Wednesday, March 26, 2025

බටලන්ද කොමිෂන් වාර්තාව, රනිල්ගේ සහකරු ඝාතනය සහ ලංකාවේ දණ්ඩ මුක්තිය

සකස් කළ ඡායාරූපය ලංකා ලීඩර් වෙතිනි.

සුනන්ද දේශප්‍රිය විසිනි.

  1. බටලන්ද ශ්‍රී ලංකාවේ නීති විරෝධී රැඳවුම් මධ්‍යස්ථානයක් වූ අතර එහිදී JVP/DJV (මහජන විමුක්ති පෙරමුණ සහ එහි පෙරමුණු සංවිධානය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය) හි ලේඛනගත නොකළ සැකකරුවන්ට වධහිංසා පැමිණවීම සහ නීති විරෝධී ඝාතන සිදු කරන ලදී. මෙම පුද්ගලයින් නිල සහ නිල නොවන සන්නද්ධ කණ්ඩායම් දෙකම විසින් පැහැර ගන්නා ලද අය වූහ.

  2. 1988 සහ 1989 අතර, ජවිපෙ/දේජව (JVP/DJV) ජයවර්ධන ආණ්ඩුවේ මර්දනකාරී දේශපාලනයට සහ පලාත් සභා ක්‍රමයට විරුද්ධව රාජ්‍යට සහ  ස්වකීය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි  සන්නද්ධ ව්‍යාපාරයක් දියත් කළේය. ඊට ප්‍රතිචාර වශයෙන්, රජය, රාජ්‍ය ත්‍රස්තවාදය භාවිතා කළ අතර, එම පිළිවෙත සැක සහිත ජවිපෙ/දේජව (JVP/DJV) සාමාජිකයින් දස දහස් ගණනක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට මඟ පෑදිය. ජවිපෙ/දේජව ද ප්‍රචණ්ඩත්වය, බලහත්කාරිත්වය සහ ඝාතනය උපාය මාර්ගයක් ලෙස භාවිතා කරමින් ආණ්ඩුවට සම්බන්ධ සහ තම දේශපාලන විරුද්ධවාදීන් ලෙස සැළකූ පුරවැසියන් දහස් ගණනක්  ඝාතනය කළේය. රාජ්‍ය සන්නද්ධ හමුදා සහ ඊට සම්බන්ධ පැරා මිලිටරි කණ්ඩායම් විසින් ඝාතනය කළ ප්‍රමාණය 30,000 – 60,000 අතර පවතී.

  3. ජනාධිපතිවරණය (2025 සැප්තැම්බර්) සහ පාර්ලිමේන්තු (2025 නොවැම්බර්) මැතිවරණයේ දී බලයට පත්  ජවිපෙ සහ එහි පෙරමුණු සංවිධානය වන ජාතික ජන බලවේගය  රට පාලනය කරයි.

  4. බටලන්ද කොමිෂන් වාර්තාව 2000 වසරේ සිට ප්‍රසිද්ධියට පත්ව තිබුණද, එහි සොයා ගැනීම් සම්බන්ධයෙන් ආණ්ඩුවල කොටස්කරුවන් ලෙස සිටිය දී නීතිමය පියවර ගැනීමට හෝ විපක්ෂයේ සිට පිියවර ගන්නා ලෙස බලකිරීමට හෝ ජවිපෙ උනන්දු නොවීය. ජාජබ රජය එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතිපති වෙත යැවීමට තීරණය කළේ බටලන්ද වධකාගාරය පිහිටුවීමේ මූලිකයකු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවැත් වූ දැන් සුප්‍රසිද්ධ අල් ජසීරා “හෙඩ් ටු හෙඩ්” සම්මුඛ සාකච්ඡාවෙහි දී ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමෙන් පසුව පමණි.

  5. “බටලන්දට ගිනි තැබුවෙමු” නමින් ගවේශනාත්මක මාධ්‍යවේදී නන්දන වීරරත්න විසින් ලියා පළ කළ සහ අතිශය ජනප්‍රියත්වයට පත් වූ කෘතිය, කියවන සේ අනුර කුමාර දිසානායක විසින්ම ප්‍රසිද්ධ රැස්වීම් වලදී ඉල්ලා සිටියේය. එමෙන්ම මෙ කෘතියෙහි පිටපත් දහස් ගණනක් ජවිපෙ/ජාජබ සිය අනුගාමිකයින් අතර බෙදා හැරියේය. එසේ වෙතත් බටලන්ද කොමිෂන් සභා වාර්තාව මත පියවර ගැනීමට මැතිවරණ සමයෙහි ජවිපෙ/ජාජබට අදහසක් තිබූ බව පෙනී ගියේ නැත.

  6. අල් ජසීරා සාකච්ජාවෙන් පසු යූ ටියුබ් නාලිකාවල උණූ කැවුම් තේමාව බවට බටලන්ද පත් විය. බටලන්ද වධකාගාරයේ බිය ජනක තොරතුරු විස්තර කරන ඇසින් දුටු සාක්ෂිකරුවන් / හිටපු රැඳවියන් කිහිප දෙනෙකු දැන්  යූ ටියුබ් සමාජ මාධ්‍ය මගින් කරළියට ගෙනැවිත් තිබේ. එම සාක්ෂි රනිල් වික්‍රමසිංහට කෙලින්ම ඇඟිල්ල දිගු කරයි.

  7.  එම වාර්තාව සහ එහි නිර්දේශ සම්බන්ධයෙන් වසර ගණනාවක් පියවර නොගැනීම, මානව වර්ගයාට එරෙහි බරපතල අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩු අඛණ්ඩව දණ්ඩ මුක්තිය පවත්වා ගෙන යන බවට තවත් කැපී පෙනෙන උදාහරණයකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු මහ කොමසාරිස්වරියක වූ මිෂෙල් බෂලේ ද කියා සිටියේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මානව හිමිකම් ප්‍රශ්නය වන්නේ දිගින් දිගටම පවතින දණ්ඩ මුක්තිය බවයි.

  8. මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, ඝාතන සහ අතුරුදහන් කිරීම් පිළිබඳ සිදුවීම් විමර්ශනය කිරීම සඳහා බටලන්ද කොමිසම ලෙස හැඳින්වෙන ජනාධිපති විමර්ශන කොමිසම 1995 සැප්තැම්බර් 21 වන දින, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් පිහිටුවන ලදී. විමර්ශනයේ පුළුල් විෂය පථය සැලකිල්ලට ගෙන, 1995 දෙසැම්බර් 15 වන දින නව අධිකාරි බලයක් සහිත ගැසට්ටුවක් නිකුත් කරන ලදී.

  9. කොමිසමේ සේවා කාලය 12 වතාවක් දීර්ඝ කරන ලද අතර, වසර තුනකට ආසන්න කාලයක් සාක්ෂි රැස් කිරීමෙන් පසු, එය 1998 මාර්තු 26 වන දින ජනාධිපති කුමාරතුංග වෙත සිය වාර්තාව ඉදිරිපත් කළේය. කෙසේ වෙතත්, වාර්තාවේ දක්වා ඇති නිර්දේශ කිසි විටෙකත් ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීමට ඇය පියවර ගත්තේ නැත.

  10. 1988 ජනවාරි 1 සිට 1990 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය පොහොර සංස්ථාවට අයත් බටලන්ද නිවාස සංකීර්ණයේ රජය නීති විරෝධී ලෙස පුද්ගලයින් රඳවා තබාගෙන වධහිංසා පමුණුවා තිබේද යන්න ඇතුළු ප්‍රධාන කරුණු පහක් විමර්ශනය කිරීම සහ මෙම ක්‍රියාවන්ට වගකිව යුතු අය තීරණය කිරීම කොමිසමට පැවරී තිබුණි.

  11. කොමිසම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.සී. පතිරණ, රජයේ නීතිඥ යසන්ත කෝදාගොඩ (වර්තමානයෙහි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු), ජනාධිපති නීතිඥ ආර්.අයි. ඔබේසේකර, අභියාචනාධිකරණ විනිසුරු ඩී. ජයවික්‍රම, මහාධිකරණ විනිසුරු එන්.ඊ. දිසානායක, රජයේ නීතිඥ සරත් ජයමාන්න, නියෝජ්‍ය පොලිස්පති ටී.වී. සුමනසේකර, පොලිස් අධිකාරී එච්.එච්.එම්.ආර්. ප්‍රේමරත්න වැනි කැපී පෙනෙන සාමාජිකයින්ගෙන් සමන්විත විය.

  12. 1996 ජනවාරි 16 වන දින කොමිෂම සාක්ෂි විමසීම ආරම්භ කළ අතර, කොළඹ අලුත්කඩේ මහාධිකරණ සංකීර්ණයේ අංක 2 මහාධිකරණයේදී දින 127 ක් පුරා පැවැත්විණි. කොමිසම සාක්ෂිකරුවන් 82 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ අතර, ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පුද්ගලයින් වන රනිල් වික්‍රමසිංහ, ජෝසප් මයිකල් පෙරේරා සහ ජෝන් අමරතුංග යන අයද වූහ.

  13. කොමිසම වෙළුම් 28 කින් සහ පිටු 6,780 කින් යුත් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කළේය. ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම පිහිටි බටලන්ද නිවාස සංකීර්ණය තුළ නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ වධහිංසා පැමිණවීම සඳහා භාවිතා කළ බවට චෝදනා එල්ල වූ නිශ්චිත නිවාස ද එය හඳුනා ගත්තේය. ඒකක 64 කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය, ප්‍රමාණය සහ පහසුකම් අනුව A, B සහ C ලෙස වර්ගීකරණය කරන තිබුණි.

  14. එවකට කර්මාන්ත අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ, රාජ්‍ය පොහොර සංස්ථාවේ ඈවරකරු අශෝක සේනානායක අමතා බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට නිවාස වෙන් කරන ලෙස ඉල්ලා සිටි බව වාර්තාවෙන් ඉස්මතු විය. පොහොර සංස්ථාව වෙනුවෙන් මෙම නිවාස අත්පත් කර ගත් නිලධාරියා ලෙස සහකාර පොලිස් අධිකාරීවරයෙකු වූ ඩග්ලස් පීරිස් හඳුනා ගන්නා ලදී. විශේෂයෙන්, මෙම ක්‍රියාවලිය අතරතුර කිසිදු විධිමත් ගිවිසුමක් අත්සන් කර නොමැත. මෙය ඩග්ලස් පීරිස් , සංස්ථා නිලධාරීන් සහ අමාත්‍ය වික්‍රමසිංහ සම්බන්ධ “පෞද්ගලික ගනුදෙනුවක්” ලෙස පෙනෙන්නට ඇති බවට හිටපු පොලිස් කොමසාරිස් අර්නස්ට් පෙරේරා සාක්ෂි දුන්නේය.

  15. හිටපු ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්නගේ ඉල්ලීම පරිදි මෙම කටයුතු සිදු කළ බව පැවසූ රනිල් වික්‍රමසිංහගෙන් ද කොමිසම ප්‍රශ්න කළේය. කෙසේ වෙතත්, අදාළ නිලධාරීන්ගේ සාක්ෂි සහ ආධාරක ලියකියවිලි නොමැතිකම හේතුවෙන් කොමිසම වික්‍රමසිංහගේ එකී ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේය. ඔහු ජීවත් වූ බී 2 නිවසේ සහ අනෙකුත් දේපළවල සිදු වන නීති විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව වික්‍රමසිංහ දැන සිටි බව වාර්තාවේ නිගමනය විය. යම් යම් පුද්ගලයින් ඉවරයක් කිරීමට ඔහු කියා සිටි බවට සාක්ෂී කොමිසම හමුවේ මතු විය.

  16. ආරක්ෂක අමාත්‍ය ධුරයක් නොතිබුණද පොලිස් නිලධාරීන්ට “දේශපාලන නායකත්වය” ලබා දෙමින් වික්‍රමසිංහ නිවාස සංකීර්ණයේ රැස්වීම්වලට මුලසුන දැරූ බවට හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ සාක්ෂි දුන්නේය. එය අනීතික ක්‍රියාවකි. නලින් දෙල්ගොඩ වික්‍රමසිංහගේ දේශපාලන නියෝග අනුගමනය කළ බව පිළිගත්තේ, ඔහුට “වෙනත් විකල්පයක් නොතිබූ” බව පවසමිනි.

  17. කොමිසම මෙම රැස්වීම්වල අවිධිමත් ස්වභාවය විවේචනය කළ අතර, නිල වාර්තා නොමැතිකම ඉස්මතු කළේය. අවසානයේ නිවාස සංකීර්ණයේ පැවති සාකච්ඡා නීති විරෝධී විය හැකි බව නිගමනය කළේය.

  18. බටලන්ද කොමිසමේ ඉංග්‍රීසි වාර්තාව (පිටු 119–122) 1988 ජනවාරි 1 සිට 1990 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ රැඳවියන්ට අමානුෂික හා අවමන් සහගත ලෙස සැලකීම සම්බන්ධයෙන් සෘජුව සහ වක්‍රව වගකිව යුතු පුද්ගලයින් හඳුනා ගත්තේය. ඒ මෙසේය.

  19. 1986 සිට එවකට කර්මාන්ත අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොහොර සංස්ථාවට බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නිවාස පොලිස් නිලධාරීන්ට වෙන් කරන ලෙස නියෝග කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, සහකාර පොලිස් අධිකාරී ඩග්ලස් පීරිස් මහතා මෙම නියෝග යටතේ නිවාස 13 ක් දක්වා අත්පත් කර ගත්තේය.

  20. වික්‍රමසිංහ මහතාගේ නියෝගය අමාත්‍ය බලය අනිසි ලෙස භාවිතා කිරීමකි.

  21. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ මහතා දැනුවත්ව පොලිස් දෙපාර්තමේන්තු රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙම නිවාස නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීමට අවසර දුන්නේය. ඔහු හිතාමතාම නීති විරෝධී කටයුතු නතර කිරීමෙන් වැළකී සිටියේය.

  22. වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ පොලිස් රැස්වීම් සංවිධානය කිරීමෙන් ද දෙල්ගොඩ මහතා තම අධිකාරිය අනිසි ලෙස භාවිතා කළේය.

  23. වික්‍රමසිංහ පොලිස් මෙහෙයුම් සහ නීතිමය බලාත්මක කිරීම්වලට මැදිහත් වූ අතර, අවසානයේ වෙන් කරන ලද නිවාස තුළ නීති විරෝධී රැඳවුම් මධ්‍යස්ථාන පිහිටුවීමට පහසුකම් සැලසීය.

  24. බටලන්ද කඳවුරට අදාළ කුරිරුකම් වසන් කිරීමට අදහස් කරන ලද බව පෙනෙන පරිදි, අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම්, අතුරුදහන් කිරීම් සහ අභිරහස් මරණ ගණණාවක සංකීර්ණ සහ බිය ජනක  වාර්තාවක් ඉදිරිපත් කරයි.

  25. ජවිපෙ/දේජව සම්බන්ධ සැකකරුවන් නොවූ එනමුත් බටලන්ද වධකාගාරයට සහ සපුගස්කන්ද පොලිසියට පහරදීම සම්බන්ධ පුද්ගලයින් ගණනාවක් අභිරහස් ලෙස ඝාතනය විම පෙන්නුම් කරන්නේ සාක්ෂි වසං කිරීම සහ පළිගැනීම පිනිස ඝාතන සිදුකිරීම ද බටලන්ද වධකාගාරයට අදාළව සිදු කළ බවයි.

  26. රනිල් වික්‍රමසිංහගේ ප්‍රමුඛ ආධාරකරුවෙකු සුනිල් පෙරේරා නොහොත්  ගෝනවල සුනිල්ගේ සහෝදරයා වන ටියුඩර් පෙරේරා 1990 පෙබරවාරි 9 වන දින අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලදී.  (පිටු 76, ඉංග්‍රීසි අනුවාදය).

  27. 1989 ජූලි 11 වන දින සපුගස්කන්ද පොලිසියට එල්ල කල සන්නද්ධ ප්‍රහාරයේ දී  ගෝනවල සුනිල්ගේ තවත් සහෝදරයකු වූ පියදාය පෙරේරාගේ පුතුකු වූ සුමිත් පෙරේරා නොහොත් කලුවා පොලිස් වෙඩි පහරින් මිය ගියේය. ඔහු ජවිපෙ/දේජවයේ සාමාජිකයකු නොව රනිල් වික්‍රමසිංහට දේශපාලනිකව හිතවත් පවුලකට සම්බන්ධය. මෙම ප්‍රහාරය කව්රුන් විසින් කළේද යන්න සොයනු වෙනුවට බටලන්ද වධකාගාරයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ සහ සහකාර පොලිස් අධිකාරී  ඩග්ලස් පීරිස් විසින් කරන ලද්දේ එය යටපත් කර පොලිසිය අලුත්වැඩියා කිරීමයි.

  28.  ටියුඩර් පෙරේරා පැහැර ගැනීමට හේතුව සපුගස්කන්ද පොලිසියට එල්ල කළ ප්‍රහාරයට ඔහුද සම්බන්ධ බවට වූ සැකය බව පෙනේ. සිදුවීම රහසිගතව තබා ගැනීමට ඔහු ඝාතනය කලා විය හැක. එම අතුරුදහන් කිරීමට,   ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සපුගස්කන්ද පොලිස් ස්ථානය භාරව සිටි නිලධාරියා වූ රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායම රෝහිත ප්‍රියදර්ශන සැක කළ බව පෙනේ. 1990 පෙබරවාරි මාසයේ බටලන්ද වධකාගාරයට සම්බන්ධව අසළ “බියගම විජේල්” හෝටලයේ පැවත් වූ  පොලිස් සමුළුවකට ආරාධනා ලැබ එයට සහභාගී වීමට යමින් සිටියදී රෝහිත ප්‍රියදර්ශන අතුරුදහන් කරන ලදී. ඔහුගේ ඝාතනය බටලන්ද වධකාගාරයට සම්බන්ධ කණ්ඩායමක් විසින් සිදු කර ඇති බවට සැක කෙරේ. ඔහුගේ සිරුර 1990 පෙබරවාරි 23 වන දින කැළණි ගගෙන්  සොයා ගන්නා ලදී (පිටු 113, ඉංග්‍රීසි අනුවාදය).

  29. රෝහිත ප්‍රියදර්ශන සපුගස්කන්ද පොලිසියට පහර දීමට සම්බන්ධ යැයි චෝදනා කරමින්  ඩග්ලස් පීරිස්ගේ උවමනාවට අසත්‍ය ප්‍රකාශයක් ලබා දුන් ජවිපෙට සම්බන්ධ  යැයි කී “ජිනේ” ලෙසද හැඳින්වෙන කදුරුවාහන්දිගේ ජිනදාස, අත්අඩංගුවේ සිටිය දී අතුරුදහන් කරන ලද්දේ පොලිස් නිලධාරීන්  දෙදෙනෙකු සමඟ සිටි අවස්ථාවකදී ය. (පිටු 107, ඉංග්‍රීසි අනුවාදය).  කැළනිය ජවිපෙ/දේජව යේ නායකයා යැයි ඩග්ලස් පීරිස් විසින් හදුන්වන ලද ජිනේ, අධිකරණයටද ඉදිරිපත් කිරීමෙන් පසු  අතුරුදහන් වූ බව වාර්තා කර තිබේ. ඔහු පොලිස් ඔත්තුකරුවකුව සිටියා විය හැක.

  30. රනිල් වික්‍රමසිංහගේ ගෘහ සේවකයා වූ වින්සන්ට් පෙරේරා, වික්‍රමසිංහ කොමිසම ඉදිරියේ සාක්ෂි දීමට නියමිත දිනට පෙර දින අනපේක්ෂිත ලෙස මිය ගියේය. ඔහු මීට පෙර වික්‍රමසිංහ  වධහිංසා පැමිණවීමේ සහ ඝාතන ක්‍රියාවන්ට සම්බන්ධ කරමින් රහසිගත ප්‍රකාශයක් ලබා දී තිබුණි. වික්‍රමසිංහ, වින්සන්ට් පෙරේරා කොමිසම හමුවේ රනිල් වික්‍රමසිංහ ද වධකාරගාරයට සම්බන්ධ බවට සාක්ෂි දුන් අවස්ථාවෙහි දී  වික්‍රමසිංහගේ නීතිඥයා හරස් ප්‍රශ්ණ විමසුවේ නැත.

  31. වික්‍රමසිංහ යෞවනයකු වූ වින්සන්ට්  තමා ලඟට ගැනීමට ආසා කළ බව පෙනේ.  වාර්තාවලින් පෙනී යන්නේ ඔහුට වික්‍රමසිංහ සමඟ පෞද්ගලික සම්බන්ධතාවයක් තිබූ බව  දෙන ලද ප්‍රකාශයෙහි සඳහන් වන බවයි. (පිටුව 63, ඉංග්‍රීසි අනුවාදය). බටලන්ද වධකාගාරය ගැන කෘතියක් සම්පාදනය කළ නන්දන වීරරත්නට අනුව වින්සන්ට් පෙරේරා රනිල් වික්‍රමසිංහගේ පෙම්වතකු විය. වික්‍රමසිංහගේ  යෞවන සේවකයා හෝ ලිංගික සහකරු පවා ඝාතනය කරවීමට බටලන්ද ඝාතකයින් යෙදවූයේ ද යන සැකය තවමත් පවතී. එම මරණයට හේතුව පරීක්ෂා කර නැත.

  32. තවත් පොලිස් නිලධාරියකු  සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබා ගෙන සිය දිවි නසා ගත් බවට වාර්තා වී තිබේ. ඔහු පොලිස් පරීක්ෂක නිස්සංකය. තුවාල ලබා මරනීය තත්වයේ සිටි සැකකරුවන් තිදෙනෙකුගේ තුවාලවලට බෙහෙත් දැමීමට ඔහු විසින් විමල් අත්තනායක නම් ආයුර්වේද වෛද්‍යවරයකු කැදවා තිබුණි. එම වෛද්‍යවරයා කොමිෂම ඉදිරියේ විස්තරාත්මක සාක්ෂියක් දුන්නේය. පොලිස් පරීක්ෂක නිස්සංක එම කතාව ප්‍රතික්ෂේප කළ නමුත් පසුව ඔහු ගුප්ත ලෙස මරණයට පත් විය.

  33. මෙම සියලු කරුණූ සළකා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මූලික වශයෙන් නිර්දේශ කරන්නේ මූලික අයිතිවාසිකම් නැවත නැවතත් උල්ලංඝනය කළ පුද්ගලයින්ට සිවිල් අයිතිවාසිකම් අහිමි කිරීම වැනි දඬුවම් පැනවීමේ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දිය යුතු බවය. (ඉංග්‍රීසි වාර්තාව 124 සහ 125 පිටු).

  34. එක් විධායක නියෝජිතයකු කාලෝචිත හෝ සුදුසු ප්‍රතිවිපාකවලට මුහුණ නොදී දිගින් දිගටම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව වාර්තාව ඉස්මතු කරයි. (එහි සිටි එකම විධායක නියෝජිතයා වික්‍රමසිංහය.) මෙයට පිළියමක් ලෙස, අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවීමට ද යෝජනා කරන අතර එමඟින් අධිකරණවලට ස්ථානීය නීති විරෝධී ක්‍රියාකාරකම් විමර්ශනය කිරීමට හැකි වනු ඇති බව එහි දැක්වෙයි.

  35. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් බොහෝ විට එවැනි උල්ලංඝනයන් සඳහා වගකිව යුතු බැවින්, පැමිණිලිකරුවන් බිය ගැන්වීමෙන් ආරක්ෂා කිරීම වාර්තාව අවධාරණය කරයි. ඊට අමතරව, කොමිසමට ඉදිරිපත් කරන ලද සියලුම පැමිණිලි විමර්ශනය කිරීමට පොලිස්පතිවරයාට යොමු කිරීමට එය නිර්දේශ කරයි.

  36. වාර්තාව සිංහල බසින් කියවීමට: බටලන්ද කොමිෂන් සභා වාර්තාව සිංහල බසින් කියවීමට මෙතැන කොටන්න.

අවසානයි.

2025 මාර්තු 18

  (ඉංග්‍රිසි බසින් නිකුත් කරන ලද ශ්‍රී ලංකා බ්‍රීෆ් වාර්තාවක සංස්කරණය කරන ලද සිංහල අනුවාදයයි.)

 

Archive

Latest news

Related news