Saturday, May 10, 2025

අපයෝජනයට දැරියගේ මරණයට ඇත්ත හේතුව හංගන්න එපා ! – තරිඳු ජයවර්ධන

අපයෝජනයකට ලක්වීමෙන් පසු ඇතිවූ තවත් බලපෑම් සහ හිත්රිදවීම් නිසා සියදිවි නසාගත්තේයැයි කියන දැරියගේ සිද්ධිය මේ වන විට බොහෝ දෙනෙකු කතා කරන මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ සම්බන්ධයෙන් අමාත්‍ය සරෝජා පෝල්රාජ් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශක් එම කතා බහ තවත් වැඩි කිරීමට හේතුවක් විය. දෙරණ රූපවාහිනී නාලිකාවේ ගිය ප්‍රවෘත්තියේ කොටස ස්ක්‍රීන්ෂොට් එකක් ගෙන එය සෑහෙන්න කතා බහට ලක් කළ අතර ආණ්ඩුවට සම්බන්ධ පිරිස් ඇමතිවරියගේ ප්‍රකාශයේ පරිවර්ථනයක් ශෙයාර් කරනු දක්නට ලැබිණි.

අපයෝජකයා මාස ගණනක් නිදැල්ලේ

මේ කතා බහ ඇති වන්නේ දැරිය ලිංගික අපයෝජනයට ලක් කළැයි කියන ගුරුවරයා මුල්කරගෙන නොවේ. මේ කතා බහ ඇතිවන්නේ ජාතික ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූයේයැයි කියන උපකාරක පන්ති හිමිකරුවකු හෝ කළමනාකරුවකු මුල්කරගනිමිනි.
දෙමාපියන්, ලංකා ගුරු සංගමය සහ පොලිසිය ප්‍රකාශ කරන පරිදි ලිංගික අපයෝජන සිදුවීම සිදුවන්නේ 2024 වසරේ අවසාන කාලයේදීය. ඒ ගුරුවරයකුගෙනි. පොලිසිය එම ගුරුවරයා අත්අංගුවට ගන්නේ 2025 වසරේ ජනවාරි මාසයේය.

ඇප නියමවූ ගුරුවරයා නැවත එම පාසලේම සේවය කළ බවත්, දැරිය වෙනත් පාසලකට මාරුවී ගිය බවත් ඔවුහු සඳහන් කරති. එසේ තිබියදී දැරිය ටියුෂන් පන්තියකට ගිය අවස්ථාවේදී එහි හිමිකරු හෝ කළමනාකරු හෝ පරිපාලකයකු හෝ වන පුද්ගලයකු දැරිය ගුරුවරයකුට එරෙහිව පැමිණිලි කළ බවට චෝදනා කරමින් ඇයට දෝෂාරෝපනය කිරීම මත දැරිය හඬද්දී ඒ බව දෙමාපියන්ට දැනුම්දීමෙන් පසු දෙමාපියන් පැමිණ ඇය කැඳවාගෙන ගොස් තිබේ.

මෙම දෝෂාරෝපනය ප්‍රසිද්ධියේ සිදුකිරීම මත ඇයගේ අලුත් පාසලේ මිතුරන්ද මේ ගැන විමසන්නට පටන් ගැනීමත් සමග ඇය දැඩි මානසික පීඩනයකට පත්වීයැයි ද ඒ අනුව ඇය ජීවිතය නැතිකර ගත්තේයැයි ද දෙමාපියන්ගේ පාර්ශ්වයෙන් චෝදනා කරයි.

මේ ගැන පොලිසියෙන් විමසීමේදී ප්‍රකාශ කළේ දැනට කර ඇති විමර්ශනවලට අනුව මරණයට ආසන්නම හේතුව ටියුෂන් පන්තියේ සිද්ධිය බවයි. කෙසේ වෙතත් තවදුරටත් මේ ගැන විමර්ශන පවත්වන බවත්, ලිංගික අපයෝජනයේ සැකකාර ගුරුවරයාට ඉදිරි නඩු දිනයේ දී චෝදනා ගොනු කරන බවත් පොලිසිය සඳහන් කළේය. ලිංගික අපයෝජන සිද්ධිය ගැන අදාල ප්‍රදේශයේ පොලිසිය විමර්ශන පවත්වන අතර ටියුෂන් පන්තියේ සිද්ධිය ගැන විමර්ශශ සිදු කරන්නේ ළමා හා කාන්තා කාර්යංශය විසිනි.

පැමිණිලිකරුවන්ගේ පාර්ශ්වයෙන් චෝදනා කරන්නේ ටියුෂන් පන්තියේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ජාතිත ජන බලවේගයේ සාමාජිකයකු නිසා මෙම විමර්ශන මන්දගාමී වී ඇති බවයි. ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කරයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙස සරෝජා පෝල්රාජ් අමාත්‍යවරිය කිව යුතුව තිබුණේ මේ ගැන විමර්ශනයක් කර තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා යනුවෙනි. කෙසේ වෙතත් ඇය ඒ වෙනුවට ඊට තවත් කොටසත් එකතු කළාය.

ඇමතිවරියගේ  වක්‍ර අපයෝජනය

අමාත්‍ය සරෝජා පෝල්රාජ් මෙම ප්‍රකාශය කළේ දෙමළ බසිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී (ජාජබ) නජිත් ඉන්දික ෂෙයාර් කර තිබූ පෝස්ට්එකක (අමාත්‍යවරියගේ ෆේස්බුක් ගිනුමේ පලකරන ලද්දක්) එම කතාවේ දෙමළ පරිවර්තනය සඳහන් කර තිබිණි. එය මෙසේය.

‘මා මේ අවස්ථාව පැහැදිලි කිරීමක් කල යුතු යැයි සිතනවා.
පහුගිය 29 වෙනිදා අදාළ ශිෂ්‍යාවගේ මරණයෙන් පසුව අපි පසුගිය දින කිහිපයේ විමර්ශන කටයුතු සඳහා සියළු තොරතුරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව කරන පැහැදිලි කිරීම. මෙම සිදුවීම සිදුව තිබුනේ 2024 දෙසැම්බරයේ. ඒ සිදුවීම සම්බන්ධයෙන් දීර්ඝව විමසා බැලීමේදී අදාළ ශිෂ්‍යාව මානසික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ඇති බවත්, අදාළ අතවරය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයෙකුගේ සහතිකයක් නිකුත් කර ඇති බවත්, මෙම සිදුවීමේ පසු විපරම සම්බන්ධයෙන් පාසලේදී සිසුවියගේ අධ්‍යාපන මට්ටම හා කුසලතා සම්බන්ධයෙනුත්, පාසලේ දී ඇය ඇසුරු කළ යහළුවන් හිතවතුන් සම්බන්ධයෙනුත් සියළු තොරතුරු ඇතුලත් කර මේ වන විටත් ලිපි ගොනුවක් සකස් කර තියෙනවා.
පසුගිය 5 වන දින අදාල සිසුවියගේ දෙමාපියන්ගෙන් ළමා ආරක්ෂණ අධිකාරියේ පැමිණිල්ලක් කරන ලෙස ඉල්ලු‍වද දැනට දින 4ක් ගත වී ඇතත් ඒ සම්බන්ධයෙන් මේ වන තෙක්ම කිසිදු නීතිමය කටයුතු වලට ඉදිරිපත් වී නෑ.
ඒ වගේම අද (08) මෙම උද්ඝෝෂණ අවස්ථාවේදීත් උද්ඝෝෂකයන් පෙත්සමක් භාර දීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයට පැමිණීමට නියමිත බව පැවසූ විටත් පෙත්සම භාරදීමට අවස්ථාව සලසා දිය හැකි බවත් දෙමාපියන් හමුවිය යුතු බවත් මා පැවසුවද දෙමාපියන් අද (08) දිනයෙත් මා හමුවීමට පැමිණියේ නෑ. හෙට හෝ අනිද්දා ඒ සම්බන්ධයෙන් මා හමුවන බව ඔවුන් පවසා සිටියා.
සමාජ මාධ්‍ය වලින් පමණක් යුක්තිය ඉල්ලීම සිදුකල නොහැක.යුක්තිය ලබාගන්න නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට පැමිනිය යුතු වෙනවා. මෙම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉෂ්ට විය යුතු බව අපිත් විස්වාස කරනවා. මෙවැනි ආකාරයේ සිදුවීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමේදී නිසි ආකාරයෙන් කටයුතු කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේ අවශ්‍යතාවයත් සමාජය තුළ පවතිනවා, ඒ වගේම සමාජ මාධ්‍ය කණ්ඩායම් හෝ සමාජ සංවිධාන නීතියට අතට ගෙන අවනත නොවී ක්‍රියා කිරීමෙන් නීතිය හා සාමය රැකෙන්නේ නෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් ස්ථිර විසදුම ලෙස නීතිය ක්‍රියාත්මක කරන අදාල ආයතන වලට යොමුවන ලෙස ඉල්ලා සිටිනවා.
ස්තුතියි’

මෙහිදී අමාත්‍යවරිය ප්‍රකාශ කරන්නේ ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් යොමු කරන ලෙස ඉල්ලා දින 04ක් ගියද තවම පැමිණිල්ලක් කර නැති බවයි. එසේම දෙමාපියන් තමන් හමුවීමට නොපැමිණි බවත්, යුක්තිය ඉල්ලීම සමාජ මාධ්‍යවලින් පමණක් සිදු කළ නොහැකි බවත් ඇය ප්‍රකාශ කර ඇත. එසේම සමාජ මාධ්‍ය කණ්ඩායම් හෝ සංවිධාන නීතිය අතට ගෙන අවනත නොවී ක්‍රියා කිරීමෙන් යුත්තිය නොලැබෙන බව ද ඇය කියා ඇත.

අධිකාරීවාදී ප්‍රකාශයක්

මෙම ප්‍රකාශ ඉතා බරපතල ප්‍රකාශ වන අතර ශ්‍රී ලංකාවේ කැබිනට් අමාත්‍යවරියක මෙවැනි ප්‍රකාශයක් කිරීම අතිෂයින්ම අධිකාරීවාදී ප්‍රකාශයක් ලෙස අර්ථ දැක්වීමට හැකියාව තිබේ. වර්තමානයේ පවතින්නේ රාජපක්ෂගේවත්, වික්‍රමසිංහගේවත් ආණ්ඩුවක් නොවේ. එවැනි ආණ්ඩුවකින් සුපුරුදු පරිදි වගකීම් විරහිත, වින්දිතයන්ටම වරද පටවන, සිද්ධිය ගැන කතා කරන උදවියත් මර්දනය කරන තත්ත්වයක් බලාපොරොත්තු වුවද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය යටතේ කිසිවකු එවන්නක් බලාපොරොත්තු වන්නේ නැත.

ළමා ආරක්ෂක අධිකාරියේ වගකීම

අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ දින හතරක් ගියත් ළමා ආරක්ෂක අධිකාරියට පැමිණී කර නැති බවයි. ළමා ආරක්ෂක අධිකාරියට විමර්ශනයක් ආරම්භ කිරීමට හෝ මැදිහත්වීමක් කිරීමට පැමිණිල්ලක් කිරීම අත්‍යවශ්‍ය නොවේ. 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනතේ හැඳින්වීම මෙසේය.

‘ළමා අපචාර වළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාර්ය සඳහා සහ සියලු ආකාරයෙන් වූ ළමා අපචාරවපට එරෙහිව වූ ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය හා නියමානය කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියක් පිහිටුවීම පිණිස ද ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම පිණිස ද වූ පනතකි.’

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සාමාජිකයන් ලෙස පත් කළ යුත්තේ කුමන උදවියදැයි පනතේ 03 වැනි වගන්තියේ සඳහන්වේ. පනත සකස් කර ඇත්තේ ළමයින් ගැන තීන්දු තීරණ ගැනීම සඳහා අදාල වන බොහෝ ආයතනවල නියෝජිතයන් මෙම අධිකාරියේ සාමාජිකයන් ලෙස පත්වන අන්දමටය. පනතේ 12 වැනි වගන්තිය මෙසේය.

‘අධිකාරියේ බලතල ක්‍රියාත්මක කිරීමේ දී හා කාර්තව්‍ය ඉටු කිරීමේදී, අධිකාරිය, ළමයින් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුභසාධනය හා සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුකූලව හා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් අධිකාරිය වෙත නිකුත් කරන පොදු හෝ විශේෂ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතුය.’

එනම් අධිකාරියට පොදු හෝ විශේෂ විධිවිධාන නිකුත් කිරීමට අමාත්‍යවරයාට බලය තිබේ. අධිකාරිය කටයුතු කළ යුත්තේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අනුකූලවය. අදාල පනතේ 14 වැනි වගන්තියේ අධිකාරී කර්තව්‍ය දක්වා තිබේ. එහි මුලින්ම සඳහන්ව ඇත්තේ (අ) ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමයින් ආරක්සා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකස් සකස් කිරීමෙහි ලා ආණ්ඩුවට උපදෙස් දීමය. ඒ අතර  මෙසේ ද වේ.

ළමයිනට අපචාර සිදුවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආණ්ඩුවට උපදෙස් දීම; එවැනි අපචාරවලට ගොදුරුවූවන් අුාරක්ෂා කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආණ්ඩුවට උපදෙස් දීම; අපරාචවලින් ආරක්ෂා කරනු ලැබීමට ළමුන් සතු අයිතිවාසිකම් පිළිබඳව සහ ළමා අපචාර වැළැක්වීමේ ක්‍රම පිළිබඳව දැනුම්වත් කිරීම; ළමා අපචාර වැළැක්වීමේ කාර්යය සඳහා සහ එවැනි අපචාරවලට ගොදුරුවූවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අයිතීන් රැකගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීම;  ළමා අපචාර හා සම්බන්ධ සියලු විමර්ශන හා අපරාධ නඩු කටයුතුවල ප්‍රගතිය නියාමනය කිරීම ද, අපරාධ පිළිබඳ විමර්ශනවලට සහ අපරාධ නඩු කටයුතුවලට සම්බ්නධ ළමයින්ගේ ආරක්ෂාව හා රැකවරණය සඳහා අවශ්‍ය අවස්ථාවලදී උචිත පියවර ගැනීම.

එසේම ළමා අපචාරවලට එරෙහිව කරනු ලබන වැඩ සම්බන්ධීකරණය මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවලට ඒ සඳහා උපදෙස් දීම සහ සහාය වීමත ළමා ආරක්ෂණ අධිකාරීයේ වගකීමකි. ළමා අපයෝජන සිද්ධියකදී මැදිහත්වීම සඳහා මෙම අධිකාරියට පැමිණිල්ලක් ලැබීමම අත්‍යවශ්‍ය නැත. ජනමාධ්‍ය මගින් සිද්ධිය වාර්තා වූ වහාම විමර්ශන ආරම්භ කිරීමට ඔවුන්ට හැකියාව ඇති අතර අමාත්‍යවරියට එවැනි සිද්ධියක් වාර්තා වීනම් එය අදාල ආයතනයට යොමු කිරීමට ඇයටද හැකියාව තිබේ.

2019 ඔක්තෝබර මාසයේ දී ප්‍රසිද්ධ කරන ලද ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ ද මීට අදාල බොහෝ කරුණු කාරනා සඳහන් කර තිබේ.

අයිසීසීපීආර් පනතේ වගන්ති

එසේම පසුගිය කාලයේ ආණ්ඩු විසින් වැඩි වශයෙන් භාෂණයේ ප්‍රකාශනයේ නිදහස නැති කිරීමට භාවිත කළ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ ද ළමයින්ට අදාලව ප්‍රතිපාදන දක්වා තිබේ.

එහි පස් වැනි වගන්තියේ ළමයින්ගේ අයිතිවාසිකම් ගැන සඳහන්ව තිබේ. එහි 5.1.ඈ යටතේ සඳහන් කර ඇත්තේ හිංසා කරනු ලැබීමෙන්, නොසලකා හරිනු ලැබීමෙන්, අපයෝජනය කරනු ලැබීමෙන් හෝ අවමන් කරනු ලැබීමෙන් ආරක්ෂාව ලැබීමට ළමයින්ට අයිතියක් ඇත.

එහි දෙවැනි උප වගන්තියේ සඳහන් කර ඇත්තේ රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ හෝ සමාජ සුබසාදන ආයතන හෝ අධිකරණ හෝ පරිපාලන බලධාරීන් හෝ ව්‍යවස්ථාදායක මණ්ඩල හෝ කවර විදිහේ ආයතනයක් විසින් හෝ ළමයින්ට අදාලවන යම් කාරණයකදී ළමයාගේ උපහරිම ශුබසිද්ධියට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බවයම

පාසල අත හැරි වගකීම

මෙම නිශ්චිත සිද්ධියට අදාලව ගතහොත් දැරිය ලිංගික අපයෝජනයට ලක්වීමෙන් පසු ඒ බව දැන ගත් ගුරු-විදුහල්පතිවරුන් කටයුතු කළ ආකාරය ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියටත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියටත්, ළමා ආරක්ෂණ අධිකාරී පනතේ අරමුණටත් පටහැණිය. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය ළමා රක්ෂණ අධිකාරියේ සාමාජිකත්වය දරණ පොලිස් ප්‍රධානියකු සිටින හෙයින් ඔහු හරහා හෝ එම ආයතනය දැනුම්වත් කර ළමයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කළ යුතුව තිබිණි. ඇගේ මානසික මට්ටම යථාවත් කිරීම පිණිස වැඩකටයුතු සිදු කළ යුතුව තිබිණි. එය දීර්ග ක්‍රියාවලියකි. එසේ වූවානම් මුල් සිදුවීමෙන් පසු 2025 මාර්තු මාසයේදී ටියුෂන් පන්තියේ සිදුවීම ගැන ඔවුන්ට වාර්තා වීමට ඉඩ තිබිණි.

ටියුෂන් ගුරුවරයා සහ ජාජබ

2025 මාර්තු මාසයේ සිදුවීම සහ එම සිදුවීම වාර්තා නොවීවමම මීට අදාල ක්‍රමයේ බරපතල දුර්වලතාවයකි. ළමයින්ගේ හැසිරීම සම්බන්ධයෙන් සහ ළමයින්ට අදාලව දෙමාපියන්ට ඇති වගකීම ගැන දැනුම්වත් කිරීමට ළමා ආරක්ෂක අධිකාරියේ මෙන්ම රජයේ වගකීමකි. මෙම සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ එම වගකීම ඉටුවී නැති බව මිස අන් යමක් නොවේ.

එසේම අදාල ටියුෂන් පන්තියෙන් දැරිය අපහසුතාවට පත් කරමින් දෙමාපියන් චෝදනා කරන ආකාරයට කටයුතු කළේ නම් එය දැරිය ලිංගික අපයෝජනයට ලක්කිරීම තරම්ම බරපතල තත්ත්වයකි. දෙමාපියන්ගේ චෝදනාව අනුව දැරියගේ මරණයට හේතුව ද ලිංගික අපයෝජන සිද්ධියට වඩා මෙම ටියුෂන් පන්තියේ සිදුවීමයි.

එය සත්‍යක් නම් සුළුවෙන් සැලකිය නොහැකි බරපතල තත්ත්වයකි. මෙය කෙතරම් බරපතල තත්ත්වයක් වුවද සැකකරුට ද නීතියෙන් නියම කර ඇති රැකවරණය තිබේ. එසේම නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනයට ඇති අයිතියද ඔහුට තිබේ. චෝදනා ගැන සාධාරණ පරීක්ෂණයක් කළ යුතු වේ. කෙසේ වෙතත් ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව කටයුතු කරන ආකාරයට පෙන්නුම් කරන්නේ චෝදනා එල්ලවන ටියුෂන් පන්තියට අදාල පුද්ගලයාට ඔවුන්ගේ ආශිර්වාදය හිමිවන බවක් මිස විමර්ශන ස්වාධීනව කිරීමට සහයෝගය දෙන බවක් නොවේ. එමගින් ඔහුට මෙන්ම වින්දිතයාටද සිදුවන්නේ බලවත් අගතියකි.

අවසානයේ වින්දිත දැරිය දිවි හානිකරගෙන තිබේ. ඇය දිවි නැති කර ගන්නා තැනට තල්ලුවීම මගින් පෙන්නුම් කරන්නේ මෙම නීති රීති ක්‍රියාත්මක නොවීම පමණක් නොව ඊට අදාලව අඩු තරමේ දැනුම්වත් කිරීමේ ක්‍රියාවලියවත් නිසි ලෙස සිදු නොවූ තත්ත්වයකි.

මෙවැනි බරපතල තත්ත්වයක දී වින්දිතයන්ටම ඇගිල්ල දිගු කරමන් අමාත්‍යවරිය කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම රාජපක්ෂ රෙජීම ආණ්ඩුවක තත්ත්වයකට මෙම ආණ්ඩුව ද ඇද දැමීමකි. මෙහි බරපතල තත්ත්වය සහ ඊට අදාලව තරාතිරම නොබලා කටයුතු කරිරීම සහ එසේ කරන බවට ප්‍රකාශ කිරීම ආණ්ඩුව කළ යුතු වුවද දැන් ආණ්ඩුවේ ඇතැම් සාමාජිකයෝ (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) අමාත්‍යවරියට එල්ල වන චෝදනාවලට උත්තර බදිනිම් ඒ පසුබස යමින් සිටිති.
මේ දැරියගේ සිදුවීම වාර්තා වූ එක් සිදුවීමක් පමණි. මෙවැනි සිදුවීම් තව ඔ්නෑ තරම් තිබේ. ළමා ආරක්ෂක අධිකාරියේ සහ පොලිසියේ ළමයින් සම්බන්ධ පැමිණිලි ගොඩ ගැසී තිබේ.

නොවිසදූ පැමිණිලි 52,922ක්

විගණකාධිපතිගේ 2023 වාර්තා අනුව 2011 සිට 2024 තෙක් ළමා ආරක්ෂක අධිකාරියට ලැබුණු පැමිණිලිවලින් පැමිණිලි 52,922ක් විසඳා (විමර්ශන අවසන් කර) නැත. එසේම ළමියින්ට අදාල නඩු කඩිනමින් අවසන් කිරීමට අදාලව ද වැඩපිළවෙළක් සකස් කරීම රජයේ වගකීමකි. තමාට සිදුවූ සමූහ ලිංගික අපයෝජනයක් ගැන කාන්තාවක් මීට මාස කිහිපයකට පෙර නුවර එළිය මහාධිකරණයේ සාක්කි දුන්නාය. වය අවුරුදු 17 දී ළමයකු ලෙස සිටියදී සිදුවූ එම අපයෝජනය ගැන ඇය එදා සාක්කි දුන්නේ සිද්ධියෙන් වසර 22කට පසුව වන අතර එලෙස ප්‍රසිද්ධියේ තම කතාව ඇය අධිකරණයකට හෝ පොලිසියට කී 05 වැනි වතාව විය.

ළමයින් සම්බන්ධයෙන් රජයේ වගකීම මුලින් තේරුම් ගත යුතුය. ළමයින් අපයෝජනයට ලක්නොවී සිටීමේ වටපිටාවක් සකස් කිරීමත්, එවැනි අපයෝජනයක් සිදුවුවහොත් දැරියගේ මානසිකත්වය නගා සිටුවීමට අවශ්‍ය කටයුතු කිරීමටත්, එවැනි අවස්ථාවලදී කටයුතු කළ යුතු ආකාරය ගැන ගුරු-විදුහල්පතිවරුන්, දෙමාපියන් දැනුම්වත් කිරීමටත් රජයට ලොකු වගකීමක් තිබේ. ඇතැම් අපයෝජනයන්ට මුහුණ දෙන දරුවන්ගේ දෙමාපියන්, ගුරු-විදුහල්පතිවරුන් නිසා ඔවුන්ගේ තත්ත්වය තවත් දරුණු අතට හැරුණු අවස්ථා ඔ්නෑ තරම් ඇත.

මෙම සිද්ධියෙන් හෝ පාඩමක් උගෙන ළමයින්ගේ උපරිම යහපත පිණිස රජය අවශ්‍ය වැඩකටයුතු සිදු කළ යුතුය. වින්දිතයාට හෝ වින්දිතයාගේ පවුලට හෝ වින්දිතයාට යුක්තිය ඉල්ලන පාර්ශ්වවලට චෝදනා කරනවා වෙනුවට ඔවුනට යුක්තිය ඉෂ්ඨ කර දීමට රජය වහාම ක්‍රියා කළ යුතුය. එසේම නැවත මෙවැනි සිදුවීම් නොවන සමාජ පසුබිමක් නිර්මාණය කරීමට රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

ඇත්තටම අවශ්‍ය වන්නේ ඔළුගෙඩි මාරුවක් නොව පද්ධතියේ වෙනසකි. සිස්ටම් චේන්ජ් එකකි.

තරිඳු ජයවර්ධන
2025 මැයි 09 වැනිදා

(කිසිම අවස්ථාවක දිවි හානි කර ගැනීමට දිරිමත් කිරීමක් අප විසින් සිදු කරන්නේ නැත. කිසියම් හෝ කෙනකු එවැනි තත්ත්වයක ඇත්තනම් හෝ වෙනත් කෙනෙක් එවැනි තත්ත්වය සිටිනා බව දන්නේ නම් වහාම ඊට අදාල උපකාරක ආයතන වෙත යොමු කරන්න. ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ දුරකතන අංක 1926, 0113-140844)

මුහුණු පොතිනි.

Archive

Latest news

Related news