ඡායාරූපය: ලංකාවේ දේශපාලන බොරු කීමේ චේතිය රජු වන විමල් වීරවංශ එද කී දේ.
මිහිරි ෆොන්සේකා.
‘කවුරු කොහොම කීවත් සත්ය වෙනස් කළ නොහැක’ එය ලෝක ප්රකට ‘එක්ස් ෆයිල්’ ටෙලි නාටක මාලාවේ තේමාවය. අවසානයේදී ‘මිලේනියම් සිටි මහා පාවාදීමේ’ නාටකීය ජවනිකාව ද අවසන් වූයේ ‘එක්ස් ෆයිල්’ ටෙලි නාටක මාලාවේ තේමාවට අනුවය. දශක දෙකකට අධික කලක් බලෙන් දිය යට අල්ලාගෙන සිටි සත්ය නමැති රබර් බෝලය ඉකුත් බ්රහස්පතින්දා (27) දිය මතු පිටට ආවේය.
දෙදහස් එකේ සිට ඉකුත් බ්රහස්පතින්දා දක්වා මේ රටේ දේශපාලන වේදිකාව ගිනියම් කළ ප්රධාන මාතෘකාවක් වූයේ ‘‘මිලේනියම් සිටි මහා පාවාදීමය.’’ එම සිද්ධිය රටුන් අතරේ කොතරම් බලපෑමක් කළේ දැයි කියනවා නම් දෙදහස් හතරේ එජාප ආණ්ඩුව පෙරළා එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය බලයට පත්වීමට ද එය ප්රධාන හේතුවක් වූවේය. චන්ද්රිකා කුමාරතුංග ජනපතිනිය රනිල්ගේ ආණ්ඩුව යටතේ තිබූ අමාත්යාංශ තුනක් තමා යටතට පවරා ගත්තේ ද ජාතික ආරක්ෂාව දඩමීමා කරගනිමිනි. එසේ බලන විට ‘මිලේනියම් සිටි මහා පාවාදීම’ ආණ්ඩුවක් පෙරළුවා පමණක් නොවේ. රනිල් වික්රමසිංහ ප්රමුඛ එජාප ආණ්ඩුව මිලේනියම් සිටි බුද්ධි අංශ රහස් මෙහෙයුම් හෙළිකර රට පාවා දුන් බවට එල්ලවන චෝදනාවෙන් ගිය සතිය වන තුරා ඔවුන්ට ගැලවීමක් තිබුණේ නැති සෙයකි.
සැබවින්ම දේශපාලනඥයෝ කියන ආකාරයට ‘මිලේනියම් සිටි’ පාවාදීමක් වුණාද. යුද හමුදාවේ ක්රියාකාරිත්වය ගැන උකුණු හිසක දැනුමක් ඇති අයකු නම් ඊට උත්තර දෙනු ඇත්තේ ‘මිලේනියම් සිටි පාවාදීම’ මේ සියවසේ ලංකාවේ කියැවුණු ලොකුම බොරුව ලෙසය.
‘මිලේනියම් සිටි’ පාවාදීමේ කතාව එළියට එන්නේ මහනුවර සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය ගමනත් සමගය. ඒ දෙදහස් එකේ දෙසැම්බර් පස්වැනිදා මහා මැතිවරණය පැවැති දිනය. මහනුවර උඩතලවින්නේ දී මුස්ලිම් ජාතිකයෝ දසදෙනෙක් එදින ඝාතනය වූහ.
ඝාතන චෝදනාව එල්ල වුණේ එවකට ආරක්ෂක නියෝජ්ය ඇමැති ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ හා ඔවුන්ගේ පුතුන් වන චානක හා ලොහාන් රත්වත්තේටය. ඔවුන් දෙදෙනා පොලිසිය මග හරිමින් සිටියදී සහකාර පොලිස් අධිකාරි උඩුගම්පොළට ඔත්තුවක් ලැබුණේය. ඒ චානක රත්වත්තේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවසක සැඟව සිටින බවය.
සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ ප්රමුඛ පොලිස් නිලධාරීන් එම නිවසට යන විට එහි සිටියේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ පිරිසකි. පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වූයේ එම නිවසේ හිමිකාරිය යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ කපිතාන් නිලාම්ගේ බිරිය බවය. එම නිවස ඈට ලැබී ඇත්තේ බැංකුවක ලොතරැයි දිනුමකිනි. පොලිස් නිලධාරීන් නිවස පරීක්ෂා කරන අතරතුරේ කපිතාන් නිලාම් එහි ආවේය. මේ නිවස යුද හමුදා බුද්ධි අංශයේ ආරක්ෂක නිවසක් බව ඔහු පොලිසියට කීවේය.
බුද්ධි අංශ සිය කටයුතු සඳහා ආරක්ෂිත නිවාස පවත්වාගෙන යාම අරුමයක් නොවේ. එනමුත් ඉකුත් කාලයේ එවැනි ආරක්ෂිත නිවාසවල වූ දෑ ගැන අධිකරණයේ දී හෙළි වූයේ බිහිසුණු කතාවකි. ‘ද නේෂන්’ පුවත්පතේ යුද පුවත් වාර්තාකරු කීත් නොයාර් පැහැරගෙන ගොස් ඔහුට දසවධ දී තිබුණේ යුද හමුදා බුද්ධි අංශයේ දොම්පේ බදුවත්ත වලව්වේ පවත්වාගෙන ගිය ආරක්ෂක නිවාසයකය.
ආරක්ෂක නිවාසයක් යනුවෙන් හැඳින්වෙන්නේ බාහිර සමාජයට නිරාවරණය නොවූ ස්ථානයක් වුවත් මිලේනියම් සිටි නිවස එවැනි තැනක් නොවේ. එකල එම නිවාස සංකීර්ණයේ නිවසක මාසික කුලිය රුපියල් පන්දහසක් වුවත්, බුද්ධි අංශ රහස්ය අරමුදලෙන් මේ නිවසට විශාල මුදලක් ගෙවමින් එම නිවස පවත්වාගෙන ගිය හේතුව අබිරහසකි.
ජනාකීර්ණ ප්රකට නිවාස සංකීර්ණයක පිහිටි මේ නිවස ගැන පොලිස් නිලධාරීන්ගේ ඇස් උඩ ගියේ එහි තිබූ ක්ලේමෝ බෝම්බ, සයනයිඩ් කරල් හා අධිබලැති යුධෝපකරණ දුටු විටය. ඒ අතරේ ‘තර්මෝ බැරික් අවියක්’ද විය.
පොලිස් නිලධාරීන් මේ ආයුධ සිය භාරයට ගනු ලැබුවේ එවැනි අවි ගබඩාවක් පවත්වාගෙන යාමට නීත්යනුකූල හිමිකමක් කීමට බුද්ධි නිලධාරීන් අපොහොසත්වීම හේතුවෙනි. එකල යුද හමුදා සන්නද්ධ බුද්ධි අධ්යක්ෂවරයා වූයේ බ්රිගේඩියර් කපිල හෙන්දාවිතාරණය. ඔහු යටතේ රාජකාරි කළ කපිතාන් නිලාම් පොලිස් අත්අඩංගුවට පත් වූයේ නීති විරෝධීව තබාගත් ආයුධ හේතුවෙනි.
මේ සිද්ධිය වන විට යුද හමුදාපති වූයේ ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ලය. යුද හමුදාවේ ප්රථම සන්නද්ධ බුද්ධි අධ්යක්ෂවරයා වූවේද ඔහුය. ඒ අසූව දශකයේ අග භාගයේය. මිලේනියම් සිටි නිවාසය වටලා ටික දවසක් ගෙවී යද්දී ‘‘මිලේනියම් සිටි මහා පාවාදීම’’ යනුවෙන් අලුත් තේමාවක් විපක්ෂයෙන් කරළියට ආවේය.
ඒ කතාව කරළියට ගෙනා ප්රකට ‘ආරක්ෂක විශ්ලේෂකයාටත්’ වැරදුණු තැනක් තිබුණේය. ඒ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය ලර්ප් (LLRP) හෙවත් දිගුදුර මෙහෙයුම් නොකරන බවය. ශ්රී ලංකා යුද හමුදාවේ දිගු දුර මෙහෙයුම් කළේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ හා විශේෂ බළකායේ තෝරාගත් විශේෂ පුහුණුව ලද සෙබළුන් පිරිසකි. එල්.ටී.ටී.ඊ. පාලන ප්රදේශවලට කඩා වැදී සති තුන හතර මගරැක සිට ඉලක්කය ගැනීමට තරම් අති දුෂ්කර පුහුණුවක් ඔවුහු ලබා තිබිණි. එවැනි ඉලක්කයන් සපුරා ගැනීමට බුද්ධි නිලධාරීහු පුහුණුව ලබා නොසිටියහ.
එදවස කියැවුණේ මිලේනියම් සිටි නිවස වැටලීම හේතුවෙන් යුද හමුදා බුද්ධි අංශයේ දිගු දුර මෙහෙයුම් පිළිබඳ තොරතුරු හෙළිවී බුද්ධි නිලධාරීන් රැසක් ඝාතනය වූ බවය. එම චෝදනාව දෙදහස් හතරේ මහ ඡන්දයේ ප්රධාන මාතෘකාවක් ද විය.
බුද්ධි නිලධාරීන් නොකළ දේ
බුද්ධි නිලධාරීන් දිගුදුර මෙහෙයුම් කළ බවට කතාව එන්නේ මඩකලපුවේ මුදා නොගත් ප්රදේශයක දී එල්.ටී.ටී.ඊ. ප්රබලයකු වන ‘රමනන්’ ඝාතනය වීමෙනි. එම ඝාතනය කළේ අතුරුගිරිය මිලේනියම් සිටි ආරක්ෂිත නිවාසයේ මෙහෙයුමකින් බව ප්රචාරය විය. එමතු නොව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ගුවන් හමුදාවේ නිර්මාතෘ ‘ශංකර්’ ද ඝාතනය කළේ මේ ආරක්ෂක නිවාසයේ මෙහෙයුමකින් බව කියැවීණි.
ප්රභාකරන්ගේ දකුණු අත ලෙස සැලකුණු ශංකර් සැබවින්ම ඝාතනය කළේ මිලේනියම් සිටි මෙහෙයුමකින් ද ඒ ගැන සත්ය කතාව ඇත්තේ යුද හමුදාවේ විශේෂ බළකාය විසින් ප්රකාශයට පත් කළ ‘‘කිසිදා සතුරාට යටත් නොවන මා’’ කෘතියේය. එම කෘතියේ විශේෂ බළකාය කළ දිගු දුර මෙහෙයුම් පිළිබඳ තොරතුරු සඳහන්ය. එම තොරතුරුවලට අනුව ශංකර් ඝාතනය කළේ විශේෂ බළකාය ය.
මිලේනියම් සිටි මෙහෙයුමෙන් කළ බව ප්රචාර කළ දිගු දුර මෙහෙයුම් විශේෂ බළකායේ කෘතියට අනුව කර ඇත්තේ විශේෂ බළකා සෙබළු මිස බුද්ධි සෙබළුන් නොවේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්රධානියකු වන රමනන් ඝාතනය කිරීම ද මිලේනියම් සිටි ආරක්ෂක නිවාසයේ මෙහෙයුම්වලට බැරකර තිබුණ ද එම මෙහෙයුම කර තිබුණේ එකල මඩකලපුව 233 බළ සේනාධිපති කර්නල් සුමිත් මානවඩු යටතේ ක්රියාත්මක වූ කණ්ඩායමක් බව හෙළි විය. එකල එල්.ටී.ටී.ඊයෙන් පලා ආ පිරිසක් යුද හමුදාව සමග මඩකලපුවේ දී සම්බන්ධ වී සිටියහ.
මුදා නොගත් ප්රදේශයේ භූමිය ගැන ඔවුන් සතු දැනුම හේතුවෙන් ඌරාගේ මාළු ඌරාගේ පිටම තබා කැපීමට කර්නල් මානවඩු සැලසුම් කළේය. ඔහු එල්.ටී.ටී.ඊ.යෙන් පැමිණි පිරිසක් මගින් මුදා නොගත් ප්රදේශවලදී එල්.ටී.ටී.ඊ.යට පහර දුන්නේය. මිලේනියම් සිටි සිද්ධියේ දී කියැවුණු ආකාරයට එහි සිටි සෙබළු දිගු දුර මෙහෙයුම් මඩකලපුවේ දී කළේ නම් එය බළසේනාධිපති සුමිත් මානවඩුට හොරා කිරීමට නොහැකිය.
ඒ දිගු දුර මෙහෙයුම් කරන සෙබළු කොටි අඩවියට කඩා වැදීමට පෙර ඒ ආසන්නයේ හමුදා ප්රධානින් දැනුවත් කරන නිසාය. එහි අරමුණ වන්නේ එම ප්රදේශයට හමුදාවෙන් එල්ල කරන ප්රහාර වළක්වා ගැනීමටය. ඒ එවැනි ප්රහාරයකින් දිගු දුර මෙහෙයුම් සෙබළුන්ගේ ජීවිතය බේරා ගැනීමටය.
සුමිත් මානවඩු පසු කලක රටේ ප්රකට වූයේ ජනාධිපතිවරණයෙන් පරාජය වූ ජෙනරාල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත් භට පිරිසට අණ දුන් නිලධාරියා ලෙසය. එදවස ඔහු කොළඹ ආඥාපතිය. විශ්රාම යෑමට මාස දෙක තුනක් තිබියදී මේජර් ජෙනරාල් මානවඩු අවාසනාවන්ත ලෙස මිය ගියේ ගොඩනගමින් තිබූ ඔහුගේ නිවසේ පරාලයක් හිසට වැදීය.
ඒ අවාසනාවන්ත මරණය වූයේ නැතිනම් මිලේනියම් සිටි නිවසේ ‘මෙහෙයුම’ ගැන තවත් කතා කරළියට ඒමට තිබුණේය.
කෙසේ නමුදු දේශපාලන වේදිකාවට අවශ්ය වූයේ මිලේනියම් සිටි ඇත්ත කතාව නොවේ. දෙදහස් හතරේ මහ මැතිවරණ වේදිකාවේ මිලේනියම් සිටි අරබයා ක්රියාත්මක වූයේ ‘ගොබෙල්ස් න්යාය’ ය. (හිට්ලර්ගේ ප්රචාරණ යාන්ත්රණය) වූ ඒ න්යාය අනුව බොරුව සිය දහස් වරක් කියන විට පරම සත්ය බවට පත්වන්නේය.
එම න්යායයට ‘මිලේනියම් සිටි මහා පාවාදීම’ පරම සත්යයක් වී සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ ජාතිද්රෝහියෙක් වූවේය. එම චෝදනාව යුද හමුදාවේ සිටි ඔහුගේ සොයුරු ලුතිනන් කර්නල් පද්මසිරි උඩුගම්පොළට ද බලපෑවේය. කර්නල් නිලයට උසස්වීමට සියලු සුදුසුකම් සපුරා සිටි ඔහුට උසස්වීම නොලැබිණි. මේ හේතුවෙන් නිලයේ රැඳී සිටි හැකි උපරිම කාලය යන රෙගුලාසිය යටතේ ඔහුට විශ්රාම ගැනීමට සිද්ධ විය.
බොරු සාක්කි: හෙන්දා, සලේ සහ උදලාගම
පද්මසිරි විශ්රාම යවා කුලසිරිට එරෙහිව පැවැති නඩු විභාගයේ දී එකල යුද හමුදා බුද්ධි අධ්යක්ෂව සිටි විශ්රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ සාක්ෂි දුන්නේය. ඔහු අන්තිමට දැරුවේ ජාතික බුද්ධි ප්රධානී ධුරයය. ඒ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් ධුරය දැරූ කාලයේය. සරත් ෆොන්සේකාගේ කාලයේ තිරයෙන් මැකී ගිය කපිල හෙන්දාවිතාරණ බැබළුණේ ගෝඨාභය රාජපක්ෂ යටතේය.
ඔහු පමණක් නොව යුද හමුදා හිටපු සන්නද්ධ බුද්ධි අධ්යක්ෂ හා හිටපු රාජ්ය බුද්ධි අධ්යක්ෂ විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මෙන්ම යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මාණ්ඩලික සැරයන් ප්රේමානන්ද උදලාගම ද මේ නඩු විභාගයේ දී සාක්ෂි දුන්හ.
අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා නිලධාරීන් බේරා ගැනීමේ චේතනාවෙන් මේ තිදෙනා නඩු විභාගයේදී සාක්ෂි දී ඇති ආකාරය පෙනී යන බව කුලසිරි උඩුගම්පොළට එරෙහිව පැවැති නඩුවේදී විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබිණි.
මෙම වැටලීම හේතුවෙන් යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ පුද්ගලයන් ගණනාවකට අනතුරුවලට මුහුණපෑමට සිදු වූ බවත් ඒ තොරතුරු ඇතුළත් නම් ලැයිස්තුවක් නඩු විභාගයේදී ඉදිරිපත් වුවද විත්තිකරු විසින් කළ වැටලීම හේතුවෙන් රහස්ය තොරතුරු හෙළිදරව් වී එවැනි තත්ත්වය හටගත් බව නඩු විභාගයේදී සාක්ෂිවලින් තහවුරු නොවූ බවත් විනිසුරුවරයා පැවැසුවේය.
ඉදිරිපත් වූ සියලු කරුණු විශ්ලේෂණය කර බැලීමේදී උඩතලවින්න මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල දී අනාවරණය වූ කරුණු මත විත්තිකරු විසින් මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පිහිටි මෙම නඩුවට පාදකවන නිවස පරීක්ෂාවට ලක්කර එහි සිටි සැක කටයුතු පිරිස හා භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන ඇති ආකාරය පෙනී යන බවත් එම ක්රියාව නීත්යනුකූල ආකාරයෙන් සිදුවී ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.
මේ නඩු තීන්දුව අනුව ඔප්පු වී ඇත්තේ සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ රාජකාරි කර ඇත්තේ නීත්යනුකූලව බවය. දශක දෙකකට පසු ඔහු නිදොස් කොට නිදහස් වුවද ඔහුට ගත වූ විසි වසරේදී සෑමදේම අහිමි වූයේය. එනමුත් කපිල හෙන්දාවිතාරණ හෝ සුරේෂ් සලේට එහෙම වූයේ නැත. ඔවුහු සිය වෘත්තියේ ඉහළටම ගොස් දැන් විශ්රාම සුවයෙන් සතුටෙන් සිටිති. එමතු නොව කපිතාන් නිලාම් නොරට සුවෙනි. බුද්ධි අංශය දුන් ලණු කා මිලේනියම් සිටි මහා පාවාදීමේ ප්රබන්ධය ලිව්වෝ ද නොරට සුවෙනි.
උඩුගම්පොළ කතා කරයි
උඩුගම්පොළ යනුවෙන් කී විට අපේ මතකයට එකවරම එන්නේ නියෝජ්ය පොලිස්පති ප්රේමදාස උඩුගම්පොළය. ඔහු පමණක් රටේ ඉමහත් ප්රසිද්ධියට පත්වුවද එම පවුලේ ආරක්ෂක අංශයේ සිටියේ ප්රේමදාස උඩුගම්පොල පමණක් නොවේ. ප්රේමදාස උඩුගම්පොළගේ බාල සොයුරෝ දෙදෙනක්ද පොලිසියේ හා යුද හමුදාවේ සේවය කළහ. කුලසිරි උඩුගම්පොළ රාජකාරි කළේ පොලිසියේය. පද්මසිරි උඩුගම්පොළ රාජකාරි කළේ යුද හමුදාවේ විනයාරක්ෂක රෙජිමේන්තුවේය. ඔහු යුද හමුදාවෙන් විශ්රාම ලැබුවේ ලුතිනන් කර්නල්වරයකු ලෙසය.
කුලසිරි උඩුගම්පොළ වැඩ තහනමට ලක්වූයේ පොලිස් අධිකාරී නිලයේදීය. ආරක්ෂක සේවයට උඩුගම්පොළ පවුලෙන් තිදෙනකු බැඳීම හේතුවෙන් එම පවුලට භීෂණ සමයේ ලද තෑග්ග වූයේ ගාල්ලේ බද්දේගම උළුවිටිකේ විසූ ඔවුන්ගේ වයෝවෘද්ධ මවත්, සොයුරුත්, සොයුරාගේ බිරිඳත්, ඔවුන්ගේ කිරිකැටි දරු දෙදෙනාත් කපා කොටා, වෙඩි තබා ගිනි තබා ඝාතනය කිරීමය. එදවස කුලසිරි උඩුගම්පොල මොරවක පොලිස් ස්ථානාධිපතිය.
දෙදහස් එකේදී කුලිසිරි උඩුගම්පොල නිලයෙන් පොලිස් අධිකාරිවරයෙකි. ඔහු රාජකාරි කළේ මහනුවරය. දෙදහස් හතරේ රනිල්ගේ ආණ්ඩුව පෙරළී බලයට පත් චන්ද්රිකාගේ ආණ්ඩුව යටතේ කුලසිරි උඩුගම්පොළ වැඩ තහනමට ලක්කර ඔහුට එරෙහිව නඩු පැවරුවේය. ඒ රාජ්ය රහස් පනත යටතේය. ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාව අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය බව කියන යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායට අයත් කඳවුරක් ගැන තොරතුරු හෙළි කිරීමය. විසි වසරක් පුරා විභාග වූ එම නඩුවේ තීන්දුව ඉකුත් විසිහත් වැනිදා ප්රකාශ කෙරුණි. කුලසිරි උඩුගම්පොළට එල්ල වූ චෝදනා සියල්ලෙන්ම ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳි ඉකුත් විසිහත් වැනිදා තීන්දු කළේය.
මේ, ඒ ගැන කුලසිරි උඩුගම්පොළ කියන කතාවය.
‘‘උඩතලවින්න ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවකු වන චානුක රත්වත්තේ අතුරුගිරියේ නිවසක සැඟවී සිටින බවට මට තොරතුරක් ලැබුණා. ඒ අනුව මම අතුරුගිරියේ මිලේනියම් සිටි නිවස පරීක්ෂා කරන්න ගියේ උසස් නිලධාරීන්ට දැනුම් දීලා. මේ නිවස යුද හමුදාවට අයත් බව දැනගත්තාම යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලයනල් බලගල්ලට ලිඛිතව දැනුම් දුන්නා නිවස පරීක්ෂා කරන්න ඕනේ කියලා.
“යුද හමුදාපති යුද හමුදා විනයාරක්ෂාධිපති මේජර් ජෙනරාල් අයිවන් දසනායක මගින් මේජර් ක්ලිෆර්ඩ් සොයිසා මට දුන්නා ගෙදර පරීක්ෂා කරන්න යන්න.
“මම ගෙදර පරීක්ෂා කරන විට එහි යුද හමුදාවට බාර වූ එල්ටීටීඊ සාමාජිකයකු සිටියා. ගෙදර කාමර පරීක්ෂා කරන අතරේ යුද හමුදා බුද්ධි අංශයේ කපිතාන් නිලාම් එතැනට ආවා. මම ඔහුට කිව්වා වහලා තියෙන කාමරයේ දොර අරින්න කියලා. ඔහු ඒකට කැමැති වුණේ නැහැ. මම කිව්වා මට නීත්යානුකුලව කටයුතු කරන්න වෙනවා කියලා.
“ඔහු ඒ කාමරේ දොර හැරියාම ඒකේ තිබුණේ ආයුධ ගබඩාවක්. මේවාට බලපත්ර තියෙනවාද කියලා ඇහුවාම ඔහුට උත්තර දෙන්න බැරි වුණා.
මම අතුරුගිරිය ඕඅයිසීට කතා කරලා ඇහුවා ජනතාව සිටින නිවාස සංකීර්ණයක මෙහෙම ආයුද තියාගෙන සිටින එක භයානකයි, මේ ගැන ඔහු දැනුවත්ද කියලා. ‘‘මම දන්නේ නැහැ සර්, අපිට කියලා නැහැ’’ කියලා ඔහු කිව්වා. මම මේ ආයුද ඔක්කොම මේජර් සොයිසා සමග නාරාහේන්පිට යුද හමුදා පොලිස් කඳවුරට රැගෙන ආ විට යුද හමුදා සන්නද්ධ බුද්ධි අධ්යක්ෂ බ්රිගේඩියර් කපිල හෙන්ද්රාවිතාරණ ඇවිත් කිව්වා ආයුද බුද්ධි අංශයේ කියලා.
“මම ඔහුට කීවා එම අවි නීත්යනුකූල නම් අයිතිවාසිකම් කියන්න, බලපත්ර පෙන්නලා ගෙනියන්න කියලා. එවිට ඔහු කිව්වා යුද හමුදාපති මට කතා කරයි කියලා. නමුත් මට යුද හමුදාපති කතා කළේ නැහැ. විශේෂ කාර්ය බළකායෙන් ඇවිත් මේ අවි පරීක්ෂා කරලා ඔවුන්ගේ අධීක්ෂණය යටතේ නුවරට ගෙන ගියා වැඩිදුර පරීක්ෂණ සඳහා. ඒ අතරේ කපිතාන් නිලාම් ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට ගත්තා. මේ සියලු පරීක්ෂණ ගැන මම පොලිස්පති ලකී කොඩිතුවක්කු දැනුවත් කළා. ආරක්ෂක ඇමැති තිලක් මාරපන, අභ්යන්තර කටයුතු ඇමැති ජෝන් අමරතුංග මෙන්ම ආරක්ෂක අමාත්යාංශයේ එවකට ලේකම් වූ ඔස්ටින් ප්රනාන්දු මේ පරීක්ෂණ ගැන දැනගෙන හිටියා. පොලිස්පතිගෙන් උපදෙස් අරන් තමයි මම සැකකරුවන්ට එරෙහිව නඩු පැවරුවේ. ඒ සියලු දේ කළේ උසස් නිලධාරීන් දැනුවත් කරලා නීත්යානුකූලවයි.
“2004 නීතිපති එම නඩුව ඉල්ලා අස්කර ගත්තා. ආණ්ඩුව මාරුවුණාම චන්ද්රිකාගේ ආණ්ඩුව මිලේනියම් සිටි කොමිසම දැම්මා. ඒකේ වාර්තාව රහස් පොලිසියට දීලා යළිත් පරීක්ෂා කළ. ඊට පස්සේ නීතිපති මට විතරක් නඩු දැම්මා. මේ අධිකරණ තීන්දුවේ පැහැදිලිවම දැක්වෙනවා මම රාජකාරි කළේ නීත්යනුකූල ලෙස කියලා මම මගේ පොලිස් සේවයේ කවදාවත් වරදක් කරලා නැහැ. මට එරෙහිව කවදාවත් චෝදනා පත්රයක් නෑ. ඒත් මේ සිද්ධිය නිසා මගේ පොලිස් සේවය විතරක් නෙමේ ජීවිතෙත් විනාශ වුණා.’’
වැඩ තහනම් කර මේ නඩුව පවරන විට කුලසිරි උඩුගම්පොළ සිටියේ පනස් දෙහැවිරිදි වියේය. නඩුවේ තීන්දුව එනවිට ඔහු හැත්තෑ හතර හැවිරිදිය. රාජකාරියේ සිටියේ නම් ඔහු විශ්රාම යනු ඇත්තේ නියෝජ්ය පොලිස්පතිවරයෙක් ලෙස උසස්වීම් ලබාය. එනමුත් දෙදහස් හතරේදී වැඩ තහනමට ලක්වූ පසුව ඔහුට එදා සිට අද දක්වා වැටුප සේම විශ්රාම වැටුපද අහිමිය. එමතු නොව නඩුව හේතුවෙන් ඇතිවූ කායික හා මානසික කඩා වැටීම හේතුවෙන් ඔහු රෝගියකු වී එක්තැන් වූවේය.
‘මම රට පාවා දුන්නා කියලා චන්ද්රිකාගේ ආණ්ඩුව චෝදනා කළා. දරුවන්ට පාරේ බැහැලා යන්න බැරිවුණා. ජීවිතාරක්ෂාවට ඔවුන් ලංකාවෙන් පිට කිරීමට මට සිද්ධ වුණා. මගේ කීර්ති නාමය මේ චෝදනා නිසා විසි අවුරුද්දක් පුරා විනාශ වුණා. මෙච්චර කාලයක් ගිහිල්ලා හරි යුක්තිය ඉටුවීම ගැන මට සතුටුයි. අපි සේවය කළේ රට වෙනුවෙන්. රට වෙනුවෙන් රාජකාරි කරලා මට මගේ අම්මාත්, සොයුරාත් නැති වුණා. බොරු චෝදනා නිසා මගේ ජීවිතෙත් විනාශ වුණා. දේශපාලන අවශ්යතා සඳහා ආණ්ඩුව අපිට බොරු චෝදනා දාලා දාපු නඩුවෙන් නිදහස් වුණත් මගේ ජීවිතේ විනාශ වී ගිය විසි වසර මට ආපහු ලැබෙන්නේ නැහැ. රජයේ කිසිදු සේවකයකුට යළි මේ වගේ දෙයක් කරන්න එපා. මේක සම්පූර්ණයෙන්ම බුද්ධි අංශය දේශපාලන අවශ්යතා මත කළ දෙයක්.’’