විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට සහ රහස් පොලිස් නිලධාරින්ට පහර දී පලා යාමට තැත් කළේ යැයි චෝදනා මත අද අධිකරණයට ඉදිරිපත් කරන ලද නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ අද (14) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලදී.
එහිදී තමා තංගල්ල බන්ධනාගාරයේ තබාගෙන සිටින්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට කෝටි තිහක් නොදුන් නිසා බවට නදුන් චින්තක කළ ප්‍රකාශය දැන් සුප්‍රසිද්ධය.
මෙයට පෙර මාර්තු 26 දින ද ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. එදින ද ඔහු වෙනුවෙන් විශේෂ ආරක්ෂක විධිවිධාන යොදවා තිබුණි.
නදුන් චින්තන, දේශබන්දු සමයේ දී පොලිසිය විසින් ඝාතනය කරන ලද මධූශ්ගේ ගෝලයකු ලෙස මාධ්‍ය මගින් හදුන්වා දී තිබේ. ඔහු සංවිධානාත්මක අපරාධකරුවක ලෙස පොලිසිය හදුන්වයි.
ඩුබායි රාජ්‍යය 2022 අගෝස්තු මාසයේ දී නදුන් චින්තක අත්අඩංගුවට ගත් නමුත් ඔහු මෙරට ගෙන්වා ගැනීම පොලිසිය බකල් කළේය. එකල දේශබන්දු පොලිස් ප්‍රබලයකු විය.
පසුව 2023 මාර්තු 7 වනදා මැඩගස්කරයේ දී නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ ඇතුළු 7දෙනෙකු අත්අඩංගුවට පත් විය. අතර 2023 මාර්තු 15 වනදා ඔවුන් මෙරටට ගෙන එන ලදි.
ඉන්පසු දින 362ක් පුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන නදුන් චින්තකගෙන් ප්‍රශ්න කරන ලදී.
2024 මාර්තු 11 දින නදුන් චින්තක අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවෙහි පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා විවෘත අධිකරණය හමුවේ මෙසේ ප්‍රකාශ කළේය.
“ස්වාමිනි, නඳුන් චින්තක හෙවත් “හරක් කටා” රැඳවුම් භාරයේ සිටියදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල කර නීතියේ රැහැනින් පළා යාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් තමයි මෙම අධි චෝදනා ගොනු කිරීම සිදුකර තිබෙන්නේ. එහිදී මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන්ට පහරදී තිබෙනවා. පළමු උත්සාහය ව්‍යර්ථ වූ පසු පුපුරණ ද්‍රව්‍ය සහ ආයුධ යොදා ගනිමින් ඔහු දෙවන වරටත් පළායාමට උත්සාහ කර තිබෙනවා.”
පසුව නදුන් චින්තක තංගල්ල පැරණි බන්ධනාගාරයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කරන ලදී.
මෙම පසුගිය අවස්ථා දෙකෙහිදීම නදුන් චින්තක වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්නය.
කපිල වෛද්‍යරත්න යනු 2016 වසරෙහි දී ජනාධිපති සිරිසේන විසින් වැඩබලන නීතිපති ලෙස පත් කරන ලද ජනාධිපති නීතිඥයා ය. ඔහු එකල නීතිපති දෙපාර්තමේන්තුවෙහි අපරාධ අංශයේ ප්‍රධානියා විය. අනතුරුව ජනාධිපති සිරිසේන විසින් 2017 ජූනි මාසයේ දී ඔහු ආරක්ෂක ලේකම් ලෙස පත් කරන ලදී. ඔහු 2018 සැප්තැම්බර් මාසය දක්වා එම තනතුර දැරුවේ ය.
නීතිවේදියකුට ඕනෑම කෙනෙකු වෙනුවෙන් පෙනී සිටීමට අයිතියක් තිබේ.
පසුගිය දිනක හිටපු නීතිපති සංජේ රාජරත්නම් තමා නීතිපති ධුරය දැරූ කාලයෙහි පවරන ලද නඩුවක විත්තිය වෙනුවෙන් පෙනි සිටියේය.
ලංකාවේ එහෙම නැත. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ අසෝක සිල්වා ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට පවරන ලද නඩුවෙහි පෙනී සිටියේ ගෝටා වෙනුවෙනි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කවරකු වෙනුුවෙන් හෝ පෙනි නොසිටීමේ සම්ප්‍රදාය බිඳ දමමිනි. අගවිනිසුරුවරයකු වූ සරත් සිල්වා ගැන කීමෙන් පලක් නැත.
සල්ලි දෙවියන්ගේ මල්ලී යැයි කියන්නේ නිකමට නොවේ.
සේ. පියවර්ධන විසිනි.