මෙරට මේ වන විට ක්‍රියාත්මක කෙරෙන 2016 අංක 12 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත රජයේ නිලධාරීන් තඹ දොයිතුවකට ගණන් නොගන්නා බවට වාර්තා වී තිබේ.
එපමණක් නොව ජනාධිපති දිසානායක තොරතුරු කොමිසමේ සභාපති සහ සාමාජිකයක් පත් කිරීම දිගින් දිගටම මඟ හරිමන් සිටිව බවට කරු ජයසූරිය ප්‍රමුඛත්වය දරන සාධාරණ සමාජයක් සදහා ව්‍යාපාරය චෝදනා කරයි. එම නිවේදනය මෙම ලිපිය අවසානයේ පළ කර ඇත.
පනතේ පූර්විකාව
මේ පනතේ පූර්විකාවේ දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තොරතුරු සදහා ප්‍රවේශවීමේ අයිතිය තහවුරු කර ඇති බැවින් සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මගින් පොදු අධිකාරීවල විනිවිද භාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බැවින්ද එමගින් ශ්‍රී ලංකාවේ මහජනතාවට යයහපාලනය සදහා වැඩි වශයෙන් සහභාගි විය හැකි සහ රටේ පොදු ජන ජීවිතයේදී සක්‍රීය ලෙස සහභාගිවිය හැකි සමාජයක් ප්‍රවර්ධනය වන බැවින්ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මේ පනවත පනවනු ලැබේ යනුවෙනි.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ විධිවිධාන සක්‍රීය ලෙස බලාත්මක කිරීම පනතේ 2 වගන්තියෙන් පවරා ඇත්තේ ජනමාධ්‍ය විෂය බාර අමාත්‍යවරයාටය.
එම පනතේ 3(1) සඳහන් වන්නේ පනතේ 5 වන වගන්තියේ විධිවිධාන වලට යටත්ව පොදු අධිකාරියක සන්තකයේ භාරයේ හෝ පාලනයේ ඇති තොරතුරු වලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම සෑම පුරවැසියකුටම තිබිය යුතුය යනුවෙන්ය.
එහි 4 වගන්තියේ දැක්වෙන්නේ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට පටහැනිව කුමක් සදහන්ව ඇතද ,මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු අතර ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන අතර අනනුකූලතාවයක් හෝ ගැටීමක් ඇති අවස්ථාවක මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතුය යනුවෙන්ද සඳහන්ය.
තොරතුරු පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම් සුසාධනය කිරීම සදහා නිසි අයුරින් සාදනු ලබන නාමාවලි සහ සුචියක් අනුව එහි ක්‍රියාත්මකවීමේ අවශ්‍යතා සමග අනුකූල වන ආකාරයට සහ ආකෘතියකට අනුව සෑම පොදු අධිකාරියක් විසින්ම සිය වාර්තා පවත්වාගෙන යාම ඒ සෑම පොදු අධිකාරියකම වගකීම වන්නේය.
තොරතුරු නිලධාරීන් නැහැ!
එහෙත් මේ වන විට බොහෝ රාජ්‍ය ආයතන වල තොරතුරු නිලධාරීන් පවා පත් කර නැති බව පෙනී යයි.මෙහිදී පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පොලිස් ස්ථාන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝහල් හා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන පාසැල් තොරතුරු පනතේ නියෝගයන් පිළිපදින බවක් නොපෙනේ.ප්‍රාදේශීයව ක්‍රියාත්මක කෙරෙන රාජ්‍ය යාන්ත්‍රාණයට අදාල මෙම ආයතන වලින් පුරවැසියකු හට තොරතුරු වලට ප්‍රවේශ වීමට කිසිම අවස්ථාවක් සලසා නැත.එය එසේ ලබා ගැනීමක් සිදු කරන්නේ නම් කොළඹ කේන්ද්‍රීය කර ගත් අදාල දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල වලින් තොරතුරු ලබා ගත යුතුය.මෙය එපා වාහේට හොදි බෙදන්නා වාගේ වූ ක්‍රියාවලියකි.තොරතුරු ලබා ගැනීම සදහා මැදිහත් වන පුරවැසියා උදාසීන හා අධෛර්යමත් කරවන ක්‍රියා දාමයකි.
තොරතුරු ඉල්ලීමකට විදේශ අමාත්‍යාංශය එවන ලද පිළිතුරක් පහත දැක්වේ.
තමන් ගනු දෙනු කරන සමීප රාජ්‍ය ආයතනයෙන් තොරතුරු ලබා ගැනීම සදහා යොමු වෙන පුරවැසියා ඒ තොරතුරු ලබා ගැනීමට දීර්ඝ වට වන්දනාවක යා යුතුය.
පලාත් සභා යටතේ පවතින ඇතැම් රාජ්‍ය ආයතනවල තොරතුරු නිළධාරීන් හා නම් කළ නිළධාරීන් පත් කර තිබුණද ඔවුන් සිය කාර්යභාරය පිළිබඳව කිසිදු දැනුවත් බවකින් කටයුතු නොකරන බවට තහවුරු වී තිබේ.
තොරතුරු පනත හා සම්බන්ධ නියෝග යටතේ වූ නියෝග අංක 21 හා සම්බන්ධව පවතින නියෝග පිළිබදව බොහෝ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද දැනුවත් නැත.විශේෂයෙන් මෙම නියෝග අනුව රාජ්‍ය ආයතනවල පත් කර සිටින තොරතුරු නිලධාරීන්ද තමන්ට පැවරී ඇති රාජකාරිමය වගකීම ඉතා සිල්ලර රාජකාරියක් සේ සළකමින් සිටී.එම නියෝග අංක 21 යටතේ වන 4 වන නියෝගයේ දැක්වෙන්නේ තොරතුරු නිළධාරියකු ලෙස පත්වීම් ලබන සෑම නිළධාරියකුම සිය සාමාන්‍ය රාජකාරි වලට වඩා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් රාජකාරිවලට ප්‍රමුඛත්වය දිය යුතුය යනුවෙනි.එහෙත් මේ වන විට ක්‍රියාත්මක නොකරන්නේද මේ නියෝගයයි.
මෙම ලියුම්කරු මීට දින ගණනකට පෙර මෙරට ප්‍රධාන පෙලේ අමාත්‍යංශ දෙකකින් තොරතුරු ලබා ගැනීම සඳහා තොරතුරු පනතේ නියෝග යටතේ දැක්වෙන ආකාරයට RTI 01 අයදුම්පත්‍ර ඉදිරිපත් කරන ලදී.ඒ එක් අමාත්‍යංශයක් වූයේ විදේශ කටයුතු අමාත්‍යංශයයි.විදේශ කටයුතු අමාත්‍යංශයේ තොරතුරු නිළධාරියා එහි නීති නිලධාරිනිය වේ.
පුරවැසියෙකුගෙන් තොරතුරු අයදුම්පත්‍රයක් ලැබුන විට ක්‍රියා කළ යුතු ආකාරය පනත හා සම්බන්ධ නියෝග අංක 05 හි දැක්වේ.ඉන් නියෝග කර ඇත්තේ තොරතුරු ඉල්ලා ඉදිරිපත්වන සෑම ඉල්ලීමක්ම ලැබුණ වහාම එය ලැබුණු බව දැන්වීමේ ලිඛිත නිවේදනයක් අයදුම්කරු වෙත පනතේ 24 (3)යටතේ තොරතුරු නිළධාරීන් විසින් ඉල්ලුම්කරු විසින් පුරවා දී ඇති RTI 02 ආකෘතිය මගින් හෝ වෙනත් අයුරකින් යැවිය යුතු බවය.
එහෙත් විදේශ කටයුතු අමාත්‍යංශයේ තොරතුරු නිලධාරිනිය පනතේ නියෝග පිළිබඳව කිසිදු අවධානයක් නොදක්වා මෙම ලියුම්කරු වෙත ලිපියක් එවා තිබේ.එම ලිපියේ සදහන් වී ඇත්තේ තොරතුරු ලබා දීම සදහා ලියුම්කරුගේ හැඳුනුම්පතේ ඡායා පිටපතක් එවන ලෙසය.තොරතුරු පනතේ 5 වගන්තිය හා කියවිය යුතු ඈ අනු වගන්තියේ සඳහන් වී ඇත්තේ තොරතුරු අයදුමිකරු සම්බන්ධ කර ගත හැකි අවශ්‍ය විස්තර හැර තොරතුරු ඉල්ලා සිටීමට හේතු කිසිවක් හෝ වෙනත් පුද්ගලික විස්තර ලබා දීම අවශ්‍ය නොවන්නේය යනුවෙන්ය.
විදේශ කටයුතු අමාත්‍යංශයේ තොරතුරු නිලධාරිනිය නීතිඥ වරියකි. එහෙත් ඇය තොරතුරු පනත නොදැනීම ඉතා කණගාටුදායකය.එසේත් නැතිනම් ඇය සිය රාජකාරියේ ගාම්භීරත්වය ලියුම්කරු විෂයෙහි පැටවීමට විහිළුකාර උත්සාහයක යෙදී තිබේ.නැතහොත් තොරතුරු පනත ප්‍රකාරව තොරතුරු අයදුමිකරන පුරවැසියකු හැඳුනුම්පතෙහි ඡායා පිටපත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවක් නැත.
මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත මේ ලියුම්කරු විද්යුත් තැපෑලෙන් ඉදිරිපත් කරන ලද තොරතුරු අයදුම්පත්‍රයකට තොරතුරු ලැබුණේ මාසයකට අධික කාලයක් ගෙවා දැමීමෙන් පසුවය.
මහජන ආරක්ෂක අමාත්‍යංශයේ තොරතුරු නිලධාරියා ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකි.ඔහු තොරතුරු නිලධාරියා වශයෙන් දෛනිකව විද්යුත් තැපෑල පිළිබඳව අවධානයට නොගන්නා බව ඉන් තහවුරු වේ.මේ නොසැලකිල්ල පිළිබඳව ලියුම්කරු විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය විද්යුත් තැපෑල මගින් දැනුවත් කළද ඒ සඳහාද ප්‍රතිචාරයක් නොලැබිණි.මහජන ආරක්ෂක අමාත්‍යංශය මෙරට නීතිය ස්ථාපිත කරවීම සදහා දායකත්වය සපයන ආයතනනයයි.එහෙත් එහි සේවය කරන පරිපාලන ඡ්‍යෙෂ්ඨයන් පුරවැසියන් හට සළකන්නේ අත පල්ලෙන් වැටුන ගාණටය.ලියුම්කරු මේ අසාධාරණය සම්බන්ධයෙන් තොරතුරු පැමිණිලි කොමිෂන් සභාවටද විද්යුත් තැපෑල ඔස්සේ පැමිණිලි කළ විට ස්වයංක්‍රීයව පැමිණිල්ල ලැබුණ බවට ලිඛිත සදහනක් ලැබුණද ඉන් එහා සිදු වුන ලබුවක් නැත.
මෙවැනි පරිපාලන ඡ්‍යෙෂ්ඨයන් හට පුරවැසියන් විසින් සිදු කළ යුතු අපූරු වැඩක් තිබේ.ඒ මෙම පරිපාලන ඡ්‍යෙෂ්ඨයන්ගේ කාලත්‍රයන්ගේ ලිපිනයන් සොයා ගෙන තමන් විසින් ඔහුගේ බිරිඳට හෝ සැමියාට තොරතුරු අයදුම්පත්‍රයක් යොමු කර ඇති බවත් ඒ පිළිබඳව ඔහු හෝ ඇය නිඳි යහනේදී දැනුවත් කර තමන්ට සාධාරණයක් ඉටු කරදෙන ලෙසට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යැවීමය.එවැනි සෝපාහාසාත්මක මැදිහත්වීමකින් තොරව මේ රාජ්‍ය යාන්ත්‍රණය අවදි කර කර ගත නොහැකි තරමට නිදි වැද තිබේ.
කෙසේ වෙතත් විද්යුත් තැපෑලෙන් රාජ්‍ය ආයතන වලට පුරවැසියන් යොමු කරන ලිපි සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් පවා තිබේ.ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් රාජ්‍ය ආයතන වලට මහජනතාවගෙන් ලැබෙන ලිපි විද්යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සදහා පිළිතුරු සැපයීම යන ශීර්ෂයෙන් මගේ අංක CIRL /03/0001 යටතේ නිකුත් කර ඇති 03/2022 චක්‍රලේඛයයි.
මේ චක්‍රලේඛයේ සඳහන් ආකාරයට රජයේ කාර්යාලවල පොදු විද්යුත් තැපැල් ලිපිනයට ලැබෙන විද්යුත් ලිපි දිනපතා පරීක්ෂා කළ යුතු අතර ඒ සදහා නිශ්චිත නිළධාරියකු පත් කළ යුතු බවය.එසේ ලැබෙන ලිපි වලට පිළිතුරු එදිනම ලබා දීමට උත්සුක විය යුතුය යන්නත් එහි සදහන්ය.
එහෙත් පුරවැසියාගේ අවාසනාවට සිද්ධ නොවන්නේද එම ක්‍රියාවලියයි.ජනපති වරයා මේ රට ඩිජිටල් ආර්ථිකයක් කරා ඔසවා තබන උත්සාහයක නිරත වෙමින් සිටියද පුරවැසියකු යම් රාජ්‍ය ආයතනයකට විද්‍යුත් තැපෑලෙන් ලිපියක් යැවීම කළ හොත් එම ආයතනයට දුරකථන ඇමතුමක් ලබා දී තමන් විද්යුත් තැපෑලෙන් ලිපියක් එවන ලද බවට එහි නිළධාරීන්ට සිහිපත් කිරීම කළ යුතුමය.
එසේ නැතිනම් ඒ විද්යුත් ලිපියට සිද්ධ වූ විපත්තියවත් හොයා ගන්නට ඉඩ හැකියාවක් නැත.
ජනමාධ්‍ය අමාත්‍යවරයා සතියකට වරක් මාධ්‍යවේදීන් කැඳවා ඔට්ටු අල්ලන බූරු පොළක් සේ පවත්වන රජයේ ප්‍රවෘත්ති සාකච්ඡා සංදර්ශනයට වඩා තොරතුරු පනතින් මෙරට පුරවැසියන් වෙත හිමි වී ඇති අයිතීන් සුරක්ෂිත කර දීම වැදගත්ය.තොරතුරු පනත මේ වන විට බොහෝ රාජ්‍ය නිලධාරීන් භාවිතා කරන්නේ කෑම කෑමෙන් පසු අත පිස දා ගැනීමටය.ඒ තරමටම එම පනත දෙකයි පනහේ සිල්ලර පනතක් වී තිබේ.
සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනය