Tuesday, February 11, 2025

ජාජබ ජන වරම, නීතිපතිට හදිසියේ මතක් වූ නිදහස් කිරීම් සහ සත් අව්රුදු සිර දඩුවමක් දිය හැකි ලසන්ත ඝාතන සාක්ෂි වසං කිරීම

සුනන්ද දේශප්‍රිය.

(Sri Lanka Brief/ 10.02.2025) අලුත් ආණ්ඩුවක් බලයට පැමිණයේය. එහි එක් පොරොන්දුවක් වූයේ පසුගිය සමයෙහි ජනමාධ්‍යවේදීන්ට එල්ල වු බරපතල ප්‍රහාර පිළිබඳ නිසි පරීක්ෂණ කර අපරාධකරුවන්ට  දඩුවම් පැමිණවීමය.

ආණ්ඩුව වහා පරීක්ෂණ යළි ආරම්භ කළ යුතු එවැනි අපරාධ ගණනාවක් නම් කළේය. සන්ඩේ ලීඩර් කතුවර ලසන්ත වික්‍රමතුංග ඝාතනය ද ඉන් එකකි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාලව ඔහුගේ රියදුරු පැහැර ගෙන යාම, සාක්ෂී වංස කිරීම යනාදිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තිදෙනෙකු ඇප පිට නිදහස්ව සිටියහ.

ලසන්ත ඝාතනය පිීලබඳ පරීක්ෂණ යට ගසා තිබූ ගෝටභය සහ රනිල් රාජපක්ෂ යන දෙබෑයන් ජනාධිපතිව සිටි කාලයේ ද එම සැකකරුවන් ඇප සිට නමුත් චූදිතයින්ව සිටියහ.

නීතිපති කවරකු වුවද ඔවුන් නිදහස් කිරීමට හදිසි වූයේ නැත.

ලසන්ත ඝාතනය මෙරට මහජන මතය ඇවිල වූ සිදුවීමකි. ඔහුට යුක්තිය ලබා දීම නව ආණ්ඩුව ලද ජනවරමේ කොටසකි.

නීතිපති දෙපාර්තමේන්තුවෙහි යට ගසා ඇති නඩු ලිපි ගොනු යළී උඩට ගන්නැයි ජනාධිපති කීවේය.

එම කියමනට නීතිපති දුන් උත්තරයක් වන්නේ මෙම නිදහස් කිරීමේ නියෝගයයි.

එය ජනාධිපතිගේ කණට එල්ල කල පා පහරක් වැන්න.

හදිසියේම නීතිපතිට එම චුදිතයින් තිදෙනා මතක් විය. යළි පරීක්ෂණ ආරම්භ කර තිබියදීත් නීතිපති එම චූදිතයින් තිදෙනා නිදොස් කර නිදහස් කරනු යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අඩුම වශයෙන්  ලද ජනවරම යටතේ යළි ආරම්භ කරන ලද විමර්ශණය ගැන කරුණු දැන ගැනීමට නීතිපති උත්සාහ කළේ නැත.

අපූරුය.

නීතිපතිගේ ස්වාධීනත්වයට අත නොතබනු යැයි කියන සියලුම වර්ණ වල නෝනා මහත්වරුන් දැන ගත යුත්තේ මෙරට සිටි දූෂිත නීතිපතිවරුන්ගෙන් එය දුඟද හැමූ බවය.  නීතිපතිගේ පක්ෂග්‍රාහිත්වය ගැන ලැයිස්තුවක් පසුව ලියමි.

රාජපක්ෂ පරපුර චූන් විය. නීතිපතිට අත නොතබනු යැයි ඝෝෂා කිරීමට පටන් ගත්තේය. නීතිපති දෙපාර්තමෙන්තුව ද ප්‍රකාශක් මගින් රාජපක්ෂ සමාගම කී දේ ප්‍රතිරාවය කළේය.

අරුමයකට මෙන් ජාතික ජන බලවේගයේ ප්‍රකාශක ප්‍රකාශිකාවන් ද එම කෝච්චියේ පා පුවරුවේ ලැග්ගේය. ලසන්ත ඝාතනයට යුක්තිය ඉල්ලීම තමන්ගේ සමාජවාදී ආණ්ඩුවට කැරෙන ප්‍රහාරයක් ලෙස දුටුවහ. අවි අමෝරා ගත්හ. පේස් බුක් ලෝකය යුද පිටියක් කළහ.

මේ අතර එකී චූදිතයින් පිීළිබඳ පරීක්ෂණ කර ගෙන ගිය එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂක ශානි අබේසේකර, ද මෙම ජාජබ ආණ්ඩුව යටතේ පොලිසියේ විමර්ශන බාරව කටයුතු කරමින් සිටියේය. ඔහු ජාජබය බලයට ගෙන ඒමට දර දිය ඇද්දේය.

දැන් ඔහුට චෝදනා එල්ල වනු ඇත්තේ ව්‍යාජ කරුණූ මත එකී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවටය.

කළ හොද පස්සෙන් එළවනවා කියන්නේ මෙවැනි ආපසු හැරීම් වලටය.

රාජපක්ෂ පරපුර හිරේ විලංගුවේ දැමූ ශානි වෙනුවෙන්  පෑනෙන් මහත් සටනක් කළ මාධ්‍යවේදී තරිදු ජයවර්ධන කියන පරිදි දැන් ශානිට එම තනතුරේ රැදී සිටීම පවා ප්‍රශ්ණයක් වනු ඇත.

නීතිපති, රාජපක්ෂ සමාගම සහ ජාජබ අනුකාරකාවියෝ සහ කාරකයෝ ඇත්ත වශයෙන්ම නම් පහර දෙමින් සිටියේ ශානි අබේසේකර ඇතුලු විමර්ශකයින්ටය. හොදද වෙලාවට නිශාන්ත සිල්වා පැන ගත්තේය. මෙම පරීක්ෂණයේ අගමුල දන්නේ ඔහුය. රාජපක්ෂ සමාගම ඔහු සමඟ නයි වෛරය.

ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි වසං කළ බවට එවට ගල්කිස්ස නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාරට විරුද්ධව බිද හෙළිය නොහැකි සාක්ෂි ශානි අබේසේකර, නිශාන්ත සිල්වා ඇතුළු විමර්ශකයෝ සොයා ගෙන තිබුණි. එය සත්වසරක දඩුවම් ලැබිය හැකි වරදකි.

එකල ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි නීතිපති දෙපාර්තමේන්තුව ( ජනක බණ්ඩාර)  කියා සිටියේ ඩිඅයිජී ප්‍රසන්න නානායක්කාරට විරුද්ධව සාක්ෂ ිප්‍රමාණවත් බැවින් ඇප නොදිය යුතු බවත් ඔහු ලසන්ත ඝාතනයට ද සම්බන්ධ දැයි තව දුරටත් පරීක්ෂණ කරන බවත්ය.

නිදහස් කළ යුකු යැයි නීතිපති කියන බුද්ධි අංශ නිලධාරී ප්‍රේම් ආන්නද උදලාගම, ලසන්තගේ රියදුරු ඩයස් විසින් හදුණා ගත්තේ ඔහුගේ මුහුණ දැකීමෙන් බැවින් එය සාක්ෂියක් නොවේ යැයි කොල, රතු සහ නිල් පැහැති  ක්ෂමාලාපකයෝ කියති. එසේ නමුත් ඔහුගේ මුහුණ ඇදීමට අයිරු කීවේ ඔහුය. ඔහුට එම රෑපය පෙන්වා තහවුරු කර ගැනීම මුල් පියවර විය. දැන් කියන්නේ එම රෑපය ඔහුට පෙන්වීම වරදක් බවයි.

කැකිල්ලේ නඩු විභාග මීට වඩා හොඳය.

සෙස්ස පස්සට

—-

සුරනිමල නමින් ලියා කලම්බු ටෙලිග්‍රාෆ් අඩවියේ පළ වූ මෙම ලිපිය ද දැන් කියවන්න.

මුද්‍රිත මාධ්‍ය පුවත්පතක පළ වූ පිටු දෙකක දිගු ලිපියක් මම හොඳින් කියවීමි. එය නීතිපතිවරයාට සුදු හුණු ගෑමේ නිරුවත් උත්සාහයක් නොවේ.  නීතිපති පාරින්ද විසින් ලියන ලද ලිපිය හැගීම්බර නොවී  පරීක්ෂාවෙන් බැලිය යුතුය.

ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය විමර්ශනය කිරීමට ගත වූ දීර්ඝ කාලය තුළ  සීඅයිඩීය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද සාක්ෂි අපි ගනිමු.

1. මිනීමැරුම් ස්ථානයට ගිය පළමු නිලධාරියා උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල ය.

2. ඔහු ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොත ඔහුගේ භාරයට ගත්තේය.

3. ඔහු සටහන් පොතේ කවරයේ ඇති මෝටර් සයිකල් අංක ඇතුළුව තොරතුරු පොතේ සටහන් කළේය.

4. භාණ්ඩ ලේඛනය පරිපූර්ණ කිරීමෙන් පසු ඔහු සටහන් පොත භාර දුන්නේය.

5. ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ( ඪීඅයිජී)  වූ ප්‍රසන්න නානායක්කාර මහතා හමුවට සුගතපාල මහතා, සටහන් පොත සහ තොරතුරු පොත ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලදී.

6. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  නිසි පරිදි උප පොලිස් පරීක්ෂක සුගතපාල මහතා අදාළ ලියකියවිලි සමඟ ඔහුගේ කාර්යාලයේදී නියෝජ්‍ය පොලිස්පති  නානායක්කාර මහතා වෙත ඉදිරිපත් කළේය.

7. ඩීඅයිජී නානායක්කාර මහතා  එස්.අයි. සුගතපාල මහතාට අවවාද කරමින් “මේක ගෝඨාගේ වැඩක්, ඔබත් මැරෙන්න කැමතිද?” යනුවෙන් පැවසීය.

8. ඩීඅයිජී නානායක්කාර මහතා සටහන් පොත භාරගෙන එස්.අයි. සුගතපාල මහතාට යතුරුපැදි අංක පිළිබඳ ඔහුගේ සටහන් වෙනස් කරන ලෙස නියෝග කළේය.

9. එස්.අයි. සුගතපාල මහතා තොරතුරු පොතේ පිටු  ඉරා ගෙන යතුරුපැදි අංක පිළිබඳ යොමු කිරීම් ඇතුළුව ඔහුගේ නිරීක්ෂණ ඉවත්  කළේය.

10. ඔහු මුද්‍රණාලයකට ගොස් ඉවත් කරන ලද ඒවා වෙනුවට නව හිස් පිටු මුද්‍රණය කර ගත්තේය.

11. ඔහු යතුරුපැදි අංක පිළිබඳ යොමු කිරීමකින් තොරව ඔහුගේ සටහන් නැවත ලිවේය.

12. මෙම නඩුවට සම්බන්ධ නොවන වෙනත් නිලධාරියෙකුගේ සටහන් ඔහුගේ සටහනේ පිටුවලට ඉහළින් සහ පහළින් තිබූ අතර ඔහු ඒවා නැවත ලිවීමට සලස්වන ලදී.

13.  ජේෂ්‍යඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර,  සහකාර පොලිස් අධිකාරී තිසේරා,  පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන අය යටතේ  ඉහත සඳහන් සියල්ල, මුද්‍රණාල හිමියා ඇතුළුව ප්‍රකාශ මගින් සනාථ කර ගන්නා ලදී.  එසේ සිදු කරන ලද්දේ එල්ටීටීඊය ලසන්ත ඝාතනය කළ බවට විමර්ශනය මෙහෙය වමින් සිටි පොලිස් අධිකාරී වාකිෂ්ඨගේ නායකත්වයෙන් යුත් ත්‍රස්තවිමර්ශන අංශයෙන් විමර්ශනය ආපසු (2015න් පසු) භාරගත් පසු ය.

14. ඩීඅයිජී නානායක්කාර විසින් සටහන් පොත භාරගෙන ඔහුට පොලිස් තොරතුරු සටහන් වෙනස් කිරීමට අවශ්‍ය වූ බව එස්.පී. අධිකාරී ප්‍රකාශයක් මගින් තහවුරු කළේය.

15. ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් සාවද්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්  උප පොලිස් පරීක්ෂක සුගතපාල, එස්.පී. සහ ඩීඅයිජී නානායක්කාර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව  සීඅයිඩීයට නියෝග කළේය.

16. ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නිලධාරීන් රිමාන්ඩ් කළේය.

17. රජයේ නීතිඥවරයා හරහා නීතිපති දෙපාර්තමේන්තුව පසු දිනකදී මෙම නිලධාරීන්ට ඇප ලබා දීමට විරුද්ධ විය.

18. ලසන්ත ඝාතනය කිරීමේ මෙහෙයුම සඳහා භාවිතා කරන ලද සිම් කාඩ්පත් පහක් ලබා ගැනීම සඳහා පිච්චෙයි ජේසුදාසන්ගේ හැඳුනුම්පත භාවිතා කිරීම සම්බන්ධයෙන්  හමුදා බුද්ධි අංශ නිලධාරි කේ. පියවංශ අත්අඩංගුවට ගන්නා ලදී. මෝටර් කාර්මිකයෙකු වන පිචායි ජේසුදාසන් ද අත්අඩංගුවට ගන්නා ලදී.

19. සරත් ෆොන්සේකා ලසන්ත ඝාතනය කළ බවත් එසේ කළහොත් තමාට ප්‍රතිලාභ ලැබෙන බවත් ත්‍රස්ත විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක (එවකට) ප්‍රසන්න අල්විස් තමාට කියන ලෙස කී බව  පියවංශ අවස්ථා දෙකකදී අධිකරණයේදී පැවසීය.

20. 2020 දී එම ප්‍රසන්න අල්විස් විසින්ම පොලිස් පරීක්ෂක සුගතපාල සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර නීතිපති දෙපාර්තමේන්තුවට නිදොස් කොට නිදහස් කළ යුතු බවට වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.

21. එවකට නීතිපති දප්පුල ලිවේරා මෙම වාර්තාව ප්‍රතික්ෂේප කළේය.

22. වත්මන් නීතිපතිවරයා ලිපිය යවන්නේ රජය පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමට අදහස් නොකරන බව කියමිනි. ඒ ලසන්තගේ රියදුරු පැහැරගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රේම් උදලාගම, උප පොලිස් පරීක්ෂක සුගතපාල සහ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ය.

23. ලසන්ත ඝාතනය සහ රියදුරු ඩයස් පැහැරගෙන යාම එකිනෙකට සම්බන්ධ නොවන සිදුවීම් දෙකකි. පිටු දෙකක වාර්තාවක් සහිත පුවත්පතේ පොලිස් නිලධාරීන් දෙදෙනා පිළිබඳ සාක්ෂි නොමැතිකම පිළිබඳව ඇත්තේ පේළි තුනක් පමණි.

ඔබ තීරණය කරන්න.

සිංහල අනුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි.

Archive

Latest news

Related news