Thursday, November 21, 2024

පෙරටුගාමීන්ගෙන් ජනාධිපතිට ලිපියක්: ණය ප්‍රතිව්‍යූහගතකරණය හා දිගුකාලීන අසමත් රාජ්‍යයක අවදානම

ණය ප්‍රතිව්‍යූහගතකරණය හා දිගුකාලීන අසමත් රාජ්‍යයක අවදානම මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවා තිබේ. එය සම්පූර්ණයෙන්ම පහත පළවේ.

27.10.24

ගරු ජනාධිපති අනුර .මැතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 01.

ජනාධිපතිතුමනි,

ණය ප්‍රතිව්‍යූහගතකරණය හා දිගුකාලීන අසමත් රාජ්‍යයක අවදානම

පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය හරහා ලංකාවේ ජනතාව, මෙතෙක් පැවැති දූෂිත දේශපාලන බලවේග තීරණාත්මක ලෙස පරාජයකට ලක් කර, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හරහා නව දේශපාලන ගමනකට රට විවෘත කර ඇත. මෙය පසුගිය කාලය පුරාම දිගහැරුණු ජනතා අරගලයේත් ජනමතයට බලපෑම් කළ විශාල ප්‍රචාරක මැදිහත්වීමකත් ප්‍රතිඵලයකි. පරාජිත දේශපාලන බලවේගවල බලය පළමු කොටම බිඳහෙළන ලද්දේ අරගලය තුළිනි. මෙම දූෂිත දේශපාලන බලවේග සමග අඛණ්ඩව ගැටුණු දේශපාලන පක්ෂයක් ලෙස ලංකාවේ සමාජයේ සිදු වූ මෙම හැරවුම පිළිබඳ අප කල්පනා කරන්නේ ජනනාත්මක දේශපාලන ස්ථාවරයක සිටය. එම නිසා වත්මන් දේශපාලන ආර්ථික අර්බුදය පිළිබඳ වාම දේශපාලන ස්ථාවරයක සිටිමින් වත්මන් පාලනය සමග ගනුදෙනු කිරීමේ අවශ්‍යතාව අපි දකිමු. වත්මන් ආර්ථික දේශපාලන අර්බුදය ඉතාම තියුණු හා පැතිරුණු ස්වරූපයක් ඇති බවත් එයට ප්‍රතිචාර දැක්වීමට හා එය වෙනස් කිරීමට දිගුකාලීන හා ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන වෑයමක් අවශ්‍ය බවත් පෙනේ.

2022න් පසු ඇරඹී ඇති නව දේශපාලන පරිච්ඡේදයේ මූලික දේශපාලන ගතිකයන් කිහිපයක් හඳුනාගත හැක. දිග්ගැස්සුණු ආර්ථික අර්බුදය, එම ආර්ථික අර්බුදය පදනම් කරගෙන සිදු කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම (එක්සත් ජනපද උපායමාර්ගික නියෝජිතයෙක් ලෙස), ඉන්දියානු ආර්ථික බලහත්කාරය, ජනතාවගේ පෙර නොවූ විරූ දේශපාලන හැසිරීම් (අප්‍රේල් 9 නැගිටීම, ජුලි 9 නැගිටීම, මෙවර ජනාධිපතිවරණයේදී දූෂිත බලවේග පසුපසට ඇද දැමීම ආදිය) වශයෙන් එය දළ සිතියම්ගත කිරීමකට ලක් කළ හැක.

2022 වසර ආශ්‍රිතව ලංකාව මුහුණ දුන් දේශපාලන අර්බුදයට හේතුව ආර්ථික අර්බුදයයි. එම ආර්ථික අර්බුදයේ හේතුව පිළිබඳ විවිධ ආර්ථික දේශපාලන දෘෂ්ටීන් මත සිට සිදු කෙරුණු එකිනෙකට පරස්පර විග්‍රහයන් ගණනාවක් පසුගිය කාලය පුරාම ප්‍රකාශයට පත් විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් අප, පසුගිය ජනාධිපතිවරණය තුළ අප නියෝජනය කළ ජන අරගල සන්ධානය හරහා 2022දී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය පිළිබඳ ඉදිරිපත් කළ අදහස මෙසේ සාරාංශගත කළ හැක. එනම්, ලංකාව ඉතාම ධනවත් ව්‍යාපාරික පවුල් අතලොස්සක් විසින් ඔවුන් ලබා ගත් ලාභය රටින් පිටතට අනීතික ලෙස රැගෙන යාම (අපනයනයේදී හා ආනයනයේදී සිදු කරන සාවද්‍ය ඉන්වොයිස්කරණය) හරහා සිදු වූ ගැටලුවක් ලෙසත් සැලසුමකින් තොරව අධික ලෙස ණය ගැනීම, ණය අවභාවිතාව විසින් ඇති කර ඇති ණය උගුලක ප්‍රතිඵලයක් බවත් ආර්ථික අර්බුදයේ බර මුළුමනින්ම පහළ පාන්තික සහ පහළ මැද පාන්තික ජනයා මත පටවා මෙම අර්බුදයේ මැද පවා සිය ලාභය තර කර ගනිමින්, අධික ලෙස බදු පැහැර හැර සිටිනා ඉහත ධනවත්ම ව්‍යාපාරික පවුල් අතලොස්ස ලබා ගන්නා අධික ලාභයේ ප්‍රතිඵලයක් බවත්, දිගුකාලින වශයෙන් කාර්මීකරණය වෙත යොමු නොවු ආර්ථික ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් බවත් පසුගිය දශක කිපය තුළ නැගී ආ නව මැද පන්තියේ පරිභෝජනවාදයේ ප්‍රතිඵලයක් බවත් එමෙන්ම ගෝලිය දකුණේ රටවල් සිර කර තිබෙන ආර්ථික සංවර්ධනය අහුරන නව යටත් විජිත ණය අකෘතියේ ප්‍රතිඵලයක් ලෙස ලංකාව මෙම ආර්ථික අර්බුදයට ඇද දමනු ලැබූ බවය.

ඉහත සඳහන් සාවද්‍ය ඉන්වොයිස්කරණය පිළිබඳ Global Ecconomic Intergrity වාර්තාව හරහා ඉදිරිපත් කොට තිබු‍ණේ ලංකාව 2009 – 2018 කාලය තුළ පමණක් ඩොලර් බිලියන 42ක අනීතික ප්‍රවාහ සිදු වී ඇති බව යි. මේ හරහා ප්‍රග්ධනය අහිමි වීම, රජයට අය විය යුතු බදු අහිමිවීම දිගින් දිගටම සිදු වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ තාක්ෂණික වාර්තා තුළ මෙම කරුණ සඳහන් වුවද ඔවුන්ගේ ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ වට්ටෝරුව තුළ මේ පිළිබඳ කිසිදු බර තැබීමක් සිදු නොවීමද මවිතය දනවන කරුණකි. ලංකාවේ ධනවත්ම ව්‍යාපාරික පවුල් අතලොස්ස මෙලෙස සිය ලාභය ඩොලර් බවට හරවමින් රටෙන් පිටතට ගෙනයාම හරහා වත්මන් ආර්ථික රාමුව තුළ සිදුවිය යුතු යැයි සලකන නැවත ආයෝජනය අහිමි වී යයි. එමගින් ආර්ථික වර්ධන වේගය අඩාල වන අතර, ඩොලර් හිගය, රුපියල අවප්‍රමාණ වීම, උද්ධමනය ආදී ලෙස වන චක්‍රයකට පසුගිය කාලය තුළ ආර්ථිකය ඇතුළු වී තිබුණි. අවසානයේ රුපියල අවප්‍රමාණ වූ විට නැවත රට තුළට මුදල් ගෙන ඒම හරහාද විශාල මුල්‍ය වාසියක් මෙම ව්‍යාපාරික ස්ථරය විසින් අත්කරගෙන ඇති බව සැක නැත.

ලංකාවේ මෙම ධනවත්ම ව්‍යාපාරික පවුල් අතලොස්ස විශාල ලාභයක් අත්පත් කර ගන්නේ සිය ආයතනය තුළ සිදුකරන විශාල ශ්‍රම සූරාකෑම, රජයෙන් පිරිනමන බදු සහන හා බදු පැහැර හැරීම, දේශපාලන තන්ත්‍රය තුළ ඇති සබඳතා හරහා ලබා ගන්නා වෙලඳපොළ ටෙන්ඩර් වාසිවල සිට ඒකාධිකාර බිහිකර ගැනීම දක්වා වන වාසි මගින් බව පැහැදිලිව දැකිය හැක.

ටෙන්ඩර් ලබා ගැනීමේ සිට ඒකාධිකාර බිහි කර ගැනීම දක්වා වන වාසිදායක කොන්දේසි සඳහා ඔවුන් රාජ්‍ය නිලධාරී තන්ත්‍රය, දේශපාලන තන්ත්‍රය යොදා ගනු ලබයි. මෙම දූෂණ දාමය දෙස බැලූ විට එහි කෙළවරේ සිටින්නේ මෙරට ධනවත්ම ව්‍යාපාරික පවුල් අතලොස්ස බව පෙනෙන අතර එයට සම්බන්ධ පූර්ව පුරුක් ලෙස දූෂිත රාජ්‍ය නිලධාරීන්, දූෂිත දේශපාලකයන් සිටින බව පැහැදිලිව පෙනේ.

එනිසා දූෂණ විරෝධී ආඛ්‍යානය පවා ගැඹුරින් මෙම ක්‍රමය සමග බද්ධ වී ඇති බව මෙහිදී කිව යුතුය. කෙසේ වුවත් අප මෙහිදී අවධානය යොමු කරන්නේ ‘ලංකාවේ ආර්ථිකය මෙම උගුලෙන් ගලවා ගැනීමට ජනතාවගේ (සියලුම පහළ පාන්තික, පහළ මැද පාන්තික සමාජ ස්ථරවල) ආර්ථික අභිලාෂය වන ඔවුන්ගේ ආර්ථික ජීවිතයේ ආතතිය අවසන් කිරීම වංචා දූෂණ ප්‍රශ්නයට පමණක් ආමන්ත්‍රණය කිරීමෙන් සිදු කළ නොහැකිය’ යන කාරණයයි. එනිසා වංචා දූෂණ ප්‍රශ්නයට පවා අත ගැසීම ඉතාම සංකීර්ණ කාරණයක් බව යළි අවධාරණය කළ යුතුය.

අප ඉහතින් සඳහන් කළ ආකාරයට, 2022න් පසු ඇරඹී ඇති නව දේශපාලන පරිච්ඡේදයේ ප්‍රධාන ගතිකයන් අතර ප්‍රමුඛතම එකක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යායපත්‍රයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුළු මැදිහත්වීම පිළිබඳ අවධානය යොමු කිරීමට මෙම  ලිපිය තුළ බලාපොරොත්තු නොවන අතර ඔවුන්ගේ අනුමැතියෙන් ක්‍රියාත්මක කිරීමට සූදානම් කරන දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ මෙහිදී අවධානය යොමු කිරීමට අපේක්ෂා කරමු.

රට දිගුකාලීන අසාර්ථක රාජ්‍යයක අද්දර පවත්වාගෙන යාමේ එක්සත් ජනපද උපායමාර්ගයට අනුව පැහැදිලි ලෙසම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කටයුතු කරන බව අපගේ ස්ථාවරයයි. පසුගිය ජනාධිපතිවරණ සමය තුළත් අප ඉතාම තදින් අවධාරණය කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රය උගුලක් බැවින් එයින් ඉවත් විය යුතු බවයි. කෙසේ වුවත් ජනාධිපතිවරණයේ ජයග්‍රාහී පාර්ශ්වය වන ජාතික ජන බලවේගය ඉදිරිපත් කළේ ‘විකල්ප ණය තිරසරකරන ඇගයීමකට යන බව’ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පසුගිය රනිල්-රාජපක්ෂ පාලනය විසින් අත්සන් කළ ගිවිසුම ජනතාවට වාසිදායක වන ලෙස සංශෝධනය කරන බවයි. අප ඉතා තදින් කල්පනා කරන්නේ රටටත් ජනතාවටත් සිදුවීමට යන විනාශය අවම කීරීමට, අඩුම තරමින් විකල්ප ණය තිරසරකරන සැලැස්මට හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම ජනතාවට හිතකර අයුරින් සංශෝධනයකට ඔබ පාලනය යා යුතු බවයි.

එම පදනමේ සිට ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ ගැටලුව හා එහි අනාගත අභියෝග පිළිබඳ ජාතික ජනබලවේගය ආණ්ඩුවේ අවධානය යොමු කිරීම මෙම ලිපියේ අරමුණයි. රටේ ණය ප්‍රධාන වශයෙන් දේශීය හා විදේශීය ණය ලෙස වෙන් කරන අතර දේශීය ණය සඳහා වන ප්‍රතිව්‍යූහගතකරණය මේ වන විට සිදු කර අවසන්ය. නමුත් එම දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය පසුගිය රනිල්-රාජපක්ෂ ආණ්ඩුව සිදු කරනු ලැබුවේ විනිවිදභාවයකින් තොරව හිතුවක්කාරී පිළිවෙතක සිට බව පැහැදිළිව පෙණුනු කරුණකි. එම අවස්ථාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය හා විපක්ෂයේ දේශපාලන පක්ෂ පැහැදිලි විරෝධයක දක්වමින් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධ ගැටලු දෙකක් මතු කරන ලදී. එම  ගැටලු වූයේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සේවක සුබ සාධන අරමුදල් මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මුළුමනින්ම බිලිදීමට ගත් තීරණය හා ණය ප්‍රතිව්‍යූහගතකරණය හරහා අසීමිත ලාභයක් මූල්‍ය වෙළෙඳපොළේ සිටින ප්‍රාථමික ගැණුම්කරුවන් ඇතුළු පෞද්ගලික ගැණුම්කරුවන්ට හිමි වන බවත්ය.

 දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයේ ගැටලු

මෙම දේශිය ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී මහබැංකු අධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කාරණය වූයේ 30%ක විදේශ ණය කප්පාදුවක් සඳහා දේශීය ණය 30%ක කප්පාදුවක් සිදු කළ යුතු බවයි. එහෙත් එම කප්පාදුව සිදු වූයේ ඉතාම අසාධාරණ පදනමක් මත බව ඒම කාලය තුළදීම වෘත්තීය සමිති ව්‍යාපාරය විශාල අරගලයක් කරමින් කියා සිටියේය. එමෙන්ම මේ වන විට සකසා ඇති විදේශී ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී එවැනි 30% ක විදේශිය ණය කප්පාදුවක් නොමැති බවද පෙනී යයි. මෙහිදී සිදු වූ තත්වය නැවත ඉස්මතු කළ යුත්තේ එම අවස්ථාවේ විපක්ෂයේ සිටි සියලු බලවේග ඊට එරෙහි වූ අතර තම පාලනයක තුළ අර්ථසාධක අරමුදල ඇතුළු සේවක අරමුදල්වලට සිදු වූ අසාධාරණය නිවැරදි කරන බවට ඔබ දුන් පොරොන්දුව නිසාය.

කෙසේ වුවත් සේවක අර්ථසාධක අරමුදල විසින් භාණ්ඩාගාර බැඳුම්කර හරහා රජයට ලබා දුන් ණයවලට (රුපියල් බිලියන 3500කට ආසන්න) ප්‍රතිලාභ අනුපාතිකය 2025 වන තුරු 12% ලෙසත් ඉන් අනතුරුව 9%ක් ලෙසත් වෙනස් කිරීම හරහා එම අරමුදල දීර්ඝ කාලීන ඛාදනයකට ලක් වනු ඇත. මෙම ගැටලුව පිළිබඳ ‘විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය’ විසින් ගොණු කළ නඩුවකදී අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයකින් අවධාරණය කර තිබුණේ වසර 2037වන විට අරමුදල 48% ක ඛාදනයකට ලක්වන බවයි. එම නිසා මෙම වැරැද්ද හා අසාධාරණ තත්වය නිවැරදි කිරීමට ලක්ෂ 22ක් වන මෙරට සක්‍රිය සේවක අර්ථසාධක ගිණුම් හිමි වැඩකරන පන්තිය බලාපොරොත්තු වනු ඇත.

එමෙන්ම කාසියේ අනෙක් පැත්ත වන්නේ ඉතාම මතභේදකාරී අයුක්තිසහගත ලාභයක් ඉහත ප්‍රාථමික හා පෞද්ගලික ගැණුම්කරුවන්ට ලබාදීම පිළිබඳ ගැටලුවයි. එනම් සේවක අර්ථසාධක අරමුදලට හා අනෙක් සේවක සුබසාධන අරමුදල්වලට පිටින් පවතින ඉතිරි කිසිදු බැඳුම්කරයකට මෙම ප්‍රතිලාභ අනුපාත වෙනස් කිරීමක් මහබැංකුව එම මොහොතේ තීරණය නොකිරීමය. රජයට මෙලෙස ණය ලබා දෙන ප්‍රාථමික වෙළෙඳපොළ තුළ  පිළිගත් මූල්‍ය ආයතන එවකට පැවතියේ 12ක් පමණි. සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සේවක සුබ සාධන අරමුදල් කිහිපයකට හැරුණු කොට ඉතිරි මූල්‍ය ආයතන කිසිවක ප්‍රතිලාභ සඳහා බලපෑමක් ණය ප්‍රතිව්‍යුගතකරණයේදී සිදු නොවුණි.

ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 අප්‍රේල් මස 01(ආර්ථික අර්බුදය සංකේතියව පුපුරා යාමේ ආරම්භය) දා සිට 2023 සැප්තැම්බර් 15(දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කළ කාල පරිච්ඡේදය) දක්වා කාල පරිච්ඡේදය තුළ රජය නිකුත් කළ බැඳුම්කර සඳහා ප්‍රතිලාභ අනුපාතිකය 20% ත් 33%ත් අතර විය. 2022 අප්‍රේල් 01 සිට 2023 සැප්තැම්බර් 15 දක්වා රජය නිකුත් කර ඇති බැඳුම්කරවල මුළු වටිනාකම රුපියල් බිලියන 1,825ක් පමණ වේ. ඒ සඳහා පමණක් වාර්ෂිකව ගෙවිය යුතු ප්‍රතිලාභය පහත පරිදිය. මෙම ගණනය කිරිම සිදුකර ඇත්තේ මහබැංකු දත්ත පදනම් කරගනිමින් වසර කිහිපයක් ඉදිරියට පමණකි. මෙම ප්‍රතිලාභ ගෙවීම්  2025 න් අවසන් වන්නේ නැත.

2023 වසරට –  රු. බිලියන 394

2024 වසරට – රු. බිලියන 453

2025 වසරට – රු. බිලියන 453

මේ සා විශාල ආර්ථික අර්බුදයක ගිලී පවතින රටක් මෙතරම් ඉහළ ප්‍රතිලාභයක් ඉහත මූල්‍ය ආයතන 12 කට (එවකට ප්‍රථමික වෙළඳපොළ තුළ පිළිගත් මූල්‍ය ආයතන- සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල් හැර) ගෙවන්නේ කුමන උවමනාවකටද? අනෙක් අතට එම ප්‍රතිලාභය අර්ථසාධක අරමුදලට පමණක් අහිමි කළේ කුමන පදනමකින්ද ?

මෙහි ප්‍රතිලාභ ගැන බැදුම්කර වෙළදපොළේ ප්‍රාථමික ගැනුම්කරුවන් වන මූල්‍ය සමාගම් දෙකක් නිකුත් කර ඇති නිල වාර්තා පහත වගුව හරහා දැක ගත හැක. එම වගුවට අනුව 2019 සිට 2023 දක්වා වසර පහක මුළු කාලය තුළ එම මූල්‍ය ආයතන ලබා ඇති ලාභයට වඩා දෙගුණයකටත් වැඩි ලාභයක් 2024(2024 මාර්තු 31 අවසන් වන) වසර තුළ පමණක් ලබා ගෙන ඇත. පැහැදිලිවම මෙම ලාභය ගලාගෙන ආවේ ඉහත තීරණයේ ප්‍රතිඵලයක් ලෙසය. එනිසා මෙය එක්තරා ආකාරයකට ලංකාවේ ආර්ථික අර්බුදයට වගකිව යුතු ධනවත්ම ව්‍යාපාරික පවුල් අතලොස්සටම හිතාමතා වාසි සලසාදීමක් ලෙස පෙනී යයි.

මුල්‍ය ආයතනය

2024 වසර ලාභය රු. මිලියන

2023 වසර ලාභය රු. මිලියන

2022 වසර

ලාභය රු. මිලියන

2021 වසර

ලාභය රු. මිලියන

2020 වසර

ලාභය රු. මිලියන

2019වසර

ලාභය රු. මිලියන

Capital Alliance PLC

13,893

2,827

(171)

966

737

37

Fist Capital Treasuries PLC

11,143

2,886

(652)

1,837

1,208

95

*එම ආයතනවල වාර්ෂික වාර්තා ඇසුරෙනි. මෙහි දක්වා ඇත්තේ බදු ගෙවීමෙන් පසු ලාභයයි

එම නිසා දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සේවක අරමුදල්වලට සිදු වූ අසාධාරණය නිවැරදි කිරීමත් ඉතිරි මූල්‍ය සමාගම් වෙත ලබා දුන් අනිසි ලාභය අවසන් කිරීමත් වත්මන් ආණ්ඩුව ඉදිරිපිට ඇති කර්තව්‍යයකි.

විදේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය

විදේශීය ණය ප්‍රධාන වශයෙන් කොටස් තුනකි. බහුපාර්ශ්වීය ණය (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි), ද්වි පාර්ශ්වීය ණය (චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල් ලබා දුන් ණය), වාණිජ වෙළඳපොළෙන් ලබා ගත් ණය එම පාර්ශ්ව ත්‍රිත්වයයි. දැනට ණය පිළිබඳ එකඟතාවයේ සිදු වෙමින් ඇත්තේ වාණිජ ණය ඉලක්ක කර ගෙනය. ඉතිරි සියලු ණය සම්බන්ධයෙන් මේ වන විටත් විවිධ මට්ටමේ සාකච්ඡා සිදු වී ඇත. කෙසේ වුවත් දැනට වාර්තා වී ඇති ආකාරයට අනුව රනිල්-මහින්ද පාලනය පසුගිය සැප්තැම්බර් 19 වැනිදා වාණිජ ණය එනම් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පිළිබවද ඇති කර ගෙන ඇති ඒකඟතාව රටේ අනාගතයට ඉතාම අවදානම්කාරී වේ. එමෙන්ම ඉතිරි ණය ප්‍රතිව්‍යූහගත කරණය සිදු වන්නේද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිවූහගතකරණය සඳහා ගනු ලබන පදනම මත සිටය. එම නිසා මෙය මේ මොහොතේ නිවැරදි නොකළහොත් එය දශක ගණනාවක ආර්ථික උගුලක රට සිර කිරීමක් වනු ඇත.

ලංකාව විසින් 2022 සිට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා වන පොලිය සහ කල් පිරීමේ වාරික නොගෙවා සිටි අතර 2028 සිට එය නැවත ගෙවීම සඳහා මේ වන විට සැලැස්මක් ඉදිරිපත් කර ඇත. මෙම සැලැස්ම පිළිබඳ මතභේදාත්මක කරුණු  රැසක් ඇති අතර ඒවා පහත පරිදි දැක්විය හැකිය.

  1. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයේ පදනම ලෙස ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය සමග සම්බන්ධ කිරීම

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයේ පදනම ලෙස ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය සමග සම්බන්ධ කිරීම ණය හිමියන් විසින් යෝජනා කරන ලදුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද එකඟ වී ඇත. වාර්තා වී ඇති ආකාරයට මෙම ක්‍රියාමාර්ගය ලෝකයේ පළමු වතාවට අත්හදා බැලීමට යන්නේ ලංකාව තුළය. ඉහත සඳහන් ආකාරයට නාමික දළ දේශීය නිෂ්පාදිතය මත පදනම් වී ණය ප්‍රතිව්‍යූගතකරණය ඉතාම අවාසිසහගත වේ. නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය ඉහළ යන විට යම් අවස්ථාවක මූර්ත දළ දේශීය නිෂ්පාදිතය කඩා වැටිය හැකිය. 2023 වසරේ ලංකාවේ මුර්ත දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධනය සෘණ 2.3 % ක් වුවද 2022 නාමික දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන74.4 ක සිට 2023 දී ඩොලර් බිලියන 84.4 දක්වා ඉහළ ගොස් ඇත.

එනම්, රටේ ආර්ථිකය සැබෑ ලෙස කඩා වැටෙද්දී නාමික දළ දේශිය  නිෂ්පාදිතය ඉහළ යාම මුළු ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා දර්ශකයක් ලෙස පාදක කරගනී. මෙය සැබෑ ආර්ථිකය බිඳ වැටෙද්දී ණය කප්පාදුව අහිමි කරන රුදුරු සමීකරණයකි. මෙහිදී ඔවුන් පාදක වසර ලෙස යොදාගනු ලබන්නේ 2025, 2026, 2027 යන ඉදිරි වසර තුනයි. එම වසරවල නාමික දළ දේශිය නිෂ්පාදිත අගයන්ගේ එකතුවේ සාමාන්‍යය පදනම් කරගනිමින් මෙම ණය ගෙවීමේ සැලසුම සකසා ඇත.

යම් හෙයකින් 2025-2027 වසර තුන තුළ නාමික දළ දේශිය නිෂ්පාදිතය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කරන පුරෝකථන අගය වන අමෙරිකන් ඩොලර් බිලියන 88.6 ට වඩා ඉහළ ගිය හොත් එම ඉහළ යන අගයන්ට සාපේක්ෂව 27% ක් ලෙස දක්වා ඇති ණය කප්පාදුවේ ප්‍රමාණය 12% දක්වා පහළ යයි. ඉදිරි වසර තුන ඇතුලත නාමික දළ දේශිය නිෂ්පාදිතයේ ඩොලර් අගයේ සාමාන්‍යය ඩොලර් බිලියන 107 දක්වා ඉහළ ගියහොත්  12% දක්වා මෙම ණය කප්පාදුව අඩු වීමට නියමිතය. මෙය ඉතාම පැහැදිලිව ණය හිමියන්ට වාසි සහගත වන අයුරින් සකසන ලද්දකි. එම නිසා ඉහත ණය සාකච්ඡාවලදී රනිල්-රාජපක්ෂ පාලනය විසින් ඇටවු මෙම උගුලෙන් ඉවතට ආ යුතුව ඇත.

2. දළ දේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස ණය අනුපාතය 95% ක් වීම ප්‍රශස්ත අගයක් යැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පැවසීම

මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ සලැස්මේ ඇති තවත් ගැටලුවක් වන්නේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව, රාජ්‍ය ණය 95%ක් ප්‍රතිශතයක තීබීම යෝග්‍ය යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා ඇති නිර්ණායකයයි. ආර්ථික පරිවර්තන පනත සකසා ඇත්තේද මෙම ප්‍රමිතියෙන් පැන නගින දර්ශක පදනම් කරගෙනය. එහෙත් මෙම පදනමේ බරපතළ ගැටලු ඇත.

1990 දශකය ආරම්භයේදී ගෝලීය ණය තිරසරකරණ ඇගයීම් වාර්තාවක් නිකුත් කළ ලෝක බැංකුව, යම් රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් ණය ප්‍රතිශතය 50% ඉක්මවා යන්නේ නම් එය අධික ණය බරින් යුතු රටක් ලෙස නම් කළේය. මෙම වාර්තාව මත පදනම් වන එක්සත් ජාතින්ගේ සංවිධානයද වසර 2006 සැසිවාරයකදී යෝජනාවක් පවා සම්මත කර ඇත. ගෝලීය දකුණේ ණය අර්බුදය පිළිබඳ කටයුතු කරන ‘ජුබිලි ව්‍යාපාරය’ වැනි සංවිධාන පවා රටක ණය ප්‍රතිශතය  දළ දේශිය නිෂ්පාදිතයට සාපේක්ෂව 50% ක පැවතිය යුතු බව දක්වයි. එම නිසා රටක ණය බරතාව පිළිබඳ බටහිර බලවේග විසින් පිළිගත් ආයතන පවා මෙම (රටක ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් 50%කට වඩා අඩු විය යුතු බවට වන) ස්ථාවරය විටින් විට ගෙන හැර දක්වා ඇත.

එහෙත් මේ සියල්ල පසෙක දැමු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම අගය 95% ක් වීම ගැටළුවක් නොවන බව දක්වයි. මෙහි සැබෑ වාසිය සැලසෙන්නේ ණයකරුවන්ටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉහත අගය 95% යැයි කියන  අගයට වඩා පහතට ගෙන ගියේ නම් ණය කප්පාදුව තවත් ඉහළ යැමෙන් ලංකාවට විශාල සහන ලබා ගැනීමට හැකිව තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලි ලෙසම මෙහිදි ණයකරුවන්ට වාසි ඇතිවන ලෙස මෙම නිර්ණායකය සකසා ඇත.

3. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳියාවන් අතර ගැටුමක සිටී

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අතරමැදියකු ලෙස සම්බන්ධ වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලද ලංකාවට ණය ලබාදුන් ණය පාර්ශ්වකරුවෙකි. එම නිසා එවැනි සාකච්ඡාවක මැදිහත්කරුවකු වීමට සැබෑ අර්ථයෙන් ඔවුන්ට නොහැකිය.  පවතින ස්ථාපිතයට යටත් නොවී ප්‍රශ්නය  දෙස බලන ඕනෑම අයකුට එය වැටහේ. එපමණක් නොව අර්බුදයෙන් පසු ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා වාරික හතරකින් ලැබෙනු ලැබෙන ඩොලර් බිලියන 2.9ක ණය මුදලට ඩොලර් බිලියන 1.9ක පොළියක් ලබාගැනීමේ එකඟතාවකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසු වෙයි. මෙහි පොලී අනුපාතයේ 7%ක් තරම් ඉහළ අගයකි. සාමාන්‍යයෙන් එවැනි පොලියකට ණය ලබාදීම සිදුවන්නේ විවෘත වෙළඳපළින් වාණිජ ණය ගන්නා අවස්ථාවලදීය. මෙවැනි අධික පොලියක් අය කිරීම නිසා ජාත්‍යන්තර

මූල්‍ය අරමුදල ලබා දෙන ඩොලර් බිලියන 2.9ක ණය සඳහා නැවත වසර දහයක් ඇතුළත ඩොලර් බිලියන 4.7 ක මුදලක් ගෙවීමට සිදුවනු ඇත. බහුපාර්ශවීය ණයකරුවන් එනම් ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සිය ණය සඳහා කිසිදු කප්පාදුවක් ලාබ නොදෙන්නේ ඔවුන් ණය දෙන්නේ 1%-2% අතර පොලී අනුපාතවලටය’ යන තර්කය පාවිච්චි කරමිනි. එහෙත් අපට මේ වනවිටත් ලාබා දී ඇති විස්තීරණ ණය පහසුකමේ මුදල වන ඩොල්ර් බිලියන 2.9 ලබාදෙන්නේ ඉහත සඳහන් පරිදි 7% ක තරම් අධික පොලියකටය. එසේ නම් කප්පාදුව බැහැර කිරීමට යොදා ගන්න තර්කය ඉන් බැහැර නොවේද? මේ සියල්ල හරහා පෙනී යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම තුළ පැහැදිලිවම බැඳියාවන් අතර ගැටුමක් ඇති බවයි.

4. අධික පොලී ප්‍රතිශත රටකට දැරිය හැකිද?

දැනට යෝජිතව ඇති ජාත්‍යන්තර ස්වෛරී බෙදුම්කර ප්‍රතිව්‍යුහගතකරන සැලැස්මට අනුව  එම බැඳුම්කර සඳහා 8.75% සිට 9.75%  කූපන් අගයක් ගෙවීමට (2033 සිට 2038 දක්වා කල්පිරීමට නියමිත බැඳුම්කර සඳහා එම කාලයට අදාළව) යෝජිතව ඇත. එමෙන්ම දළ දේශිය නිෂ්පාදිතයේ නාමික අගය සමග සම්බන්ධ කරමින් සකසා ඇති ණය සමීකරණවලට අනුව 2028-32 අතර කූපන් ප්‍රතිශතය 3.35 % සිට 5.1% කූපන් අගයක් ගෙවීමට යෝජිත වන අතර එය ඉහත නාමික දළ දේශිය නිෂ්පාදිතය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදනම් අගයට වඩා වැඩිවන ප්‍රමාණයට සාපේක්ෂව කූපන් අගය 0.25 % සිට 2%  දක්වා තවදුරටත් වැඩි විය හැක.  යෝජිත සැලැස්මට අනුව එහි බරිත පොලිය 5.5% සිට 8% පමණ දක්වා වෙනස් විය හැක.

ඉදිරි වසර කිහිපය පිළිබඳ පුරෝකථනය කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලම දක්වා සිටින්නේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය 3% අගයකට අඩු තත්වයක පවතිනු ඇති බවයි. ආර්ථික වර්ධන වේගයට සමාන්තර ප්‍රතිශතයක ණයවල පොලී අනුපාතික පැවතිය යුතු යැයි සාමාන්‍ය ආර්ථික විද්‍යාත්මක පිළිගැනීමක් ඇත. මෙම ණය සැලසුම තුළම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත්තේ ඇත්තේ 2024-27 වසර අතර ලංකාවේ සමස්ත මූර්ත දළ දේශීය නිෂ්පාදනය වර්ධනය 11.5% වනු ඇති බවයි. එසේනම් ඔවුන්ම පවසන ආකාරයට වසරකදී ළඟාවිය හැක්කේ 2.7%ක ආර්ථික වර්ධන වේගයකට ය.

එහෙත් සිදුවනු ඇත්තේ, ආර්ථික වර්ධන වේගය  3% අගයක පවතින බවට පුරෝකථනය කළ තත්ත්වයක් යටතේ පවා බරිත පොලිය 6% ක සිට 8.5% දක්වා අති විශාල පොලී අනුපාතවලට එකඟවීම හරහා නැවත වටයකින් විශාල ණය උගුලක රට හිරවීමයි. මෙලෙස අධික කූපන් පොලී ප්‍රතිශතවලට එකඟවීම හරහා ලංකාව අනාගතයේ ලබාගන්නා ණයවල පොලී ප්‍රතිශතවලටද බලපෑමක් වනු ඇත. එම පොලී ප්‍රතිශත සැකසෙනු ඇත්තේ මෙම අගයන්ද පූර්වාදර්ශයට ගනිමින්ය.

5. නොගෙවූ පොලියට නැවත පොලියක්

දැනට යෝජිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරන සැලැස්මට අනුව 2022 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා නොගෙවූ  කූපන් වාරික ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 1,678 (27% කප්පාදුවෙන් පසුව) ක මුදලක් දක්වා ඇත. එම යෝජනාවට අනුව එයද තවත් බැඳුම්කරයක් ලෙස නම් කර 4% කූපන් පොලියක් ලබාදෙමින් 2024 සිට 2028 දක්වා කොටස් වශයෙන් ගෙවී යාමට සැලැස්මක් ඉදිරිපත් කර ඇත. මෙහි හරය වන්නේ නොගෙවූ පොලී සඳහා නැවත පොලී අය කිරීමකි. මේ ඉතා අසාධාරණ තත්ත්වයක් වන අතර ‘දඬුවම් මුදලාලි’ පන්නයේ ගිනිපොලී පිළිවෙතකි. එම දඩ පොලිය වසරකට ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 64කි. මෙහිදී දැක්විය යුත්තේ මීට සති කිහිපයකට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කළ ඝානා රාජ්‍යය මෙවැනි දඩ පොලියකින් තොරව එය සිදු කළ බවයි. රටේ දරුවන්ගෙන් හතරෙන් එකක් මන්දපොෂණයට ගොදුරුව ඇති තත්වයක සහ නිල වාර්තාවලට අනුව රටේ දුප්පතුන් 26% දක්වා වැඩි වි ඇති තත්වයක මෙවැනි දඩ පොලියකට අප එකඟ විය යුතු නැත.

6. එකඟවීමේ ගාස්තු

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන සැලැස්මේ දක්වා ඇති පරිදි මෙම සැලැස්මට එකඟවීම යන කරුණ සඳහා 1.8% එකඟවීමේ ගාස්තුවක් එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 225ක ගාස්තු ගෙවිය යුතුය. දඩ පොළියට අමතරව තවත් එකඟවීමේ ගාස්තුවක් ගෙවීම සඳහාද බංකොලොත් වී ඇති රටක් නම්මා ගැනීමේ සධාරණත්වය කුමක්ද? මේ සියලු මුදල් බැර වනු ඇත්තේ මෙරට පොදු ජනයාගේ බදු ගොඩටය. පසුගිය පාලනය සකසා ඇති මෙවැනි එකඟතා නව පාලනයක් විසින් ප්‍රශ්න කළ යුතු නොවේද? ඉහතින් සඳහන් කළ අප වැනිම පහළ මැදි ආදායම් ලාභි රටක් වන ඝානාව ඩොලර් බිලියන 13ක ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර ප්‍රතිව්‍යුහගතකරණයේදී මෙම එකඟ වීමේ ගාස්තුව ලෙස ගෙවා ඇත්තේ 1% ක අගයක් පමණක් බවද මෙහිදී අවධානයට ලක් කරමු .  රනිල්-රාජපක්ෂ පාලනයේ දඩ පොලී සහ විශාල එකඟවීමේ ගාස්තු සහිත ණය ප්‍රතිව්‍යුහගතකරන සැලැස්මක් සකස් කර එයට ජාතික ජන බලවේග ආණ්ඩුවේ රබර් මුද්‍රාව යොදාගැනීමේ සැලැස්මක් මෙහි තිබෙන බව බැලු බැල්මට පෙනීයන කාරණයකි. එම නිසා බැඳුම්කරහිමියන්ම ඉදිරිපත් කළ ප්‍රතිව්‍යුහගතකරන සැලැස්මට එකඟ වූ  විට අප එකඟවීමේ ගාස්තුවක් ගෙවිය යුතුද? අනෙක් අතට එම ගාස්තුව 1.8% තරම් ප්‍රතිශතයක් විය යුතුද යන ප්‍රශ්න මතු කළ යුතුය.

7. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල පොලී ප්‍රතිශත ඉහළ යාමේ අනතුර

මෙවැනි ඉතාම ආතතිකර ණය ප්‍රතිව්‍යුහගතකරන සැලැස්මකට රට එකඟ වුවහොත් ඒ හරහා අපගේ ණය තිරසරභාවය කුමන හෝ මොහොතක පහළ යනු ඇත. එලෙස ණය තිරසරභාවය පහත වැටීම විසින් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මෙන්ම ද්වී පාර්ශවීය හා බහු පාර්ශවීය ණයවල පොලී ප්‍රතිශත ඉහළ යාමේ අවදානමක් අනාගතයෙහි නිර්මාණය විය හැක.

8 .ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිලදීගත් ලංකාවේ බැංකු මූල්‍ය ආයතනවලට විශාල වාසියක්

ලංකාවේ බැංකු හා මූල්‍ය ආයතන ගණනාවක් ඩොලර් බිලියන 1.8 ක පමණ(2023 වසර අවසන් වන විට) ජාත්‍යන්තර ස්වෛරී බෙදුම්කර මිලදීගෙන තිබුණි. එහෙත් වාර්තා වන ආකාරයට එවකට රටේ පැවති ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් ගෙවුණු කාලය තුළ (2020 මාර්තු සිට මේ දක්වා) ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අලෙවි වී ඇත්තේ එහි සැබෑ වටිනාකමින්(මුහුණත වටිනාකම) 24% සිට 60% (වෙළඳපල වටිනාකම) පමණ අඩු වටිනාකමකටය. එනම් රජය ඩොලර් බිලියන 1.8ක වටිනාකමින් යුත් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ලංකාවේ බැංකු හා මූල්‍ය ආයතන වෙත 2023 වසර අවසන් වන විට නිකුත් කර තිබුණත් එම බැඳුම්කරවලින් කොටසකට හෝ ඔවුන් ගෙවා ඇත්තේ ඊට වඩා අඩු අගයක් බව අනුමාන කළ හැක.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරන සැලැස්මේදී ලංකාවේ බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කර ඇති සැලැස්ම එම ආයතනවලට ඉතාම වාසිදායක වී ඇත. 2022 වසරේ ඇති වූ මූල්‍ය අර්බුදයත් සමග සාමාන්‍ය සාකච්ඡාවේ පැවතුණේ 55% පමණ කප්පාදුවක් ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර වෙත ඇතිවිය හැකි බවයි. ජාත්‍යන්තර ගිණුම්කරන මූලධර්මවලට අනුව කටයුතු කරන ආයතනවලට මෙවැනි අර්බුදයකදී පූර්ව සූදානමක් ලෙස කල් ඇතුව සිය ලාභයෙන් පංගුවක් වෙන් කරමින් ණය හා අලාභ සදහා හානිකරණයට සුදානම් වීම සමාන්‍ය සම්ප්‍රදායයි.  ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මෙලෙස මිලදීගත් ලංකාවේ මූල්‍ය ආයතනවල විගණන කටයුතුවලට සම්බන්ධ වූ ආයතන වලින්ද එම මූල්‍ය ආයතනවලට ලබා දී තිබූ උපදෙස වන්නේ 55% කප්පාදුවකට සූදානම් වන ලෙසයි. ඒ සඳහා 2022 වසරේ සිට මේ දක්වා එම බැංකු හා මූල්‍ය ආයතනවල වෙන් කිරීම් සිදුකර ඇති අතර යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය තුළ එම ණය කප්පාදුව 35-39  % ක් වැනි අගයකට අඩු කර ඇතැයි කියැවේ. මේ හේතුවෙන් එම බැංකු හා මූල්‍ය ආයතනවලට විශාල ලාභයක් මෙම වසර තුළ ලැබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ආයතනවල කොටස් මිලද විශාල ලෙස ඉහළ ගොස් ඇත. මෙලෙස අතිවිශාල ලාභයක් බැංකු හා මූල්‍ය සමාගම් කීපයක් අත ගොඩ ගැසීම පොදු ජනතාවට දැරිය නොහැකි බදු පීඩනයක් ලෙස ඉදිරි කාලයේදී මුහුණ දීමට සිදුවනු ඇත. මෙහිදි බැංකු පද්ධතිය ආරක්ෂා කරමින් එහෙත් අනිසි ලාභායක් ඉපයීමට ඉඩ නොතබමින් ඔවුන් මේ වනවිටත් සුදානම්ව සිටින 55% ක කප්පාදුව වැනි ක්‍රියාමාර්ගයකට යා හැක.

9 .ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ‘මුහුණත වටිනාකම’ හා ‘වෙළඳපොළ වටිනාකම’

මහ බැංකුව මගින් නිකුත් කරන බැඳුම්කර හා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර පිළිබඳ සාකච්ඡාවේදී මෙම මුහුණත අගය හා වෙළඳපළ අගය අතර පරතර යන කරුණ අතර පදනම් වී සාකච්ඡාවක් ගත හැක. යම්කිසි බැඳුම්කර නිකුතුවක් අවස්ථාවේදී ඒ මොහොතේ පවතින ආර්ථික ශ්‍රේණිගත කිරීම් හා තවත් කරුණු මත යම්කිසි රටක බැඳුම්කරයක් සඳහා ලබාගත හැකි මූල්‍යමය වටිනාකම තීරණය වන අතර එමගින් ස්වෛරී බැඳුම්කරයක මුහුණත වටිනාකම හා වෙළඳපොළ වටිනාකම අතර පරතරයක් නිර්මාණය වේ. 2020 වසර ආරම්භයේදී ලංකාවේ බැඳුම්කරයක් සඳහා වෙළඳපොළ වටිනාකම් පැවතියේ 97% වැනි අගය. එහෙත් ඒ කොවිඩ් අර්බුදයත් සමග ඇති වූ ආර්ථික අස්ථාවරභාවය විසින් 2020-21 වසර වන විට 24%-60% මට්ටමට පහත වැටුණි. රජය නිකුත් කළ තෝරාගත් එක් ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කරයක  (ISIN- USY8137FAL23) වෙළඳපොළ තුළ කාලානුරූපීව හිමි වූ වෙළඳපොළ වටිනාකම් ප්‍රතිශත පහත වගුවේ දක්වා ඇත.

වර්ෂය/ මාසය

2019/10

2020/1

2020/2

2020/3

2020/5

2020/11

2021/8

2021/10

2022/1

වෙළෙඳපොළ වටිනාකම (%)

98.22

96.95

95.11

60.50

56.42

62.24

62.67

62.44

49.56

වර්ෂය/ මාසය

2022/3

2022/7

2022/10

2023/4

2023/9

2024/1

2024/4

2024/6

2024/9

වෙළෙඳපොළ වටිනාකම (%)

51.05

26.39

24.28

34.66

46.09

51.27

56.86

59.52

53.18

ඒ අනුව පෙනී යන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර 2022 අවසානය වන විට ද්වීතීක වෙළඳපොළ තුළ හිමිව ඇති වෙළඳපොළ වටිනාකම 24% දක්වා පහත වැටී ඇති බවයි. සාමාන්‍යයෙන් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මූල්‍ය ආයතනවල ඔවුන්ට අදාළ වන මූල්‍ය රෙගුලාසි ඇති බැවින් මෙවැනි ආර්ථික බිඳවැටීමකදී ඔවුන් සතු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර විවෘත වෙළඳපළ තුළ විකිණීමට ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩල මගින් තීරණය කරනු ලබයි. මෙවැනි අවස්ථාවල සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මිලදී ගනු ලබන්නේ යම්කිසි අවදානමක් ගනිමින් අධික ලාභ ලැබීමේ උවමනාවෙන් කටයුතු කරන විවිධාකාර කුප්‍රකට සමාගම්ය. එනිසා මෙම බැඳුම්කරවල සැබෑ අයිතිය දැන් තිබෙන්නේ කාටද යන්න සොයා බැලිය යුතුය. ඔවුන් එවා මිලදීගත් වෙළඳපොළ වටිනාකම සසඳා බැලිය යුතුය. මුල් මිල දී ගත් සමාගම් සතුව තවමත් එහි අයිතිය නොපවතී නම් කූට ලෙස අධික ලාභයක් ඉපයීමට සුදානම් වන කුප්‍රකට පුද්ගලයන්ට එම ලාභය ලබාදිය යුතු නැත. මන්ද ඒ හරහා ඔවුන්ට කිසිදු පාඩුවක් සිදු නොවේ.

10. වෝහාරික විගණනය

ලෝකයේ ණය පිළිබඳ සංවාදයේ ප්‍රබල ලෙස මතුකරන කාරණයක් යවන්නේ විලෝපික ණය(Predatory Loans), එනම් රාජ්‍යයන් ගොදුරු කරගැනීම සඳහාම ලබා දෙන ණය පිළිබඳ සංවාදයයි. ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට පෙර විශ්ෂයෙන්ම 2023 ජනවාරි මාසයේ ග්‍රීසියේ හිටපු මුදල් ඇමති යානීස් වරුෆකීස් ප්‍රමුඛ ලෝකයේ විද්වතුන් 182 කගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියකින් ලංකාවේ රජයෙන් ඉල්ලා සිටියේ පිලිකුල් සහගත ණය (Despicable Loans) නොගෙවා සිටින ලෙසයි. ලංකාව සමස්තයක් ලෙස ලබාගත් ද්විපාර්ශ්වීය ණය, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර, බහුපාර්ශ්වීය ණය හරහා මෙම පිලිකුල් සහගත ණය අර්බුදයට අප ඇතුළු වී ඇත. මේ පිළිබඳ 2022 වසරේ විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙන්නේ 2006 සිට 2021 දක්වා රුපියල් බිලියන 8,200 ණය හරහා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවලින් සැබෑ වත්කම් ලෙස පවතින්නේ බිලියන 2,700කට ආසන්න වත්කම් පමණක් බවය. මෙම වාර්තාව පදනම් කර ගනිමින් ලංකාවේ ණය පිළිබඳ වෝහාරික විගණනයක් කළ යුතු බවට ප්‍රබල ඉල්ලීමක් ඇත. ණය අර්බුදයකට මුහුණ දී සිටි ඉක්වදෝරය කලකට ඉහතදී පිලිකුල් සහගත ණය පිළිබඳ කාරණය ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡාවට ඇතුළු කරමින් 80%ක ණය කපාහැරීමකට පදනම සකස් කර ගත් ආකාරය යථාර්ථමය අත්දැකීමක් ලෙස ඇත.

එම නිසා මෙම පිලිකුල් සහගත ණය කපා හැරීමේ අවශ්‍යතාවක් ඇති අතර පසුගිය ‘ගෝඨා පලවා හැරීමේ අරගලය’ තුළද මෙම ඉල්ලීම ප්‍රබල ලෙස මතු විය. එමෙන්ම වත්මන් ආණ්ඩුවට ලැබී ඇති ජනවරම තුළ ද දූෂණ විරෝධය පිළිබඳ මතයක් ඇති අතර එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට වුවත් බැහැර කළ නොහැක. එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාව නැවත සමාලෝචනය කරමින් ‘විකල්ප වැඩපිළිවෙළක්’ ඉදිරිපත් කරන බවට මැතිවරණ ව්‍යාපාරය තුළ ජාතික ජන බලවේගය ප්‍රකාශ කර ඇති නිසා ජනවරම තුළද ඊට අනුමැතියක් ඇති බව බැහැර කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොහැකිය.

11. ණ්‍ය ප්‍රතිව්‍යුහගතකරණයේ නීතිමය පදනම වෙනස් කිරීම

දැනට ලංකාව ලබා ගෙන ඇති ණයවල නීතිමය ගැටලුවක් මතු වුවහොත් එයට අදාළ වන්නේ ‘නිව්යෝක් නිති රාමුව’යි. එහෙත් මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මෙම නීතිමය රාමුව ‘ලන්ඩන් නීතිමය රාමුව’ දක්වා වෙනස් කිරීමේ ප්‍රවේශයක් ඇත. නිව්යෝක් නීතියට අනුව, රටක ණය අර්බුදයකදී ණය කපා හැරීමේ හැකියාවක් ඇති අතර එය ලන්ඩන් නීති රාමුවට මාරු කළහොත් එම අවස්ථාව ඇහිරී යනු ඇත. අනෙක් අතට මෙහිදී නැගෙන සාධාරණ පැනය වන්නේ අප තවමත් ණය උගුලේ සිරවී සිටින නිසා නැවත රට බංකොලොත්භාවයට පත්වුවහොත් ඒ සඳහා වන පූර්ව සූදානමක් ලෙස ණය හිමියන් විසින් මෙවැනි කරුණක් ණය ප්‍රතිව්‍යුහගතකරණ කොන්දේසිවලට ඇතුළු කළාද යන්නයි.

12. විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණය

ජනාධිපතිවරණ වේදිකාව තුළ අප නියෝජනය කළ ජන අරගල සන්ධානය අවධාරණය කළේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයෙන් ඉවත් විය යුතු බවය. එහෙත් ජාතික ජනබලවේගය කියා සිටියේ ජනතාවට හිතකර අයුරින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සැලැස්ම සංශෝධනය කරන බවය. එමෙන්ම බලය ලබාගැනීමෙන් පසුව ‘විකල්ප ණය තිරසරකරණ සැලැස්මක්’ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කරන බවය. මෙම කටයුත්ත සඳහා සමහර විට වසරක එකහමාරක පමණ කාලයක්   ගතවිය හැකි බවද විවිධ මාධ්‍ය සාකච්ඡාවල ඔබ ප්‍රකාශකර තිබුණි. ලංකාව ණය උගුලක සිර කිරීමට සියලු සැලසුම් සකස්කර ගිය රනිල්-මහින්ද පාලනය, තමන් ඇටවූ උගුලේ අභිනව ආණ්ඩුව සිරවන තුරු බලා සිටින බවක් පෙනේ.

අප ඉතාමත් ඕනෑකමින් කියා සිටින්නේ ජාත්‍යන්තර හා ජාතික කුමන්ත්‍රණකාරී බලවේගයන්ගේ න්‍යායපත්‍ර කෙතරම් තදින් පෙළ ගැසී තිබුණද මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය, අවම වශයෙන් ඔබ ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළ ආකාරයට ‘විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණය’ හරහා වෙනස් කිරීමක් නොකළහොත් 2027 අවසාන වනවිට තියුණු ණය උගුලක රටත් ජනතාවක් ඇද වැටෙනු ඇති බවයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය පිළිබඳ මෙම කරුණු දැක්වීම පිළිබද සාරාංශය පහත පරිදිය. දේශය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙදී පුද්ගලික අංශ සේවක අරමුදල වෙත සිදුවූ හානිය නැවත නිවැරිදි කිරීම හා ප්‍රාථමික ගැණුම්කරුවන් ලබමින් සිටින අනිසි ලාභය අවසන් කිරීම, ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණයේ පදනම් දර්ශකය ලෙස සලකන ‘නාමික දළ දේශිය නිෂ්පාදිතයේ ඩොලර් අගය’ යන දර්ශකයෙන් මුලුමනින්ම බැහැරවීම, රටේ ණය ප්‍රමාණය 95% වීම ගැටලුවක් නොවන බව කියන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ස්ථාවරය වෙනත් බටහිර ආයතනවල වාර්තා පදනම් කරගනිමින් අභියෝගයට ලක් කිරීම, 2028 ණය හා පොලීවාරික ගෙවීම ආරම්භ කරනවා වෙනුවට තවත් සැලකිය යුතු කාලයක් ඒ සඳහා ගැනීම, වෝහාරික විගණනයක් හරහා පිළිකුල් සහගත ණය-විලෝපික ණය ගෙවීම බැහැර කිරිමේ ප්‍රවේශයකට අවතීර්ණ වීම, රටේ ආර්ථික වර්ධන වේගයට වඩා අධික ලෙස ඉහළ මට්ටමක පවතින කූපන් වාරික පහළට ගෙන ඒම, ණය පිළිබද නීතිමය රාමුව එක්සත් ජනපදයේ සිට එක්සත් රාජධානිය වෙත මාරු කිරීම නතර කිරීම, ඩොලර් මිලියන 223ක එකඟවීමේ ගාස්තුව පිළිබද විරෝධය පළ කිරීම (අවම වශයෙන් එය ඝානාවේ මට්මට පහත හෙළාගැනීම), 2022 සිට මේ දක්වා නොගෙවූ පොලියට, කූපන් වාරිකවලට දඩ ගැසීම නතර කිරීම හා එම හිග පොලිය(කූපන් වාරික කපා) හැරීම, ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර වල වත්මන් හිමිකරුවන්ගේ තොරතුරු සලකා බලමින් ඔවුන් බැදුම්කර මිලදී ගත් වටිනාකම මත ප්‍රතිලාභ ගෙවීමේ මූලධර්මයකට අවතීර්ණ වීම, ලංකාවේ බැංකු සහ මුල්‍ය ආයතන ලබා ගැනීමට යන විශාල ලාභය වලකාලමින් ඔවුන් 2022 සිට සූදානම් වු 55% ණය කප්පාදුවක් සහිත ප්‍රතිකර්මයක් ඔවුන්ට ඉදිරිපත් කිරිම වශයෙන් සාරංශ කළ හැක.

කෙසේවුවත් මේ සියල්ලට ඉඩ කඩ විවර වන්නේ ‘විකල්ප ණය තිරසර කරන සැලැස්මක්’ සාකච්ඡා මේසයට ඉදිරිපත් කිරීමත් සමගය.

2028 ණය උගුල නැවත පුපුරා යාමේ අවදානම හා කල්පවතින ආර්ථික අස්ථාවරත්වයක අද්දර රට පවත්වාගෙන යාම

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර, ද්විපාර්ශික ණය හා බහුපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව 2028 වසරේ සිට ඩොලර් බිලියන 4-5ක පමණ විශාල වාරිකයක් ගෙවීමට ලංකාවට සිදුවනු ඇත.  එනම්, වත්මන් මුල්‍ය අනුපාතවලට අනුව ගතහොත් රුපියල් බිලියන 1200-1500ක පමණ අමතර ඉපයීමක් මේ සඳහා රජයට තිබිය යුතුය. එමෙන්ම ඩොලර් සංචිතයද මේ සඳහා ප්‍රමාණවත් මට්ටමට ප්‍රසාරණය විය යුතුය. එහෙත් පෙනී යන ආකාරයට මෙය ඉතාමත් තියුණු අභියෝගයක් වනු ඇත. අවම වශයෙන් ණය ප්‍රතිවූහගතකරණ සැලැස්ම ලංකාවට වාසිදායක ලෙස යළි සකස් කර නොගතහොත් ණය ප්‍රතිව්‍යුහතකරණය පිළිබඳ සමහර රටවල අත්දැකීම් අනුව යළි යළිත් බංකොලොත්භාවයට පත්වීමේ අත්දැකීමට ලංකාවට මුහුණදීමට සිදුවනු ඇත. එමෙන්ම එවැනි අසාර්ථක රාජ්‍යයක අත්දැකීම හා කලාපීය බලවතුන්ගේ න්‍යායපත්‍රය ලංකාව වෙත තියුණු ලෙස පතිත වීමේ අනතුර ඇත. එම නිසා මෙම ගැටලුව  පිළිබඳ ඉතාම ගැඹුරු අධ්‍යයනයකින් හා විශ්ලේෂණයකින් පසුව අවම වශයෙන් ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දුව වූ ‘විකල්ප ණය තිරසරකරණයකට’ හා ජනතාවයට අවාසිදායක වන කොන්දේසි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ න්‍යායපත්‍රයෙන් ඉවත්කර ගැනීමේ වගකීම ජාතික ජනබලවේගය ආණ්ඩුව සතුව ඇති අතර, එය දිගුකාලීන අසාර්ථක රාජ්‍යයක අද්දර පවත්වාගෙන යාමේ එක්සත් ජනපද, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් න්‍යාය පත්‍රයෙන් ජනතාව ගලවාගැනීමේ ප්‍රගතිශීලි – ඓතිහාසික ප්‍රවේශයක් වනු ඇත.

ස්තූතියි

මධ්‍යම කාරක සභාව

පෙරටුගාමී සමාජවාදී පක්ෂය

2024-10-27

Archive

Latest news

Related news