Friday, December 26, 2025

ආණ්ඩුවේ ත්‍රස්ත පනත සහ සිවිල් සමාජයේ හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරින්ගේ කාර්යය – ජයදේව උයන්ගොඩ

(Sri Lanka Brief)  දිත්වා සුළි කුණාටුවෙන්ද,නායයාම්වලින්ද, ගංවතුරෙන්ද ඇතිවූ මහා විනාශයේ කම්පනයෙන් මිදෙන්නට අපේ රට අමාරුවෙන් උත්සාහ ගනිද්දී, ඒ ගොඩඒමේ ක්‍රියාවලිය දියත් කරන ගමන්ම, ජාතික ජන බලයේ ආණ්ඩුවෙන් පුරවැසි ජනතාව බලාපොරොත්තු නොවූ භූමිකම්පාවක් ඇතිකරනු ලැබ තිබේ. නැතහොත් ‘ත්‍රස්තවාදී’ බෝම්බයක් පිපිරීමට සමාන දෙයක් කෙරී තිබේ. එය නම්, ‘රාජ්‍යයට එරෙහි වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ’ පනත් කෙටුම්පතකට සමාන පිටු අනූවකින් යුත් ලේඛනයක් එළි දැක්වීමයි. එය ප්‍රසිද්ධ කර තිබෙන්නේ අධිකරණ අමාත්‍යාංශ වෙබ් අඩවියේය.

මෙම ලේඛනය ගැසට් කරන ලද පනත් කෙටුම්පතක් නොව, මහජන අදහස් ලබාගැනීමට පමණක් ඉදිරිපත් කරන ලද ලේඛනයක් යයි අධිකරණ ඇමතිතුමා කියයි. තම අදහස් අධිකරණ අමාත්‍යාංශයට යැවීමට මාස දෙකක්, එනම් පෙබරවාරි 28 දක්වා කාලයක් දී ඇති බවද එතුමා කියා ඇත. අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්වී ඇති එම ලේඛනය කියවූ මගේ සිතේ ඇති වූ, අනිද්දා’ පාඨකයන් සමග බෙදාගත යුතු යැයි සිතෙන අදහස් කිහිපයක් පහතින් දක්වමි.

■ මෙම ලේඛනයේ ස්වභාවය ගැටලු සහගතය; එම ලේඛනය ගැසට් පත්‍රයේ පළ කරන පනත්
කෙටුම්පතක් නොවේ නම් එය ඇත්ත වශයෙන්ම කුමක්දැයි නිශ්චිත පැහැදිලිකමක් නැත. එය සකස් කර තිබෙන්නේ, අමාත්‍යාංශයේ නීතිඥ කණ්ඩායමක් විසින්, එක හෙළාම නීති කෙටුම්පතක් ලෙසය. එහි නැත්තේ, එය නීති කෙටුම්පතක් යැයි මාතෘකාවක් සඳහන් වීමයි. මා දන්නා තරමට, මෙම ලියවිල්ල නීති කෙටුම්පතක් හෝ පනවන ලද නීතියක් හෝ නොවේයැයි ඇමතිතුමා මහජනතාවට කියා සිටියේ, එම ලියවිල්ලේ ස්වභාවය පිළිබඳව ඇතිවූ ව්‍යාකුලතාව
පිළිබඳව නොපැහැදිලි බවක් පටන් ගත් විටය.

එය ධවල පත්‍රිකාවක්ද? අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළකර තිබෙන්නේ “ධවල
පත්‍රිකාවක්” මිස පනත් කෙටුම්පතක් නොවේ යැයි අමාත්‍යාංශය කියන්නට පුළුවන. එසේ කිව
හොත්, මෙය ‘ධවල පත්‍රිකාවක්’ නම් නොවේ. ධවල පත්‍රිකාවක් යනු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටවල ප්‍රතිපත්ති හා නීති සම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ ආරම්භක පියවරකි. රාජ්‍ය ප්‍රතිපත්තියක් හෝ නීතියක් සකස් කිරීමට පෙර ආණ්ඩුවේ එම අභිලාෂය එළි දක්වමින්, මහජන සාකච්ඡාව සඳහා ඉදිරිපත් කරන සංකල්ප පත්‍රිකාවකි. ධවල පත්‍රිකාවක අරමුණ ආණ්ඩුවේ නිශ්චිත ප්‍රතිපත්ති හෝ නීති අභිලාෂය ගැන, එයට උනන්දුව දක්වන මහජනතාවගේ අදහස්, විවේචන සහ යෝජනා ලබාගැනීමයි. එය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණ ක්‍රියාවලියක් තුළ තිබෙන ‘මහජන අදහස්ලබාගැනීම’ (People’s Consultation ) යනුවෙන් අදහස් වේ. ප්‍රතිපත්ති හා නීති සම්පාදන ක්‍රියාවලිය මහජනතාවට විවෘත, මහජන අදහස්වලින් පොහොසත් කර ගැනීමට හැකි ක්‍රියාවලියක් බවට පත්කිරීම ඒ මගින් අපේක්ෂා කෙරේ.

මේ අතර ‘ධවල පත්‍රිකාවක්’ සකස් කිරීමේ ආකෘතියක් නැතහොත් ‘ෆෝර්මැට් එකක්  තිබේ. එය කිසිසේත්ම කෙටුම්පත් කරන ප්‍රතිපත්තියක් හෝ නීතියක් ලෙස මහජනතාවට ඉදිරිපත් නොවන නිසා, අපේක්ෂා කරන අරමුණු, ඒ සඳහා යෝජිත පියවර සහ එය අවශ්‍ය මන්ද යන්න පෙන්වාදීම අත්‍යවශ්‍යය. එබැවින් ‘හැඳින්වීම’ ‘පසුබිම’, ‘අවශ්‍යතාව’, ‘අරමුණු’, සහ ‘අපේක්ෂා කරන ප්‍රතිඵල’ යන උප මාතෘකා යටතේ කරන කෙටි විස්තරත් ධවල පත්‍රිකාවක අනිවාර්යයෙන් තිබිය යුතුය.

අධිකරණ අමාත්‍යාංශයේ ඉහත කී ලියැවිල්ලේ තිබෙන ප්‍රධාන අඩුපාඩුවක් නම් එවැනි පසුබිම් හැඳින්වීමකින් තොරව, කෙටුම්පත් කරන ලද නීතියකට සමාන ලියවිල්ලක් ප්‍රකාශයට පත්කිරීමය.

ආණ්ඩුකරණය පැත්තෙන් බලන විට මෙය ආධුනික ක්‍රියාවකි. විශේෂයෙන් අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් වෙතින් සිදු නොවිය යුතු වූ දෝෂයකි.

යෝජිත නීතිය  දේශපාලනය පැත්තෙන් ‘රාජ්‍යයට එරෙහි ත්‍රස්තවාදය වැළැක්වීම’ යන මාතෘකාව යටතේ ප්‍රසිද්ධ කර ඇති මෙම ලියවිල්ලෙන් ඉතා වැදගත් දේශපාලන හා නෛතික ප්‍රශ්න මතු වේ. මේ ලිපියෙන් මා අවධාරණය කරන්නේ, නෛතික ප්‍රශ්න නොව, දේශපාලන ප්‍රශ්නය. එබැවින් මෙම ලිපිය, අධිකරණ අමාත්‍යාංශය කෙටුම්පත් කර ඇති ලේඛනය පිළිබඳ දේශපාලන විවේචනයක්ද වේ.

මේ ලියවිල්ල කාගේද? ජාජබද නැත්ද?

පළමුවැනි ප්‍රශ්නය නම්, මෙය ඇත්තටම ජාතික ජන බලවේගය ආණ්ඩුව හෝ එයට සම්බන්ධ කණ්ඩායමක් විසින් කෙටුම්පත් කරන ලද ලියවිල්ලක්ද, නැත්නම් ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් දෙන නීතිඥ කණ්ඩායමක කාර්යයක්ද? යන්නයි.

එම ප්‍රශ්නය පැන නගින්නට ප්‍රධාන හේතුව නම්, යෝජිත ලියවිල්ල මඳ වෙනස්කම්වලට ලක්කරන ලද, 1979 ජේ ආර් ජයවර්දන ආණ්ඩුව ඉදිරිපත් කර මේ වන තෙක් වලංගුව තිබෙන, අතිශයින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ’ (පීටීඒ)  ම කාබන් පිටපතක් වූ අලුත් සංස්කරණයක් වීමයි.

මෙම කාරණාව වඩාත් බරපතළ හා තියුණු වන්නේ, එම පීටීඒ එකේම මහා පරිමාණ වින්දිතයකු වූද, එය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීමට, අනේකවාරයක් ශපථ වී ඇති ජනතා විමුක්ති පෙරමුණු/ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ, එයට අලුත් ජීවයක් ලබාදෙනු ලැබීමයි.

ජාජබය නොකළ යුතු  රැවටීමේ දේශපාලනය

මහජනතාව රැවටීම, ධනේශ්වර දේශපාලනයේද, ලංකාව වැනි රටවල පාර්ලිමේන්තු දේශපාලනයේද, මැතිවරණ දේශපාලනයේද, පක්ෂ දේශපාලනයේද මුල් බැස ගෙන ඇති දුර්ගුණයකි. අවුරුදු ගණනාවක්ම ලංකාවේ විපක්ෂයේද, ආණ්ඩු බලය නොමැතිවද සිටි ජවිපෙ/ජාජබ නායකත්වය, මෙම කරුණ ඉතා කිට්ටුවෙන් නිරීක්ෂණය කර ඇති පිරිසකි.

තමන්ගේ ආණ්ඩුව යටතේ, 1979  මාස හයකට බල පවත්වන පනතක්  ලෙස ආරම්භ කර, තාවකාලික නොව ස්ථාවර එක්ක බවට පත්වූ පීටීඒ එක අවලංගු කරන බව ජාජබ ආණ්ඩුව ලංකාවේ ජනතාවටත්, ලෝකයටත් කිහිප වරක්ම පොරොන්දු විය.

මෙම ආණ්ඩුවේ ඓතිහාසික වගකීම සහ ජනවරම වන්නේ, ප්‍රජාතන්ත්‍ර විරෝධී පරණ නීති අලුත් කර, ඒවාට නව සුජාතබවක් ලබාදීම නොවේ. ඒවා නීිති පොතෙන් මුලිනුපුටා දැමීමයි. එය ජාජබ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී පොරොන්දුවද වේ.

පීටීඒ එකට සමාන පනතක් වෙනත් නමකින්

ඇත්තටම, දැන් ආණ්ඩුව කරන්නට යන්නේ, අලුත් පනතකින් එය අවලංගු කර, ඊට සමාන පනතක්, අලුත් නමකින් ඉදිරිපත් කිරීමයි. ආණ්ඩුව මෙසේ කරන්නේ නම් එය මුලාකිරීමේ පාර්ලිමේන්තු දේශපාලන භාවිතයේ ඉතා නරක නිදසුනක් වනු ඇත. තමන් ලංකාවට අලුත් දේශපාලන සංස්කෘතියක් අතිකරන බවට පොරොන්දු වූ දේශපාලන නායකත්වයකින් මෙවැන්නක් සිදු නොවිය යුතුය. සිදු වන්නේ නම්, එය තමන් ගැන තිබෙන මහජන විශ්වාසය ආණ්ඩුව විසින්  බිඳදැමීමක් වනු ඇත.

මෙම ආණ්ඩුවේ ඓතිහාසික වගකීම සහ ජනවරම වන්නේ, ප්‍රජාතන්ත්‍ර විරෝධී පරණ නීති අලුත් කර, ඒවාට නව සුජාතබවක් ලබාදීම නොවේ. ඒවා නීිති පොතෙන් මුලිනුපුටා දැමීමයි. එය ජාජබ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී පොරොන්දුවද වේ.

ත්‍රස්ත නීතිය, ජාතික ආරක්ෂක රාජ්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම හදිසි නීතියද ලංකාවේ රාජ්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම යන තේමා තුන සමග අඛණ්ඩ ලෙස බද්ධ වී තිබෙන්නකි.

මුලදී ලංකාවට හදිසි නීතිය හඳුන්වා දෙන ලද්දේ, කම්කරු පන්ති සහ පීඩිත ජනතාවගේ අරගල මර්දනය කිරීමේ ආයුධයක් ලෙසය. ඒ 1940 ගණන්වල අගදීය. ඉන් පසුව එය පීඩිත දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සඳහා වූ අරගල මර්දනය කිරීම සඳහා පාලක පන්තීන් විසින් භාවිත කෙරිණි.

ප්‍රජාතන්ත්‍ර විරෝධී ගති ලක්ෂණ

හදිසි නීතියට අමතරව ත්‍රස්තවාදී විරෝධී නීතියද, කම්කරු පන්තිය, පීඩිත ජනතාව, සහ සිංහල, සහ දෙමළ සමාජවල සමාජ කැරලි මර්දනය කිරීමට භාවිත කෙරිණි. හදිසි නීතියෙහි මෙන්ම ත්‍රස්ත විරෝධී නීතිවලද, ප්‍රජාතන්ත්‍ර විරෝධී ගති ලක්ෂණයෙහි පැති කිහිපයක් තිබේ.

එය බලයේ සිටින ආණ්ඩු හා පාලක පන්තීන්, තමන්ට ‘අනාරක්ෂිත’ තත්වයක් ගොඩ නැගී ඇතැයි පෙනුණ අවස්ථාවලදී, පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකීම සඳහා තිබෙන රැකවරණ හා නෛතික විධිවිධානත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම වී ඇති සහතික කිරීම් මෙන්ම ආරක්ෂණ ප්‍රතිපාදනත්, තමන්ට කැමති කාලයක් පුරා අත්හිටුවා තැබීමට බලය ලබාදෙයි. එම කාලය තුළ එම නීති කරන්නේ පුරවැසියන් යනු ‘අයිතිවාසිකම් නැත්තකු’ බවට, නග්න මනුෂ්‍යයකු බවට පත්කිරීමයි.

ඉහත කී ආණ්ඩුවේ ලියවිල්ල පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් බලන විට, ජාජබ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තිබෙන අවබෝධයත්, කැක්කුමත් ගැන ඇතිකෙරෙන්නේ සැකයකි. 

පුරවැසියන් අයිතිවාසිකම් රහිත කරනු ලැබූ රූකඩ බවට

මන්ද යත්, මිනිසාට මූලික මිනිස් අයිතිවාසිකම් අහිමිකරනු ලැබෙන නිසාය. හදිසි නීතිය සහ ත්‍රස්ත විරෝධී නීති යටතේත්, ජාජබ ආණ්ඩුවත් තමන් සතු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය යොදාගනිමින් සම්මත කර ගැනීමට ඉඩ තිබෙන රාජ්‍ය ත්‍රස්තවාද විරෝධී පනත යටතේද සිදුවනවා ඇත්තේ, අප රටේ පුරවැසියන් අයිතිවාසිකම් රහිත කරනු ලැබූ රූකඩ මනුෂ්‍යයන්ගේ තත්වයට ඇදදැමීමයි.

මෙයින් කියැවෙන්නේ මිලිටරි-පොලිස් නායකත්වයේ ග්‍රහණය යටතේ තිබෙන ජාතික ආරක්ෂණ රාජ්‍ය ව්‍යුහයන් නිර්බල කරන්නේ නැතිව, ලංකාවේ රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී කළ නොහැකි බවයි. 

අපේ යුගයේ ඛේදය සහ අවාසනාව වන්නේ මෙවැනි නීතිවලින් හොඳටම බැට කා ඇති ජවිපෙ/ජාජබය යටතේත් මෙවැනි  පුරවැසි විරෝධී නීතියක් සම්මත කරනු ලැබීමේ ලකුණු පහළවීමයි.

තමන් තවමත් මෙම නීතිය සම්මත කර නැති නිසා ඒ ගැන කලබල විය යුතු නැති බව අධිකරණ අමාත්‍යාංශයෙන් ප්‍රකාශ කෙරෙනු ඇත. එහෙත් එවැනි පොරොන්දු ගැන විශ්වාසය තැබිය හැකිද? යන ප්‍රශ්නය මෙතැනදී මතුවේ. ජේආර්ගේ ත්‍රස්ත විරෝධී පනත අවලංගු කරන බව කියන ලියවිල්ලටම, එම නීතියම තමන්ද ගෙන එන බව යෝජනා කරන ආණ්ඩුවක ප්‍රජාතන්ත්‍රවාදීකරණ පොරොන්දු හිස් පොරොන්දු වීමට, බොහෝ විට ඉඩ ඇත්තේය.

ඉහත කී ආණ්ඩුවේ ලියවිල්ල පිළිබඳ දෘෂ්ටිකෝණයෙන් බලන විට, ජාජබ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තිබෙන අවබෝධයත්, කැක්කුමත් ගැන ඇතිකෙරෙන්නේ සැකයකි.

පසුගිය දශක ගණනාව තුළ ලංකාවේ සමාජයේ පැතිරී තිබෙන ඉතාම පොහොසත් සහ ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් කතිකාවට සහ සාකච්ඡාවලට ජවිප සහ ජාජබය ආගන්තුකයන් වී ඇති බවද, අධිකරණ අමාත්‍යාංශයෙන් මහජන අදහස් විමසන ලියවිල්ලෙන් පෙනේ. එය කනගාටුදායක යථාර්ථයකි.

ත්‍රස්ත විරෝධී පනත සම්පූර්ණයෙන් අවලංගු කර, ප්‍රජාතන්ත්‍රවාදයටත්, මානව අයිතිවාකම්වලටත් ගරුකරන, නව නීතියක් හා සංකල්ප රාමුවක් යෝජනා කිරීමට ජාතික ජන බලය වැනි ප්‍රතිසංස්කරණවාදී ආණ්ඩුවකුත් දක්වන මැලිකමෙන් ප්‍රකාශ වන තවත් දේශපාලන යථාර්ථයක් තිබේ.

එය නම් 1970 ගණන්වල සිට ගොඩනැගුණු ලංකාවේ ජාතික ආරක්ෂණ රාජ්‍යය (National Security State) එක, කොතරම් බලසම්පන්නද යන්නයි. එයින් කියැවෙන්නේ මිලිටරි-පොලිස් නායකත්වයේ ග්‍රහණය යටතේ තිබෙන ජාතික ආරක්ෂණ රාජ්‍ය ව්‍යුහයන් නිර්බල කරන්නේ නැතිව, ලංකාවේ රාජ්‍යය ප්‍රජාතන්ත්‍රවාදී කළ නොහැකි බවයි.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ එක් ප්‍රමුඛ කාර්යයක් වන්නේ ජාතික ආරක්ෂණ රාජ්‍යය සහමුලින් ප්‍රතිසංස්කරණය කිරීමයි. එම ඓතිහාසික කාර්යයේ කර්තෘකයා වීමට ජාතික ජන බල ආණ්ඩුවට හැකියාව, කැපවීම හා සූදානම තිබේද නැද්ද යන්න 2026 වසරේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය මුහුණ දෙන මහා ප්‍රශ්නයයි.

ජාජබ ආණ්ඩුවේ ප්‍රවේශයේ  බරපතළ අඩුපාඩුවක්

ත්‍රස්ත විරෝධී නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාජබ ආණ්ඩුවේ ප්‍රවේශයේ තවත් බරපතළ අඩුපාඩුවක් තිබේ. එය නම්, දැනට ලංකාවේ හදිසි නීතියත්, ත්‍රස්ත විරෝධී පනතත් සම්බන්ධ විචාරාත්මක දැනුමක් සහ පරිචයක් ඇති දේශීය හා ජාත්‍යන්තර විශේෂඥ ප්‍රජාවගේ සහයෝගය සහ සහභාගිත්වය, තමන්ගේ නීති ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය නිරවුල් සහ ශක්තිමත් කිරීමට ප්‍රමාණවත්ව ලබා නොගැනීමයි.

එම විශේෂඥයන් සමග ඵලදායී සංවාදයක් තුළින්, ජාතික ජන බලයේ අවබෝධය ගැඹුරු කර ගැනීමට පියවර නොගැනීමයි. ඒ වෙනුවට ආණ්ඩුව, නැතහොත් අධිකරණ අමාත්‍යාංශය, වඩාත් විශ්වාසය තබා ඇත්තේත්, බලවත් ලොබියක් ලෙස මතුවීමට ඉඩ තබා ඇත්තේත්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට සහ නීතිඥ කණ්ඩායමටත්, අධිකරණ අමාත්‍යාංශයේ නීතිඥ කණ්ඩායමටත් බව පෙනේ.

ලංකාවේ අත්දැකීම වන්නේ, ඉගෙනගත යුතු පාඩමක් වන්නේ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ නිර්මාණය කිරීමත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම්වලට අදාළ නීති කෙටුම්පත් කිරීමත්, රාජ්‍යයට හෝ එහි ආයතනවලට සම්බන්ධ නීතිඥයන්ට නොපැවරීමට ජාජබ ආණ්ඩුව වත් බිය නැති විය යුතු බවයි. ‘නීතිඥයන්ට පමණක් නොපැවරිය යුතුය’ යන්නද එම අදහසට එකතු කළ හැකිය.

මෙවැනි පසුබිමක සිවිල් සමාජයේ හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරින්ගේ කාර්යය කුමක් විය යුතුද? එම කණ්ඩායම් අතර සාකච්ඡා කල් නොයවා ආරම්භ කිරීමට මේ සුදුසු කාලයයි.

( 26.12. 2025 දින නිකුත් වූ අනිද්දා පුවත්පතින් උපුටා ගන්නා ලදී)

Archive

Latest news

Related news