ජනතාව නොදන්නා මේ සේනාධිපතිවරුන් ගැන රටට හෙළිදරව් කිරීම වීරකමකි. ජනතාව බලාගෙන ඉන්නේ ජ.වි.පෙ. පක්ෂ කාර්යාලය වටලන්න ආ ඇවන්ගාඩ් හිමිකරුවන්ට ජ.වි.පෙ. උගන්වන පාඩම කුමක්ද කියාය. මන්ද ඉතිහාසයේ කවදාවත් ජ.වි.පෙ. පක්ෂ කාර්යාලය වටලපු පක්ෂයක්, සංවිධානයක් හෝ දේශපාලනඥයෙක් නැත. එහෙම හයියක් තියෙන ඇවන්ගාඩ්, සමාගමක් කියා හිතන්න බැරිය. එය වෙනම රාජ්‍යයක් වගේය. දේශපාලන පක්‍ෂයක් සේ හැසිරෙන මේ සමාගම ව්‍යාපාරය කරගෙන යන්නේ අවි ආයුධ සහ හිටපු හමුදා නිලධාරීන් එක්කය. ඔවුන්ට යහමට මුදල්ද ඇත. මෙහි භයානකකම ඒකය. ඇවන්ගාඩ් හිමිකරු මෙලෙස නිදැල්ලේ දේශපාලනය කරමින් බලපුළුවන්කාරකම් පෙන්වද්දී ආණ්ඩුව ඉන්නේ නිදිවැදිලා වගේය.

චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ තවක්කාල්වරුන්ට ඇවන්ගාඩ් පන්නයේ ගේම් ගහන්න ඉඩ ලැබුණේ නැත. ඒත් තවක්කාල්වරුන් නිසා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ රෙදි ගැලවිණි. එය ඇගේ ආණ්ඩුවට එරෙහිව ආ ලොකුම මඩ පැල්ලමක් විය. තවක්කාල් ගනුදෙනුව පිළිබඳව එවකට විපක්‍ෂයේ සිටි එ.ජා.ප.ය චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවේය. එම විශ්වාසභංග යෝජනාවේදී එවකට විපක්‍ෂ මන්ත්‍රි අනුර බණ්ඩාරනායක කළ කතාවේ පහත කොටස ඇවන්ගාඩ් නිසා අවුල් හදාගෙන ඉන්න මේ ආණ්ඩුවටත් හොඳ අනතුරු ඇඟවීමකි.

“ආණ්ඩුව බලයට පැමිණීමට දේශපාලන වේදිකාවට නැඟිලා ජනතාවගෙන් වරම් ඉල්ලා සිටියේ මේ රටේ දූෂණය සහ වංචාව නැති කරන බවටත්, විනිවිද දක්නාසුලු පරිපාලන ක්‍රමයක් මේ රටේ ස්ථාපිත කරන බවටත් පොරොන්දු වෙමින්. තමුන්නාන්සේලා කියා සිටියා එවැනි වැරැදිවලට අහුවෙන අය ගෝල්ෆේස් පිටියට ගෙනගිහිල්ලා එල්ලා දමන බව. නමුත් ආණ්ඩුවේ වැදගත් ඇමැතිවරයෙක් එවැනි තත්ත්වයක් ගැන කරුණු පෙන්වා දුන් ලිපියක් ගැන මේ ආණ්ඩුව නිහඬව ඉන්නවා.

තමුන්නාන්සේලා දේශපාලන වේදිකාවේ කියූ දේවල්වලට ඇත්ත වශයෙන්ම කැපවී ඉන්නවා නම් දෙවියන්ගේ නාමයෙන් මම අසා සිටිනවා මෙතෙක් කාලයක් මාස ගාණක් මේ සිද්ධිය සම්බන්ධයෙන් නිහඬව සිටියේ ඇයි කියලා? අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් විභාග කරන්නටය කියලා තියෙන්නේ මේ සිද්ධිය සිදුවී ඒ පිළිබඳ කරුණු හෙළි වී මාසයකුත් දින 17ක් ගිය පසුවයි. ඒ නිසා අපි අහන ප්‍රශ්නෙට කෙළින්ම උත්තර දෙන්න. පාර දිගේ පෝස්ටර් ගැහීමෙන් වැඩක් ඇත්තේ නැහැ. තමුන්නාන්සේලාගෙ මැතිවරණ ප්‍රකාශයේ පැහැදිලිව කියා තිබෙනවා තමුන්නාන්සේලා බලයට පැමිණියාම සමාජ වටිනාකම නැවැත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මූලික වශයෙන් අවශ්‍ය වන දූෂණය සහ වංචාව නැති කිරීම අවශ්‍ය බවටත්, ඒ සඳහා අවශ්‍ය නම් ස්ථිර අල්ලස් කොමිසමක් සංස්ථාපනය කරන බවටත්.

මේ ප්‍රශ්නය ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට පොදු පෙරමුණු පක්‍ෂය සිය මැතිවරණ ප්‍රකාශයේ පිටු 4ක් වෙන් කරලා තියෙනවා. නමුත් අද බොහොම වෙලාවට සිද්ධ වෙන්නේ මේ දැලට අහුවෙන්නේ පුංචි හාල්මැස්සෝ. තෝරු, මෝරු ඔක්කොම බේරිලා යනවා. තමුන්නාන්සේලා වෙනත් කාරණා සම්බන්ධයෙන් ඉතා ඉක්මනින් නීති මඟින් කටයුතු කරනවා. නමුත් මේ රුපියල් මිලියන 30ක් සාක්කුවේ දාගත්තු මෝරා පිළිබඳ කරුණු විමසීමට මාසෙකුත් දවස් දාහතක් ගත්තා. මෙය ඉතාමත් නින්දිත ක්‍රියාමාර්ගයක්.”

(ලිපියේ මුල් මාතෘකාව: පාවෙන අවි නැවෙන් ආණ්ඩුව පුපුරයිද?)

Archive

Latest news

Related news