දශක තුනකට අධික කාලයක් පුරා ශ්රී ලංකාවේ මාධ්යවේදීන් හා මාධ්ය ආයතන අරභයා සිදුකොට ඇති අපරාධ ලැයිස්තුව ඉතා දීර්ඝ එකකි. එම ලැයිස්තුව තුළ ඇති බොහෝ අපරාධ රාජ්ය හෝ රාජ්ය නොවන සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකරන ලද ඒවා ලෙස ප්රකටය. එයින් බොහොමයක් නීතිය හමුවේ දීර්ඝ කාලයක් ප්රශ්න කෙරෙමින් පවතී. එමෙන්ම යුක්තිය ඉටුවීම ප්රමාද වෙමින් තිබීම ද සුලභ තත්වයකි.
මාධ්යයට එරෙහි අපරාධ බොහෝ සිදුවී ඇත්තේ ජනවාරි මාසය තුළ බැවින් ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය ඇතුළු ලංකාවේ මාධ්ය සංවිධාන මෙම අපරාධයන්ට යුක්තිය ඉල්ලා වසර ගණනාවක් වාර්ෂිකව කරනු ලබන හඬ නැගීම “කළු ජනවාරිය ” නමින් මෙවරද සිදුකොට ගත වී ඇත්තේ දින කිහිපයක් පමණි. කළු ජනවාරිය තුළ සිදු වූ බිහිසුනු සංවිධානාත්මක අපරාධයක් වු මාධ්යවේදී ලසන්තවික්රමතුංග ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන විත්තිකරුවන් ලෙස මෙතෙක් චෝදනාවන්ට සෘජුව හෝ වක්රව සබඳතා දැක්වූ ආරක්ෂක අංශ සාමාජිකයින් තිදෙනෙකු මුදා හැරීමට “කළු ජනවාරියේ ” උණුසුම මැකි යන්නටත් පෙර නීතිපතිවරයා විසින් නිර්දේශ කොට ඇතැයි පළවී ඇති වාර්තා සම්බන්ධව අපගේ දැඩි අවධානය යොමුවී ඇත. එවැනි තත්වයක් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ක්රියාවට නැංවීමේ සැලැස්මක් ක්රියාත්මක වෙමින් පවතින්නේ නම් ඒ කෙරෙහි අපගේ දැඩි පිළිකුළ හා විරෝධය නීතිපති දෙපාර්තමේන්තුව වෙතත්, ජනාධිපතිවරයා -අධිකරණ ඇමති – ජනමාධ්ය ඇමති ඇතුළු සමස්ත රජය වෙතත් දක්වන්නෙමු.
රටේ සිදුව ඇති අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස චෝදනා ලැබ ඇති ආරක්ෂක අංශ සාමාජිකයන් එම චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය දැක්වු විශ්රාමික ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සංගම් විසින් කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් ලත් නිර්දේශ කිරීමක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්රියාවට නගමින් පවතින්නේද යන සැකය මේ මොහොතේ සමාජය තුළ මතුව තිබීම ඉතා බරපතල තත්වයකි. අවනීතිය රජ කළ සමාජයකට නීතියේ ආධිපත්යය තහවුරු කිරීමට බහුතර ජනබලය ලද රජයක් යටතේද තවදුරටත් අවනීතියම ක්රියාත්මක වන්නේ නම් එය කණගාටුවට කරුණකි.
රටේ සිදුව තිබූ බරපතල අපරාධවලට වගකිවයුත්තන්ට අනිවාර්යයෙන් දඬුවම් පැමිණවීමට ජනාධිපතිවරණ වේදිකාවල සපථ කළ වත්මන් විධායක ජනාධිපතිවරයාගෙන් අප ඉල්ලා සිටින්නේ එම අයුක්ති සහගතඅපරාධවල වරදකරුවන්ට දඬුවම් පැමිණවීමට රටේ ස්වාධීන අධිකරණයට ඇති බලයට බලපෑම් සිදු නොකරන ලෙසයි. එමෙන්ම මාධ්යවේදීන් හා ජනමාධ්ය ආයතන ඉලක්ක කරගනිමින් සිදුකළ අපරාධවල වගකිව යුත්තන්ට තරාතිරම නොබලා දඬුවම් කොට රට තුළ නීතියේ ආධිපත්යය තහවුරු කිරීමට සහය දක්වන මෙන් ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්යවේදීන්ගේ සංගමය විධායක ජනාධිපති,අධිකරණ ඇමති ඇතුළු වගකිවයුතු සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමු.
2025.02.05
මාධ්‍ය නිවේදනයයි
ලසන්ත ඝාතනය, නීතිපති ලිපිය දණ්ඩමුක්තිය නීත්‍යානුකූල කිරීමේ නින්දිත උත්සාහයක් –
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවක් බිහිසුණු ලෙස ඝාතනය කිරීම ඇතුළු අපරාධවලට යුක්තිය ඉල්ලා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද සෙසු මාධ්‍ය සංවිධානද අනුස්මරණය කරන ලද කළු ජනවාරිය ගෙවී යන මොහොතේම ලසන්ත ඝාතන නඩුවට සම්බන්ධ බවට සැකකෙරෙන තැනැත්තන් තිදෙනෙකු නිදහස් කිරීමට හැකියාව ඇති බවත් ඔවුන්ට එරෙහිව නඩු කටයුත්තක් පවත්වා ගෙන නොයන බවත් සඳහන් කරමින් නීතිපති පාරින්ද රණසිංහගේ අත්සනින් ලිපියක් නිකුත්වීම බරපතල සමාජ කම්පනයක් මතුකර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජාතික ජනබලවේග ආණ්ඩුව ජනතාව හමුවේ තබන ලද පොරොන්දු අතර මේ බිහිසුණු අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට යුක්තිය ඉටු කිරීමද මූලික කරුණක් ලෙස සඳහන් විය. ලසන්ත ඝාතනය සිහිපත් කෙරෙන ජනවාරි 08 වැනිදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සපථ කරනු ලැබුවේද මේ අපරාධවලට යුක්තිය ඉටු කරනු ලබන බවයි.
එවැනි පසුබිමක පාරින්ද රණසිංහ නීතිපතිවරයා පත්කරන ලද්දේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් යැයි කියා ඇඟ බේරා ගැනීමේ හැකියාවක් වගකිව යුතු ආණ්ඩුවකට තිබිය නොහැක.
ශ්‍රී ලංකාව තුළ අපරාධකරුවන්ට නිදහස හිමිවන දණ්ඩ මුක්තියක් නෛතිකව ක්‍රියාත්මක වන්නේ නැතත් මෙවැනි පියවර මගින් එවැන්නකට නීතිමය පසුබිමක් ලබාදෙන බව අපගේ නිරීක්ෂණයයි.
එබැවින් අප දකින්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකද ඔහුගේ රජයද මේ සම්බන්ධයෙන් වහා මැදිහත් වී පියවර ගත යුතු බවයි.
නැතහොත්, යුක්තිය අපේක්ෂා කරන සියළු පාර්ශ්ව ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව එකම පෙරමුණකට ගොනු වීම වැළැක්විය නොහැකි බවද ජනතාව දේශපාලන බලය ලබාදීමේදී අපේක්ෂා කරන ලද සුජාත භාවය පිළිබිඹු කිරීමට ආණ්ඩුව මෙන්ම ජනාධිපතිවරයා වගබලා ගතයුතු බවද අපි නැවත නැවතත් සිහිපත් කරන්නෙමු.