Friday, October 18, 2024

නිතිපතිවරයා මහර සමූහ ඝාතනයේ ලිපිගොනු වැසීමට ගත් තීන්දුව සිරකරු ඝාතනයන්ට මුක්තිය ලබා දීමක්!

ඡායාරූපය: යුක්තිය ඉල්ලා හඩා වැටුන ඝාතනය වූ රැදවියන්ගේ පවුලක සාමාජිකාවක්.

කොවිඩ් පරීකෂණ සිදු කරන ලෙස සහ කොරෝනා ආසාදනය වූ රැදවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රැදවියන් 2020 නොවැම්බර් 29 දින සිදු කළ විරෝධතාවයේදී වෙඩි තබා රැදවියන් 11 දෙනෙකු ඝාතනය කළ සිද්ධියට අදාලව ඉදිරි නීතිමය පියවර ගැනීම අවශ්‍ය නොවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දෙමින් සිද්ධියට අදාලව නීතිපති විසින් පවත්වාගෙන ගිය නඩු ගොනුව වසා දැමීමට නිතිපතිවරයා ගත් තීරණය මඟින් අපරාධකරුවන්ට මුක්තිය ලබාදීමක් සිදුවන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

ඒ බව සඳහන් වන්නේ එහි විධායක අධ්‍යක්ෂ නීතිඥ සේනක පෙරේරා නමින් ඊයේ (16) කිකුත් කරන ලද නිවේදනයකය.

එහි මෙසේ ද සඳහන් වේ.

පසුගිය 2020 වර්ෂයේ නොවැම්බර් 29 වන දින සිට 2020 දෙසම්බර් 01 වන දින දක්වා මහර බන්ධනාගාරයේ පැවැති විරෝධතාවයේදී බන්ධනාගාර රැදවියන්ට වෙඩි තබා ඉන් 11 දෙනෙකු ඝාතනය කිරීමට අදාළ සිද්ධිය අපරාධයක් බව 2023 අප්‍රේල් මස 26 දින වැලිසර මහේස්ත්‍රාත්වරයා විසින් තීන්දු කළේය.

ඒ අනුව මෙම අපරාධයට සම්බන්ධ සියලු නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවිදාන මහතා 2023 අප්‍රේල් මස 26 දින නියෝග කර ඇත. එම නියෝගය ක්‍රියාත්මක කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් දිගින් දිගටම පැහැර හැරීම හේතුවෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ලෙස අප පසුගිය 2023 වර්ෂයේ ජුනි 21 වනදා ගරු අභියාචනාධිකරණයේ මැන්ඩාමුස් රිට් ආඥාවක් ඉල්ලා ඉල්ලුම් පත්‍රයක් ගොනු කරමින් මේ සම්බන්ධ නියෝගය ක්‍රියාත්මක කරනා ලෙසට ඉල්ලා සිටියේය.

මේ පසුබිම තුළ නීතිපතිවරයා මෙම නඩු ගොනු වසා දැමීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට දැනුම් දීම අපරාධ යුක්තිය පසඳලීම පසෙකින් තබා වැරදිකරුවන්ට අපරාධවලින් පැනයාමට පසුබිම නිර්මාණය කිරීමක් බව අපගේ විශ්වාසයයි.

නීතියට පිටින් අපරාධකරුවන් ආරක්ෂා කිරීම රජය වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාගේ කාර්යය භාරය නොවන බවත් යුක්තිය පසඳලීමේ ක්‍රියාපටිපාටිය තුළ අපක්ෂපාතීවත් සාධාරණය්වත් ඊට සහාය දැක්වීම ඔහුගේ වගකීම බවත් අප විසින් මතක් කර සිටිමු.

මහර සිදුවීම පමණක් නොව ඉතිහාසය දෙස බැලීමේදී අවස්ථා ගනණාවකදී බන්ධනාගාර තුළ රැදවියන් ඝාතනය වූ නමුදු ඒවාට සම්බන්ධ වූවන් සහ වගකිවයුත්තන් ඒවායින් නිදහස් වීමේ ප්‍රවණතාවක් ඇතිබව සිරකරු අයිතිවාසිකම් සුරැකිම් කමිටුව නිරීක්ෂණය කර ඇත.

නිතිපතිවරයා යනු රජය වෙනුවෙන් නඩු කටයුතු පවත්වාගෙන යාමට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන ප්‍රධාන නෛතික නිලධාරියා වේ. එබැවින් ජනතාවගේ යුක්තිය පසඳලීමේ ක්‍රියාපටිපාටිය තුළ තමන්ට ලැබී ඇති අභිමතය නීතියට අනුවත් අනෙකුත් මානුෂික මූලධර්ම අනුවත් භාවිතා කිරීම ඔහුගේ වගකීමකි.

මාධ්‍ය නිවේදනය, 2024 ඔක්තොම්බර් 16 වනදා

කොළඹ.

නීතීඥ සේනක පෙරේරා,

විධායක අධ්යක්ෂ,

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව.

Archive

Latest news

Related news