මෙරට වර්තමාන යුද හමුදාපති ලසන්ත රොද්‍රිගු ශ්‍රී ලංකා යුද හමුදාව තුළ පරිවර්තනීය වෙනසක් ඇති කිරීීම සඳහා බලවත් වෙහෙසක් ගනිමින් සිටී. ඔහු යුද හමුදාපතිවරයා ලෙස පත් වූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ විනය කඩා වැටී තිබුණ වටපිටාවකය. ඒ වන විට යුද හමුදාව දේශපාලනීකරණයට ලක් වෙමින් තිබූ අතර බොහෝ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ විනය විරෝධී ක්‍රියා කළාපයන් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක් වී වෙමින් පැවැති බවද රහසක් නොවේ.
එහිදී හිටපු හමුදාපති වරයාට එරෙහිව එල්ල වූ විෂමාචාර චෝදනා ඉතා බරපතල විය.ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමෙන්තුවට අයත් මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු වෘත්තිමය ජීවිතය තුළ ඉහළ වටිනාකමක් හිමි කරගෙන සිටි නිලධාරියෙකි.ඔහුට දූෂණ චෝදනා නොවීය.මේ වන විට ඔහු යුද හමුදාව නිවැරිදි කිරීමට උත්සාහ ගනිමින් සිටී .
ඔහු ඒ සඳහා පෞද්ගලිකවම මැදිහත්වන බවක් දකින්නට තිබේ. එහෙත් එහිදී යුද හමුදාව අරක් ගෙන සිටි දූෂිතයන් රැළ ඔහුට එරෙහිව පෙල ගැසෙමින් සිටින බවද අසන්නට ලැබේ.
රාජපක්ෂ වරුන්ගේ බල අධිකාරිය යටතේ ගජබා කරණයට ලක් වී තිබුණ යුද හමුදාව ඉහල දේශපාලඥයන්ගේ ඕනෑ එපාකම් පිරිමැසීමේ ආයතනයක් ලෙස පිරිහෙමින් පැවතුණි. හමුදාව ගජබා කරණය ලෙස නාමකරණය වූයේ එහි පරිපාලනමය හසුරවීම ගජබා රෙජිමෙන්තුවේ නිලධාරීන් අතට පත් වීමය. ගෝඨභය රාජපක්ෂ සේවය කළ රෙජිමෙන්තුව වූයේ ගජබා රෙජිමෙන්තුවයි. ගජබා රෙජිමෙන්තුව රාජපක්ෂවරුන්ගේ විශ්වාසය දිනා ගැනීමට හේතු වූයේ ඒ පසුතලයයි.
ගජබාවරුන් හමුදාවේ සෑම අංශයකම ආධිපත්‍යය පතුරවන්නට ගත්හ.අනෙකුත් රෙජිමෙන්තුවල ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් නොවටිනා සිල්ලර කාසි බවට පත් විය.
ඡ්‍යෙෂ්ඨ ගජබා නිලධාරීන්ගේ බිරින්දෑවරුන් හමුදා රෙජිමෙන්තු තුළ පවතින සුබ සාධන ක්‍රියාවලිය සිය ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කරන්නට යොදා ගනිමින් තිබුණි.හිටපු හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ බිරිඳ එහිදී ප්‍රධාන වූවාය.හමුදා සුබ සාධන අවන්හල් වල සපයන කට්ලටයේ සිට කෑම පැකට්ටුව දක්වාවූ ආහාර සැපයීම් කොන්ත්‍රාතුව ඇය සතු විය. එපමනක්ද නොවේ. සෙබළුන් හට නොමිලයේ නිකුත් කරන අනෙකුත් ආම්පන්න සැපයීමේ කොන්ත්‍රාතුව පැවතියේද ඇයගේ යටතේය. ශවේන්ද්‍ර සිල්වාගේ අනුප්‍රාප්තික හමුදාපති වූ මේජර් ජනරාල් විකුම් ලියනගේ ගේ බිරිඳ අනතුරුව මේ සැපයීම් සියල්ල ඇය අතට ගත්තාය.
මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු හමුදාපති වරයා බවට පත් වී මෙන් පසුව ගජබාවරුන්ගේ පවුලේ ව්‍යාපාර අත් හිටුවීමට ක්‍රියා කෙරිණි.එහි එක් උදාහරණයක් පමණක් මෙසේ සඳහන් කළ හැකිය.කොළඹ නාරාහේන්පිට මාතා පාරේ පිහිටා ඇති යුද හමුදා අවන්හලේ
ගජබාවරුන් පාලනය කරන කාලයේ පේස්ට්‍රියක මිල රුපියල් 165 කි. වර්තමානයේදී එය රුපියල් 65 කි. අනෙකුත් අහාර වල මිල ගණන්ද සියයට හැට හැත්තෑවකින් අඩු කර තිබේ.
ඒ දිනවල යුද හමුදා රෝහලෙහි බරපතල ඖෂධ හිඟයක් පැවතුනි.එහෙත් ප්‍රබල දේශපාලඥයන්ට මිල ගණන් අධික ඖෂධ නිකුත් කරමින් තිබුණි.
අසනීපයකට ප්‍රතිකාර ගැනීම සඳහා යන සාමාන්‍ය සෙබළුන් ව්ෂයෙහි කිසිදු අවධානයක් නොදක්වන තරමට හමුදා රොහලෙහි පරිපාලනය බිඳ වැටී තිබුණි.ඉහළ ඇවරියේ හමුදා ඡ්‍යෙෂ්ඨයන් ගේ නොසැළකිල්ල නිසාම එහි පහල කාර්ය මණ්ඩලයේ විනය රින අගයට පහල වැටුණි.
පසුගියදා විදෙස්ගත මාධ්‍යවේදියකු සිය මුහුණු පොතේ සදහන් කර තිබුණේ හමුදාපති මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු නිතර යුද හමුදා රෝහලට යන බවත් ඒ ගිය අවස්ථාවක දැඩි සත්කාර ඒකකයට නිළ ඇඳුමෙන් ඇතුළු වීමට යාමේදී ඒ පිළිබඳව විරෝධතාව දැක්වූ බලලත් නිලධාරියකු යුද හමුදා පොලීසිය ලවා සිර මැදිරියකට දමා සිර කර දඬුවම් පැමිණ වූ බවත්ය.
එය ඒක පාර්ශවීය මාධ්‍ය වාර්තා කරණයකි එමගින් මේ ප්‍රවෘත්තියට අදාල සත්‍ය සිදුවීම යටපත් වී ඇත.සැබවින්ම එහිදී සිදුවී තිබුණේ යුද හමුදාපති වරයා හමුදා රෝහලෙහි හදිසි සංචාරයක නිරත වී සිටියදී වග උත්තරකාර බලලත් නිලධාරීයා දැඩි සත්කාර ඒකකයේ රාජකාරියේ නිරතව සිට ඇත්තේ නිල ඇඳුමට රබර් සෙරෙප්පු දමා ගෙනය.
යුද හමුදාවේ බලලත් නිලධාරියකු යනු වෘත්තිමය අත් දැකීම් ඇති සේවා කාලයක් සපුරා සිටින අයෙකි.ඔහු පහල ශ්‍රේණියේ හමුදා සෙබළුන්ට පූර්වාදර්ශයක් සැපයිය යුතු වගකීම් සහිත නිලයක් දරන්නෙකි.එහිදී දැඩි සත්කාර ඒකකය තුළ නොසැළකිලිමත් ආකාරයෙන් රාජකාරි කිරීමද විනය කඩ කිරීමකි.යුද හමුදාපතිවරයා ඉටු කර ඇත්තේ ඔහු විසින් ඉටු කළ යුතු රාජකාරියකි.
කෙසේ වෙතත් හමුදා රෝහළෙහි දැඩි සත්කාර ඒකකයේ නොසැළකිල්ලෙන් රාජකාරියේ නිරත වූ බලලත් නිලධාරීවරයාට යුද හමුදා පනතේ 107 වගන්තිය කඩ කර ඇතැයි චෝදනා කළ හැකිය.
එහි දැක්වෙන්නේ හමුදා සෙබළෙකුගේ අපවාදාත්මක හැසිරීම සම්බන්ධවය.
සංග්‍රාමික නීතියට යටත්ව සිටියදී නිලධරයකුගේ හා මහතෙකුගේ චරිතයට නොතරම් වූ අපවාදාත්මක ආකාරයකින් හැසිරෙන සෑම නිලධරයෙකුම සංග්‍රාමික වරදට වරදකරු විය යුතු බව ඒ වගන්තියේ දැක්වේ. මෙම වරද යුද හමුදා පනතේ 155 වන වගන්තියේ සදහන් හමුදාවේ සාමාජිකයන් විසින් ඇඳිය යුතු නිල ඇඳුම් පිළිබඳ නියෝග කඩ කිරීමක් ලෙසද චෝදනා කළ හැකිය. යුද හමුදාපතිවරයා මේ වන විට හමුදා කඳවුරු වල නිරන්තරයෙන් සංචාරය කරමින් සිටී.
දේශපාලනීකරණයෙන් දිරාපත් වූ හමුදාව හා එහි විනය ඉහළට එසවීම සඳහා ඔහු පෞද්ගලිකවම මැදිහත් වෙමින් තිබෙන බව අනාවරණය වේ. එහෙත් මෙය දූෂිත නිලධාරීන්ට හිසරදයක් වී ඇති බවද පැහැදිලිය.සෙබළුන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් හමුදාපති ලසන්ත රොද්‍රිගු දක්වා ඇති අවධානය හමුදාවේ සාමාන්‍ය සෙබළුන්ගේ සතුටට හේතු වී තිබේ.
මේ වන විටත් ඔවුන්ගේ ආහාර සලාකය ඉතා ඉහල මට්ටමකට ගෙන විත් ඇති බව වාර්තා වේ.
හමුදාපති ලසන්ත රොද්‍රිගේ මේ රාජකාරිය ලංකාවේ හිටපු හමුදාපතිවරයකුගේ රාජකාරියට හා සමාන බව මේ ලියුම්කරුට අත්දැකීම් පවතී.1977 වර්ෂයේ මෙරට හමුදාපති ධුරයට පත්වූ මේජර් ජනරාල් ඩෙනිස් පෙරේරාටද සිදු වූයේ බරපතල ලෙස කඩා වැටී තිබුණ හමුදාමය යාන්ත්‍රණයක් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීමය.රට පුරා පැවැති ආර්ථික අර්බුදය හමුදාව තුළටද කාන්දු වී තිබුණි.
සෙබළුන්ට නිසි පරිදි ආහාර සලාකය නොලැබුණ අතර ඔවුන්ගේ දෛනික පුහුණුවීම් පවා නතරව තිබුණේ අතවශ්‍ය උපකරණ හිඟයෙනි.මේජර් ජනරාල් ඩෙනිස් පෙරේරා කඳවුරු සංචාරවල නිරත වෙමින් පළමුව හමුදා සෙබළුන්ගේ සුබ සාධනය ශක්තිමත් කිරීමට වෙහෙස ගත්තේය. ඔහු දියතලාව හමුදා කඳවර නිරීක්ෂණය කරන විට එම කඳවුරු බැරැක්ක වල විදුලි ආලෝකය සැපයීමට විදුලි බුබළු පවා නොතිබුණි. දියතලාව යුද කඳවුරු බැරැක්ක දෙවන ලෝක සංග්‍රමයේදී බෝයර් සිරකරුවන් රඳවා තැබීම සඳහා ඉදි කරන ලද ඒවා විය.
(මෙරට බූරු ඇඳ යනුවෙන් සඳහන් කරන හකුලන ඇඳ නිර්මාණය වූයේද මෙම සිර කඳවුර තුළිනි.බෝයර් වරුන් භාවිතා කළ ඇඳ බූරු ඇඳ විය.) කෙසේ වෙතත් හමුදාපති ඩෙනිස් පෙරේරා දියතලාව එම හමුදා බැරැක්ක නිරීක්ෂණයට යන අවදියේ එම බැරැක්ක දෙවන ලෝක යුද්දයෙන් පසුව තීන්ත පවා නොගාන ලද බෙලෙක් තහඩු වලින් ඉඳි කර තිබූ තත්වයෙන්ම පැවතුණි. හමුදාපති ඩෙනිස් පෙරේරා ඒ සියල්ල ප්‍රතිසංස්කරණය කිිිරීම සඳහා මැදිහත් විය. එහිදී බැරැක්ක නිරීක්ෂණය සදහා යුද හමුදාපති කළ සංචාරයේදී එම කඳවුරු අණදෙන්නගෙන් නිතර නිතර සිදු කළ විමසීමක් නිසා ඔහුට අනවර්ථ නාමයක්ද පට බැඳුනි.
ඒ “ඉබේ” යනුවෙන්ය. කඳවුරු පරිශ්‍රයේ යම් භාණ්ඩයක අඩුවක් පිළිබඳව හමුදාපතිවරයා නිලධාරීන්ගෙන් විමසුවේ මොකද අරක නැත්තෙ .ඇයි ඉබේ නැතිවෙලාද ?යැයි ප්‍රශ්ණ කරමිනි.
හමුදාපතිවරයාගේ සෘජු මැදිහත්වීම නොඉවසූ දූෂිත නිළධාරීන් ඔහුට එරෙහිව කඳවුරු තුළ “මරුවා සමග වාසේ” යැයි සඳහන් කරමින් පෝස්ටර් ඇලවීම පවා කරන ලදී. එහෙත් ප්‍රථමයෙන් හමුදා සෙබළුන්ගේ සුබ සාධනය තහවුරු කළ හමුදාපති ඩෙනිස් පෙරේරා ඊළඟට හමුදා පුහුණුවීම් කටයුතු ඇරඹුවේය.සැබැවින්ම මෙරට එතෙක් පැවැති ප්‍රදර්ශන හමුදාවට සටන්කාමී හමුදාමය වටිනාකමක් අත් කරදීමට මුල් ගල තැබුවේ හමුදාපති ඩෙනිස් පෙරේරාය.ඔහු යුද හමුදා කමාන්ඩෝ රෙජිමෙන්තුව හා කාන්තා බලකායේද නිර්මාතෘ වරයා විය.
වර්තමාන යුද හමුදාපති ලසන්ත රොද්‍රිගුද මුහුණ පා සිටින්නේද අතීතයේදී හිටපු හමුදාපති ඩෙනිස් පෙරේරා මුහුණ දුන් හමුදාව නැවත ප්‍රති සංවිධානය කිරීමේ වැඩ පිළිවෙල ඊට වඩා වෙනස් හැඩයකින් ක්‍රියාත්මක කිරිමේ පරිච්ඡේදයකටය.
දේශපාලනික අත පෙවීම් වලින් හා ජාවාරමිකාරයන් නිසා බිඳ වැටී ඇති හමුදා විනය නැවත ස්ථාපිත කිරීම ඔහුට පැවරී තිබේ.ඒ සදහා හමුදා කඳවුරුවල සෙබළුන්ගේ සුබ සාධන වැඩ පිළිවෙල ශක්තිමත් කිරීම ඔහුගේ පළමු පියවර බව පැවසේ.මෙහිදී ඉහළ ඇවරියේ හමුදා ඡ්‍යෙෂ්ඨයන් හා දේශපාලනිකව ගැට ගැසී ඇති පෙකෙනි වැල කපා දැමීමටද හමුදාපති ලසන්ත රොද්‍රිගු හට සිදු වෙනු ඇත. එහිදී ඔහුට එරෙහිව ගල් ගසන්නට මෙන්ම ඔහු දිරිමත් කරන්නට මල් පුදන්නන්ද හමුදාව තුළම සිටිය හැකිය.
අප මේ ලියවිල්ල ලියන ලද්දේද විදෙස්ගත වෙබ් මාධ්‍යවේදයකු කිසිවක් සොයා නොබලා සිදු කළ වාර්තාකරණය නිසාමය. එහිදී අපට තොරතුරු දුන් බොහෝ සෙබළුන් පවසා සිටියේ වර්තමාන යුද හමුදාපතිවරයාගේ සෘජු මැදිහත් වීම සාමාන්‍ය සෙබළුන්ගේ සතුටට හේතුවී තිබෙන බවය. එය හරියටම ඔවුන් සමාන කරන්නේ යුද්ධය පැවැති දිනවල හමුදාපතිවරයා වූ මේජර් ජනරාල් සරත් ෆොන්සේකාගේ රාජකාරිමය මැදිහත්වීමේ පුනරාගමනයක් ලෙසය. කෙසේ වෙතත් හමුදාවේ දේශපාලන පෙකෙනිවැල කපා දැමීමට වින්නඹු කම් කිරීමට සිඳුවී ඇති හමුදාපති ලසන්ත රොද්‍රිගු ගේ සෘජු පරිපාලනමය මැදිහත් වීම මේ වන විට හමුදාවේ බොහෝ දූෂිතයන්ට හිසරදයක් වී තිබෙන බව සඳහන් කළ යුතුමය.
(ලොකු කුමා )