Friday, December 6, 2024

කාන්තා නියෝජනයෙන් සහ සමාජ ආන්තිකරණයට ලක්වූ ජන කණ්ඩායම්වලින් පාර්ලිමේන්තු නියෝජනය ශක්තිමත් කරමු.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මොරගස්වැවේ විජිත හිමි.

දශක ගණනාවක සිට සිදු වූ උපත, ජනවර්ගය, ආගම, භාෂාව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ලිංගික දිශානතිය ආදි බෙදා වෙන්කිරීම් කරණ කොටගෙන සහකම්පනයෙන් වියුක්ත සමාජයක් බවට ශ්‍රී ලංකා සමාජය පත්වීම ඛේදවාචකයකි. දේශීය සහ ගෝලීය අවශ්‍යතා අමතක කර හුදෙක් පුද්ගලික අපේක්‍ෂාවන් මුදුන් පත් කරගැනීමට ගත් අදූරදර්ශී දේශපාලන තීරණයන් සහ සුදුසු කල නිසි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නොකිරීම නිසා මෙම තත්ත්වය ව්‍යාකූලත්වයට පත්වී ඇත. ඉහත සමාජ – ආර්ථික කඩාවැටීම් වළක්වා ගැනීමට නම් කාන්තා සහ සමාජ ආන්තිකරණයට ලක්ව ඇති සියළු පිරිස් නියෝජනය වන ආකාරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජනයේ අවස්ථාවන් පුළුල් කිරීම ප්‍රායෝගික සහ ශිෂ්ට සම්පන්න ක්‍රියා මාර්ගයකි.  එමගින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රටේ සතර දිශාවේ ජීවත් වන සියළු පුරවැසියන්ට හිමිකර දිය හැකිය.

අපේ රටේ ජනගහණයෙන් බහුතරය කාන්තාවෝය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දි විද්‍යමාන සුවිශේෂී ලක්‍ෂණයක් වූයේ පුරුෂාධිපත්‍යයෙන් යුත් ප්‍රධාන දේශපාලන පක්‍ෂ පරදවා පාර්ලිමේන්තුව තුළ බහුතර කාන්තා නියෝජනයක් ලබාදීමට ජාතික ජනබලවේගය කටයුතු කිරීමයි. එයිනුත් උගත් බුද්ධිමත් කාන්තාවක් අග්‍රාමාත්‍ය ධුරයට තෝරාපත් කරගැනීම ස්වර්ණමය අවස්ථාවකි. එමගින් කාන්තාව සමාජයේ මුහුණ දෙන බොහෝ ගැටලුවලට සාධනීය පිළිතුරු ලබාදීමට හැකිවනු ඇත. ඉදිරියේදී මෙම ක්‍රියාවලිය පාර්ලිමේන්තුව තුළ විනයගරුක කාන්තා නියෝජනයේ සුබවාදී පෙරනිමිත්තක් වනු ඇත.

පුරුෂාධිපත්‍යයෙන් ඉවත්ව

එසේම දෙමල සහ මුස්ලිම් කාන්තා නියෝජනය ද පාර්ලිමේන්තුව තුළ සංඛ්‍යාත්මකව වැඩි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ නීති සම්පාදනය කිරීමට සියළු දේශපාලන පක්‍ෂ පුරුෂාධිපත්‍යයෙන් ඉවත්ව කටයුතු කළ යුතු අතර උගත් බුද්ධිමත් විනයගරුක වැඩි කාන්තා නියෝජනයට ඒ ඒ පක්‍ෂ තුළ ක්‍රමවත් යාන්ත්‍රණයක් අනිවාර්යයෙන්ම සැකසිය යුතුය. ඒ තුළින් නීති සම්පාදන ක්‍රියාවලියට සහ ව්‍යවසායකත්වයට බහුතර කාන්තාවන් සම්බන්ධ කරගැනීම මගින් කාන්තා අයිතීන් ආරක්‍ෂා කරන ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකර ගැනීමට බොහෝ ඉඩහසර ලැබේ.

ගෝලීයව උග්‍ර දැවෙන ප්‍රශ්නයක් වන සමාජයේ ආන්තිකරණයට ලක් වූ බොහෝ ජන කණ්ඩායම් (Marginalized – Ethnic Groups) ශ්‍රී ලංකා සමාජයේ ද දක්නට ලැබේ. ඒ ජන කොටස් බොහෝ අවස්ථාවන්වලදී විවිධ හිංසනයන්ට ලක්වීම ඛේදජනක කරුණකි. මෙම හිංසනකාරි තත්ත්වයන් වළක්වා ගෙන සමාජයේ නිසි ගෞරවය ඇතිව කටයුතු කිරීමට අවශ්‍ය ඉඩප්‍රස්තාව සැලසීම ශිෂ්ට සම්පන්න ප්‍රගතිශීලි සමාජයක මූලික ලක්‍ෂණයකි. ඔවුන් පිළිබඳ ශක්තිමත් හඬක් අවදි කිරීමට සුදුසුම තෝතැන්න වන්නේ පාර්ලිමේන්තුවයි. එමනිසා ආන්තිකරණයට ලක් වූ ඒ ඒ ජන කොටස් මුහුණ දෙන සමාජ – ආර්ථික ගැටලු ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ නියෝජනය ද පාර්ලිමේන්තු සංයුතියට ක්‍රමානුකූලව ඇතුළත් කළ යුතුය.

ස්වදේශික ප්‍රජාව

ශ්‍රී ලංකාවේ ස්වදේශික ප්‍රජාව ලෙස සැලකෙන අප රටේ ආදිවාසි ජනතාව (Aborigine) සමාජ ආන්තිකරණය නිසා අභියෝග රාශියකට මුහුණ දෙමින් සිටී. ඔවුන් මුහුණ දෙන සැබෑ සමාජ – ආර්ථික ගැටලු සාකච්ඡා කිරීමට ආදිවාසි ජන නියෝජනයට ද පාර්ලිමේන්තුව තුළ ඉඩකඩ ලැබිය යුතුය.

ශ්‍රී ලංකාවේ දැනට ලක්‍ෂ 17 ක් පමණ වන ආබාධිත ප්‍රජාව (Disable) නියෝජනය කරමින් පළමු වරට දෘෂ්‍යාබාධිත මන්ත්‍රීවරයෙකු තෝරාපත් කරගැනීමට ජාතික ජන බලවේගය කටයුතු කිරීම  ඉතා ප්‍රශංසනීය ඉදිරි පිම්මකි. ජාතික ජන බලවේගයේ මෙම ආදර්ශය අනෙකුත් දේශපාලන පක්‍ෂ ද ආදර්ශයක් කරගත යුතුය. මෙම නියෝජනය ද ඉදිරියේදී සංඛ්‍යාත්මකව වර්ධනය කරගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන පාර්ලිමේන්තුව තුළ සකස් කළ  යුතුය.

සමරිසි – සංක්‍රාන්තික ප්‍රජාව

දේදුන්නේ පාට මෙන් සමාජය විචිත්‍රය. එම විචිත්‍රත්වය සහ විවිධත්වය පිළිගැනීමට අප සමාජය සූදානම් ද යන්න ප්‍රශ්නකාරීය. ශ්‍රී ලංකාවේ දැඩි ආන්තිකරණයට ලක් වූ සමාජ කණ්ඩායම වන්නේ සමරිසි – සංක්‍රාන්තික ප්‍රජාවයි (LGBTIQA+).  මෙම සමාජ කණ්ඩායම්වලට දැඩි පීඩනයක් සහකම්පනයෙන් තොරව නොයෙකුත් ආගමික සහ සංස්කෘතික මිථ්‍යාවන්වල එල්බගෙන සමාජය විසින් එල්ල කරනු ලැබේ.  සමාජයේ විවිධ අවස්ථාවන්වලදී සමරිසි – සංක්‍රාන්තික පුද්ගලයින් කායික, වාචසික සහ මානසික හිංසනයන්ට ලක්වීම අතිශයින් කනගාටුදායකය. එබැවින් මෙම පීඩනකාරී සහ හිංසාකාරී තත්ත්වයන් වළක්වා ගැනීමට බුද්ධිමත්ව සහ ප්‍රායෝගිකව කටයුතු කළයුතුය. මොවුන් මුහුණ දෙන සමාජ – ආර්ථික ගැටලු ද සාකච්ඡා කිරීමට මොවුන්ගේ නියෝජනය ද පාර්ලිමේන්තුව තුළ ලබා දීමට සියළු දේශපාලන පක්‍ෂ කටයුතු කළ යුතුය.

ප්‍රධාන ජනවර්ගවලට අමතරව අනෙකුත් කුඩා ජනවර්ග ද නියෝජනය කරමින් ඔවුන් මුහුණ දෙන සමාජ – ආර්ථික ගැටලු සාකච්ඡා කිරීමට ඒ ඒ කණ්ඩායම්වලින් සුදුසු පුද්ගලයින්ට  පාර්ලිමේන්තු නියෝජනය ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කිරීම මගින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ක්‍රමය ලෝකයේ සුසමාදර්ශයක් වනු ඇත. ඉහත දැක්වූ සියළු ජනවාර්ගික නියෝජනය සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට ඉදිරියේදී හැකි වන්නේ නම් මානව ගරුත්වය සහ මානව අයිතිවාසිකම් ආරක්‍ෂා කරන විශිෂ්ට රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්වනවා නොඅනුමානය.

මොරගස්වැවේ විජිත හිමි.

Archive

Latest news

Related news