Wednesday, January 8, 2025

මුලින්ම ස්ත්‍රියකට දුන් ජාතික හැඳුනුම්පත භික්ෂුණී ගෙල සිඳින මෙවලමක් නොවීමට නම්! – මෙලනි මානෙල් පෙරේරා  

ඡායාරූපය දිනමිණ වෙතිනි

ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අනන්‍යතාවය සනාථ කරන්නට උපයෝගීවන උප්පැන්න සහතිකයට පසුව ගැනෙන පළමු සහතිකය ජාතික හැඳුනුම්පත වේ. වයස අවුරුදු පහළොව සිට සියලුම ශ්‍රී ලාංකීක පුරවැසියන් හට ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙහිලා ජාතික හැඳුනුම්පත (National Identity Card)  හිමි වීම, රටේ පවතින නීතියට අනුව අනිවාර්ය වේ. එසේ වුවද, වයස සම්පූර්ණ කළ සියලු පුරවැසියන් සතුව අද දවසේදී සිය ජාතික අනන්‍යතා පත්‍රය  නැතිවීම යහපැවැත්මකට මෙන් ම යහපාලනයකට ද බාධාවක් වන්නේය. ජාතික හැඳුනුම්පත අහිමි පුරවැසි පිරිසක් ද හැඳුනුම්පත තිබුණ ද ඉන් සිය අවශ්‍යතා සපුරාගත නොහැකි පුරවැසි පිරිසක් ද ශ්‍රී ලාංකීය සමාජය තුළ “පුරවැසියන්” සේ අද දවසේත් ජීවත්වීම කොතෙක් දුරට සාධාරණද යන්න, කඩිනමින් විසඳුම් සැපයීය යුතු බරපතල තත්ත්වයකි.

නිසි වයස දී, තනිව පුද්ගලයෙක් සමාජගත වීමේදී පැය විසිහතරක් තුළ සිදුකෙරෙන බොහෝ සමාජ ක්‍රියාකාරකම් සඳහා පුද්ගල හැඳුනුම් පතෙහි අවශ්‍යතාවය , වටිනාකම බෙහෙවින් ම වැදගත් වෙයි. ප්‍රයෝජනවත් වෙයි.

ජාතික හැඳුනුම් පතෙහි උප්පත්තිය

ජාතික හැඳුනුම්පතක ඇති ඒ වැදගත්කම අරඹයා තම පුරවැසියන් වෙත රාජ්‍යයකින් ඉටුවිය යුතු ප්‍රධාන කර්තව්‍යයක් වන පුද්ගල අනන්‍යතාව සනාථ කිරීමේ මෙවලමක් ලෙස “ජාතික හැඳුනුම්පත” නිර්මාණය කරන්නට විය. ඒ අනුව, 1971 අංක 28 සහ 37 පනතින් සංශෝධිත 1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත 1981 අංක 11 දරන පනත සහ 2016 අංක 8 දරන පනත මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සහ භාවිතය නීතිගත කෙරිණි.

1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත සම්මත වීමත් සමඟ ශ්‍රී ලංකාවේ පුද්ගලයින් ලියාපදිංචි කිරීම සහ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම සඳහා නීතිමය පසුබිම ආරම්භ විය. මෙම පනත ක්‍රියාත්මක කිරීම සඳහා 1971 අප්‍රේල් 05 වැනි දින රෙගුලාසි හඳුන්වා දීමෙන් පසුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව 1971 ඔක්තෝබර් 01 දා, අංක 38, කැප්පෙටිපොළ පාර, කොළඹ 05 යන ලිපිනයෙහි දී පිහිටුවන ලද බැව් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ (https://drp.gov.lk/en/history.php)  වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ඒ අනුව, ප්‍රථම ජාතික හැඳුනුම්පත මීට වසර 52කකට පෙර, 1972 සැප්තැම්බර් 04 වෙනි දා, එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරය හෙබවූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හට නිකුත්කර ඇත. (පිංතුරය – සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය/පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය). 1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පන‍ත‍ේ සිට 1971 අංක 28/32 දරන  සංශෝධන පනත , 1981 අංක 11 දරන සංශෝධන පනත, 2016 අංක 8 දරන සංශෝධන පනත සහ අංක 14991 හා 1972- 12- 30 , අංක 637/6/ හා 1990- 11- 29 , අංක 2301/41 හා 2022- 10- 13 , අංක 2355/12 හා 2023- 10- 23 දිනැති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ගැසට් නියෝග හා පනත් මත විටෙන් විට ජාතික හැඳුනුම් පත සකස්වීම පිළිබඳව සංශෝධන හරහා දිගු ගමනක් පැමිණ ඇත.

දිගු ගමන තුළ මගහැරෙන අනන්‍යතා

“මම නම් ඡන්දේ දුන්නා. නමුත් ජාතික හැඳුනුම්පත නැති නිසා ඡන්දේ භාවිතා කරන්න බැරිවුණු අපේ තව භික්‍ෂූණීන්වහන්සේලා පිරිසක් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, විදේශ සම්මන්ත්‍රණවලට ආරාධනා ලැබෙන භික්‍ෂුණින්වහන්සේලා ඉන්නවා, නමුත් ඒ අයට ඒ අවස්ථාව ගන්න විධියක් නැහැ විදේශ ගමන් බලපත්‍රය නැතිව. ගමන් බලපත්‍රය හදාගන්න විධියක් නැහැ ජාතික හැඳුනුම්පත නැතිව” යැයි පසුගිය දා ඉන්දියාවේ දී පවත්වන්නට යෙදුණු සම්මන්ත්‍රණයකට සහභාගිීවන්නට සූදානම් වෙමින් සිටි, ශාස්ත්‍රපති මඩුල්ලේ විජිතනන්දා භික්‍ෂුණීන්වහන්සේ පැවසූහ.

ශාස්ත්‍රපති මඩුල්ලේ විජිතනන්දා භික්‍ෂුණී

ඒ නොහැකියාවට නැතහොත් නොලැබීමට හේතුව කුමක් දැයි විමසූ විට විජිතනන්දා භික්‍ෂුණීන්වහන්සේ කීවේ මෙවැනි කථාවකි!

“මම මහණ වුණේ 1982 වසරේදී, එවකට මට වසය අවුරුදු 16යි. 1984 දි තමා, මට අවුරුදු 18 සම්පූර්ණ වූණාට පස්සේ මගේ ජාතික හැඳුනුම්පත හැඳුවේ. එතකොට මම සිල්මාතාවක්. දැන් ඒ හැඳුනුම්පත පරණයි. මැකිලා ගිහිං. නමුත් මම ඒක අලුත් කරගන්න ගියාට බැරිවුණා. මේ හැම බැරිවීමකට ම හේතුවක් තියෙනවා. ඒ හේතුව මානූෂ්‍යවාදී නොවන බවක් තමයි අපි දකින්නේ”යැයි පානදුර, ගොරකාන සාක්‍යධීතා පුහුණූ හා භාවනා මධ්‍යශ්ථානයේ ප්‍රධානී විජිතානන්ද භික්‍ෂුණීන්වහන්සේ කීහ.

එකී නොහැකියාවට බලපෑ එකම හේතුව

ලංකාවේ සිල්මාතා සංගමය කාලයක් තිස්සේ පැවතී සංගමයක් වන අතර, 1998 දී නිල වශයෙන්  ලංකාවේ භික්‍ෂුණි ශාසනය ආරම්භ වූ බවත්, එවකට භික්‍ෂුණීන් වහන්සේ ලා සැමට හැඳුනුම්පත ලබාදුන් බවත්, නමුත් පසුකාලීනව ලංකාවේ මෙවැනි භික්‍ෂුණී ශාසනයක් නැතැයි කියා, භික්‍ෂුණී ශාසනය අත්හිටුවා දමා ඇති බවත් විජිතනන්දා භික්‍ෂුණීන්වහන්සේ පැහැදිළි කළ හ.

එම අත්හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙසට, සිල්මාතා සංගමයේ ලියාපදිංවි වී නොමැති භික්‍ෂූණිීන්වහන්සේලාට ජාතික හැඳුනුම්පත ලබාගන්නට නොහැකි වී ඇති අතර, වර්ථමානය වන විට අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්‍ෂූණීන්වහන්සේලාට ද, අධ්‍යාපනීක වශයෙන් හෝ සමුළු, සම්මන්ත්‍රණ හෝ වෙනත් කාර්යයක් සඳහා විදෙස්ගත වන්නට අවස්ථාවක් ලදොත්, ගමන් බලපත්‍රය නොමැතිකම තුළ එම අවස්ථාව අහිමි වී යෑම ඉතාම කණගාටුදායක තත්ත්වයක් බව විජිතනන්දා භික්‍ෂුණීන්වහන්සේ පෙන්වාදුණි.

“වසර 18ක් සිල්මාතාවක් වෙලා හිටියා, වසර 02ක් සාමණේර වෙලා ඉඳලා 2002 දී තමයි මම උපසම්පදා ලැබුවේ. මගේ හැඳූනුම්පත තියෙන්නේ සිල්මාතා කියලා. මම ඒක වෙනස්කර ගන්න අවශ්‍යකරන දේවල් භාරදුන්නත් ආපසු හරවා එවා තිබුණා සිල්මාතා සංගමයෙන් ලබාදිය යුතු ලිපිය නැහැ කියලා”.

ප්‍රාදේශීය ලේකම් හාමුදුරුවෝ පවා භික්‍ෂූණින්වහන්සේ වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබාදී ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටිය ද සිල්මාතා සංගමයේ ප්‍රාදේශීය ලේකම් මෑණියන්ගේ අත්සන සහිත ලිපිය නොමැති හෙයින් හැඳුනුම්පත් නිකුත් කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ලේකම් හාමුදුරුවන්ගේ රෙකමදෝරුව ද ප්‍රතික්‍ෂේප කළේ යැයි පැවසූ විජිතනන්දා භික්‍ෂුණීන්වහන්සේගේ කළකිරීමේ ස්වරය, තමන්ගේ ම ගෞරවනීය පාර්ශවයක් විසින් තම කුටුම්ඹයා වෙත එල්ලකරන අසාධාරණ සැළකිල්ල පිළිබඳ සිය කණගාටුව එසේ අවධාරණය කළහ.

වර්ථමානයේ දී, උපසම්පදාව ලද භික්‍ෂූණීන්වහන්සේලා බොහෝ පිරිසක් ලංකාවේ වැඩවසන අතර, එකී භික්‍ෂූණීන්වහන්සේලා වස් ආරාධනාව, කඨින පිංකම සහ ගමේ පන්සල සමග ඇති සහසම්භන්ධතාව ඉතා ඉහළින් පවතින අතර, එය සාමාජීය වටිනාකමකින් යුත් සාමාජීය මෙහෙයක් සිදුකරනු ලබන සුවිශේෂනීය දායකත්වයක් බැවින් සිල්මෑණීවරුන්ට වඩා භික්‍ෂුණීන්වහන්සේලාගේ සමාජ සම්බන්ධතාව සහ මෙහෙවර ඉදිරියෙන් පවතින බව විජිතනන්දා භික්‍ෂුණීන්වහන්සේගේ පැහැදිළි කිරීමයි.

එසේ නම්, බෞද්ධ කටයුතු සඳහා එවැනි දායකත්වයක් සැපයීම තුළින් සමාජය සුවපත් කරන මාතාවන් පිරිසක් වෙත එල්ලවී ඇති ඒ අයහපත් බලපෑම, තවදුරටත් පවත්වාගෙන යෑම කොතෙක් දුරට මානූෂීක ද යන්න ශ්‍රී ලංකාවේ බුද්ධශාසන අමාත්‍යංශය සහ බෞද්ධාගමීක කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සිය පුළුල් අවධානයට යොමුකළ යුතු කාලීන අවශ්‍යතාවක් බව පෙනී යයි.

සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවේ ද කොටසක්

වත්මන් ශ්‍රී ලංකාව තුළ සැළකිය යුතු ප්‍රමාණයක සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවක් ද ජීවත්වන අතර ඔවුන් හා බැඳුනු ජාතික හැඳුනුම්පත් විෂමතාවක් ද පවතියී. සංක්‍රාන්ති ක්‍රියාවලිය නැතහොත් පරිවර්ථනීය ක්‍රියාවලියම විශාල බරපැනක් මත සෙමෙන් සිදුවන ක්‍රියාවලියක් වීම, එම ප්‍රජාවේ ඇතැමෙකුට ජාතික හැඳුනුම්පත අහිමිවීමට බලපා ඇති ප්‍රධානම බාධකය ලෙසට ඔවුන් ම ප්‍රකාශ කරති.

“හරි විධියට මම ප්‍රොසෙස් එකේ ගිය හිංදා,2022 දී මගේ නැෂනල් අයී ඩි එක හදාගත්තා. නිතරම පරීක්‍ෂණවලට සහ උපදේශනවලට මුහුණ දීලා මාස 06ක් පිළිවෙලට අදාළ රෝහල් ප්‍රථිකාර ගත්ත නිසා, මම, සමාජභාවී සම්භවයේ පසුවන, හෝමෝන තෙරපි කරන, මානසීක මට්ටම සුදුසු තත්ත්වයක පවතින කෙනෙක් කියලා සඳහන් කරලා, මගේ නව අනන්‍යතාවයෙන් ජාතික හැඳුනුම්පත ලබාගන්න අවශ්‍යකරන අනුමැතිය ලබාදුන්නා.”යැයි වත්මනේදී කටුණායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ වෘත්තිකයෙකු වන 26 හැවිරිදි එච්.එ.එස්.හෙට්ටිආරච්වි පැහැදිළි කළේය.

නිසි ක්‍රමවේදය තුළ සංක්‍රාන්ති ක්‍රියාවලියේ සහතිකය එනම් ස්ත්‍රී පුරුෂ භාවය හඳුනාගැනීමේ සහතිකය වන GRC අනුමැතිය ^Gender Recognition Certificate) මගින් පමණක් ඔවුන්ගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳූනුම්පත වැනි ප්‍රධාන අත්‍යවශ්‍ය ලේඛණ සකස්කරගැනීමේ බලය පැවරෙන බව හෙට්ටිආරච්වි මෙන් ම, සිය සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වෙනුවෙන් හඬ නගන වැඩිහිටි සමාජ ක්‍රියාකාරිණියක වන චානූ නිමේෂා ද, සිවිල් සමාජ ක්‍රියාධරයෙකු ලෙසට සේවය කරන සංක්‍රාන්තිකයෙකු වන 35 හැවිරිදි සිහින තේනුවර ද ප්‍රකාශ කළ සත්‍යයයි.

ඇපියරන්ස් එකට 2000 යි, අයිඩෙන්ටියට 1500යි

නිදහස් වෙළෙඳ කලාපයට රැකියා සොයා පැමිණෙන බොහෝමයක් සංක්‍රාන්ති ලිංගික පුද්ගලයින් හට එකවර ස්ථීර රැකියාවක් නොලැබෙන අතර, පළමුව, ධෛනික රැකියා ^manpower job) කිරීමට සිදුවේ. එහි දී හැඳුනුම්පත අනිවාර්යෙන් ලබාදිය යුතු අතර, පරිවර්තනීය සමය තුළ සිටින බැවින් හැඳුනුම්පතෙහි රූපය හා ඔවුන්ගේ වත්මන් ස්වරූපය අතර වෙනස්කම් නිරීක්‍ෂණය වූ විට බොහෝ අවස්ථාවල manpower රැකියාව අහිමි වන අවස්ථා එමට ඇති බව ත්, එනිසාම ඔවුන් දැවැන්ත ආර්ථීක ප්‍රශ්නවලට ද මුහුණ දෙන බවත් අශාන් ශමිල්ක සහ සිහින තේනුවරගේ විග්‍රහයයි.

එහෙත්, ඇතැම් අවස්ථාවල දී හැඳුනුම්පත නොබලා දෛනික වැඩවලට බඳවා ගෙන පිරිමි පාර්ශවයට සීමා වන බරවැඩ යනාදියට අනුයුක්තකර, දවස අවසානයේ දී වෙිතනය ලබාගැනිම සඳහා ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීමේ දී, ඉන් කාන්තා රූපයක් නිරීක්‍ෂණය වන බැවින් “ආ උඹලා මෙහෙමද” කියා සමච්චලයට ද භාජනය කරමින් ලබාදෙන්නේ කාන්තා ශ්‍රමිකයින් වෙත ලබාදෙන අඩු වේතනයක් යැයි ඔවුහු පවසති.

“සාමාන්‍යයෙන් manpower loading – unloading job එකක් කළාම පිරිමි ළමයෙක් රුපියල් 2000.00ත් – 3000.00ත් අතර දෛනික පඩියක් ගන්නවා. නමුත් මැරෙන්න වැඩකරලා, දවස අවසානේ තමන්ගේ කාන්තා රූපය සහිත පැරණි හැඳුනුම්පත ඉදිරිපත් කළාම  ලැබෙන්නේ රුපියල් 1500.00ක් 1800.00ක් විතරයි. ඒ විතරක් නෙවෙයි, ලැබෙන අපහාසයත් එමටයි. සමහර අවස්ථාවල ඊළඟ දවසේ ඉඳලා රැකියාව ලැබෙන්නෙත් නැහැ. සමහර වෙලාවට අපේම ළමයි ඒ හිරිහැර අපහාස ඉවසන්න බැරිව රැකියාව අතහරින අවස්ථාත් තියෙනවා.” යැයි  සහ සිහින පැහැදිළි කළහ.

සංක්‍රමණික සේවකයින්ටත් ප්‍රශ්නයක්

තාක්‍ෂණීක හැඳුනුම්පතකට මාරු වීම අත්‍යවශ්‍ය පියවරක් බව පෙනී යයි. මන්ද, ජාතික හැඳුනුම්පතෙ හී  සිය ඉපදීම, මහනුවර සහ කිළිනොච්චි වශයෙන් සටහන් වූ කටුණායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ රැකියා කරමින් සිටි ෂෙල්ටන් කරුණානායක සහ කමලේෂ් නාදන්පුල්ලේ යන අය හදිසි මුදල් අවශ්‍යතාවයකට සිය බිරින්දෑවරුන්ගේ රන් භාණ්ඩ උගස්කිරීමට රජයේ සහ පෞද්ගලීක බැංකු දෙකකින් ඉල්ලුම් කළ ද ජාතික හැඳුනුම්පතෙහි ඔවුන්ගේ උපන් ස්ථානය, දැනට පදිංචි ස්ථානවලින් වෙනස් ව සටහන්ව ඇති බැවින් ලක්‍ෂ 12ක් පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ උගස්කර සිය හදිසි අවශ්‍යතාව ඉටුකරගන්නට නොහැකි විය. බැංකු දෙකෙන් ම ඔවුන් දෙදෙනා ප්‍රතික්‍ෂේප වී ඇත.

සූරියකන්දේ සිට පැමිණ කටුණායක නේවාසිකව, කලාපයේ මෑන් පවර් රැකියාවක නිරත නන්දනී සූරියආරච්චි ද ගමේ සිටින දරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතාවකට පොලියට මුදල් ලබාගැනීමට ගියද, සිය ජාතික හැඳුනුම්පතෙහි ලිපිනය සූරියකන්දේ යනුවෙන් සඳහන් බැවින් පොලියට මුදල් දීම ප්‍රතික්‍ෂේප කර තිබුණි.

තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වූ සාරාණ්‍යා කෞමිණි, අතපසුවීමකින් ජාතික හැඳුනුම්පත නිවසේ දමාගොස් තිබූ අවස්ථාවක සිය අනන්‍යතාව තහවුරු කරගන්නට නොහැකිව, බැංකුවෙන් මුදල් ගැනීම නිෂ්ප්‍රභාවූයේ යැයි සඳහන් කරමින් කියා සිටියේ, “තවත් ප්‍රමාද නොවී ශ්‍රී ලාංකීක පුරවැසියන්ට තාක්‍ෂණීක හැඳුනුම් පතක් නිකුත් කිරීම ඉතාම කඩිනමින් සපුරා දිය යුතු අවශ්‍යතාවයක්. ඒ පහසුකම බැංකු කටයුතුවලට වගේම වෙනත් නීතිමය කටයුතුවලදී කිසිම බාධාවකින් තොරව, භාවිතා කරන්න පුලුවනි. අපේ මුලික දත්ත ටික සුරක්‍ෂිතව ගබඩාවෙලා තිබුණානම් අපි කොහේ ගියත් අපේ අනන්‍යතාවය ඔප්පුකරන්න පුළුවන් වෙනවා” යනුවෙනි.

GRC එක තිබුණත් හැඳුනුම්පත අසීරුයි

“රෝහල් ක්‍රියාවලිය තුළදීම, ට්‍රාන්ස් අයගේ ජාතික හැඳුනුම්පත වගේ ම අනෙක්  අත්‍යවශ්‍ය ලියවිලි මාරුවීමත් සිදුවීම ඉතාම අත්‍යවශ්‍යයි. ඒක ඒ අයට සැනසිළිදායි පියවරක් වෙනවා.” යැයි වෙළෙඳ කලාපයේ ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාකාරී වන “ස්ටෑන්ඩ් අප්” ව්‍යාපාරයේ විධායක අධ්‍යක්‍ෂිකා අශීලා දංදෙණිය පැවසීය.

ඇය පැහැදිළිකරන ආකාරයට, “අඩුපාඩු සහිත වුවද, ට්‍රාන්ස් ජෙන්ඩර් ප්‍රොසෙස් එක සඳහා රජයේ ක්‍රමවත් වැඩපිළිවෙලක් තිබෙනවා. ඒත්, GRC එක ලබාගත්තත් ට්‍රාන්ස් අයට ගමට යන්න වෙනවා ග්‍රාමසේවක සහතිකය ලබාගන්න. නමුත් එයාලගේ ට්‍රාන්ස් වීමත් එක්ක ගමේ ඉන්න බැරි නිසානේ ගමෙන් එළියට ඇවිත් ඉන්නේ. ඒ නිසා, යළිත් ගමට යෑම ඉතාම දුෂ්කර කටයුත්තක් නිසා මේ අය ලියාපදිංචි වුණු රෝහලේ වෛද්‍යවරු සහ උපදේශකයින් හරහා සහතික කරගැනීමකින් ඔවුන්ගේ නව හැඳුනුම්පත ඇතුළු අදාළ අනන්‍යතා ලියවිලි හදාගන්න නිවරැදි ක්‍රමවේදයක් නිලවශයෙන් හඳුන්වාදීම ඉතාම වැදගත් කාලීන අවශ්‍යතාවක් වෙනවා” යැයි අශීලා දංදෙණිය කීවේය.

එමෙන් ම, වර්තමානයේ දියණූ තාක්‍ෂණය ද භාවිතා කරමින් දැනට භාවිතා කරන ජාතික හැඳුනුම්පත වෙනුවට ඩිජිටල් හැඳූනුම්පතක් ඉදිරිපත් කරන්නට රජය උත්සාහා ගන්නේ නම් එය ඉතාම උසස් කාලීනව ඉදිර පියවරක් තබන අත්‍යවශ්‍ය කාර්යයක් බව ද ඇය සඳහන් කළේය.

2024 නොවැම්බර් මස 14 වෙනි දා පැවතී මහා මැතිවරණයෙන් එෛතිහාසික ජයග්‍රහණයක් ලබමින් පත් වූ ජාතික ජන බලවේගය ආණ්ඩුව, ශ්‍රී ලාංකීක පුරවැසියන්ගේ ජාතික හැඳුනුම්පත නවතාවයකට පත්කරමින් තාක්‍ෂණීක හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා බව අලුත් ආණ්ඩුවේ වැඩ අතර කෙටුම්පත් වී ඇත. එය අතීශ්‍ය දැවැන්ත වැඩපිළිවෙලකි. තාක්‍ෂණයෙන් ඉහළ එවැනි මට්ටමක පුද්ගල අනන්‍යතාව ජනගත කරන්නට පෙර සමස්ත රට තුළ සෑම ක්‍ෂේත්‍රයකම දැවැන්ත තාක්‍ෂණීක මෙහෙයුමක් රෝපණය කළ යුතුය.

නොගැලපෙන නිර්ණායක නිසා පුරවැසි අයිතිය කප්පාදු නොවන්නට

මිනිස් ජීවිත අවුල්කරන, සමස්ත සමාජය විනාශකරන, නීතියේ ඇස් වසා ඉතාම ඉහළ ඝනයේ විවිධ සාපරාධී ක්‍රියා සිදුකරන අපරාධකාරයින්, අතීශ්‍ය දරුණු, අමන පුද්ගලයින් පවා රාජ්‍යක් විසින් නිකුත් කරන ජාතික හැඳුනුම්පතේ උරුමකරුවන් වන විට,සමාජයක් යහපත් කරන්නට කටයුතු කරන, විවිධ මෙහෙවෙරවල නිරතව සිටින,සැදැහැවත් ජනතාවගේ සිත්සතන් සුවපත් කරන භික්‍ෂූණීන්වහන්සේලා හට ජාතික හැඳුනුම්පත නිකුත් කරන්නට සිල්මාතා සංගමය හා මහානායක හාමුදුරුවරුන් දක්වනවා යැයි කියන තදබල විරෝධය නිර්මල බුදු දහමේ ප්‍රතිපත්තිවලට, ඉගැන්වීම්වලට පටහැනි නොවෙයිද?

“නැහැ. භික්‍ෂූණී ශාසනයක් දැන් කොහේද තියෙන්නේ? එහෙම එකක් නැහැ. ඒ නිසා  මහානායක හාමුරුවරු නිර්දේශ කරන්නේ නැහැ, මේ අයට හැඳූනුම්පත දෙන්න කියලා. නමුත් අපි තීරණයක් අරගෙන ඉගෙනගන්න අයට පමණක් අනුමැතිය දෙනවා.“ කියා ප්‍රකාශ කළේ සිල්මාතා ජාතික මණ්ඩලයේ ලේකම්, මුල්ගිරිගල ශීලප්‍රිය මෑණියෝ ය.

තවදුරටත් පැහැදිළි කරමින් උන්වහන්සේ කියා සිටියේ, “භික්‍ෂුණී පරපුර ඇතිවීම මහායාන සම්ප්‍රදායට අනුගත වෙච්ච, නමුත් ථේරවාද සම්ප්‍රදායට පටහැනි නිසා තමයි මහානායක හාමුදුරුවරු අනුමැතිය දෙන්නේ නැත්තේ.”

“අපි අධ්‍යාපනය හදාරණ භික්‍ෂූණීන්ට ජාතික හැඳූනුම්පත හදාගන්න අනුමැතිය දුන්නට, අපිට හරිම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ” යැයි කියූ උන්වහන්සේ “සංගණනයක් ගත්තොත් සිල්මෑණියන්වහන්සේලා හැටියට ලොකූ පිරිසක් ඉන්නවා, නමුත් පුද්ගලයෝ හැටියට නැහැ. මොකද, සිල්මෑණීයන් විධියට හැඳුනුම්පත හදාගත්තට එයාලා පෙනීහිටින්නේ භික්‍ෂුණීන් හැටියටනේ. අනික එයාලා වැරැද්දක් කරලා රදක් කළත් ඒක සිල්මෑණීවරුන්ගේ නමින් තමයි ප්‍රසිද්ධවෙන්නේ මොකද හැඳුනුම්පතේ ඉන්නේ සිල්මෑණී කෙනෙක් විධියටනේ. ඒක අපිට විශාල ගැටළුවක්.” යැයි ශීලප්‍රිය සිල්මෑණියන් මඳක් දැඩි ස්වරයකින් ප්‍රකාශ කළේය.

ගැටළුව විසඳාගන්න ආකාරයක් නැතිම ද

ඒක තමයි, අපේ කොටස අපි කළාට, ශාසන භාරකාරිත්වය දරන්නේ මහානායක හාමුරුවන්වහන්සේලා නේ. සමස්ත ශාසනේ වගකීම දරන්නේ උන්වහන්සේලා. ඒ වගකීම රජයට දරන්න බැහැ. මහනායක හාමුදුරුවරුන්ගේ උපදෙස් මත තමයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කරන්නත් ඔිනේ.

“ලංකාව බෞද්ධ රටක්. බෞද්ධ රටක රාජ්‍ය පරිපාලකයා මහානායක හාමුදුරුවරුන්ගේ අනුශාසනා නිර්දේශ මත තමයි රට පාලනය කරන්න ඕනෙත්. ශාසනයේ රැකගැනීම සහ ශාසනය සම්බන්ධ සියලුම තීන්දු තීරන ගන්නේ උන්වහන්සේලා.”යැයි කී ශීලප්‍රිය සිල්මෑණියන්, බුද්ධ ශාසන කටයුතු සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ අනුමැතිය නැති කිසිම තීරණයක් රජයට ගන්න බැහැ.”යැයි පැවසීය.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ හඬ

“මට කෙටියෙන් ම කියන්න තියෙන්නේ බෞද්ධ භික්‍ෂූණීන්වහන්සේලා කියලා පිළිගත් පාර්ශවයක් ලංකාවේ නැති බවත් එවැනි පාර්ශවයක් පිළිගන්න එපා කියල ත්‍රෛයිනිකායික මාහානායක ස්වාමින්වහන්සේලා අපිට අනුශාසනා කරලා තියෙනවා. ඒ වගේ ම, හැඳුනුම්පත් ලබාගැනීම සඳහාය කියා එවැනි පාර්ශවයකට අනුමැති ලබානොදෙන ලෙසත් මහානායක ස්වාමින්වහන්සේලා ලිඛිතව අපිට දන්වලා තියෙන්නෙ” යැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.පී. රත්නායක මහතා ප්‍රකාශ කළේය.

“නමුත් ලංකාවේ විදිමත් වි්‍යුහය තුළ සිල්මාතාවන් සිටිනවා. ඒ සිල්මාතාවන් බුද්ධ ශාසන කාර්ය ශාධන බලකා ලියවිල්ලේ සඳහන් වෙන ආකාරයට මහණ කළ පසු සිල්මාතාවන් විධියට පිළිගැනීමට ලක්වෙනවා. එතුමියන්ගේ සංගම් දිස්ත්‍රික්ක මට්ටමෙන් තිබෙනවා. ගරුතර ස්වාමින්වහනසේලා වගේම එතුමියන්ව මෙම ආයාතනයේ ලියාපදිංචි කරනවා. ඒ අයට අවශ්‍ය ලියකියවිලි ඕනෑම අවස්ථාවක අපි ලබාදෙනවා”.

භික්‍ෂූණීන්වහන්සේලා වශයෙන් හඳූන්වාදෙන අයට මේ කාරණය පිළිබඳව පහදා දුන්නාට ඒ අය ඊට එකඟ නැහැ. මෙකී නොපිළිගන්නා තත්ත්වයක් තුළ හිඳීමින් තවදුරටත් භික්‍ෂූණීන්වහන්සේලා ආකාරයෙන් කාන්තාවන් මහණකර නොගන්නා ලෙසට කොමසාරිස් ජෙනරාල් ලෙස තමන් ප්‍රකාශකර ඇති බව සඳහන් කළ ඔහු , මහණවීමෙන් පසුව එතුමියන්ගේ කිසිඳූ අවශ්‍යතාවයකට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් කිසිම අනුමැතියක් නොලැබෙන බව ද ප්‍රකාශ කළේය.

භික්‍ෂූණී ශාසනය පිළිගන්නේ ද නැද්ද යන්න පිළිබඳව රංගිරි දඹුලු විහාරයේ නායක හාමුදුරුවෝ මැදිහත්වී නඩුවක් පවරා ඇති අතර එය තවම විභාග වෙමින් යන බවත්, ඉන් තීන්දුවක් ලැබෙන තෙක් හෝ වෙනත් සම්මුතියකින් පිළිගන්නා තෙක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ද භික්‍ෂූණීන්වහන්සේලා පිළිනොගන්නා බව කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තහවුරු කිරීම ඇත්නම් ප්‍රශ්නයක් නැහැ

මහණවුනාම කාන්තා පිරිමි දෙපාර්ශවයම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බවත්, පැවිදිවූ බව තහවුරු කරමින් ලියවිල්ලක් නිකුත් කරන අතර එම තහවුරු කිරීමේ සහතිකය හිමි සෑම පැවිදිවරයෙක් පැවිදිවරියක් හට ම තමන්ගේ ජාතික හැඳුනුම්පත පැවිදි නමින් ලබාගන්නට කිසිඳූ බාධාවක් නැති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජෙනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම මහත්මිය කීවේය.

“සිවුරක් හැඳ පැමිණියාට අපි දන්නේ නැහැනේ ඇත්තටම ඒ කවුද කියලා. ඒ අනන්‍යතාවය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් අනුමත කරන්නම ඕනෙ. ඒ තහවුරු කිරීම නැතිව අපිට හැඳුනුම්පතක් අනුමත කරන්න බැහැ. ඒ නිසා පවතින නිත්‍යාණූකුල ක්‍රමවේදයන් අනුගමනය කළාම කිසිම බාධාවකින් තොරව තමන්ගේ අනන්‍යතාව සහිත ජාතික හැඳූනුම්පත ලබාගන්න පුළුවනි.”යැයි වැඩබලන කොමසාරිස් ජෙනරාල්තුමිය සිය දෙපාර්තමේන්තුවේ නීතිමය ස්වරූපය පැහැදිළි කළේය.

“සියලුම ශ්‍රී ලාංකීක පුරවැසියන් සඳහා සහතික වූ අනන්‍යතාවය ලබාදීම” යන්න පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සැබෑම වූ දැක්ම වේ. එය පැහැදිළිව ම ඉටුවනු යේ සුදුසුකම් සපුරාලන සමස්ත පුරවැසියන් එකී අනන්‍යතාව හිමිකරගෙන නිදහස් පුරවැසියන් සේ ජීවත්වීමෙනි. එහෙත්, මෙම ලිපියෙන් මතුකළ හේතු කාරණා මත, වඩාත් අසාධාරණ නොවන, වඩාත් සැළකිල්ලට බඳුන්කළ යුතු නොවන හේතුවක් මත පියවි සිහියෙන් තමන් ප්‍රායෝගීකව ජීවත්වන සැබෑ ජීවිතය තමන්ගේ අනන්‍යතාව ලෙසට සමාජය තුළ පෙනී සිටින්නට අවකාශ නොලැබෙන සියලුදෙනා වෙනුවෙන්, රජය මැදිහත්ව රාජ්‍ය ප්‍රතිපත්තියක් ඇතිකර සියලුම දෙනා වෙත සිය අනන්‍යතාවය තුළ නිදහසේ ජිවත්වන්නට අවකාශය නිත්‍යාණූකුලව ලබාදිම එකම මානූෂ්‍යවාදී, සාධාරණ හා ප්‍රජාතාන්ත්‍රීක විසඳුම වේ.

    – මෙලනි මානෙල් පෙරේරා        විශේෂ ස්තූතිය – ඉන්ටර් නිවුස් ආයතනය

Archive

Latest news

Related news