ජනාධිපතිවරණයට ඇත්තේ තව සති දෙකකි. රට පුරා පවතින සීත හා වැසි සහිත කාලගුණය නොතකා ජනපතිවරණ සටන උණුසුම් වී ඇත. ඡුන්ද දිනය ආසන්න වන විට එය තවත් රත් විය හැකිය. ආණ්ඩුව පැත්තෙන් බලන විට මෙය පරාජය වීමට නොහැකි ජනාධිපතිවරණයකි.
මක්නිසාද යත් නැතිවෙන්නට බොහෝ දේ ආණ්ඩුවේ නායකයින්ට තිබෙන බැවිනි. ජනපතිවරණයෙන් ජය නොගෙන සිටීමට විපක්ෂ සන්ධානයට ද නොහැකිය. මන්ද යත් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුව පරාජය කිරීමට පෙර නොවූ විරූ අවශ්‍යතාවයක් මෙන්ම අවකාශයක් ද ඇති වී තිබීමය.
දෙපාර්ශ්වයෙන්ම බලන විට පරදුවට තබා ඇති දේ අති විශාලය. මේ අතර මේ වන විට ඉදිරියට ගොස් ඇති ජනපතිවරණ ව්‍යාපාරය දෙස බලන විට පෙනෙන්නට තිබෙන දෙයක් නම් මහජන පරිකල්පනය ග‍්‍රහණය කොට ගැනීම සඳහා වූ තරගයෙන් මෛත‍්‍රීපාල සිරිසේන හා විපක්ෂ කඳවුර ඉදිරියෙන් සිටින බවයි. ”දේශපාලන වෙනසක් සඳහා ආණ්ඩු වෙනසක්” යන විරුද්ධ පක්ෂ සන්ධානයේ ප‍්‍රධාන තේමාවට පුළුල් හා සාධනීය මහජන ප‍්‍රතිචාරයක් ලැබී තිබෙන බව පහැදිලිය.
ජනාධිපති රාජපක්ෂගේ මැතිවරණ කඳවුරේ තිබෙන ප‍්‍රධාන දුර්වලකම ලෙස පෙනෙන්නේ එයට අලූත් දේශපාලන අදහස් නැති වීමයි. එම ප‍්‍රචාරක ව්‍යාපාරයේ ඇත්තේ පැරණි හා මහජනයාගේ දේශපාලන පරිකල්පනයට ආමන්ත‍්‍රණය කළ නොහැකි සටන් පාඨයි. ශක්තිමත් රාජ්‍යය, සංවර්ධනය ඉදිරියට ගෙන යෑම, දේශපාලන ස්ථාවරත්වය සහ ජනාධිපතිතුමාට කළ ගුණ සැලකීම යන මේවා ප‍්‍රයෝජනවත් අදහස්ය. එහෙත් ඒවා මහජනයාගේ දේශපාලන විඥානයට ආයාචනා කරන ඒවා නොවේ. රටේ ජනතාවගේ දේශපාලන පරිකල්පනය පුබුදුවන්නට රාජපක්ෂ මහතාට හා එතුමාගේ ප‍්‍රචාරක-මාධ්‍ය යාන්ත‍්‍රණයට තව දුරටත් නොහැකි බව පෙනේ.
ආණ්ඩුවේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය එක්තරා අර්බුදයකට මුහුණ පා ඇති බව දැන් පෙනේ. එය එක්සත් ජනතා සන්ධානයේ අභ්‍යන්තර
කැඞී බිඳීයාමේ ක‍්‍රියාවලියට ද සමාන්තරවය. මෙම ද්විත්ව අර්බුදයට ආණ්ඩුව මුහුණ දෙන්නේ ජනපතිවරණ ප‍්‍රචණ්ඩත්වයේ පිළිසරණ පැතීමෙන්
බව ද දැන් පැහැදිලි වේ. ආණ්ඩුව මෙම දිසාවෙහිම ඉදිරි සති දෙකෙහි දී ද ගමන් කරන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපතිවරණ ව්‍යාපාරය
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යාපාරයට ආධාර කරන එකක් වීම වැලැක් විය නොහැකි වනු ඇත.
”මහජන පරිකල්පනය දිනා ගැනීම” සඳහා වූ සටනේ දී මෛත‍්‍රිපාල කඳවුරට වාසි වන ප‍්‍රධාන කරුණ වී තිබෙන්නේ ”වෙනසක් අවශ්‍යයි” යන අදහසට පොදු ජනයා ද ඇතුළු මහජන දේශපාලන විඥානයේ ගැඹුරටම කිඳා බැසීමට හැකි වීමයි. ”වෙනසක් ඕනැ නේද?” සහ ”මේ ගොල්ලෝ හිටිය කල් හොඳටම ඇති” යන ප‍්‍රකාශ දෙක ”වෙනසක් සඳහා” වූ මෙම මහජන දේශපාලන අභිලාෂය ඉතා ප‍්‍රබලව ප‍්‍රකාශ වන ඒවාය. එම ”වෙනස” යන්නෙහි කාරණා දෙකක් අඩංගු වන බව ද පෙනේ. පළමුවැන්න මුහුණුවල වෙනසකි. දෙවැන්න ආණ්ඩුකරණ ශෛලියේ වෙනසකි.
මූලික ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ප‍්‍රධාන කඳවුරු දෙකෙහිම බරපතල වෙනසක් නොමැති බව මහජනයා දනිති.
”ආණ්ඩු වෙනසක්” යන අදහස ‘අලූත් ආණ්ඩුවක් අවශ්‍යයි’ යන්න දක්වා දැන් පරිවර්තනය වී ඇති බව ද මැතිවරණ ව්‍යාපාරය දෙස බලන විට පෙනේ.
ජනවාරි 8 වන දා ජනපතිවරණයෙන් කවුරු ජය ගනීදැයි තවමත් ස්ථිරවම කිව නොහැකිය. දැනට තිබෙන ප‍්‍රවණතාවයන්ගෙන් පෙනෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ජයග‍්‍රහණයේ නැඹුරුව වඩා වාසිදායකව තිබෙන බවයි. ඒ බව ආණ්ඩුවත් දනී. තම ජනපතිවරණ ව්‍යාපාරය වෙනස් කිරීමට, අලූත් කිරීමට හා නව ජීවනයක් දීමට මහින්ද රාජපක්ෂ මහතාට හැකි වේ ද යන්න ප‍්‍රශ්නයකි. මෙම ජනාධිපතිවරණයේ කේන්ද්‍රීය තරගය පවතින්නේ ”වෙනසක් ද? අඛණ්ඩව තවදුරටත් සිටීම ද?” යන ප‍්‍රශ්නයයි. මෙහි දී මගේ ඡුන්දය ලැබෙන්නේ ”වෙනසක්” යන අදහසටය. එයට
ප‍්‍රධාන හේතුව නම් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොනැසී පැවතීමට ආණ්ඩු වෙනසක් අත්‍යවශ්‍ය වීමයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි ධුර කාලයේ දී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලිය බරපතල පසුබෑමකට ලක් විය. එය නම් ජනාධිපති, රෙජීමය සහ රාජ්‍යය යන එකිනෙකට වෙනස් බල ආයතන තුන ජනාධිපතිවරයා සමග සාකල්‍යයෙන්ම අනන්‍ය වීමයි. ජේ ආර් ජයවර්ධන මහතා 1978 දී ආරම්භ කළ එම ක‍්‍රියාවලිය 1993-2009 කාලය තුළ දී ඇණහිට තිබිණි. එහෙත් 2010 දී සම්මත වූ 18 වන සංශෝධනයෙන් පසුව සිදු වූයේ එම ක‍්‍රියාවලිය කූටප‍්‍රාප්ත වීමයි. මේ ක‍්‍රියාවලිය නැවැත්වීම හා ආපසු හැරවීම ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගත චිරස්ථිතිය සඳහා
අනිවාර්ය පූර්ව කොන්දේසියකි.
අලූත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලියක, ජනාධිපති, ආණ්ඩුව හා රජ්‍යය යනු එක් පුද්ගලයෙකු නොව ආයතන තුනක්
බවට පත් කළ යුතුව තිබේ. මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජනපතිවරණ ව්‍යාපාරයේ ඇති ඉතාම වැදගත් විභවය
හෙවත් ශක්‍යතාවය මෙයයි.
ජනවාරි 08 වෙනි දා ”ආණ්ඩු වෙනසක්” සඳහා මා ඡන්දය දෙන්නේ ඒ නිසාය. ලංකාවේ ඡන්ද දායකයින්ගෙන් වැඩි දෙනා ද මේ අදහසම දරනු ඇතැයි මම අපේක්ෂා කරමි.
ඉදිරිය
2014 දෙසැම්බර් 28 වන ඉරිදා
මහාචාර්ය ජයදේව උයන්ගොඩ