Thursday, February 6, 2025

ජනපති සහෝදරයා, පොරොන්දු අමතක කිරීම ගැන ලෙනින් කී දේ අමතකද? – ලොකු කුමා

(Sri Lanka Brief/06.04.2025) සන්ඩේ ලීඩර් කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංඟ ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබු මිල්ටෙරි බුද්ධි අංශ සාමාජිකයාත්, පොලීසියේ නිළධාරීන් දෙදෙනාත් නිදහස් කර මුදා හැරීමට කටයුතු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති වරයා කළ බලපෑම  බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබේ.මේ වන විටත් නීතිපතිවරයාගේ  එම බලහත්කාරී හා අයුක්ති සහගත විධානයට එරෙහිව මෙරට මාධ්‍යවේදී සමූහයන් නීතිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමටද සැළසුම් කර තිබේ.

කට කොනට සිනහව

කෙසේ වෙතත් අද දින (05) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වේ පැවැති රාජ්‍ය මාධ්‍ය හමුවේදී ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වරයා වූ අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් මාධ්‍යවේදීන් නීතිපතිවරයාගේ මැදිහත් වීම පිළිබඳව ප්‍රශ්න කෙරිණි.කට කොනකට සිනාවක් නගා ගත් මාධ්‍ය ප්‍රකාශක වරයා ඒ ප්‍රශ්ණයට පිළිතුරු දුන්නේ තඹ දොයිතුවකට එය ගණන් නොගන්නා ආකාරයේ සැහැල්ලු විදියටය.

ඔහු එහිදී පැවසුවේ ආණ්ඩුව තවමත් නීතිපතිවරයාගේ එම මැදිහත් වීම ගැන අධ්‍යයනය කරමින් සිටින බවත් නීතිපතිවරයා ඉවත් කිරීමේ⁣ අදහසක් ආණ්ඩුවට නැති බවත්ය.සමාජය පුරා මෙි වන විට බරපතල ආන්දෝලනයක⁣ට ලක් වී තිබෙන ප්‍රශ්ණයක් ආණ්ඩුව තවමත් අධ්‍යයනය කරමින් සිටින බවට මාධ්‍ය ප්‍රකාශකවරයා  පවසන්නේ සමාජයට එය බරපතල ප්‍රශ්ණයක් වූවාට ආණ්ඩුවට එය එතරම් සීරියස් ප්‍රශ්ණයක් නොවන නිසා වෙන්නට ඇත.

එපමණක්ද නොවේ.නීතිපතිවරයා⁣ ගේ අනීතික මැදිහත් වීම ගැන සමාජය කම්පනය⁣ට ලක් වී සිටිද්දීත් ආණ්ඩුව එය තවමත් අධ්‍යයනය කරමින් සිටින බවත් නීතිපති වරයා ඉවත් නොකරන බවත් පවසන්නේ නීතිපතිගේ කෙරුවාව සිද්ධ වන්නේ ජනාධිපතිවරයාවත් නොදැන යැයි සිතන්නට නොහැකිය .එසේත් නැතිනම් නීතිපතිවරයාට තමන්ගේ හිතූ මනාපයේ වැඩ රාජකාරි කරන්නට ආන්ඩුව ඉඩ දී ඇති බවට වූ අදහසක්ද ඉන් මතු කර ගන්නට හැකිය.⁣මේ කවර ආකාරයෙන් කල්පනා කළද අවසාන විග්‍රහයේදී අපට කියන්නට ඇත්තේ ආණ්ඩුවේ අත පය දැන් වැඩ කරන්නේ බලය ලබා ගැනීම සදහා ඔළුවේ ගොඩ ගැසී තිබුණ පොරොන්දු අනුව නොවන බව හොදින් පෙනෙන්නට තියෙන බවය.

තර්ජනය නීතියේ ආධිපත්‍යටයි

එහි පවතින බරපතලකම හා අවදානම වන්නේ සියලු පුරවැසියන් හ⁣ට  නීතිය යුක්තිය හා සාධාරණත්වය භුක්ති විඳීමට නොහැකි වටපිටාවක් නිර්මාණය වීමය.

රාජ්‍ය යාන්ත්‍රණය තුළ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීමට නිල බලයක් හිමි ආයතනයක අධිපතිවාදී මැදිහත් වීම අහිංසක යැයි සිතනවාට වඩා මතුපිටට ඉක්මනින් නොපෙනෙන අතිශය භයානක බවක් එහි පවතී. සමාජයේ සෑම පුරවැසියෙකුටම ඉන් බයක් ඇති විය හැක්කේ නීතිය හා යුක්තිය රාජ්‍ය පාලනයෙන් මිදී නිළමක්කාරයකු ගේ අභිමතය⁣ට යටත්ව හැසිරෙන බැවිනි.එසේත් නැතිනම් හසුරවන නිසාය.

බලය ගැනීමට පෙර ජනපති අනුර කුමාර සහෝදරයා

 සහෝදරයා දහ අතේ දිවුරමින් ඩෙඟා නැටුවේ මෙරට සිදුවූ ආන්දෝලනාත්මක මනුෂ්‍ය ඝාතනයන් හා පොදු දේපොළ කොල්ලකෑම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවටය.ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව පොදු දේපොල පනත යටතේ පළමු නඩුව වන්නේ හිටපු අමාත්‍ය අනුර යාපාට එරෙහිව පැවරූ නඩුවය.මෙම නඩුව සම්බන්ධයෙන් පසුගියදා අත් අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍යවරයා හා ඔහුගේ බිරිද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැරිණි.මේ මුදා හැරීමද සමාජය තුළ බරපතල ආකාරයෙන් ප්‍රශ්ණ කිරීමකට ලක් වූ කාරණයක් විය.ඒ මන්ද යත් 1982 අංක 12 දරණ පොදු දේපොළ විෂයෙහි ලා සිදු කරන පනත යටතේ ඉදිරිපත් කරන සැකකරුවකු නඩු විභාගය අවසන් වන තුරු රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තබා ගත යුතු බවට වූ නීතිමය ප්‍රතිපාදනයන් නිසාය.එම පනතේ 8(1) වගන්තියේ සදහන් වී ඇත්තේ නඩුවට නිමිත්ත වන වස්තු විෂය රුපියල් විසි පන්දහස ඉක්මවන බවට සහකාර පොලිස් අධිකාරීවරයකුගේ නිලය⁣ට පහත් නොවන නිලයකට අයත් රාජ්‍ය නිවේදිත නිළධාරියකු විසින් සහතික කරනු ලැබූ අවස්ථාවක නඩු විභාගය අවසන් කරනු ලබන තෙක් ඒ තැනැත්තා රිමාන්ඩ් භාරයේ තබා ගනු  ලැබිය යුතුය යන්නය.හිටපු අමාත්‍ය අනුර යාපා  හා ඔහුගේ බිරිඳ අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිනියකගේ සහතිකය සමගය.

යාපා නඩුවේ දී නීතිපති මිසින්

එහෙත් මෙම නඩු කරය අධිකරණයට ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයාගේ පාර්ශවයෙන් කිසිවකු පෙනී නොසිටීමද අවධානයට ගත යුතු සිදුවීමකි.එහෙත් පොදු දේපොළ පනතේ විධානයන් කිසිවක් නොතකා වග උත්තරකාර පාර්ශවයන් ඇප මත මුදා හැරිණි.⁣එම සිද්ධියද සමාජයේ බරපතල ලෙස කතා බහ⁣ට ලක් විය.ඊට පෙර ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා වූ හර්ෂණ නානායක්කාර  වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ සමූහ මිනිස් ඝාතනයට සම්බන්ධ වූ බන්ධනාගාර ⁣නියෝජ්‍ය කොමසාරිස්වරයකු වූ ළමාහේවාට තිලිණ  ප්‍රදානයක් කිරීමට සම්බන්ධ වීම ගැනද පොදු මහජනතාවගේ අප්‍රසාදය පල වී තිබුණි.

පොරොන්දු අමතකද?

ජනපතිවරයාගේ හා ආණ්ඩුවේ බල අධිකාරිත්වය තුළ සිදුවූ මෙවැනි ප්‍රශ්ණකාරී සිදුවීම් ජාතික ජන බලවේගය  ආණ්ඩුව බලයට පත් වීම සදහා පොදු ජනතාවට දුන් පොරොන්දු වලට සමපාත  නොවේ.ඒ නිසාම පුරවැසියන් කම්පනයට පත් කරවමින් නීතිමය ක්ෂේත්‍රය තුළ සිදුවූ මේ සිද්ධීන් යටි බිම් ගත රාජ්‍යයේ මැදිහත්වීම් බව ඇතමුන්ගේ අදහස වී තිබේ. මාධ්‍යවේදීීී ලසන්ත වික්‍රමතුංඟ ඝාතනයේ පොලිස් පරීක්ෂණ වසන් කළ සැකකරුවන් නිදහස් කිරීමට තීන්දු කළ නීතිපතිවරයා සේවයෙන් ඉවත් කිරීමේ අදහසක් ජාතික ජන බලවේගය ආණ්ඩුව තුළ නැති බවට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක වරයා කළ සඳහනද මෙහිදී අවධානයට ගත යුතුය.එය එසේවන්නේ නම් ආණ්ඩුව හා පැරණි දූෂිත නිළධාරීන් දීග කෑම ඇරඹී තිබෙන බව සිතා ගත හැකිය.ජාතික ජන බලවේගය ආණ්ඩුවේ න්‍යෂ්ඨිය වන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන් මේ වන විට හැසිරෙන උද්දච්ච ස්වභාවය ඔවුන්ගේ සමාජමය ප්‍රකාශනයන් තුළින් අනාවරණය වෙමින් පවතී.සැබෑවටම මෙම ඇමතිවරුන්ගේ බහුතරය පොදු  සමාජය හා ගණු දෙනු කරන්නේ ඔවුන්  තරම් ශුද්ධවන්තයන් හා බුද්ධිමතුන් මෙරට දේශපාලනයේ නැති බවට ඇඟවෙන ආකාරයෙනි.පැරණි දූෂිත රාජ්‍ය නිළධාරීන් ඔවුන්ගේ ශුද්ධ ආත්ම හා එක් වී යම් කාලසීමාවක් තුළ පාරිශුද්ධ භාවයට පත් වෙනු ඇතැයි මේ අමාත්‍යවරුන්ගේ අදහස වී ඇති බවද පෙනෙන්නට තිබේ.

රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමේ අපේක්ෂාව

මෙරට පොදු මහජනතාව ජාතික ජන බලවේගය බලයට පත් කරවීමේ කොන්දේසි අතර දූෂිත රාජ්‍ය තන්ත්‍රය පිරිසිදු කිරීමේ අපේක්ෂාවද විය.ජාතික ජන බගවේගය ආණ්ඩුව බලයට පත් වී දින සියය ඉක්මවූ පසුවද මහජනතාවට තවමත් මුණ ගැසෙන්නේ ඔවුන් දුටු හා අත්විඳි දූෂිත රාජ්‍ය නිළධාරීන්ය.මින් වඩාත් අපහසුතාවට හා ලැජ්ජාවට පත් වෙමින් සිටි⁣න්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් කරවීම සදහා දර දිය ඇදි ක්‍රියා කාරිකයන්ය.දූෂිත රාජ්‍ය නිළධාරීන් තමන්ගේ සහෝදර නායකයන් එක ගෙයි කෑම ගැන ඔවුන් තුළ පවතින  ලැජ්ජාව එසේ මෙසේ නොවේ.

ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා ගමින් ගමට යමින් වහසි බස් දොඩමින් සිය පාක්ෂිකත්වය චූන් කරමින් සිටී.එහෙත් ජනපතිවරයා තවමත් නොදන්නා කාරණයක් තිබේ.ඒ මේ වන විට ඔහුගේ රැස්වීම් වලට එන්නේ ජනතා විමුක්ති පෙරමුනේ කාඩරයට අයත් පවුල් වල සාමාජිකයන් පමනක් බවය.ජාතික ජන ⁣බලවේගය ආණ්ඩුව පසු ගිය කාලය තුළ සිදු කළ මරි මෝල් වැඩ නිසා ඉන් පදාසයක්ම මේ වන විට ගැලවී හමාරය.

ජනපතිවරයා ඇතුළු අමාත්‍යවරුන් රොත්ත ආණ්ඩු බලය හැසිරවීමේ ආධුනිකයන් බවට තවදුරටත් තහවුරු කරමින් සිටී.ප්‍රශ්ණය වන්නේ මේ තහවුරුව අවසන් විය හැක්කේ බරපතල සමාජ ඛේදවාචකයකින් වීමය.

රාජ්‍ය පාලනය යහමින් හා නිසි ආකාරයෙන් පැවතීමට අනුගමනය කළ යුතු පළමුවන මූලධර්මය වන්නේ පාලකයා අවංක වීමය. රටේ ජනතාව තැබූ විශ්වාසය පළුදු නොකර ඊට ගෞරවණීය වීමයි.එහෙත් මේ වන විට ජනපති අනුර කුමාර සහෝදරයා ⁣ඇතුළු ජාජබ ආණ්ඩුවේ කෙරුවාව හා ආණ්ඩුව අත් හදා බලමින් සිටින පාලන මොඩලය වටහා ගත නොහැකි පොදු ජනතාව අන්ද මන්ද කරවීමට හේතු වී තිබේ.

ලෙනින් සහෝදරයාගේ තෝරා ගත් කෘති 5 වෙළුමේ 180 පිටුවේ මෙසේ සදහන් වී ඇති බව ආණ්ඩුවේ ජවිපෙ සහෝදරවරුන්ට අපි සිහිපත් කරමු.

“…ඉතිහාසයේ නව නැම්මක් ඇති වූ විට ප්‍රගතිශීලී පක්ෂ පවා කලක් යන තෙක් නව තත්වය අනුව හැඩ ගැසීමට නොහැකිව සිටි අවස්ථා බොහෝයි.

එවැනි අවස්ථාවල එම පක්ෂ කලින් නිවැරිදි වූ එහෙත් දැන් අර්ථවත් භාවය සම්පූර්ණයෙන්ම ගිලිහුණු ,එනම් ඉතිහාසයේ නව නැම්ම ක්ෂණික වූ තරමටම ක්ෂණික ලෙස එම අර්ථය ගිලිහුණු ,සටන්පාඨ ප්‍රතිරාවය කිරීමෙහි යෙදී සිටිනු ඇත….”

Archive

Latest news

Related news