Wednesday, April 30, 2025

සිවරාම් ඝාතනයට වසර 20යි. ඝාතකයින් තවම නිදැල්ලේ!

යාපනයේ පැවැති සිවරාම් සමරු උළෙලෙහි දී සිංහල සහ දෙමළ මාධ්‍යවේදීහු අදහස් දැක්වූහ.

සම්පත් සමරකොන්.

ප්‍රවීණ ජනමාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකී, විශිෂ්ඨ දේශපාලන විශ්ලේෂකයා, ඝාතනය කර වසර 20ක් ගෙවෙමින් තිබේ. 2005 අප්‍රේල් 27 වන දින බම්බලපිටිය පොලීසිය අසල දී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් තිබිණි. ඊට පසු දින(2005 අප්‍රේල් 28 දා) සිවරාම්ගේ මළ සිරුර අධිආරක්ෂිත කලාපයක් වූ ‘ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව’ අසලින් සොයා ගත්තේය. ඒ වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපතිණි ලෙස කටයුතු කරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරණායක ය.

1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම්, ජනමාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු මෙන්ම ප්‍රවීන යුධ පුවත් විශ්ලේෂකයෙකු සහ ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු සහ චින්තකයෙක් විය. 1982 ගාන්ධියන් ව්‍යාපාරයෙන් තම දේශපාලන දිවිය ආරම්භකල සිවරාම් ප්ලොට්, ඊපීඑල්එෆ් වැනි දේශපාලන සංවිධානවල ක්‍රියාකාරිකයෙක් විය. ජනමාධ්‍යවේදියෙකු ලෙස ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකී ප්‍රධාන ධාරාවේ මෙන්ම අන්තර්ජාලය පදනම් වූ ප්‍රවෘත්ති මාධ්‍යන් හි දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ක්‍රියාකාරී විය.

යාපනයේ පැවැති සමරු උළෙලෙහි දී

ධර්මරත්නම් සිවරාම්ගේ බුද්ධිමය මැදිහත්වීම්, ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ජනමාධ්‍ය කතිකාවතට ගැඹුරු බලපෑමක් එල්ල කළේය. ඔහුගේ ලේඛන ලංකාවේ ජාතික ගැටලුව සහ කලාපයේ භූ දේශපාලන ප්‍රවණතා පිළිබඳ සිය පාඨකයාට ගැඹුරු බුද්ධිමය රාමුවක් ලබා දුන්නේය. ඔහුගේ අභාවය, ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසේ බරපතල ඛේදවාචකයක් වුවද, ඔහුගේ බුද්ධිමය උරුමය තවමත් බුද්ධිමතුන් හා මාධ්‍යවේදීන් අතර ආලෝකයක් ලෙස රැඳී පවතී. එය අදටත් ලාංකීය දේශපාලනයේ නව තත්ත්වයක් යැයි කියන තත්ත්වයන් තේරුම්ගැනීමටත් ප්‍රභල අලෝකයක් සපයයි.

මෙවන් ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු, දේශපාලන විශ්ලේෂකයෙකු ලංකාවේ පොලීසියක් ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඝාතනය කලේ ය. එපමණක් ද නොව ඝාතනය කරන ලද සිවරාම්ගේ සිරුර හමුවුයේ රටේ ‘උත්තරීතරම’ ආයතනය ලෙස හදුන්වා ගන්නා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභියස දී ය. ඒ අධිආරක්ෂිත කලාපයක් තුළය. පොලීසියක් අසලදී පැහැරගෙන ගොස් පාර්ලිමේන්තුවක් අසලදී මිනිසෙකු මරා දැමීමට තරම් ඝාතකයන් ශක්තිමත් වූයේ කෙසේ ද? අධිආරක්ෂිත කලාපයක මෙවන් සිදුවීමක් සිදුකරන්නට හැක්කේ කාටද?

ආරක්ෂක අංශවලට හෝ බලධාරීන්ට මෙතෙක් විසඳාගැනීමට නොහැකි වූ ගැටලුව එය වන්නේ නම්, එය මෙම ඝාතනය පිළිබද සත්‍ය හෙළිදරව් කර ගැනීමට නොහැකි ගැඹුරුම ගැටලුව එය නොවේද? එපමණක්ද නොව සිවරාම් මරා දැමූ ඝාතකයන් නීතිය හමුවට ගෙනඒමට ගන්නා කිසිදු උත්සහයක් අද දක්වාම දක්නට නැත. එයින් මතුවන තවත් කරුණක් ඇත. අධිආරක්ෂිත කලාපයක මෙවන් බරපතල සිදුවීමක්, විසදාගැනීමට බලධාරීන්ට නොහැකි වූයේ ඇයි ද යන ගැටලුවයි? ‘සීනි හොරෙන් කෑ අය විසින්ම, සීනි හොරෙන් කෑ අය සෙවීමට යාමේදී ‘සීනි හොරා‘ කිසිම දිනක හමුනොවනු ඇත‘ යන කියමන ලියුම්කරු විසින් ලියන ලද්දේ මීට වසර ගණනාවකට පෙරය. එය මාළිමාණ්ඩුවටත් ආදළ වන්නේද? අපි විමසිල්ලෙන් බලා සිටිමු.

මෙවැනි අන්දමක ඝාතනයක් සිදුකර වසර 20ක් ගතවූවත් එම ඝාතනයට වගකිව යුතු ඝාතකයින් සොයා ගැනීමට නොහැකි රටක ‘පොහොසත් රටක්’ ගොඩනගන්නට හැකිවේද? කෙසේ නමුත් සුන්දර වචන ගොන්නකින් සරසා අපට තිළිණ කරන පතරාංග ප්‍රතිපත්තිවලට මහා වෙනසක් කළ නොහැකි බව පසුගිය කාලය පුරාම සිදුකර ඇති දේවල්වලින් මනාවට සනාථ වී හමාරය. එයින් කියැවෙන එක් දෙයක් නම් රටක ‘අභ්‍යන්තර යුක්තිය’ ඉටු නොකර කුමන සංවර්ධන මාදිලියක් හෝ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අපහසු බවත්, එසේ කලත් එය තාවකාලික අස්වැසිල්ලක් ම පමණක් වන බවත්ය. එය, ‘පාලකයන්’ කෙසේ වෙතත් සක්‍රීය පුරවැසියන් තේරුම් ගන්නේ නම් එය හෝ යම් පමණක ට මේ අවස්ථාවේ ප්‍රමාණවත් විය හැකිය. කෙසේ වෙතත් අධිකරණයෙන් වරදකරු වූ ‘ඝාතකයන්ට’ ජනාධිපති සමාව හිමිවන මේ රටේ, ‘අභ්‍යන්තර යුක්තිය’ ඉටු කිරීම පිළිබද ඒ තරම් ගැඹුරු බලාපොරොත්තුවක් නැති තත්ත්වයක් වුව ද, ඒ අති බිහිසුණු ප්‍රශ්ණකාරී තත්ත්වයන්ට පිළිතුරු ද සපයා දෙනු ඇත්තේ අපගේ ක්‍රියාකාරීත්වය තුළින් ම පමණක් බවය.

මෙම තත්ත්වය ඝාතනය කළ සිවරාම්ට මෙන්ම, ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඝාතනය කළ, අතුරුදහන්කල මෙන්ම පහරදීම්වලට ලක් වූ මාධ්‍යව්දීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලට ද එකසේ අදාලය. විශේෂයෙන් අධිආරක්ෂක කලාපයක් තුළ ඝාතනය කල මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, මේ වනවිටත් කිසිදු තොරතුරක් නොමැති අතුරුදහන්කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ, මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් මෙන්ම පසුගිය වසර ගණනාවකදී ලංකාව තුල මෙසේ ඝාතනය කල, අතුරුදහන්කල සහ පහරකෑම්වලට ලක්වුනු මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ආයතනවලට පහරදී, ගිණී තැබීම්කල කිසිදු අපරාධකරුවෙක් මෙතෙක් නීතිය හමුවට පැමිණවීමට කිසිදු ආණ්ඩුවකට නොහැකි වී ඇත්තේ ඇයි? අද ද අප විසින් ප්‍රශ්ණ කළ යුත්තේ එයයි.

මෙවන් ඝාතනයන් සිදු වී වසර ගණනාවක් ගතවූවත් එයට අදාල ඝාතකයින් සොයාගැනීමට බැරි රටක් කෙසේ නම් ‘ශිෂ්ට රටක්’ වන්නේ ද?

අභිනවයෙන් පත්ව ඇති මාළිමාණ්ඩුව හමුවේ ඇති ප්‍රභල අභියෝගයන් ඒවා වුවත් ‘පහුගිය දේවල් අමතක කරමු’ වැනි සරලමතික, සෞන්දර්යාත්මක ප්‍රකාශ සිදුකිරීමෙන් මෙන්ම අපරාධකාරී ඉතිහාසය හිතාමතාව වසා දැමීමට උත්සහා කිරීමෙන් පොහොසත් රටක් ගොඩනැගිය නොහැකි බව තේරුම්ගැනීම සෞඛ්‍යමත් ප්‍රජාතන්ත්‍රවාදයකට යහපතක් විය හැකිය. එබැවින් රටක ‘අභ්‍යන්තර යුක්තිය’ පිළිබද ප්‍රශ්නය නොවිසදා සිදුකරන ඕනෑම ‘වෙනසක්’ ප්‍රශසස්ත තත්ත්වයකට පත්කිරීම දුෂ්කර වන බව නැවත නැවතත් ලියා තැබිය යුතුය.

විකල්ප වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

යාපනයේ පැවැති සිවරාම් සමරු උළෙලෙහි කරන ලද අදහස් දැක්වීම්

Archive

Latest news

Related news