Saturday, November 1, 2025

ජවිපෙ, ජාජබය සහ ප්‍රජාතන්ත්‍රවාදය – ජයදේව උයන්ගොඩ

(ජයදේව උයන්ගොඩ- අනිද්දා)

පසුගිය දශක දෙක-තුන තුළ ලංකාවේ දේශපාලන පරිවර්තනයේ  සිදුවී ඇති එක් ප්‍රවණතාවක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අඛණ්ඩ පරිහාණියයි. එම පරිහාණිය මැද්දේ පසුගිය අවුරුදු දෙක තුන තුළ ප්‍රකාශයට පත්වූ සාධනීය වර්ධනයන් දෙකක් තිබේ.

සාධනීය වර්ධන දෙක

පළමුවැන්න රටේ පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදයේ පරිහාණිය සහ බිඳවැටීමේ ක්‍රියාවලිය නැවැත්වීමේ පවුරක් ලෙස නැගී සිටීමයි. ඡන්දදායකයන් වීමට අමතරව, ප්‍රජාතන්ත්‍රවාදයේ සක්‍රිය හිමිකරුවන් ලෙස නැගී සිට, රටේ ප්‍රජාතන්ත්‍රවාදය අත්පත් කරගෙන තම ඒකාධිකාරය කරගෙන සිටි ප්‍රභූ පන්ති නායකත්වය එළවා දැමීමට පුරවැසියන් ඉදිරියට ඒම 2022-2024 දෙවසර තුළ ලංකාවේ සිදුවූ ඉතාම වැදගත් දේශපාලන පරිවර්තනීය ක්‍රියාව විය.

දෙවැන්න, 2022 පුරවැසි අරගලය විසින් විවෘත කරන ලද දේශපාලන අවකාශය තුළ, ලංකාවේ ප්‍රජාතන්ත්‍රීයකරණයේ නව බලවේගය ලෙස ජවිපෙ-ජාජබ සන්ධානය ඉදිරියට පැමිණීමයි. එම සන්ධානය ආණ්ඩු බලය ලබාගෙන තිබෙද්දී, එම ආණ්ඩුවේ දේශපාලන චරියාව, න්‍යාය පත්‍රය සහ මුහුණ දෙන අභියෝග පිළිබඳව ප්‍රමාණවත් ඇස්තමේන්තුවක් කිරීමට නම්, ජවිපෙ- ජාජබය
සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර සම්බන්ධය ගැන විවරණයක් කරගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත්ය. මේ ලිපියේ අරමුණ ඒ සඳහා උත්සාහ ගැනීමය.

තේමා තුනක්

මෙම ලිපිය තේමා තුනක් යටතේ සකස් වනු ඇත. පළමුවැනි තේමාව, ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රජාතන්ත්‍රවාදය සමග තිබි සම්බන්ධතාවේ ස්වභාවය හා පරිණාමයයි. දෙවැන්න, ලංකාවේ පක්ෂ ක්‍රමය තුළ, ජවිපෙහි ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයෙහි ඇති විශේෂතායි. තුන්වැන්න, ජාතික ජන බල ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ස්ථාවරය සහ ආකල්පයයි.

ජවිපෙ සහ ප්‍රජාතන්ත්‍රවාදය

ජවිපෙ සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර සම්බන්ධයට තරමක් දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය අවධි හතරක් තුළින් විකාශනය වූවකි. පළමුවැනි අවධිය 1966-67 සිට 1978 දක්වා දික් වේ. මෙම
පළමු අවධියේ ලක්ෂණය වූයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජවිපෙ දැරූ ස්ථාවරය, සම්භාව්‍ය මාක්ස්වාදී, ලෙනින්වාදී සහ පසුව මාවෝවාදී සම්ප්‍රදායන් තුළ ලිබරල් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රතික්ෂේපවාදී විවේචනයක් මත ගොඩනැගී තිබීමයි.

එම විවේචනයට අනුව, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයයි. එය ධනේශ්වර පන්තියට හිමි, ධනේශ්වර පන්තිය සඳහා වූ, ධනේශ්වර පන්තියට සේවය කරන ප්‍රජාතන්ත්‍රවාදයකි.1960 ගණන්වලදී ලංකාවේ මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා වූ එන්. ශන්මුගදාසන් සහෝදරයා ‘කම්කරුවා’ පුවත්පතට ලියූ අධ්‍යාපන ලිපිවලදීත්, ඔහු පැවැත්වු දේශපාලන පන්තිවලදීත් තවත්  විවේචන දෙකක් ඉදිරිපත් කෙළේය.

පළමුවැන්න නම්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, කම්කරු-නිර්ධන පන්ති විප්ලවවාදී ව්‍යාපාර කඩාකප්පල් කිරීමටත්, ඒ මගින් විප්ලවය කල් දැමීමටත් ධනේශ්වර පන්තිය යොදාගෙන ඇති උපායක්ය යන්නයි.

දෙවැන්න, ලංකාවටද හඳුන්වා දෙන ලද සර්වජන ඡන්ද බලය, ජනතාව රැවටීමේ අධිරාජ්‍යවාදී සහ ධනවාදී උපක්‍රමයක්ය යන්නයි. 1970දී පළවූ ‘විමුක්ති’ පුවත්පතෙහි මැද පිටු දෙකක පළවූ
ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විවේචනාත්මක ලිපිය, එම මාක්ස්වාදී- ලෙනින්වාදී- මාවෝවාදී විග්‍රහ මත පදනම් වූවකි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන වෙනස් මත

එහෙත් සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඉදිරිපත් කෙළේ තරමක් ලිහිල් විවේචනයකි. එම පක්ෂ දෙකම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මාක්ස්වාදී
සහ ලෙනින්වාදී විවේචන පිළිගත්තේය. එහෙත් එම පක්ෂ දෙකම මාවෝවාදී පක්ෂවලට සහ ජවිපෙට වෙනස් මතයක් දරමින් පහත සඳහන් ස්ථාවර දෙක ඉදිරිපත් කෙළේය.

ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය විසින් විවෘත කරනු ලබන දේශපාලන අවකාශය නිර්ධන පන්ති පක්ෂවලින්, විප්ලවවාදී දේශපාලනය ඉදිරියට ගෙනයෑම සඳහා ප්‍රයෝජනයට ගත යුතු වේය යන්න පළමුවැන්නයි.

පාර්ලිමේන්තුව සහ මැතිවරණ ක්‍රියාවලිය නිර්ධන පන්ති සහ විප්ලවවාදී දේශපාලන මතවාදය ප්‍රචාරය කිරීමේත්, ධනේශ්වර පන්ති පාලනයට එරෙහි මතවාදී අරගලය ඉදිරියට ගෙනයාමේත්, ධනේශ්වර පන්ති පාලනයටඅභියෝග කිරීමේත් වේදිකාවක් කරගත යුතුය යන්න දෙවැන්නයි.

වෙනස්වීමේ ආරම්භය

ජවිපෙහි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉහත දැක්වූ මතවාදී ස්ථාවරය 1970 ගණන්වල අග භාගයේදී සෙමින් වෙනස් වන්නට පටන් ගැනිණ. එහි පසුබිම වූයේ 1971 අරගලයේ පරාජයයි. සමාජවාදය
සඳහා එකම මග සන්නද්ධ විප්ලවයද? පාර්ලිමේන්තු මාවතද ඒ සඳහා උපයෝගි කරගත නොහැකිද? යන සාකච්ඡාව ජවිපෙ ඇතුළත විවිධ මට්ටම්වලින් සිදුවූයේ 1972-73න් පසු කාලයේදීය.

ජවිපෙ නායකත්වය 1977දී සිරගෙදරින් නිදහස් වන විට, පාර්ලිමේන්තු මාවතට පිවිසීමේ, නැතහොත් එම මාවත අත්හදා බැලීමේ ඉදිරි දැක්ම වඩාත් ප්‍රබල වී තිබිණ. මේ අනුව ජවිපෙ පාර්ලිමේන්තු මාවතට පිවිසීම ප්‍රකාශිත ලෙස සිදුවූයේ 1977 අග සහ 1978 මුල් මාසවලය.

විවේචන තුනක්

එම කාලය සලකුණු කෙළේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජවිපෙහි සම්බන්ධතාවේ දෙවැනි අදියරෙහි ආරම්භයයි.

1978- 1983 වසර පහ ජවිපෙහි දේශපාලන පරිවර්තනයේ සහ පාර්ලිමේන්තු විකල්පය පිළිගැනීමේත් අතිශය තීරණාත්මක කාලයක් විය. 1919 පළාත් පාලන මැතිවරණවලටත්, 1982
ජනාධිපතිවරණයටත් ජවිපෙ සහභාගි වීම, ජවිපෙහි ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයෙහි වැදගත් මංසලකුණු විය. මේ අතර, ජවිපෙන් කැඩී ගොස් ඒ වන විට මාවෝවාදයට නැඹුරු වී සිටි ‘රැඩිකල්’ කණ්ඩායම් ඉදිරිපත් කළ විවේචන තුනක් තිබිණ.

පළමුවැන්න, ජවිපෙ විප්ලවවාදී මාවත අතහැර, ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ගිය අසාර්ථක ධනේශ්වර පාර්ලිමේන්තුවාදී මාවතටම එළැඹී ඇත යන්නයි.

දෙවැන්න නම්, එය මාක්ස්-ලෙනින්වාදය අතහැර ‘සංශෝධනවාදය’ වැළඳගෙන ඇත යන්නයි.

තුන්වැන්න නම්, 1970-71 කාලයේදී චිලී රටේ සමාජවාදී පක්ෂය සහ එහි නායක අයියන්දේ සිදුකළ ‘සමාජවාදය වෙත පාර්ලිමේන්තු මාවත’ තුළින් සිදු කළ අත්හදාබැලීම, අමෙරිකානු ‘අධිරාජ්‍යවාදීන්’ විසින් ප්‍රචණ්ඩ ලෙස ප්‍රතිවිප්ලවයක් මගින් විනාශ කිරීමේ අත්දැකීම ජවිපෙ නායකත්වය විසින් නොසලකා හැර ඇතිය යන්නයි.

එහෙත් මෙම විවේචන නිසා ජවිපෙහි ස්ථාවරය වෙනස් වූයේ නැත. 1983 ජුලි මාසයේදී දෙමළ විරෝධී කෝලාහල, කොළඹින් ආරම්භ වූයේ මෙම පසුබිමෙහිය. ජනාධිපති ජේආර් ජයවර්දන
සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කෙළේ එම කෝලාහලයේ වගකීම ජවිපෙට සහ වාමාංශික පක්ෂවලට පැටවීමයි. දෙමළ විරෝධී කෝලාහලය ආරම්භ කිරීමේ චෝදනාව මත ජවිපෙ තහනම් කරනු ලැබිණ. එයට ජවිපෙහි ප්‍රතිචාරය වූයේ රහස්‍ය පක්ෂයක් බවට පත්වී, එනම් බිම් යට ලෝකයට පසු බැස, සන්නද්ධ අරගලයකට නැවතත් සූදානම් වීමයි.

ජවිපෙහි ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයේ පළමුවැනි අවධිය අවුරුදු පහකින් පසු අවසන් වීම සලකුණු වූයේ මෙපරිදිය.

1988-89 පසු ප්‍රජාතන්ත්‍රවාදී මාවතට නැවත පිවිසීම 1988-89 සිදුවු ඛේදජනක අත්දැකීමෙන් පසුව ජවිපෙ නැවත වරක් පරිවර්තනය විය. නායකත්වය අතඅඩංඟුවට වීමෙන්, සහ අන් පරම්පරාවකට මාරු වීමෙන් පසුව, එම නායකත්වය අතර, පක්ෂයෙහි දේශපාලන දැක්ම සහ ඉදිරි ගමන්මග පිළිබඳව  තරමක් දිග සාකච්ඡාවක් සිදුවන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

90 පසු ජවිපෙ

ජවිපෙ දෙවැනි වරට පාර්ලිමේන්තු දේශපාලන මාවත තෝරාගත්තේ 1990න් පසු අවුරුදු දෙක තුන තුළ බව පෙනේ. එහෙත් ඔවුන් 1994 සිට මැතිවරණ තරග කෙළේ ජවිපෙ නමින් නොවේ. පක්ෂය තහනම් කර තිබීම එයට හේතුවයි.

ජාතිය ගලවාගැනීමේ පෙරමුණ සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ ජවිපෙහි අ ̈ත් පරම්පරාව මුලදී මැතිවරණවලදී භාවිත කළ පක්ෂ නාමයයි. මෙම කාලයෙහිදී ජවිපෙහි දේශපාලන මතවාදය දැඩි ලෙස ‘දේශප්‍රේමී’ මාවතකට යොමුවී තිබුණි. 1983- 1989 කාලයේදී මෙම මතවාදය, ජවිපෙහි ප්‍රධාන මතවාදයද වී තිබිණ. 1990 ගණන්වලදී සහ ඊට පසුව අ ̈ත් සියවසේ මුල් දශක දෙක පුරාම, ජවිපෙ තම පාර්ලිමේන්තු දේශපාලනයේ සාර්ථකත්වය අපේක්ෂා කළේ දේශප්‍රේමී මතවාදය සහ දැක්ම මත බව පෙනේ.

විසදා නොගත් ගැටලුවක්

දේශප්‍රේමී සහ ජාතික අනන්‍යතාව මත ගොඩනැගූ මතවාදයක් සහ දේශපාලන දැක්මක් සහිතව, සාර්ථක පාර්ලිමේන්තුවාදී පක්ෂයක් බවට පරිවර්තනය වීමට ජවිපෙට නොහැකි වූයේ ඇයි? මෙය ජවිපෙ සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර සම්බන්ධතාවේ විකාශනය තේරුම් ගැනීමේදි මුහුණ දිය යුතු ගැටලුවකි. එම ගැටලුවට යෝජනා කළ හැකි එක් පිළිතුරක් නම්, මාක්ස්වාදය සහ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අතර තිබෙන ප්‍රතිවිරෝධය පිළිබඳ ගැටලුවට ජවිපෙ විසින් අවශ්‍ය තරම් ආමන්ත්‍රණය කරනු නොලැබ තිබීමයි.

එය යුරෝපයේ සහ යුරෝපයෙන් පිටතද මාක්ස්වාදී පක්ෂ විසිවැනි සියවස මුල් කාලයේ පටන් මුහුණ දුන් ප්‍රහේලිකාවකි. විසිවැනි සියවසේ මුලදී රුසියානු ජර්මන් සහ තවත් යුරෝපීය මාක්ස්වාදී පක්ෂ, විප්ලවයක් තුළින් ගොඩනගන සමාජවාදයේ ඉදිරි දර්ශනය වෙනුවට, පාර්ලිමේන්තු සමාජවාදී මාවතේ විකල්පය තෝරාගත්තේ එම ප්‍රහේලිකාව විසඳාගැනීමටය. මේ අතර, 1970 ගණන් සහ 19870 ගණන්වල ‘යුරෝ කොමියුනිස්ට්වාදය’ නම් මාක්ස්වාදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ඉතාලිය, ස්පාඤ්ඤය හා ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල පැතිරුණේ ඒ නිසාය.

ලංකාවේ ජවිපෙ විප්ලවයේ සහ සන්නද්ධ අරගලයේ මාවත අතහැර පාර්ලිමේන්තු මාවත තෝරාගත්තද, තම ‘මාක්ස්-ලෙනින්වාදී’ අනන්‍යතාව හා පාර්ලිමේන්තුවාදී දේශපාලනයට කැපවීම අතර ඇති ආතතිය විසඳාගැනීමට ප්‍රසිද්ධියේ උත්සාහ ගත් බවක් නොපෙනේ. 2024දී ලංකාවේ ජනාධිපතිවරණයෙන් ජයගත්තේ මාක්ස්වාදී රැඩිකල් දේශපාලන පක්ෂයක් යැයි දේශීය හා විදේශීය ජනමාධ්‍ය වාර්තා කෙළේද ඒ නිසා විය හැකිය.

වෙනස ජාජබයි

ජවිපෙහි 2021 හැරවුම මේ අතර 2021දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ජාතික ජන බලවේගය බිහිකරනු ලැබීම එම පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී පරිණාමයේ සහ පරිවර්තනයේ ඉතාම වැදගත්
සන්ධිස්ථානයකි. එහෙත් ඒ පිළිබඳ ප්‍රමාණවත් වැටහීමක් දේශාලන විචාරකයන්, මාධ්‍යවේදීන් හා ජවිපෙහි/ජාජබයෙහි විවේචකයන් අතරද ඇති බවක් නොපෙනේ.

ජවිපෙහි මෙම පරිවර්තනය පිළිබඳව,ජවිපෙට පිටතින් සිටින ගමන්ම ජවිපෙහි දෘෂ්ටිකෝණයෙන් ඒ දෙස බලන දේශපාලන විචාරකයකුට පහත දැක්වෙන තීසිසය, එනම් ප්‍රවාදය, ඉදිරිපත් කළ
හැකිය. 2015 ජනවාරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් සහ යහපාලන ආණ්ඩුවේ නිෂේධනීය අත්දැකීමෙන් පසුව, තම පක්ෂයේ දේශපාලන ඉදිරි ගමන් මග සහ මූලෝපායයන් පිළිබඳ බැරෑරුම් සාකච්ඡාවක් ජවිපෙ නායකත්වය අතර ඇතිවන්නට ඇත.

අවුරුදු පනහකට ආසන්න දේශපාලන ඉතිහාසයක්ද, අතිවිශාල කැපකිරීම්ද කර තිබියදී 1982 පටන්ම තම පක්ෂයට තනියම සියයට පහක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යන්නට නොහැකි වූයේ ඇයි?

පොදු පෙරමුණ සමග සන්ධානගත වූ එක් අවස්ථාවක හැර අන් අවස්ථාවල,ජයගත හැකිවූ පාර්ලිමේන්තු ආසන ප්‍රමාණය හතරකට සීමා වූයේ ඇයි? මෙම දේශපාලන නොහැකියාව ජයගත යුතුය,එය කළ යුත්තේ කෙසේද? එය, ජවිපෙ යන පැරණි සුපුරුදු නම වෙනුවට ජාතික ජන බලවේගය යන අන් නමකින්, කාඩර්වරුන් සහ සාමාජිකයන් මත පදනම් වූ සාම්ප්‍රදායික වමේ පක්ෂ ආකෘතියට අනුව නොව විවිධ සමාජ පන්ති සහ ස්තරවලින් සමන්විත පුළුල් සමාජයට ආමන්ත්‍රණය කළ හැකි සමාජ සන්ධානයකට සමාන දේශපාලන ව්‍යාපාරයක් ලෙසින් නිර්මාණය කරන ලද දේශපාලන බලවේගයකි.

ජාජබ සංක්‍රමණීය වැඩ පිළිවෙල

ජාජබය පිහිටුවා, 2021 දෙසැම්බර්මස නිකුත් කරන ලද කෙටිකාලීන සංක්‍රමණීය වැඩපිළිවෙළක් අඩංගු ප්‍රතිපත්ති ප්‍රකාශනය,ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළ නව දේශපාලන ජීවිතය පිළිබඳ ඉඟි කළ ඉතා වැදගත් ලියවිල්ලකි. එයින් අවධාරණය වූයේ, ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුව, සමාජවාදී ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීමේ කෙටිකාලීන සහ ‘විප්ලවවාදී’ දේශපාලන
ඉලක්කයක් නොවේ. ආර්ථික, ආණ්ඩුකරණ සහ සමාජ අර්බුදයක සිරවී සිටින ලංකාවට ආර්ථික, දේශපාලන සහ සමාජ සංවර්ධන ක්ෂේත්‍රයන්හි නවීකරණවාදී සහ ප්‍රගතිශීලී
ප්‍රතිසංස්කරණ ඉලක්කයකි. එය සීමිත සහ කුඩා සමාජ ස්තරයක නොව, බහු-පන්තික පුළුල් ස්තර සමූහයක දේශපාලන ආකර්ෂණයක් ලබාගැනීම අරමුණ කරගත්තකි. 2024දී ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු මැතිවරණයට ජාජබය ඉදිරිපත් කළ ‘පොහාසත් රටක්- ලස්සන ජීවිතයක්’ යන වැඩපිළිවෙළ 2021 වැඩපිළිවෙළෙහි වැඩිදුර වර්ධනයක් බව පෙනේ.

මේ දේශපාලන මොහොතට පිටු පෑ නොහැක

ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගෙන තිබෙන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩනැගීම සඳහා විශාල පුරවැසි අපේක්ෂා සහිත දේශපාලන මොහොතකය. එම අපේක්ෂාවට පිටුපස හැරවීමට ජාජබයට නොහැකිය.එහෙත් සිය ̈ විපක්ෂ කණ්ඩායම්වලට, පුරවැසියන්ගේ ප්‍රජාතාන්ත්‍රීකරණ අපේක්ෂා නිෂේධ කිරීම ඉතාම පහසු දේශපාලන විකල්පයක් වී තිබේ. දැනට ගොඩනැගෙමින් තිබෙන විපක්ෂ සන්ධානය, සාම්ප්‍රදායික දේශපාලන පක්ෂද, දේශපාලනඥයන්ද පත්වී සිටින නිරන්තර දේශපාලන පරිහාණියේ ආත්ම සංකේතයයි.

එකම බලවේගය ජාජබය

මෙම පසුබිම තුළ, අනෙකුත් පක්ෂ සමග සසඳන විට ජාජබයට අසාමාන්‍ය විශේෂත්වයක් තිබේ. එය නම් වර්තමාන ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී,ප්‍රජාතාන්ත්‍රීකරණ ප්‍රසංස්කරන ඉදිරියට ගෙනයාමේ ඇති සහ එකම දේශපාලන කර්තෘක බලවේගය වීමයි. මෙය නිදහසෙන් පසු ලංකාවේ දේශපාලන ගමන්මගෙහි ඇති බෙහෙවින් සාධනීය සරදමක්ද වේ.■

( මෙම ලිපිය 31 වන සිකුරාදා නිකුත් වූ අනිද්දා පුවත් පතෙන් උපුටා ගන්නා ලදී)

Archive

Latest news

Related news