Saturday, September 7, 2024

ජනපතිවරණය ඇවිත්: ආර්ථික යුක්තිය සඳහා වූ ස්ත්‍රීවාදී සාමූහිකය විසින් කරනු ලබන ප්‍රකාශනය

2022දී ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කිරීමේ පටන්, පසුගිය වසර දෙකක කාලය මුළුල්ලේ සුවිසල් ආර්ථික අර්බුදය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) බලපෑම් අනුව ගන්නා ලද දැඩි ක්‍රියාමාර්ග හේතුවෙන් ඇති කරන ලද අසීරු තත්ත්වයන් යටතේ රට අඩපන වී ඇත. මෙම කාලසීමාව තුළ, කාන්තාවන්ගේ, වැඩ කරන ජනතාවගේ සහ ආන්තික කරන ලද ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වයන් දිගින් දිගිටම වඩාත් උග්‍ර වී ඇත.

වැටුප් දැඩි ලෙස සීමා කිරීම සහ විරැකියාව නිසා පවුල් තවදුරටත් දිනකට එක් ආහාර වේලකින් පමණක් දිවි ගැට ගසාගන්නා අතර ඔවුහු බෙහෙත්, අධ්‍යාපනය සහ මූලික අවශ්‍යතා ළඟා කරලීමේ අරගලයක නිරත වී සිටිති. ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතියට සැලකිය යුතු ලෙස දායක වන කුඩා පරිමාණයේ නිෂ්පාදකයෝ, ඉහළට දැමූ ඉන්ධන හා පොහොර මිල තවදුරටත් දරා ගත නොහැකිව සිටිති. අපේක්ෂා භංගත්වයෙන් බොහෝ පිරිස් විදෙස් රැකියා සොයා යන අතර, මෙරට රැඳී සිටින්නවුන් හුදෙක් දිවි රැක ගැනීම සඳහා ණයගැතිභාවයේ ගිලී සිටිති.

සිය ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට අසමත්  වූ ආණ්ඩුව

ශ්‍රී ලාංකික ජනතාව විඳවන පීඩාව නොදකින වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව, ස්ථාවරභාවය සහ තිත්ත බෙහෙත් පිළිබඳ කතිකාවතක් ප්‍රවර්ධනය කරන්නේය. එනමුත්, සත්‍ය වශයෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවිත අතිශය ප්‍රබල ලෙස අස්ථාවර කරන ආර්ථික පුනරුත්ථාපන වැඩසටහන දේශපාලන ප්‍රභූන්ගේ, බුද්ධි මණ්ඩලවල හා නාගරික ව්‍යාපාරික ප්‍රජාවන්ගේ කැමැත්ත පමණක් මත ක්‍රියාත්මක කිරීමට තෝරා ගෙන තිබේ.

ආහාර අනාරක්ෂිතභාවය, ළමුන් අතර ළමා වර්ධනය අඩාල වීම, ක්ෂය වීමේ මට්ටම් සහ මන්දපෝෂණය වැඩි වීම, සහ දෙගුණ වූ දරිද්‍රතාවය ශ්‍රී ලංකාවේ අනාගත පරම්පරාවන්හි සෞඛ්‍ය තත්ත්වයට අහිතකර දායාදයක් වෙමින් පවතී. කොවිඩ් 19 ගෝලීය වසංගතය (2022), වැරදි තීරණ මත අනුගමනය කරන ලද පොහොර ප්‍රතිපත්ති (2021) සහ ආර්ථික අර්බුදය (2022) යනාදිය විසින් ඇති කරන ලද ව්‍යසනය හේතුවෙන් අඩාල වෙමින් පවතින ආහාර පද්ධතිය යළි පන ගැන්වීමට ආණ්ඩුව අසමත් විය.

සංක්‍රමණික සේවකයින්, වතු කම්කරුවන් හා නිදහස් කලාප සේවකයින් උපයන විදේශ විනිමය වැඩිවීම සම්බන්ධයෙන් ආණ්ඩුව ලජ්ජාවකින් තොරව පුරසාරම් දෙඩුවේය. ඔවුන් බොහෝ වෙහෙස වී උපයන ඩොලර් රටේ විදේශ සංචිතවල ස්ථාවරභාවය පවත්වා ගැනීමටත්, ආණ්ඩුවේ ණය ගෙවීමටත්, රථවාහන ඇතුළු සුඛෝපභෝගීත්වය උදෙසා විවිධ භාණ්ඩ ආනයන කිරීමටත් යොදා ගැනේ. එසේ වුවත්, ශ්‍රමිකයන් වෙනුවෙන් ආරක්ෂා සහිත වැඩබිමක් සහ පරිසරයක්, හෝ ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම සහතික කිරීමට අසමත් වී තිබේ.

මර්දනකාරී කම්කරු නීති සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේ නාමයෙන් සේවකයන්ගේ ඉතුරුම් කපා හැරීම මගින් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම්වලට හා ආරක්ෂාවන්ට ඍජුවම පහර දීමට රජය ප්‍රතිපත්ති සකස් කරන ලදී. වතු කම්කරුවන්ගේ අවම වැටුප වැඩිකරන ලෙස කළ සාධාරණ ඉල්ලීම ඉටු නොකර ඔවුන්ව යළි යළිත් රවටමින් සිටි ආණ්ඩුව, අනෙකුත් ක්ෂේත්‍රවල සේවකයන්ට ද ඇතුළුව ජීවත් වීමට සරිලන වැටුපක් සහතික කිරීමට අසමත් විය.

තවද, කාන්තා සංවිධාන, මානව හිමිකම් සංවිධාන සහ ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින්ගේ අනතුරු ඇඟවීම් නොතකා ආණ්ඩුව ව්‍යසනකාරී සමාජ ආරක්ෂණ ජාල වැඩසටහනක් වන “අස්වැසුම” ක්‍රියාත්මක කළේය. රාජ්‍ය අංශය දැඩිව කප්පාදු කිරීම  ක්‍රියාමාර්ග සහ පෞද්ගලිකකරණය හේතුවෙන් බහුතර ජනතාව පිහිට පතන පුළුල් නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපන පද්ධති විනාශයට පත් වී ඇත.

රජයේ බලශක්ති අංශය පෞද්ගලිකකරණය මධ්‍යයේ දිවයිනේ සුන්දර හා අවදානමට ලක්විය හැකි පරිසර පද්ධතියට පවා ගැලවීමක් නැත. විදේශීය ව්‍යාපාර වෙනුවෙන් ලාභ උත්පාදනය කිරීමට සුළං ටර්බයින ඉදි කරන්නේ වඳ වී යන පක්ෂීන් ගමන් කරන මාර්ග හරහාය.

මෙලෙස ලාංකික ජනතාවට වගකීම් ඉටු කිරීමට අසමත් ආණ්ඩුව, තිරසාර නොවන සහ රට ණය බර උග්‍ර කර තවත් ආර්ථික අර්බුදයක් කරා ගෙන යන ණය ප්‍රතිව්‍යහගතකරණයක් පිළිබඳව විදේශීය ණය හිමියන් සමඟ සාකච්ඡා කර ඇත. වර්තමාන ආණ්ඩුව යටතේ, දේශීය පන්ති සබඳතාවයවන් සහ ජාත්‍යන්තර ණය හිමිකරුවන්/අධිපතියන් අතර ඝට්ඨනය පෙරට වඩා නොදුටු ස්වභාවයක්  පැහැදිලිව දක්නට ලැබේ.

ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලවූ ප්‍රහාර ගණනාවක්

වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවේ නායකත්වය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය අත්හිටුවීම ද ආර්ථික අර්බුදයට මුල් වූ හේතුවලට විසඳුම් සැපයීමට සහ කාන්තාවන්ගේ, වැඩකරන ජනතාවගේ සහ ආන්තීකරණයට ලක් කරන ලද ප්‍රජාවන්ගේ යහ පැවැත්ම සහතික කිරීමට එය නීච ලෙස අසමත් වීමට එක් හේතුවකි.

ජනතාවගේ හඬ ප්‍රතික්ෂේප කරමින්, මර්දනය කිරීමෙන් සහ දරදඩු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විරෝධතාකරුවන් අත්අඩංගුවට පවා ගනිමින් විරුද්ධ මත තලා පෙලා රජය ජනතාව ප්‍රතිපත්ති සෑදීමේ ක්‍රියාවලියෙන් ඉවත ලන ලදි. සිවිල් අයිතිවාසිකම් සීමා කරන විවිධ නීති ආණ්ඩුව සම්මත කළ අතර IMF නියමයන් නීත්‍යානුකූල කර ජනතාවගේම ආර්ථික අනාගතය තීරණය කිරීමේ අයිතීන් සීමා කළේය.  පළාත් පාලන මැතිවරණ මෙම රජය දැමූ අතර එළඹෙන ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමට ද ප්‍රයත්න රැසක් දැරුවේය.

මෙවන් වාතාවරණයක් තුළ, අවසානයේදී ජනාධිපතිවරණයක් ප්‍රකාශ කිරීම සහනයකි. ජනතාවට ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කර පවතින යථාර්ථයට උචිත නායකත්වයක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඡන්දයෙන් තෝරා පත් කර ගැනීම අවශ්‍ය බව අපි විශ්වාස කරන්නෙමු. ප්‍රමාදයෙන් තොරව පාර්ලිමේන්තු සහ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම මගින් ඇතුළුව, සියළු මට්ටම්වලදී ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ස්ථාපනය කරනු ලැබීමද වැදගත් වේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරනු ලබන පොරොන්දු සහ සැලසුම්, අරගලය සහ අනෙකුත් ජනතා ව්‍යාපාර ඉල්ලා සිටි අර්ථවත් වෙනසක් – පවතින ක්‍රමයේ වෙනසක්- පිළිබිඹු නොකරන බවද අපි කණස්සල්ලෙන් යුතුව නිරීක්ෂණය කරන්නෙමු. එබැවින්, අතීතයෙන් නිශ්චිතවම වෙනස් වී ඉදිරි පස් වසර තුළ නව දැක්මකින් කටයුතු කිරීම අපි බලාපොරොත්තු වන්නෙමු.

අපගේ  ඡන්ද හිමිවන්නේ ආර්ථික යුක්තිය ස්ථාපනය කරන කැපවීමකටයි

නව රජය පහත සඳහන් දේ කළ යුතුයැයි අපි අපේක්ෂා කරන්නෙමු:

1.      ජීවන වියදම පාලනය කිරීමට, වක්‍ර බදු අඩුකිරීමට, දේශීය ආර්ථිකයන් යළි පන ගැන්වීමට සහ රැකියා නිර්මාණය කිරීමට වහාම ක්‍රියාමාර්ග ගන්න!

2.      හදිසි තත්ත්වයක් ලෙස සලකා කුසගින්නට හා මන්දපෝෂණයට විසඳුම් සපයන්න! ලංකාවේ ආහාර පද්ධතිය සුරක්ෂිත කිරීමට ආයෝජනය කරන්න!

3.      ණය මත යැපීමෙන් මිදීමට පැහැදිලි සැලසුම් ඉදිරිපත් කරන්න! තව දුරටත් කප්පාදු වැඩසටහන් ඉවත් කරන්න! තවදුරටත් IMF මත යැපීම නැවැත්විය යුතුය!

4.      පොදු සේවා වෙනුවෙන් අරමුදල් කපා හැරීම නවත්වන්න! පොදු දේපල පෞද්ගලිකකරණය නවත්වන්න!

5.      අධ්‍යාපනය, සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණය වෙනුවෙන් වියදම් කිරීමට පැහැදිලි සැලැස්මක් ඇතිව ප්‍රගතිශීලී බදු සහ ධන බදු හරහා රජයේ ආදායම් වැඩි කරන්න!

6.      සර්වජන සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ වැටුප් රහිත සුරැකුම් වැඩ කෙරෙහි කාන්තාවන්ගේ දායකත්වය පිළිගන්න!

7.      වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව සීමා කරන සහ ඔවුන්ගේ ආර්ථික, සමාජ සහ පාරිසරික අනාගතය තීරණය කිරීමේදී ජනතා පරමාධිපත්‍යය සීමා කරන නීති සමාලෝපනය කරන්න!

8.      සියළු ප්‍රජාවන්ගේ ආර්ථික සහ සමාජ සංවර්ධනය සීමා කරමින් දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවලට විසඳුම් සපයන්න! වාර්ගිකත්වය, ආගම, කුලය, සමාජභාවය සහ ලිංගික නැඹුරුව හේතුවෙන් කොන් කරනු ලැබ සිටින ප්‍රජාවන්ට ඇති බාධක ඉවත් කර ඔවුන්ව ආරක්ෂා කිරීම වෙනුවෙන් ආයතන, නීති සහ යාන්ත්‍රණ හඳුන්වා දෙන්න!

9.      නීති සම්පාදනය, ණය ආපසු ගෙවීම් සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ සැලසුම තීරණය කිරීම ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී තීරණ ගැනීමේ සියළු මට්ටම් වලදී කාන්තාවන්ගේ ඇතුළු ජනතා සහභාගිත්වය සහතික කරන්න!

10.   ගෝලීය ආර්ථිකය පාලනය කිරීමේ වෙනසක් වෙනුවෙන් බලපෑම් කිරීම පිණිස ගෝලීය දකුණේ ණය යුක්ති ව්‍යාපාරවලට එක් වීම! රටේ අනාගත පරම්පරාවන් අඛණ්ඩ ණය ගෙවීම්වලින් ආරක්ෂා කි කරන්න!

ආර්ථික යුක්තිය වෙනුවෙන් ස්ත්‍රීවාදී එකමුතුව යනු ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථිකය තුළ ඔවුන් සමඟ වැඩකරන ප්‍රජාවන්ගේ සැබෑම අත්දැකීම් මත පදනම්ව ප්‍රතිපත්ති නිර්දේශ වටහා ගැනීමට, විශ්ලේෂණය කිරීමට සහ ප්‍රකාශ කිරීමට රටේ සියළු ප්‍රදේශවලින් 2022 අප්‍රේල් මස දී එක්වූ ස්ත්‍රීවාදී ආර්ථික විද්‍යාඥයන්, උගතුන්, ක්‍රියාකාරීන්, විශ්වවිද්‍යාල සිසුන් සහ නීතීඥයන් යන අයගේ එකමුතුවකි.කරුණාකර ඔබේ අදහස් මෙම විද්‍යුත් තැපැල් ලිපිනයට යොමුකරන්න – [email protected]
06.09.2024

Archive

Latest news

Related news