Friday, December 19, 2025

කොටි ගෝනි බිල්ලෙකුගේ කතාව (01) – සුනන්ද දේශප්‍රිය

මෙම ලිපියේ මැය හරිදැයි මම නොදනිමි. ඉන් අදහස් වන පාවා දෙන්නෙකු යන්න මා කියන්නට යන කතාවට එහෙම පිටින්ම සමාන නැතිවා විය හැකිය.

මෙම පොතේ මැය වන  Spy Tiger: The 05 File යන්න   අමුවට සිංහලට දැමුව විට එය කියවෙන්නේ ‘ කොටි ඔත්තුකරු- 05 ගොනුව’ ලෙසය.

එය ලියා ඇත්තේ  හිටපු එල්ටීටීඊ සටන්කරුවකු වන කගුස්තාන් අරියරත්නම් විසින් මයිකල් බ්‍රමදත්-විල්කොක් නම් කැනේඩියානු මාධ්‍යකරුවකු සමඟ හවුලේය.

කගුස්තාන්  බලහත්කාරයෙන් එල්ටීටීඊයට බඳවා ගත් ළමා සොල්දාදුවෙකු විය.  ඔහු පැහැර ගැනුණේ කොකාවිල් හින්දු විදුහලෙහි උසස් පොළ විභාගයට සූදානම් වෙමින් සිිටියදීය. ඔහුගේ පන්ති භාර ගුරුවරයා එල්ටීටීඊ සංවිධානය සමඟ එක්ව සැළසුම් පැහර ගැනීමේ ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා තරුණ පිරිමි සිසුන් 111 දෙනෙකු සහභාගි කර ගත්තේය. 1991 වර්ශයේදීය.

ඔහුගේ කතාව එල්ටීටීඊ සංවිධානය තුළ ළමා සොල්දාදුවන් මුහුණ දුන් අති දුෂ්කර පුහුණුවීම් සහ සංවිධානය තුල වූ දෘඩ විනය මෙන්ම අකාරුණික මානුෂීය සබඳතා හෙළි කරයි.

ඔහුගේ කතාවෙහි අතිශෝක්තිය නොඅඩුය. ඔහුගේ කැනේඩියානු ජාතික සම කර්තෘ සිතන්නේ, එය මුද්‍රණ දෝෂයක් නොවේ නම්, කොළඹ තිබෙන්නේ පුත්තලම දිසාවෙහි කියාය. කගුස්තාන්  1990 – 2000 සමයේ මෙරට බොහෝ යුද හමුදා සහ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානීන් සමඟ තමන් කටයුතු කළ හැටි සඳහන් කරන්නේ එල්ටීටීඊ සංවිධානයෙන් පළා ගොස් යුද හමුදාවට බාර වූ පසු  කාල පරිච්ඡේදය ගැන දක්වමිනි. ඔහු බොහෝ යුද හමුදා නිලධාරීන්ගේ නම් ගම් සඳහන් කරයි.

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයෙහි  කගුස්තාන්ගේ උපදේශකයා jkafka කුප්‍රසිද්ධ ත්‍රස්තවාද විශේෂඥයකු වන රොහාන් ගුණරත්නය. පොත ආරම්භයෙහි  දී රොහාන් ගුණරත්න කගුස්තාන් විසින් හඳුන්වන්නේ බොරුකාරයෙක්, කපටියෙක් සහ දැනුම් සොරකු  ලෙසය. එල්ටීටීඊ සංවිධානය පිළිබඳ තමාගෙන් අසා දැන ගත් දේ රොහාන් ගුණරත්න ඔහු විසින් සොයා ගත් කරුණු ලෙස ප්‍රසිද්ධ කළ බවට කගුස්තාන් චෝදනා කරයි.

කගුස්තාන් පහළ මධ්‍යම පවුලකට අයත් වූ ඉගෙනීමෙහි දක්ෂයකු විය. ඔහු එල්ටීටීඊ සංවිධානය තුළ ඉක්මනින්ම ඉහළට නැග්ගේ ඔහු සතු බුද්ධිමය හැකියාව ඉනිමඟක් කර ගනිමිනි. මාස හයක දුෂ්කර යුද පුහුණුවකින් පසු සෑම ළමා සොල්දාදුවකු මෙන්ම කගුස්තාන් අවම වශයෙන් යුද මෙහෙයුම් තුනකට සහභාගි විය යුතු විය. අවසාන මෙහෙයුමෙහිදී ඔහු තුවාල ලැබුවේය. ඉන් පසු සිය ලිවීමේ කියවීමේ සහ භාෂා ඥානය පෙන්වා යුද බිමෙන් පිටත රාජකාරියක් ඉල්ලා සිටීමට ඔහුට හැකි විය. ඔහු යොමු කරන ලද්දේ එල්ටීටීඊ බුද්ධි අංශයටයි.  එල්ටීටීඊ බුද්ධි අංශ පුහුණුවක දී සති හයක්ම සියලූම සහභාගිවූවන් එකිනෙකා හදුණා ගැනීම වළක්වනු පිණිස  සිය මුහුණ ආවරණය කර ගෙන සිටිය යුතු විය.

එල්ටීටීඊ යුද්ධ අංශයේ සාමාන්‍යයෙන් ලෙප්ටිනන්ට්, කැප්ටන්, කර්නල් යනාදී යුද හමුදා නිලතල තිබුණි. නමුත් ජෙනරාල් තනතුර කිසිවකුට හිමි නොවීය. ප්‍රභාකරන් සහ බුද්ධි ප්‍රධානී පොට්ටු අම්මාන්ට තනතුරු තිබුණේ නැත.

බුද්ධි අංශයෙහි සිටියේ මාස්ටර් නම් තනතුරු ලත් අයයි. එල්ටීටීඊ යුද හමුදා බුද්ධි ප්‍රධානියා ශසීකුමාර් මාස්ටර් විය. තිනේශ් මාස්ටර් ඔහුට ඉහලින් සිටි බුද්ධි ප්‍රධානියකු විය. දයා මාර්ටර් මාධ්‍ය ප්‍රකාශකයා වූ පරිදිය.

කගුස්තාන් යොමු කරන ලද්දේ එල්ටීටීඊ නාවික බුද්ධි අංශයටයි. ඔහුට මෙරට සියලු වරාය, නාවික හමුදා නෞකා, අවි ආයුධ, නාවික හමුදා ප්‍රධානීන් ගැන ඔත්තු සෙවීමට තිබුණි. ඔහු කන්කසන්තුරයේ සහ ත්‍රිකුණාමල වරායේ ආකෘති නිර්මාණය කළේය. ස්වයං ඝාතක  කළු කොටි සේනාංකයේ නාවික කිමිදුම් කරුවන් පුහුණු කළේය. එම ඉලක්කවලට ප්‍රහාර දියක් කිරීමට අවශ්‍ය තොරතුරු ලබා දුන්නේය.

කුගස්තාන්ගේ කතාව එල්ටීටිඊ සංවිධානය සතු වූ විස්තීර්ණ බුද්ධි අංශය වෙත අප කැඳවයි. එය සතුව ලෝකයේ විවිධ රටවල යුද්ධ ශක්තිය දක්වන ජේන්ස් ඩිපෙන්ස් සඟරා සහ වාර්තා සහ  වාර්ෂික සඟරා ඇතුළත් පුස්තකාලයක් තිබුණි. මෙරට නාවික හමුදාව සතු නෞකා ගිල්වා දැමීමට පහර දිය යුතු අන්දම එම තොරතුරු ඇසුරින්  කගුස්තාන්  තීරණය කළේය. එල්ටීටීඊ තොරතුරුකරුවෝ ගණනාවක් රජයේ යුද හමුදා මර්මස්ථානවල සේවය කළහ. කගුස්තාන් යුද හමුදා බුද්ධි අංශයට එක්ව ඒ සියලු දෙනා ශ්‍රී ලංකා රජයට පාවා දුන්නේය.

‘කොටි ඔත්තුකරු- 05 ගොනුව’ කතාව අප හමුවට ගෙන එන අප නොදන්නා කරුණ නම් වෙනත් රටවල බුද්ධි සේවාවන් යුද සමයේ මෙරට ක්‍රියාත්මක වූ අන්දමයි. විශේෂයෙන්ම ඉන්දීය බුද්ධි සේවාව වන ‘ පර්යේෂණ සහ විශ්ලේෂණ අංශය’ නොහොත් රෝ ඔත්තු සේවය කොතරම් දුරට යුද්ධ භූමිය තුල පැළපදියම් වී සිටියේ ද යන්නයි.

බුද්ධි සේවා  නිල නොවන ඔත්තුකරුවන් බිලි බා ගැනීමට යොදා ගන්නා එක් ක්‍රමයකට කුගස්තාන් අසු වූ බව ඔහුගේ කතාවෙන් පෙනේ. එනම්  හනි ට්‍රැප් යනුයෙන් හදුන්වන ස්ත්‍රීන් ඇමක් වශයෙන් යොදා ගැනීමයි. ඔහු සිය පොතෙහි කියා සිටින්නේ තමා නාලා නම් එල්ටීටිඊ සටන්කාරියක සමඟ තමා ප්‍රේමයෙන් බැඳුණු බවයි.

එනමුත් විචාරශීලිව එම පෙම් කතාවට අදාළ කොටස කියවන විට සැක කළ හැක්කේ නාලා නම් එම තරුණිය ඉන්දියානු රෝ ඔත්තු සේවය විසින් යොදවන ලද හනි ට්‍රැප් නොහොත් ලිංගික ඇමක් බවයි.

එල්ටීටීඊ නාවික හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා බවට පත්ව සිටි කුගස්තාන් දිනක් නාලා නම් එම තරුණිය සමඟ වේග බෝට්ටුවකින් මුහුදට යන්නේ ගොඩබිමදී ලබා ගත නොහැකි ස්ත්‍රී ඇසුරක් ලබා ගැනීමටය. බොට්ටුවෙහි දී ඔහු ඇය සිප ගනියි.

යළි ගොඩ බිමට එන ඔහු පිළිගැනීමට බලා සිටින්නේ   එල්ටීටීඊ නාවික බුද්ධි නිලධාරියකු වන ශ්‍රීනිවාසන්ය. තමා, ඔහු සහ නාලා ගමන් ගත් බෝට්ටුව දුර දක්නයක් භාවිත කරමින් නිරීක්ෂණය කරමින් බවත්   කුගස්තාන් නාලා සිප වැළඳ ගනු තමා දුටු බවත් ඔහු කියයි. ඉන් පසු මෙම කතාවෙහි නාලා ගැන කිසිවක් අසන්නට ලැබෙන්නේ නැත. ශ්‍රීනවාසන් එම සිප ගැනීම දැක ගැනීමට පැමිණ සිටියේ කෙසේදැයි කගුස්තාන් ප්‍රශ්න නොකරයි. එය සැළැස්මේම කොටසක් වීමට ඇති ඉඩ වැඩිය.

එල්ටීටීඊය තුල ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම මරණීය වරදකි. එවැනි සබඳතාවයකට  දඬුවම දෙදෙනාම වෙඩි තබා ඝාතනය කිරීමයි.  කගුස්තාන්ට මරණයේ බිය දැනුණි. ඔහුගේද පෙම්වතියගේ ජීවිතය බේරා ගත යුතු විය.  ශ්‍රීනිවාසන් කගුස්තාන්ට යෝජනාවක් කළේය.

තමා ඉන්දීය රෝ සංවිධානයේ බුද්ධි තොරතුරුකරුවකු බව ශ්‍රීනිවාසන් කගුස්තාන්ට කීවේය. තමා සමඟ කටයුතු කරමින් අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ නම් තමා දුටු දේ රහසක් ලෙස තබා ගත් හැකි බව ඔහු කුගස්තාන්ට කීවේ තර්ජනය මුසු කරමිනි. කගුස්තාන් රෝ ඒජන්තවරයකු වීමට එකඟ විය.

මේ ප්‍රභාකරන්ගේ නියෝගයක් මත එවකට ඉන්දීය අගමැති වූ රජීව් ගාන්ධි එල්ටීටිඊ ස්වයං ඝාතක ධානු විසින් ඝාතනය කිරීමෙන් පසු කාලයයි. එම ඝාතනයට පළිගැනීමක් වශයෙන් ප්‍රභාකරන් ඝාතනය කිරීමට  රෝ සංවිධානයට පැවරී තිබුණි. ඉන්දියාවෙහි අත්අඩංගුවෙහි සිටි එල්ටීටීඊ සාමාජික සාමාජිකාවන් බන්ධනාගාරයෙන් පැන ආ බව කියමින් එල්ටීටීඊ සංවිධානය තුලට රිංග වීම  එහි සැලැස්ම විය.    එවැනිම පිරිසක් ඔත්තුකරුවන් ලෙස සේවය කිරීමට ශ්‍රී ලංකා රජයේ හමුදා තුලට ද රිංග වන ලදී.

එවැනි රෝ ඔත්තුකරුවන්ගේ ජාලයක් එල්ටීටීඊය තුල සකස් කර තිබුණි. එහි අවසාන ඉලක්කය වූයේ ප්‍රභාකරන් ඝාතනය කර එල්ටීටීඊ දේශපාලන අංශයේ නායකයා වූ ගොපාල්ස්වාමි මහේන්ද්‍රරාජා නොහොත් මහත්තයා එහි නායකයා බවට පත් කිරීමය. ඉන් පසු බලය බෙදීමේ යෝජනාවලියකට එකඟවී යුද්ධය අවසන් කිරීමයි.

එල්ටීටීඊ බුද්ධි අංශය තුල වූ පොට්ටු අම්මාන්ගේ බුද්ධි අංශය   මහත්තයා ඉන්දීය ඔත්තුකරුවකු බවට චෝදනා කොට 1994 දෙසැම්බරයේ දී ඝාතනය කරන ලදී.   1993 සිට ඔහු සිර ගතව සිටියේය.

කගුස්තාන් සිය ජීවිත සටහන්වල ලියන අන්දමට ඔහු 1994 වර්ෂයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට බාර වන විට මෙම රෝ ඔත්තු ජාලය සහමුලින්ම බිඳ දමා 300ක් පමණ එල්ටීටීඊ සටන් කරුවන් වෙඩි තබා ඝාතනය කර තිබුණි.

1994 මැයි මාසයේ දී ඉන්දීය රෝ ඔත්තු සේවයේ තොරතුරුකරුවකු බවට පත් කුගස්තාන් 1995 ජූනි මාසයේ දී හමුදාවට බාර වන තුරුම එම ද්විත්ව භූමිකාව රඟ පෑවේය. රෝ ඔත්තුකරුවෝ එල්ටීටීඊ ප්‍රධානීන්ගේ නිවෙස් පිහිටි ස්ථාන, ඔවුන්ගේ ගමන් බිමන් සැලසුම් යනාදිය ලබා දෙන ලෙස ඔහුට කියා සිටියහ. ඔහු ඒ අනුව ක්‍රියා කළේය.

කගුස්තාන් කිහිපවරක්ම ප්‍රභාකරන් හමු වූ බව ඔහු සඳහන් කරයි. ඔහුට නිදහසේ එල්ටීටීඊ බුද්ධි තොරතුරු ගබඩාවට යෑමට බාධාවක් නොවීය. රජීව් ගාන්ධි ඝාතනය කිරීමේ සැලසුම ප්‍රභාකරන් සාකච්ඡා කරන හඬ පටියක් එම පුස්තකාලයේ ඇති බවත් එය සොරකම් කර ලබා දෙන ලෙසත් රෝ ඔත්තුකරුවෝ ඔහුට බල කළහ. තමා එම හඬ පටය ලබා දුන් බවත් එය රජීව් ගාන්දි ඝාතන නඩුවෙහි ප්‍රධාන සාක්ෂියක් වී යැයි කගුස්තාන් කියයි.

එල්ටීටීඊ සංවිධානය තුළ මෙම රෝ ඔත්තු සේවා ජාලයයෙහි මහ මොළකරු වූයේ බී. රාමන් බව සඳහන් කරන කුගස්තාන් සිය පොත පිළිගන්වා ඇත්තේ ද ඔහුටය. බහකුට්ටම්බි රාමන්  එකල ඉන්දීය අමාත්‍ය මණ්ඩලයේ ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් විය. ඊට අමතරව ඔහු ඉන්දීය පර්යේෂණ සහ විශ්ලේශණ අංශයේ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ ඒකකයේ ප්‍රධානියා විය.

(ශ්‍රී ලංකා හමුදාවේ ගෝනි බිල්ලකු වීම දෙවන කොටස ඊළඟ කලාපයෙන්.)

Archive

Latest news

Related news