Monday, January 30, 2023

මිනිසකු ගැන මතක: ‘කුඩමසෙකි ඔබ මහ සයුර කැලඹූ’ – ජයසිරි ජයසේකර

සැණෙකින් කුණාටු සයුරක් සේ කැලඹී, සුනාමියක් සේ උස්ව නැගි ආවේග, වෙරළත වැදී විසිර ගිය රළ පහරක් පරිද්දෙන් සන්සුන් විය. ඒ ඔහු පිළිබඳව නිරායාසයෙන් උපන් ඉහත හයිකුමය සිතිවිල්ලේ ආනුභාවයෙනි.
 
එහෙත් ඊළග ඇසිල්ලෙහි, අනවරතව නැගි නැගී බිඳෙන සයුරු රළ සේ ඔහු ගැන මතක සයුර යළි කැලඹෙන්නට ප‍ටන්ගනී.
 
“මෙන්න, අමතක වෙන්න කලින් ලියාගනින්” මම තත්පර ගණනකට පෙර විසන්ධි කළ ඇමතුමට-පෙරළා අමතමි.
 
පැරෑළියේ නිමලසිරි
පැරෑළියේ නිමල්සිරි

“නිමලසිරි නියමුවාණෙනි,

දිරිය ඔබ ගැන මතක- මහ සයුර සේ
අපේ හදවත්වල සදා රළ නගයි”
– ධීවර සටන් පෙරමුණ
 
‘නියමයි!’ අනෙක් කෙළවරේ සිට එය දරාගත් හදවත ප්‍රතිරාව නගයි.
 
මතක රළ යළි යළිත් නැග එයි. ඒත් තරමක සන්සුන් රිද්මයකිනි. රළ මත වැහි බිඳු පතිතවන්නට ඉඩහරිමි.
 
විසි වසරකට පෙර, පළමුවරට දුටු ඔහුගේ රුව පැරණි ඇල්බමයක සේයා රුවක් සේ මැවී පෙනෙයි. උත්තලරූපී දත් පෙළකුත්, තුනී අවුල් හිසකෙසුත් සහිත දිගැටි මුහුණක රැඳවූ අවිහිංසක විඩාබර දෑසක්.. ටැබ්ලොයිඞ් රාවයේ මැද පිටුවක පළමු වරට මුද්‍රණය වූ ඒ රුවෙහි පරිණාමීය රූ, ඉන් පසුව බොහෝ වාර ගණනක් මැද පිටුවලද ඇතුළු පිටුවලද පළ විය. ඒ පින්තූරවලට පහළින් මෙසේ අච්චුගසා තිබිණි. ‘පැරෑලියේ නිමල්සිරි’
 
විසිවසරකට පෙර ඔහු, කුඩා බෝට්ටුවක නැගී මූදු රස්සාව කළ ධීවරයෙකි. ලොකු-කුඩා කුසවල් පහක ගින්දරත් ඒවා නිවීමෙහි තීරක බලධාරියා වූ මහ මුහුදත් සමග හැර ඔහුට අනෙක් අරගලයක් නොවීය. කිසිදාක ඔහු ඒ අරගලයෙන් පැරදී ගෙදර ආවේ නැත. එහෙත් එක්දාස් නවසිය අනූ තුනේ මුල හරිය වන විට ඔහු පමණක් නොව, බේරුවල සිට කිරින්ද දක්වා වන දකුණු මුහුදු තීරයේ හැට දහසක් පමණ වන සුළුපන්න ධීවරයින් පිට පිටම පරදින්නට පටන්ගෙන තිබුණේය. ඒ ධන බලයද, මැර බලයද, දේශපාලන බලයද සමග අත්වැල් බැඳගෙන ‘ලයිට්කෝස්’ නමින් කරළියට ආ අලූත් පන්න ක්‍රමයක අනුහසිනි. 
 
එය බිහිසුනු ආක්‍රමණයක් විය. මහ සයුරේ මහ රෑ ලයිට් දමාගෙන කරන මංකොල්ලයක් විය. සයුරේදී දරුණු ගැටුම් හටගැනිණි.
 
මේ කතාව මුල්වරට බාහිර ලෝකයට හෙළිදරව් කෙරුණේ ‘දකුණු මුහුදේ ලයිට්කෝස් යුද්දේ’ හිසින් ටැබ්ලොයිඞ් රාවයේ මැදපිටුවක දිගහැරුණු විශේෂාංගයෙනි. ඒ ලිපියේ රචකයා වූයේ නිමල්සිරිගේ ගමට-පැරෑලියට අල්ලපු ගමේ- තෙල්වත්තේ නන්දන වීරරත්නය. එතැන් පටන් දකුණු වෙරළේ ධීවරයින්ගේ මාධ්‍ය සටන් සගයා වූයේ රාවයයි. ධීවර අරගලයේ යෂ්ටිය, මා ඇතුළු රාවයේ ලේඛකයන් අතර අතින් අත ගියේය. 
 
එතෙක් සයුර සමග හැපෙමින් සිටි පැරෑලියේ නිමල්සිරි ගොඩබිම දෙසට හැරුණේය. තනිව නොවේ. ඔහු මෙන් තවත් බොහෝ දිරිය මිනිසුන් සමග අත්වැල් බැඳගනිමිනි. සටන් පාඨ, උද්ඝෝෂණ, පෙළපාලි, වර්ජන මතින් නැගී ආ අරගලය වරෙක ධීවර බෝට්ටු ගාලූ පාරට ඇද මුළු දකුණම උණුසුම් කළ මහා හර්තාල් ව්‍යාපාරයක් දක්වා වර්ධනය විය. බේරුවල, අම්බලන්ගොඩ, පැරෑලිය, හික්කඩුව, රජ්ගම, දොඩන්දූව, ගාල්ල ඇතුළු ඒ අරගලයේ උණුසුම්ම සටන් බිම්වල සැරිසරමින් බිහිසුනු තර්ජනවලට මුහුණ දෙමින් සේනා සංවිධානය කළ නියමුවන් අතර නිමල්සිරි පෙරමුණේම සිටියේය. හුදෙකලා කුඩමසෙකු වූ ඔහු නිල් තල්මසෙකුගේ යෝධ කායෙන් නැගී සිටියේ එපරිද්දෙනි. 
 
1994 ආණ්ඩු පෙරළියේ පළමු වෙඩිමුරය වූයේ එසේ ඇවිළ ගිය ‘ලයිට්කෝස් විරෝධී මහා ධීවර අරගලයයි.’
 
පළමුව ඔවුහු ලයිට්කෝස් විරෝධී සටන ජයගන්නට අමරසිරි දොඩංගොඩ දකුණු පළාතේ මහ ඇමති කළෝය. ඒත් ලයිට්කෝස් තහනම් කරන්නට පළාත් සභාවේ හයිය මදි විය. ඉන් පසුව ආ මහ මැතිවරණයේදී යූඇන්පියේ දාහත් අවුරුදු සාපය පරාජය කොට විපක්ෂයට ආණ්ඩු බලය අරන් දුන්නෝය. අමරසිරි දොඩංගොඩ, රිචර්ඞ් පතිරණ මන්ත්‍රීවරු කැබිනට් ඇමතිවරු බවට පත් වූහ. ඒත් තව ටිකක් මදි විය. ඇයි විධායක බලය තවම යූඇන්පිය අතේ නොවැ. ඉක්බිතිව ඔවුහු ඉතිරි වූ මුළු වැර යොදා චන්ද්‍රිකා බණ්ඩාරනායක ඔසොවා ජනාධිපති පුටුවේ ඉන්දවූහ.
 
චන්ද්‍රිකාගේ ජයග්‍රහණය වෙනුවෙන් ධීවරයින්ගේ ශක්තිය පෙන්වන්නට දොඩන්දූව ධීවර වරායේදී පැවැති ඓතිහාසික ධීවර රැලිය අමතන්නට නිමල්සිරි සූදානමින් සිටියේය. එහෙත් අන්තිම මොහොතේ ඔහු කැපී ගියේ ඔහුගේ ‘කට හොඳ නැති ’ බැවිනි. ඔහුට කතා කරන්නට ලැබුණේ නම්, ලයිට් කෝස් සල්ලි අලූත් ආණ්ඩුවේ උදවියගේ අත් වලත් එහෙ මෙහෙ වන අයුරු අනාගත නායිකාවගේ මූණ ඉස්සරහම කියැවෙන්නට ඉඩ තිබිණි.
 
ආණ්ඩු පෙරළියෙන් පසුත් නිමල්ලාගේ රස්සාව වූයේ මුහුදු යෑමට වඩා කොළඹ යෑමය. ලයිට් කෝස් තහනම් කරන පනත කොයිහරියේදැයි බලනු පිණිස ඔවුහු බස්, වෑන් රැගෙන ධීවර අමාත්‍යංශයටත්, සමූපකාර අමාත්‍යංශයටත්, අධ්‍යාපන අමාත්‍යංශයටත් සතිපතා වන්දනා ගමන් ගියහ. ඒ හැම වන්දනා ගමනක්ම එනවිට සීනිගම දේවාලය වැඳගෙන ආ පරිද්දෙන් ආපසු ගියේ රත්මලාන පිරිවෙන පාරේ රාවය කන්තෝරුවත් පැදකුණු කරගෙනය. හැමදාම කියන්නට ඔවුන්ට අවනඩුවක් තිබුණේය. 
 
“ඇමතිතුමා කියනව, නිමල් මේ තරං සෙනග එක්ක එන්න  ඕන නෑ. එක්කෙනෙක් දෙන්නෙක් ආවම ඇති කියාල. මං ඇහුව ඇයි සර් අපි පිළී ගඳයිද, ඒ වුණාට අපේ ඡන්ද නං පිළී ගඳ නෑ නේද කියාල” 
 
රාවයෙන් පණ පෙවූ ධීවර අරගලය රාජ්‍ය මාධ්‍ය වෙත රැගෙන ගියේ පෝද්දල ජයන්තය. පොදු පෙරමුණ වගකීමෙන් කර හරින විට ‘ජනතා මිතුරෝ’ අරගලය අතට ගත්හ. ‘චන්ද්‍රිකා, දුන් පොරොන්දු ඉටු කරනු’ යැයි අලූත් ආණ්ඩුවේ ගමන් මග පළමුවරට ප්‍රශ්න කරමින් කොළඹ මහජන පුස්තකාලයේ පැවැති ‘ජනතා මිතුරෝ’ රැලියේ- නිමල්සිරිද කථිකයෙක් විය. 
 
කෙසේ හෝ අන්තිමේදී ඔවුහු සිය අරගලය ජය ගත්හ. ලයිට් කෝස් තහනම් කරන පනත සම්මත වූවාට පසුවදා උදේ පාන්දරම නිමල්සිරි ඇතුළු ධීවර පිරිසක් වෑන් රියක නැගී අවුත් රාවය කන්තෝරුව වැටලූහ. ඒ ජයග්‍රහනයේ සතුට බෙදාගන්නට කැවුම් කිරිබත් උයාගෙන ය. දකුණු වැල්ලේ  ඕනෑ තැනක බැස ‘අපි රාවයෙන් ’ යැයි කියන්නට පුළුවන් හයියක් එයින් විසි වසරකට පසුව අදටත් ඉතිරි කළේ ඒ සහෝදරත්වයයි.
 
අරගල සමයෙන් පසුව නිතර මුණ නොගැසුණද අපේ සහෝදර බැමි ලිහිල් වූයේ නැත. දස වසරකට පෙර සුනාමි ආ දා මහ රෑ මෝටර් සයිකලයක නැගී කොළඹ සිට අතුරු මාවත් ඔස්සේ ඇල්පිටියටත් එතැනින් හික්කඩුවටත් පැමිණ මහ ගල්, වැලි කඳු හා මළ සිරුරු විසිරුණු ගාලූ පාර දිගේ යා හැකි තරම් උපරිම දුර මා ඔහු සොයා ගිය අයුරු සිහි වේ. එදා එකම මළගමක් වූ පැරෑලියේ- ඔහුත් දරුවන් ඇතුළු පවුලේ සියල්ලනුත් ජීවතුන් අතර බව දැනගතිමි. තිලක් කෝදාගොඩ ඒ උමතු චාරිකාවේ මගේ ගමන් සගයා විය.
 
පැරෑලියේ නිමල්සිරි, අරගලකාරී චරිත සම්බන්ධයෙන් පරසිදු අම්බලන්ගොඩ ධර්මාශෝකයෙන් උසස් පෙළද සමත් වූවෙකි. එහෙත් බුද්ධියට මෙච්චල් කළ නොහැකි විසල් හදවතක් ඔහු සතු විය. දිවි පරදුවට තබන එඩිතරකමද, උතුරා යන මනුස්සකමද, මායා බන්ධනයක් බඳු මිතුරුකමද, තිරිංග නැති මුඛරිකමද හටගත්තේ එයිනි. නිමල්සිරි නම් සුළුපන්න ‘මූදු රස්සාකාරයා’ගේ සිට ‘නිමල් මුදලාලි’ නම් බහුදින යාත්‍රා හිමියා දක්වා වූ රූපාන්තරණයේදී වුවද මේ කිසි ලකුණක් ඔහු කෙරෙන් හැලී ගියේ නැත. නමට ‘මුදලාලි’ වුවද සාක්කුවට කීය වැටුණත් එන පරක්කුවෙන් ආපහු යන්නට කරුණු කාරණා යෙදුණේද ඒ ආනුභාවයෙනි.
 
“ඒකනේ ගෑනි හැම නිතරම මට කියන්නෙ රටේ ණයකාරයයි කියාල.” ඔහු තමන් ගැනම උපහාසයෙන් කියයි.
 
වසරකට පමණ පෙර මා ඔහු සොයා යන විටද විසි වසරකට එපිට විසූ කුඩා නිවසේ පටු ආලින්දයේ ඔහු සිටියේය. ඊට යාබද මිදුලෙහි අලූත් නිවසක්  ඉදිව තිබිණි. ඒ සුනාමියෙන් මුළුමනින්ම විනාශ වූ අලූත් නිවසේ ප්‍රතිනිර්මාණයකි. මිදුලේ මෝටර් සයිකලයක් හා ත්‍රී රෝද රථයක්ද තිබිණි. ඒ හැර සයුරේ බොහෝ දුර ඈත අස්වනු සොයා සැරිසරන බහුදින යාත්‍රා දෙකක්ද ඇති බවත් අධික ඉන්ධන මිල හා මත්ස්‍ය අස්වනු හිගවීම හමුවේ එම ව්‍යාපාරය බරපතළ අර්බුදයකට මුහුණ පා ඇති බවත් ඔහු මා සමග කීවේය.
 
“මේක හැමදාම කරන්න බැහැ. මං හිතාගෙන ඉන්නෙ මේ සේරම දේවල්වලින් නිදහස් වෙන්න.”
 
එදා අරගල සමයෙහි නාවර පෙරාගෙන හැංගිමුත්තන් කෙළින වයසේ සිටි ඔහුගේ දරුවෝ දැන් ඔහුටත් වඩා කර දඬු උස්වූ වැඩිහිටියෝය. වැඩිමහල් දියණිය ති දරු මවක වී ඔහු ‘තුන්සීයෙකු’ බවට උසස් කර තිබුණි. දෙවැනි දියණිය ඔහු උගත් ධර්මාශෝකයේ සේවය කරයි. ඉසුරු පුතා පියාගේ ව්‍යාපාරවලට සහය වන ගජ ඉලන්දාරියෙකි. සක්විති ස්වරයෙන් මේ සියලූ දෙනා මා අබියසට කැඳවූ ඔහු, දිළිඳුකමින් මිරිකී සිටි අරගල සමයේ එකම එක වතාවක් මා එහි රැගෙන ගිය ඇන්කර් කිරිපිටි පැකට්ටුව ගැන කෘතවේදීව සිහි කරමින් මා ලජ්ජාවට පත් කළේය. පුදුම අව්‍යාජ හදවතක් තිබුණු මිනිහෙක්!
 
පසුගිය සිකුරාදා ත්‍රිකුණාමලය ධීවර වරාය අසල තේ කඩයකට ගොඩවූ ඔහු හදිසියේම එහි ඇදවැටුණු බවත් යළි දෑස් විවර නොකළ බවත් දැනගත් විට, එවැනි හදවත් ඇති මිනිසුන් ඉක්මනින් නික්ම යන බව බොරුවක් නොවේයැයි මට සිතුණේය. 
 
ජයසිරි ජයසේකර

Archive

Latest news

Related news