කමාන්ඩෝ පාතාලය ගැන අපේ ලියවිල්ල – ලොකු කුමා

89

ශ්‍රී ලංකාවේ පාතාල අපරාධ වලට යුද හමුදා කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සක්‍රීය සේවාවේ නිරත හා ඉන් සේවය අත්හැර පැන ගිය සෙබළුන් විශාල සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. කමාන්ඩෝ රෙජිමෙන්තුව සඳහා බඳවා ගත් පාඨමාලා අංක 35 ට අයත් සෙබළුන් බොහෝ දෙනෙකු පාතාල අපරාධ ක්‍රියාකාරකම් වලට විවිධ ආකාරයෙන් සම්බන්ධවී ඇතයිද මෙහිදී වාර්තා වේ.

පසුගියදා අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඝාතනය කරන ලද ගනේමුල්ල සංජීව සම්බන්ධයෙන් සිදු කරන ලද පොලිස් පරීක්ෂණ වලින් අනතුරුව අත්අඩංගුවට ගත් කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සෙබලකු වන කරන්දෙණියේ යෝයෝ විසින් මේ තොරතුරු හෙළි කර ඇති බව පැවසේ.

එමෙන්ම ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංඟුවට ගත් හිටපු කමාන්ඩෝ සළිදු නොහොත් සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි රහස් පොලිස් පරීක්ෂකයින්ට පවසා ඇත්තේ තමාට අධිකරණ ශාලාවෙන් පලා යාමට දොර ඇර දුන්නේ එස්ටීෆ් සෙබළන් බවයි. තවද තමා අධිකරණ ශාලාවට ඇතුල් වීමට පෙර එස්ටීෆ් සෙබලුන් සිටිනු දැක ඒ බව තමාගේ ඩුබායි ප්‍රධානියටෙ දැන් වූ විට ” එය ගණන් ගන්න එපා” යැයි කී බව ද ඔහු පවසා තිබේ.

පාතාල ක්‍රියාකාරකම් වලට කමාන්ඩෝ සෙබළුන් සම්බන්ධ කර ගැනීමේ ප්‍රධානියා බව⁣ට මේ වන විට හෙළි වී ඇත්තේ දැනට විදේශගතව සිටින කමාන්ඩෝ සලින්ද නැමැත්තාය.

ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සේවයෙන් පැන ගිය සෙබළුන් පස් දෙනෙකු පොලිස් අත් අඩංගුව⁣ට පත් වී සිටී. කමාන්ඩෝ සළිඳු කමාන්ඩෝ වෙන්ටා, කමාන්ඩො යෝ යෝ සහ තව දෙදෙනෙකු ඒ අතර සිටින බව දැන ගැනීමට තිබේ.

මෙම කණ්ඩායම මෙරට පාතාල අපරාධ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වන්නේ වෙනත් අපරාධ කරුවන්ගෙන් ලැබෙන කොන්ත්‍රාත් පදනම යටතේ මුදල් ලබා ගනිමින් බවද අනාවරණය වී ඇත. කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සේවයට එක් වී මෙන් පසුව ලබා දෙන අනවර්ථ නාමයෙන්ගෙන්ම මොවුන් පාතාලය තුළ ද හැඳින්වේ.

මේ වන විටත් පොලිසිය කරන්දෙණියේ යෝ යෝ විසින් හෙළි කරන ලද තොරතුරු පිළිබඳව කමාන්ඩෝ රෙජිමෙන්තුවේ ප්‍රධානීන් දැනුවත් කර ඇති බවද දැන ගැන්මට තිබේ. ඉන් අනතුරුව කමාන්ඩෝ රෙජිමෙන්තු ප්‍රධානීන් පොලිස් පරීක්ෂණ වලට ඉතා පුළුල් සහයෝගයක් ලබා දෙමින් සිටින බවද පොලීසි⁣යේ ඡ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

පසුගිය යුද සමයේදීවත් කමාන්ඩෝ රෙජිමෙන්තුවෙන් මෙතරම් විශාල සංඛ්‍යාවක් සේවය අතහැර පලා ගොස් නැත. බොහෝ දුෂ්කරතා විඳ හදාරන ⁣කමාන්ඩෝ පාඨමාලාව අවසන් කර කමාන්ඩෝ සෙබළෙක් ලෙස සේවයට එක්වන්නෙක් සේවය අත් හැර යාම ලේසි පහසු ප්‍රශ්ණයක් නොවේ. එය ඉතා බැරෑරුම්ව අවධානයට ගත යුතු කරුණකි. මෙය කමාන්ඩෝ රෙජිමෙන්තුවේ විනය බිඳ වැටීමේ ප්‍රශ්ණයක් ලෙස සාකච්ඡා කළ හැකිය.

කමාන්ඩෝ රෙජිමෙන්තුව ආරම්භයේදී එහි දැඩි විනයක් ක්‍රියාත්මක වූ බව පැහැදිලිය. එහෙත් පසුකාලීනව එය ක්‍රමයෙන් බිඳ වැටී ගිය බවට බොහෝ උදාහරණ තිබේ. කමාන්ඩෝ රෙජිමෙන්තුව ආරම්භ කළ මුල් අවදියේ එහි සේවයේ නිරත කමාන්ඩෝ සෙබළෙකු හෝ නිලධාරියකු කිසියම් වැරැද්දකට චෝදනා ලැබුවේ නම් තරාතිරම නොබලා එම රෙජිමෙන්තුවෙන් ඉවත් කර අදාල තැනැත්තාගේ මව් රෙජිමෙන්තුවට යැවීම සිදු විය.

මෙහිදී මව් රෙජිමෙන්තුව යනුවෙන් හැදින්වෙන්නේ කමාන්ඩෝ රෙජිමෙන්තුවට බඳවා ගන්නා සෙබලකු එම රෙජිමෙන්තුවට අමතරව වෙනත් රෙජි⁣මෙන්තුවකටද සම්බන්ධ කර තිබීමය. මේ පිළිවෙත හමුදා  බුද්ධි බලකායේ සෙබළුන් විෂයෙහිද ක්‍රියාත්මක වේ. කමාන්ඩෝ හා බුද්ධි රාජකාරිවලදී විනය කඩ කිරීම් වලට චෝදනා ලබන සෙබළුන් සියළුම දෙනා ආපසු එම මව් රෙජිමෙන්තුවලට යැවේ. ඉන් අපේක්ෂා කරන්නේ මේ රෙජිමෙන්තු වල විනය ඉතා ඉහල මට්ටමකින් පවත්වාගෙන යාමය. එහෙත් මේ ක්‍රියා දාමය මේ වන විට අකුරට ක්‍රියාත්මක නොවන බව අපට වාර්තා වී තිබේ.

ඉන් හැඟවෙන්නේ කමන්ඩෝ රෙජිමෙන්තුව තුළ විනය කඩ කිරීම් වර්තමානයේදී බරපතල ලෙස අවධානයට නොගන්නා බවය.

එසේ වුවත් කමාන්ඩෝ රෙජිමෙන්තුව ඇරඹීමේදී එහි විනය ඉතා ඉහළ මට්ටමක පවත්වා ගෙන ගිය බව එම රෙජිමෙන්තුවේ නිර්මාතෘවරයා වූ ලුතිනන් කර්නල් සුනිල් පීරිස් සිය  චරිතාපදානය වූ කමාන්ඩෝ පිය සටහන් නම් ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.

“..මා මාගේ නිළධාරීන්ට හා සෙබළුන්ට දැඩි ලෙස උපදෙස් දී තිබුණේ කඳවුර වටා කිලෝමීටර් 10 ක දුරක් තුළ මොනයම් හෝ අනවශ්‍ය ක්‍රියාවක් ඔවුන්ගෙන් සිදුවුව හොත් කිසිදු පරීක්ෂණයකින් හෝ තතු සෙවීමකින් තොරව පැය 12 තුළ ඔවුන් කඳවුරෙන් හා කමාන්ඩෝ බලඇණියෙන් නෙරපන බවය. මව් ඒකකයට නැවත යවන බවය. මගේ කණ්ඩායම සෑම විටම විනයගරුකව කටයුතු කළේය.”

ඔහු ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් මෙසේද ලියා ඇත.

“….සියළු පුහුණු කටයුතු හා රාජකාරි කටයුතු මාධ්‍යයේ සෑම දෙනාටම ශාරිරික,මානසික සුවය, වින්දනය හා විවේකය අවශ්‍ය බව මා තරයේ විශ්වාස කෙරුවේය. කඳවුරේ සිටින කමාන්ඩෝ නිලධාරීන්ට හා සෙසු නිලයන් හටද එම නිදහස දිය යුතුව තිබුණි.දුන්නෙමි.තරුණ වයසට මොවුන් විනෝදකාමී හා දඟකාර වැඩ කරන බව මට නොරහසක් විය.

නිත්‍යනුකූල නොවන හෝ සමාජ විරෝධී ක්‍රියාවන් නොමැතිව ඔවුන්ගේ විනෝදය හා වින්දනය ලබා ගැනීමට මම ඉඩහැරියෙමි. කිලෝ මීටර් 10 නීතිය මම තදින් ක්‍රියාත්මක කෙරුවෙමි. එම ආවරණය තුළ වු ප්‍රදේශයකදී විනය බිඳීමක් සිදු වුව හොත් ඔවුන් වහාම බලඇණියෙන් පහ කරනු ලැබිණි..”

කමාන්ඩෝ රෙජිමෙන්තුවේ යාවත්කාලීන  වූ විනය සම්බන්ධයෙන් ⁣එහි නිර්මාතෘ වරයා ලියා ඇති ඒ සඳහන් වලින් යම් අදහසක් ගත හැකිය. එහෙත් එවැනි අධිකාරිවාදී තීන්දු  වර්තමාන කමාන්ඩෝ⁣ රෙජිමෙන්තුවේ ක්‍රියාත්මක නොවන බවක් පෙනී යයි. හමුදා බලධාරීන්ගේ අවධානය පළමුවෙන් යොමු විය යුත්තේ ඒ පිළිබඳවය.

පසුගිය කාලයේ මෙරට පැවැති ආර්ථික අර්බුදය කමාන්ඩෝ රෙජිමෙන්තුව තුළටද කාන්දු වන්නට ඇත. එම ප්‍රශ්ණයද කමාන්ඩෝ සෙබළුන් සේවය අත් හැර යාමට හේතුවක් විය හැකිය. ඒ මන්ද යත් කමාන්ඩෝ සෙබළකු යනු හුදකලා පුද්ගලයෙක් නොවන නිසාය. ඔහු මෙරට පවුල් සංස්ථාවක සාමාජිකයෙකි. සිය පවුල ගැටෙන ආර්ථික දරිද්‍රතාවයද ඔහුටද බරපතල ලෙස දැනේ.

ඔහු ඒ සදහා සොයන විමසුමේ අවසාන විනිශ්චය සේවය අත්හැර යාම විය හැකිය. මෙලෙස සේවය අත් හැර පැන යන කමාන්ඩෝ සෙබළුන්ට දේශපාලන රැකවරණ හිමි වීමද බැරෑරුම් කාරණයකි.

මෑත කාලයේදී කමාන්ඩෝ⁣ රෙජිමෙන්තුවට බඳවා ගැනීමේදී පසු විපරම් වාර්තා පිළිබඳව දැඩි අවධානයක් නොගත් බවද අනාවරණය⁣ වේ. ඒ බඳවා ගැනීම සඳහා ඉදිරිපත්වන්නන්ගේ අඩුව නිසාය. මෙලෙස බඳවාගත් අයවළුන් අතර සමාජ විරෝධී පසුබිමක් ඇති ⁣අය හෝ එවැනි පවුල් හා සම්බන්ධ අය සිටිය හැකි විය. ඔවුන් හමුදා සේවයේ රැඳී නොසිටින අය වේ.

මෙවැනි අයවළුන් කමාන්ඩෝ රෙජිමෙන්තුවෙන් පැන යන්නේ සිය ඇබ්බැහි ප්‍රචන්ඩත්වයට අතිරේක විටමින් ලබා ගනිමිනි. මෙවැන්නන් කමාන්ඩෝ රෙජිමෙන්තුවේ දැඩි විනය පද්ධතිය යටතේ හැසිරීමට කැමැත්තක් නොදැක්වීමද මොවුන් සිය එදිරිවාදියා ලෙස තමන්ගේ කණ්ඩායමේ බලලත් නිලධාරියා හෝ ඛණ්ඩ භාර ලුතිනන් වරයා බව සිතීමද සේවයෙන් පැන යාමට තව හේතුවක් වන්නට පුළුවන.

මෑතකදී සමාජය තුළ කතා බහට ලක්වූ ගනේමුල්ල සංජීව ඝාත⁣නයේ මහ මොළකරු ලෙස සැලකෙන කමාන්ඩෝ සලින්ද  දැනට විදේශගතව සිටී.මොහු පසු ගිය දිනක එක්තරා ගුවන් විදුලි සේවාවක්  හා සම්බන්ධ වී පැවසු අදහස් අවධානයට ගැනීම වටී.

“..මොකද ඔයාල මම කමාන්ඩෝ කෙනෙක් කියල හඳුන්වන්නෙ. එහෙම වෙන්න බෑනේ. මම කමාන්ඩෝ එකෙන් පැනල ආපු එකෙක්. මාත් එක්ක පැනල ආපු කමාන්ඩෝස්ල දහ අටක් විතර ඉන්නවා. අපි ඔය කුඩ්ඩොන්ට බය නෑ . කවුද ඕකුන්. මල් චීත්ත අන්දන්න ඕන එවුන්නේ. ඕකුන් මේ පොළවල් වල බඩු විකන විකුන තැන තැන හිටිය අපතයො. ඊයේ පෙරේද ඔය අපතයෙක් ගම්පහ ඕඅයසීට තර්ජනය කරනවා. මොක්කුන්ද අප්පා මෙි. සලිඳු කියයි, හරක් කටා කියයි. ඕකුන්ට ගවුම් අන්දන්න ඕන ඈයො. අපිත් එක්ක හැරෙන්නවත් ඕකුන්ට පුළුවන්ද. අපිත් එක්ක හැප්පෙන්න ආවොත් ඉතිං ගනේමුල්ල සංජීවට වෙච්ච වැඩේ දැක්ක⁣නේ..අපට ආමි එකත් එක්ක පොලීසියත් එක්ක ගේමක් නෑ. හැබැයි කුඩ්ඩන්ට නෝ චාන්ස්…”

කමාන්ඩෝ සලින්ද පවසන ආකාරයට ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයවළුන් නොවේ. එහෙත් සේවයෙන් පැන ගොස් පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වී ඇති මෙම කමාන්ඩෝ කණ්ඩායම මෙරට නීතිය හා සාමයට  ඉතා බරපතල තර්ජනයක් බව සදහන් කළ යුතුය.

වර්තමානයේදී විනය බිඳවැටීමකට ලක් වී ඇති කමාන්ඩෝ රෙජිමෙන්තුවේ නිර්මාතෘවරයා එම රෙජිමෙන්තුවෙන් ඉවත් වී යාම ගැනද මෙහි සදහන් කළ යුතුමය. ඔහු තමන් ගොඩ නැගූ රෙජිමෙන්තුවෙන් ඉල්ලා අස්වන්නේ ඉහළින් ආ අනීතික නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හරිමිනි. ඒ මෙරට හමුදාපති ධුරය දක්වා යාමට ඉඩ හසර පැවැති වෘත්තිමය අනාගතය තඹ දොයිතුවකට නොසළකමිනි.

එම සිදුවීම ලුතිනන් කර්නල් සුනිල් පීරිස්  සිය ස්වයං චරිතාපදානයේ අවසන් පරිච්ඡේදයේ “මගේ සිහිනයේ නිමාව” යන ශීර්ෂයෙන් සඳහන් කර තිබේ. එය මෙසේ පෙළ ගැස්විය හැකිය.

“……මෙම අවසාන පරිච්ඡේදය මා ලියන්නේ බලවත් සිත් තැවුලෙනි. මා යුද හමුදාවට බැඳුනේ මහත් බලාපොරොත්තු ඇතුවය…….මගේ සිහිනය සම්පූර්ණයෙන්ම එළි දැකීමට නොහැකි වුවද අදටත් මා කශේරුකාවක් ඇති ප්‍රෞඩ මිනිසකු ලෙස අභිමානයෙන් ජීවත්වෙමි. ඒ හරි දේ කළ නිසාය.දෙවියන් වහන්සේ මගේ සාක්ෂිය වනු ඇත.

1988 මැයි මස එක් දිනක පාන්දර 05.30ට මට දුරකථන ඇමතුමක් ලැබුණි. එය නරක සිහිනයක් වූවා නම් හොඳ යැයි ම⁣ට සිතේ. නමුත් එය සිහිනයක් නොවීය. දුරකථනය නාද වූ විට එතරම් පාන්දර ඇමතුමක් ලැබීම දුලබ වුවද ඇමතුමට පිළිතුරු දෙන තෙක්ම දිගටම නාද විය. දුරකථන ඇමතුම ලබා ගත් මා ඇමතූ දුරකථන ක්‍රියාකරු කියා සිටියේ එවකට පැවති ආණ්ඩුවේ බලගතු නිලධාරියකු හට මා සමඟ කතා කිරීමට අවශ්‍ය බවය. වහා ඇඳෙන් නැගිට ගත් මා අවශ්‍ය ගෞරවය හා සැලකිල්ල ඇතුව ඔහුට ආමන්ත්‍රණය කළෙමි.

“ගුඩ් මොර්නින් සර්

“අයිසෙ ඔය කර්නල් පීරිස්ද ?ඔහු ඇසුවේය.

“ඔව් ඒ මම” මම පැවසීමි.

එවිට ඔහු ” මම කොල්ලො 26 දෙනෙක්ව දැන් බස් එකට දාල කඳවුරට එව්වා. දැන් ඔතැනට ඇවිත් ඇති. දන්නව⁣නේ උන්ට මොනවද කරන්නෝන කියලා ? යනුවෙන් පැවසීය.

“සොරි සර් මම දන්නෑ මම මොකද කරන්න ඕන ” මම ඇසුවෙමි.

“මොකක් දන්නෙ නෑ. හැම එකාම දන්නවා මේ වගේ එවුන් එව්වහම කරන්න ඕන දේ. තමුන් විතරයි නොදන්නෙ. දන්නෙ නැතිනම් තමුසෙ මොකටද ඔතැන වාඩි වෙලා ඉන්නෙ” ඔහු පරුෂ ලෙස ඇසීය.

“මේ මොන විකාරයක්දැයි මට සිතිනි. සම්පූර්ණයෙන් ප්‍රෙහෙලිකාවක් විය. හිතට තරහක්ද නැගුණි. මෙලෙස කිසිවකු මීට පෙර මා හට කතා කර නැත.

“උදෑසන සුභ නොවීය. උරණ වූ මා සර් නොකියමින් ” මොනවද කරන්න ඕන.කඳවුරේ රස්සාවල් දෙන්නද ? නැතිනම් ගාඩ් රූම් එකේ රඳවගෙන ප්‍රශ්ණ කරන්නද ?මා ඇසීය.

“මෙම සංවාදය උණුසුම් විය.මේ මිනිහාගෙන් නිකරුණේ දොස් නෙඅසන බව මම තරයේ සිතා ගත්තෙමි. කලක් වතු අධිකාරීවරයකු වූ ඔහු වතුකරයේ භාෂාවෙන්ම මට බැණ වැදුනි.

“අයිසෙ තමන් දන්නවද මමත් ලුතිනන් කර්නල් කෙනෙක්. ඔයිට වඩා හොද විදියට මට අවශ්‍ය දේ කරන්න පුළුවන්.

“ඔව් තමුන් රයිෆල් බලකායෙ කෙනෙක්. එමෙන්ම යුද යුද හමුදාව හා එහි සම්ප්‍රදායන් හා ආචාර  ධර්ම නොදන්නා කෙනෙක්”. මමද ආපසු ප්‍රති උත්තර දුන්නෙමි.

“ඉන්පසු ඇතිවූ බහින්බස් වීමේ වචන හුවමාරුව මෙහි ලේඛනගත කළ නොහැක.

“කලින් වේලාවක් වෙන් නොකරගෙන ගියදා මා හට ගිය සැනින් හමුදාපති තුමාට හමුවීමට හැකි විය. මා ඔහුට සම්පූර්ණ සිද්ධියම පැවසුවෙමි. ඔහු සාවධානව අසා සිට මා ඉල්ලා අස්වීමට ගත් තීරණය හොදට සිතා බලා ගත් තීරණයක්දැයි ඇසුවේය. මම එය සනාථ කළෙමි. පසුව හමුදාපතිතුමා ජනපතිතුමාට දුරකථනයෙන් කතාකර විස්තරය සැකෙවින් පවසා මා සමග ඔහු හමුවීමට වේලාවක් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේම පැමිණෙන ලෙස අපට දන්වන ලදී. අපි දෙදෙනා ජනපති කාර්යාලය⁣ට ඒ වෙලාවෙම පිටත් ⁣වුනෙමු.”

(උපුටනය අවසන්)

වර්තමානයේදී පාතාල ක්‍රියාකාරකම් වලට හා සම්බන්ධ යැයි සමාජයෙන් චෝදනාවට ලක් වෙමින් තිබෙන කමාන්ඩෝ රෙජිමෙන්තුවේ නිර්මාතෘවරයා ගේ එම විශිෂ්‍ට කැපවීම ඇගයීමට හා ගරු බුහුමනට ලක් විය යුතුමය. එය එසේ කළ යුත්තේ කමාන්ඩෝ රෙජිමෙන්තුවේ පෞරෂය හා කීර්ති නාමය ඉන් ඉහළට එසවෙන බැවිනි.

මිනිස් ජීවිත වල වටිනාකම ආදරණීය ලෙස වටහා ගනිමින් සිය වෘත්තිමය ජීවිතය හමාර කළ මේ හමුදා නිලධාරියා කළ කැපවීම මෙරට මානව හිමිකම් ක්⁣ෂේත්‍රය තුළද ලේඛන ගත විය යුතුය. එය සක්‍රීය හමුදා සේවයේ නිරත ලොකු කුඩා සියල්ලන්ටම පූර්වාදර්ශයක් වන බවද නිසැකය. විශේෂයෙන් කමාන්ඩෝ රෙජිමෙන්තුවෙන් පැන ගොස් පාතාල ක්‍රියාකාරකම් වල නිරත සෙබළුන්ටද “ෆාදර් ඔෆ් ද කමාන්ඩෝ” ලෙසින් වර්තමානයේදීද ගරු බුහුමනට ලක්වන මෙම ඡ්‍යෙෂ්ඨ හමුදා නිලධරයා මිනිස් ජීවිත කෙරෙහි දැක්වූ ගෞරවය හා වටිනාකම ගැන වැටහීමක් ලබා ගත හැකි වන නිසාය.

(ලොකු කුමා)

 

මෙම ලිපිය මුලින් පල කිරීමේදී වර්තමාන කර්නල් ඔෆ් ස කමාන්ඩෝ සමබන්ධයෙන් පළ වූ කොටස වැරදි බව පෙන්වා ද ීතිබේ. ඒ වරද ගැන අපේ කණගාටුව පළ කරමු. වරද ගැන සමාව ඉල්ලා සිටිමු.