Monday, October 14, 2024

මහපොළව නූසළන මිරුසුවිල් සමූහ ඝාතකය: ඝාතකයාට ගෝටා දුන් සමාවට එරෙහි පෙත්සම් විභාගයට

ඥායාරූපය ද ලිඩර් අඩවියෙනි.

මිරුසුවිල් සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටි යුද හමුදාවේ කෝප්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) දින නියම කළේය.

ඒ අනුව අදාළ පෙත්සම් ලබන ජනවාරි 15දා කැඳවීමට නියමිත ය.
මේ සිද්ධියෙන් මියගිය පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ආචාර්ය අම්බිකා සත්ගුණනාදන් ඇතුළු පිරිසක් මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇත.

2000 වසරේ දෙසැම්බර් 19දා යාපනය, මිරුසුවිල් ප්‍රදේශයේදී කුඩා ළමයකු ඇතුළු සිවිල් වැසියන් 8 දෙනෙකු කපා කොටා මරා, වල දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබිණි. නඩු විභාගයෙන් පසු වරදකරු කෙරුණු සුනිල් රත්නායකට මරණ දඬුවම නියම කෙරිණි.
එම දඬුවමෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සුනිල් රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණයට පසුව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර, එම පෙත්සම විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ තීන්දුව යළිත් තහවුරු කරන ලදි.

කෙසේ වෙතත් මරණ දඬුවම ලබාසිටි සුනිල් රත්නායකට 2020 මාර්තු 26දා ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ලබාදෙන ලදි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය මගින් ජනාධිපතිවරයාට ඒ බලය පවරා තිබේ.

‘එසේ වුවද, එසේ වූ යම් වරදකරුවකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටෙක ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබාගැනීමට සැලැස්විය යුත්තේය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු පසු, ඒ පිළිබඳව නීතිපති උපදෙස් සමග එය අධිකරණ විෂය භාර ඇමැතිවරයා වෙත යැවිය යුත්තේය. ඉන්පසු එය විෂය භාර ඇමැතිවරයාගේ නිර්දේශ ද සමග ජනාධිපතිවරයා වෙත එවිය යුත්තේය….‘

හිතූ මනාපයට මේ ජනාධිපති සමාව ලබාදිය නොහැකි බවත්, එය ජනතාවගේ සුභසිද්ධිය තකා සිදුවිය යුත්තක් බවත් පෙන්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙවැනි කරුණු ඇතුළත් කර තිබේ.

කුඩා දරුවකු ඇතුළු අට දෙනෙකු ගෙල කපා ඝාතනය කරන ලද බරපතළ අපරාධයක ප්‍රධාන චූදිතයා නිදහස් ය. අධිකරණවලින් සාක්ෂි ගලපමින් ලබා දී තිබූ නඩු තීන්දුවලින් වැඩක් නැත. යුද උන්මාදය වීරත්වයට නැංවීමෙන් තොරව පවතින්නට නොහැකි ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය මේ සුනිල් රත්නායක නිදහස් කිරීම උත්කර්ෂයට නංවන්නේ ‘රණවිරුවා, දේශප්‍රේමියා‘ යන වචන භාවිත කරමින් ය. එම නිසා මේ සිදුවීමේදී හමුදා විමර්ශන සිදු වූ ආකාරය ලිවිය යුතුය. මේ අධිකරණයේ ඇති ලියකියවිලිවල සඳහන් කරුණු ය.

2000 වසර වන විට යාපනය අර්ධද්වීපයේ යුද හමුදා පොලිසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන ලද්දේ එවකට මේජර්වරයෙකු වූ ද සොයිසා ය. මේජර් ද සොයිසාගේ ප්‍රකාශවලට අනුව, එවකට මේජර් ජෙනරාල් සුනිල් තෙන්නකෝන්ගේ අණ දීම යටතේ මිරුසුවිල් කේන්ද්‍ර කොටගත් විශාල භූමි ප්‍රදේශයක ආරක්ෂාව යුද හමුදාවේ 55 වැනි සේනාංකයට පැවරී තිබිණි. 2000 අප්‍රේල් මාසයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයත් සමග හමුදා භට පිරිස් මිරුසුවිල් ප්‍රදේශයට පසුබසින ලද අතර, ඉදිරි ආරක්ෂක වළල්ල තිබී ඇත්තේ මෙම නඩුවේ ප්‍රශ්නගත සිදුවීම සිදුවූ හමුදා පාලන ප්‍රදේශයේ සිට මීටර් 700ක් 800ක් පමණ ඉදිරියෙන් ය. ඔහු තවදුරටත් සදහන් කරන පරිදි ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වීම හේතුවෙන් මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි ජනයා එම ප්‍රදේශ අත්හැර, ඉවත්ව ගොස් තිබිණි.

2000 දෙසැම්බර් 23 වැනි දින උදෑසන නවයට පමණ මේජර් ද සොයිසාට, එවකට බ්‍රිගේඩියර් තෝරදෙණිය දුරකතන ඇමතුමක් ලබා දී ඇත. හමුදාව විසින් සිවිල් පුද්ගලයන් නව දෙනෙකු සිරභාරයට ගෙන ඇති බවත්, එයින් අට දෙනෙකු ඝාතනය කර ඇතැයි දැනගන්නට ඇති බවත්, දිවි ගලවා ගන්නා ලද සිවිල් පුද්ගලයා සොයාගෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසත් බ්‍රිගේඩියර්වරයා උපදෙස් දී තිබේ. ඒ අනුව මේජර් ද සොයිසා ඇතුළු කණ්ඩායමක් නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි සිද්ධියෙන් දිවි ගලවා ගත් මහේෂ්වරන්ගේ නිවස වෙත ගොස් තිබේ. මහේෂ්වරන්ගේ මව්පියන් විසින් නිවසේ ඇතුළු කාමරයක බිම ඉඳගෙන සිටි මහේෂ්වරන් වෙත මේජර්වරයාව රැගෙන ගොස් ඇති අතර, මහේෂ්වරන්ගේ ශරීරයේ ඇති වෙළුම්පටි තමන් නිරීක්ෂණය කළ බව ද මේජර්වරයා තම ප්‍රකාශවලදී පවසා තිබේ.

මහේෂ්වරන් අධිකරණයේ සාක්ෂි දෙමින් පවසන ලද කතාව, සුනිල් රත්නායක ඇතුළු පිරිස ගැමියන් ඝාතනය කළ කතාව සහ තමන් ගැලවුණු ආකාරය, එලෙසින්ම ඔහු මේජර්වරයාට පවසා තිබේ. ඔහු වැඩිදුරටත් යුද හමුදා පොලිසියේ මේජර්වරයාට ප්‍රකාශ කර ඇත්තේ අනෙක් ගැමියන්ගේ සිරුරු ඇතැයි තමන් සිතන වැසිකිළි වල පෙන්වීමට හැකි බව ය. කෙසේ වෙතත් ඊපීඩීපී සංවිධානයේ නිලධාරීන් සහ ග්‍රාම නිලධාරීවරයා ඔවුන් සමග නොපැමිණෙන්නේ නම්, හමුදා නිලධාරීන් සමග අදාළ ස්ථානයට යාම මහේෂ්වරන් ප්‍රතික්ෂේප කර තිබේ.

කණ්ඩායම වාහන දෙකකින් ගමන් කොට, තවත් කිලෝමීටර් එකහමාරක දුරක් පාගමනින් ගොස් අදාළ ස්ථානයට ළඟා වී ඇත. මුලින්ම මහේෂ්වරන් ඔවුන්ට සිය නිවස පෙන්වා තිබේ. එමෙන්ම එහි පිරිස සමග ගිය දෙසැම්බර් 19 වැනිදා, ඔවුන් තම පාපැදි නතර කරන ලද ස්ථානයද පෙන්වා ඇතත්, ඒ අවස්ථාව වනවිට එහි බයිසිකල් තිබී නැත. ඉන්පසු මහේෂ්වරන් ඔවුන්ව කැඳවාගෙන ගොස් ඇත්තේ ඔවුන්ට මුලින්ම හමුදා සාමාජිකයන් හමුවූ පේර ගසකට ආසන්න ස්ථානයට ය. තමන් ඇතුළු කණ්ඩායමේ පිරිසගේ දෑස් බැඳ, තමන්ට පහර දුන් බවත්, අනෙක් අය වේදනාවෙන් කෑගසන හඬ තමන්ට ඇසුණු බවත් මහේෂ්වරන් වැඩිදුරටත් මේජර්වරයාට ප්‍රකාශ කර තිබේ.

ඉන්පසු මහේෂ්වරන් මේජර්වරයා ඇතුළු පිරිස කැටුව ගොස් ඇත්තේ අනෙක් ගම්වැසියන් අටදෙනාගේ සිරුරු ඇතැයි ඔහු සැකකරන වැසිකිළි වළ වෙතය. එම වැසිකිළි වළ ආවරණය කොට ඇති කොන්ක්‍රීට් ලෑල්ල අසලට ඔවුන් ගොස් ඇත. සිදුවීම ගැන මහේෂ්වරන්ගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම ස්ථානයේදී ඔහුගේ ඇස් බැඳ තිබූ රෙදි කඩ ගැලවුණු බවත්, එහිදී ලේ වැනි පැල්ලම් තමන්ට දක්නට ලැබුණු බවත්ය. මේජර් සොයිසාගේ මෙහෙයවීම යටතේ වැසිකිළි වල ආවරණය කර ඇති කොන්ක්‍රීට් ලෑල්ල ඉවත් කළ විට ඒ තුළින් මියගිය සතෙකුගේ (එළුවෙකුගේ) ශරීර කොටස් හමුවී ඇත. ගම්වැසියන් අටදෙනාගේ සිරුරු ඇතැයි මහේෂ්වරන් කියා ඇත්තේ මෙම වැසිකිළි වළ තුළ ය.

අදාළ ස්ථානයට මීටර් පනහක් පමණ ඈතින් පිහිටි ගොඩනැගිල්ලක් පරීක්ෂා කළ යුද හමුදා පොලිසියේ ස්ථානාධිපතිවරයා, හය වැනි ගජබා රෙජිමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයට අයත් හමුදා සාමාජිකයන් 20ක් පමණ අදාළ ගොඩනැගිල්ලේ රැඳී සිටින බව අනාවරණය කරගෙන ඇත. මේජර්වරයා අධිකරණයට ප්‍රකාශ කර ඇති ආකාරයට ඔහු අදාළ භට පිරිස භාරව සිටි සැරයන් රණසිංහ නම් නිලධාරියා කැඳවා, ඉහත කී ලේ පැල්ලම් කෙළවර තොණ්ඩුවක් සහිත වයරය සහ මියගිය එළුවෙකුගේ යැයි සැකකළ හැකි ශරීර කොටස් පිළිබඳව ප්‍රශ්න කර ඇත. ඒ අනුව අදාළ එළුවා මරා දැමූ නිලධාරීන් කැඳවීමට ඔහුට උපදෙස් දී ඇති අතර, ඒ අනුව හමුදා සාමාජිකයන් දෙදෙනෙකු පැමිණ තිබේ.

ඔවුන් වැසිකිළි වලට ළං වන විට, හදිසියේම මේජර්වරයාට විලාපයක් ඇසී ඇත. එම විලාපය ඇසුණු පැත්ත හැරී බැලූ මේජර්වරයාට දැකගන්නට ලැබී ඇත්තේ තම පියා බදාගෙන කෑගසමින් සිටින මහේෂ්වරන් ය. ඉහත සඳහන් කළ (එළුවා මරාදැමූ බව කියමින්) පෙරට පැමිණි හමුදා සාමාජිකයන් දෙදෙනාද ඒ අනුව නොසන්සුන්ව, බියපත් වන ආකාරය තමන් නිරීක්ෂණය කළ බව මේජර්වරයා අධිකරණයට පවසා ඇත.

භාෂා පරිවර්තක සමග මහේෂ්වරන් වෙත ගමන් කළ මේජර්වරයා ඔහු කෑගැසීමට හේතුව විමසා ඇත. මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ එතැනට පැමිණ සිටි හමුදා සාමාජිකයන් දෙදෙනා දෙසැම්බර් 19 වැනිදා තමන් රඳවාගෙන පහරදීම සිදුකළ පුද්ගලයන් දෙදෙනා බව ය. ඒ අනුව මේජර් ද සොයිසා විසින් අදාළ හමුදා සාමාජිකයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීම මේජර් ප්‍රේමලාල් වෙත පවරා ඇති අතර, එහිදී එම හමුදා සාමාජිකයන් දැඩි භීතියට පත්වූ බව ද මේජර්වරයා අධිකරණයට පවසා තිබේ. මේජර් ද සොයිසා විසින් අදාළ හමුදා සාමාජිකයන් දෙදෙනාව කෝප්‍රල් රත්නායක (සුනිල් රත්නායක) සහ සාමාන්‍ය සෙබළ මහින්ද කුමාරසිංහ වශයෙන් හඳුන්වා ඇති අතර, විවෘත අධිකරණයේදී මේජර්වරයා විසින් සුනිල් රත්නායකව හඳුනාගෙන ඇත.

මේජර් ද සොයිසා අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ හමුදා සාමාජිකයන් පස්දෙනා යුද හමුදා පොලිසියට භාරදීමෙන් පසු, නැවතත් දෙසැම්බර් 24 වැනිදා තමන් මෙම විමර්ශනයට සම්බන්ධ වූ බවයි. සුනිල් රත්නායක විසින් ලබාදෙන ලද ප්‍රකාශය මත පදනම්ව, යුද හමුදා පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සමග මේජර් ද සොයිසා අදාළ සිදුවීම වූ ප්‍රදේශයට ගොස් ඇත. සුනිල් රත්නායක විසින් පෙන්වන ලද මාර්ගය ඔස්සේ, ඔහු පෙන්වූ යම් ස්ථානයක් වෙත පඳුරු සහිත කැලයක් මැදින් යුද හමුදා පොලිස් කණ්ඩායම ගමන් කර ඇත.

එහිදී කුඩා කොළ අතුවලින් ආවරණය කරන ලද බුරුල් පස් සහිත ස්ථානයක් මේජර්වරයාට දක්නට ලැබී ඇත. මේජර්වරයා අදාළ ස්ථානය යුද හමුදා පොලිසියේ ආරක්ෂාව යටතට පත්කර, පොලිසියට මේ ගැන දැනුම් දී තිබේ. ඒ අනුව කන්කසන්තුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක්ද සමග පැමිණි මහේස්ත්‍රාත්වරයා, සුනිල් රත්නායක පෙන්වූ ස්ථානය හෑරීමට පොලිසියට නියෝග කර ඇත.

පොලිසිය එහි හෑරූ වලෙන් පුද්ගලයන් අටදෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති අතර, ඒවා ඝාතනය කරනු ලැබූ බවට නම් සඳහන් පුද්ගලයන්ගේ බවට ඥාතීන් විසින් හඳුනාගෙන තිබේ. පෙර සඳහන් කළ වැසිකිළි වල ආසන්නයේ තිබූ ලේ පැල්ලම් ද එළුවකුගේ නොවන බව රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇත.

ශාලික විමලසේන

Archive

Latest news

Related news