චූලානන්ද සමරනායක.
යොවුන් වියේ ප්රේමයට බලපත්රයකින් නොව සාහිත්ය කෘතියකින්ම සපුරා අවසරය දී තිබූ හොරණ තක්ෂිලාවෙහි යොවුන් විය ගෙවන්නට ලැබීම මම අදත් මගේ භාග්යයක් කොට සලකමි. එසේම ඒ මගේ ගැටවර දිවියෙහි සුන්දරතම කාලය ලෙසද සලකමි. දම්මි අතට වෙරලු අහුරක් දී සුගත් අසලට යවමින් අප ආදි ශිෂ්ය කරුණාසේන ජයලත් විසින් පෙන්වන ලද මග ඔස්සේ යමින් අපි බොහෝ දෙනෙක් වෙරළු මල් සුවඳ දැනෙන්නට පටන් ගන්නා හා සමගම ගොළු හදවත් කතා කරවීමට තැත්දැරුවෙමු. එහිලා සාර්ථකත්වයද ලැබීමු. පාසලේ විනය කමිටුවක් තිබුණද එහිලා අතිශය කාර්යක්ෂමව ෂර්ලොක් හෝම්ස් භූමිකාව කල ගුරුවර ගුරුවරියන් ගේ රේඩාරයන් සියල්ල නොමග යවා අපි ප්රේමයේ අත්තිවාරම් දැම්මෙමු. විනය කමිටුවට අත්තිවාරම ගැන ඉව වැටෙන විට අප ගොඩනැගිල්ලේ ලින්ටල් මට්ටමටද බිත්ති නංවා හමාර බැවින් විනය කමිටුවට සිදුවූවේ විනය තකාගෙනම නිහඩව සිටීමටය.
එදා පෙම් රැල්ල නැගී එන විට ගල් තැල්ල සොයා ගිය අප බොහෝ දෙදෙනක් පෙම් දියෙන් තෙමී ගල ඔපය වැටෙන විට සිටියේ කසාද සහතිකය අල්මාරියේ දමා මාතෘ සායන වලය.
පාසල පිටුපස වූ සී සී ගල කන්ද අපේ පෙම් සැරියට මනරම් හන්තානක්ම වූවේය. සී සීගල ගොස් පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ හැපී ඒ සුන්දර සන්ධ්යාවන්හීදී පල්ලම් බසින සුගත්ලා සහ දම්මිලා කොටු වූ විට විනය කමිටුව දම්මිව වෙනම ගෙන කළ පරීක්ෂාවන් අපට සිප ගැනීම ඉක්මවා යන තවත් බොහෝ දේ යොවුන් පෙමට අයත් බව කියා දුන්නේය. එදා පෙම් රැල්ල නැගී එන විට ගල් තැල්ල සොයා ගිය අප බොහෝ දෙදෙනක් පෙම් දියෙන් තෙමී ගල ඔපය වැටෙන විට සිටියේ කසාද සහතිකය අල්මාරියේ දමා මාතෘ සායන වලය.
මේ කාලයේ මා ඇතුලු මගේ පංති සගයන් බොහෝ දෙනෙක් අඩුවෙන්ම සිටියේ පංතියේය. ඉගැන්වීමේ කටයුතු නිසි පරිදි කරගෙන යාමට ගුරුවරුන් සිටි හෙයින් අපි පංතියට සාමය දී ගුරුවරයා හෝ ගුරුවරිය ගේට්ටුවෙන් පංතියට ඇතුලු වන විට තාප්පයෙන් දූරිංභූත වීමු. ඉන්පසුව පාසලෙන් පිටව අවට ඇති ඇල දොල සහ කලු ගඟේ ජල මට්ටම බැලීමට හෝ ගාමිණී මාලනීගේ මුහුණ සිඹින්නේදැයි බලන්නට ගැලරියට හෝ පීරිස් හෝටලයෙන් හොරෙන් කෑමට නොගියේ නම් නොවැරදීම අප සිටියේ එක්කෝ අපේ වැසිකිලිය අසල කොට්ටං ගහ යටය. නැතිනම් ප්රධාන ශාලාවේ වේදිකාව මතය. ඒ සංගීත සංදර්ශනයන් පැවැත්වීම පිණිසය. ඒ වන විට පාසලටම මහාමාරියක් බවට පත්ව සිටි අප රංචුව වෙනුවට සරසවි යන්නට තවත් සිසුන් සිටි හෙයින් දීර්ඝ ලුහු බැඳීම් වලින් පසුව ගුරුවරු සිටියෝ අප නොදුටු ගානටය.
එකල අපේ ජංගම සංගීත කණ්ඩායමට ගායකයන් තිදෙනෙක් සිටියෝය. මා ඉන් එකෙකි. දෙවන ගායකයා වූවේ එකල හතාගේ විවෘත වීදි නාට්ය කණ්ඩායමට සම්බන්ධව සිටි රවීන්ද්ර යසස්ය. අනෙකා ද යල මහට වීදි නාට්ය වලට සම්බන්ධ වූ ලාල් පතිරගේය. අපේ රංචුවේ සිටි අනෙක් උන් අතර අපට අග්රගන්ය ඩ්රම්ස් වාදකයෙක්ද සිටියේය. ඔහු අයත් වූවේ කොල්ලන් පමණක්ම සිටියෙන් කෙල්ලෙක් වෙනුවෙන් දෙමව්පියන් නිදිමැරීම නිසාම කොලු පෙරහැරක් සිටි පවුලකටය. ඒ පවුලේ කොල්ලන්ට වූවේ හල් ලයන්නෙන් අවසන් වන නම්ය. වැඩිමලා පමණක් ලලිත් වූ පවුලේ අනේක් අය අතරින් අපේ සගයාගේ නම දීපාල් විය. ඔහු ඉතා දක්ෂ ලෙස කෝටු කෑලි දෙකකින් මේන් හෝල් එකේ අප විසින්ම තබාගෙන සිටි මේසයට තට්ටු කර නියම ඩ්රම්ස් වාදනයක් සැපයුවේය. භාත්ඛන්ඩේ තබා බත්කෙණ්ඩවත් නොදැන සිටියද අපි අපේ මහාර්ග වාදකයා හට ශාන්ති නිකෙතනයෙන්වත් ගත නොහැකි ඉන්දීය නාමයකින් ගරු සත්කාර පුද කළෙමු. ඒ අනුව අප සගයා ‘ආචාර්ය පාපාල් දිකෝ’ නම් වූවේය. අද රන්වලගේ යටි පල්ලද සොයනා අය එදා නොසිටි හෙයින් පාපාල් දිකෝ ගේ ආචාර්ය පට්ටම ගැන කිසිදු ප්රශ්ණයක් මතුවූවේ නැත.
මේ ගීත අතරින් විශේෂයෙන්ම දෙකක් අපේ වයස කුප්පන පිටකොඳු හිරිවට්ටන, එමෙන්ම රාත්රිය මල් වෙඩි වලින් පුරවන දෙකක් විණි. ඉන් එකක් ෆීලික්ස් ඇන්ටන්ගේ ගීයකි. ආදර පිය ලඳුනේ මට මුළු ලොවම ඔබයි ඔබගේ ආදරයයි යන ගීයයි.
අප එදා සප්ත ස්වරයම පිත්තාශයෙන් ගෙන අග්න්යාශයෙන් පදම් කර අන්නශ්රෝතයෙන් පිරිපහදු කර ආමාශය කලම්බා මුදා හැරියෙමු. ඒ වන විට අප රංචුවේ සියල්ලන්ගේම හදවත් මෙන්ම යටි පතුල්ද ආදරයෙන් කිතිකැවී තිබුනෙන් අප ගැයූ ගීත නොවැරදීම පෙම් ගීතම විය.
මේ ගීත අතරින් විශේෂයෙන්ම දෙකක් අපේ වයස කුප්පන පිටකොඳු හිරිවට්ටන, එමෙන්ම රාත්රිය මල් වෙඩි වලින් පුරවන දෙකක් විණි. ඉන් එකක් ෆීලික්ස් ඇන්ටන්ගේ ගීයකි. ආදර පිය ලඳුනේ මට මුළු ලොවම ඔබයි ඔබගේ ආදරයයි යන ගීයයි. අනෙක් ගීතයේ හිමිකරුවා වූවේ ප්රියා සූරියසේන ය. ඒ සුදු පරෙවි රෑන සේ ගීතයයි. ඒ වන විට සෑම කෙල්ලකුටම පවා අතේ එල්ලාගෙන යන බෑග් වර්ගයක් තිබුණද අපට පෙනුනේම පොත් පත් අහුරා මුදු ලැමට තුරුළු කරගෙන යන එකියන්වමය. හතරැස් කරක් සහිත පාසල් නිල ගවුම අපට මුදු ලැම පිලිබඳ ගවේෂණයන්ට අනගි සහයක් දුන්නේය. මා ඒ කාලයේ අද මගේ බිරිඳ වන එකල සිසුවිය ගෙන් පෙම ඉල්ලා ඇය ඒ එක හෙලා පිලිකෙව් කිරීම නිසා උත්සාහය උක් දණ්ඩක් වැන්නේ ගීතය යටි හිතින් මුමුණමින් අර ගී දෙක ලතෝනි බවට හරවා ගායනා කරමිනි.
ප්රියා සූරියසේන නික්ම ගිය බව ඇසූ මොහොතේ මට එක්වරම සිහිපත් වූවේ ඔහු අපේ ගැටවර දිවියට බලපෑ ආකාරයයි. කැසට් පටිය රට අල්ලමින් තිබූ මොහොතක හොරණ එකල තිබූ දේදුනු රෙකෝඩ් බාර් එකේ සුදු පරෙවි රෑන යළි යළි දමමින් අපි එයින් උපරිම වින්දනයක් ලැබීමු. ඒ අතරම අප නොදැනුවත්වම ඈත රන් විමන් තුළින් වැනි ගීත හරහා එක්තරා ආකාරයකට ඔහුට ඇබ්බැහි වීමු. සිත්තර පත්තරේ සරත්මධුගේ දේදුනු සහ කැලුම් අපේ පොත්වල පිටකවර වල අරක් ගද්දී ප්රියා අපේ මනෝ ලොක්යේ පෙම් සවාරියට තෙල් ගැසුවේය.
ඔහුගේ ඒ සුවිශේෂී කටහඩ අපේ හදවතේ ගැටවර සිහිනවලට තනු සැපයූ අතර අපි ඒ ගීත අසමින්ම ගැවටර වියෙන් ඔබ්බටද පියමන් කළෙමු. පසු කලෙක විවිධ ගීත අසන්නට සවන් හුරු කෙරුණද ඒ කිසිවකට හෝ ප්රියාගේ ගී මගේ හදින් මකා දමන්නට හැකිවූවේ නැත. එසේම පසුකාලීනව දේශීය මෙන්ම විදේශීය මනරම් නවකතා කොතෙක් කියවූවද ගොලු හදවත සිතින් පිස හරින්නට මට හැකිවූවේද නැත. ජයලත් වේලාසනම ගියේය. දැන් ප්රියාද ගොසිනි. එහෙත් මේ දෙනොම සිය මතක නොමැකෙන සේ ඉතිරි කර හමාරය.
මීට වසර දෙකකට පමණ පෙර දිනෙක මට ප්රියා හංවැල්ලේදී හමුවිණි. ඒ මගේ පවුලේ අයත් සමග ගමනක් යද්දී උදේට කන්නට හෝටලයකට ගොඩවූ අවස්ථාවේදීය. ප්රියාද එහි උදේ ආසාර ගනිමින් සිටියේය. මම ඔහු සමග කතා කර මා ඔහුගේ ගීත වලින් ලද උද්දාමය ගැන කීමි. ඒ මා ඔහු හමුවූ පළමු මෙන්ම අවසන් අවස්ථාවයි. සමහර විට පාසල් වියේදී මා ඔහුගේ ගීත ගායනය මුවාවෙන් ඒ ඝාතනයට තැත් දැරීම ගැන ආරංචිව සිටීම නිසාදෝ ඔහු එදා කතා බහට එතරම් මනාපයක් දැක්වූවේ නැති. කායිකව දුර්වල සෙයක් පල කළ මේ සොඳුරු ගායකයා වෑන් රියක නැග යන ආකාරය බලමින් මම යළි පාසල් ප්රේමයට පිවිසුනෙමි. මා එයින් අවදි වූවේ දැන් බිරිඳ බවට පත්ව සිටිනා එදා පෙම්වතිය බිල අතට දුන් විටය.
දිවි ගමන අතර මග අපට විවිධ තැන් වලින් සමුගන්නට සිදුවන බව සැබැවි. එහෙත් මෙවන් මිනිසුන් සමුගත් විට සිතට දැනෙනුයේ ඒ අවබෝධය යටකර නැගෙනා සියුම් දුකකි. දැන් මම එය විඳිමි. යලි ඔහුගේ ගී අසමි. අවසන මෙසේ කියමි.
අපේ ගැටවර විය සුන්දර කලාට ස්තුතියි. ප්රියා ඔබට සුබ ගමන්!
චූලාගේ මුහුණූ පොතෙනි.