Monday, October 14, 2024

ශ්‍රී ලංකාව ගැන නවතම ජිනීවා වාර්තාව නිකුත් වේ: ආණ්ඩුව හිමිකම් කෙලෙසීම් ගැන කණස්සල්ල; පත්වන ආණ්ඩුව කළයුතු දේ හිමිකම් කොමසාරිස් දක්වයි.

Image: (c)sunanda deshapriya.

 එළඹෙන සැප්තැම්බර් 09 දින ආරම්භ වන  මානව හිමිකම් කවුන්සිලයේ 57 වන සැසිවාරයට ඉදිරිපත් කැරෙන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ වාර්තාව ප්‍රසිද්ධියට පත් කර තිබේ. මෙම වාර්තාව සැප්තැම්බර් 09 දින සාකච්ජාවට ගැනෙනු ඇත.

බොහෝ විට මෙය ශ්‍රී ලංකාව ගැන ඉදිරිපත් කැරෙන අවසාන වාර්තාව වීමට ඉඩ තිබේ.

ජනාධිපතිවරනයෙන් පසුව අලුතික් තේරීපත් වන ආණ්ඩුව, හදිසි කාර්යක් වශයෙන්, ගැටුමේ මූලික හේතූන් ආමන්ත්‍රණය කරන හා සියල්ලන් ඇතුළත් වන ශ්‍රී ලංකාව සඳහා ජාතික දැක්මක් අනුගමනය කළ යුතු බව වාර්තාව නිගමනයක් ලෙස දක්වා තිබේ. තවද  ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සහ දේශපාලන අධිකාරිය විමධ්‍යගත කිරීමට අවශ්‍ය මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ ආයතනික සංශෝධන සිදු කොට වගවීම සහ සන්හිඳියාව පෙරට ගෙන ආ යුතු බවද එය සඳහන් කරයි.

මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාවට අනුව ඉදිරිපත් කර ඇති වර්තමාන වාර්තාවේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සපයන අතර, රටේ මූලික අයිතිවාසිකම් සහ නිදහස. භුක්තිවිදීමේදී දුරදිග යන බලපෑමක් ඇති කළ හැකි ප්‍රවණතා කිහිපයක් ඉස්මතු කරයි.

අතීතයේ සහ වර්තමාන මානව හිමිකම් කඩකිරීම් සඳහා දණ්ඩමුක්තිය සහ පාලනයේ වගවීම සඳහා වූ පුළුල් ඉල්ලීම් අතර සම්බන්ධය සටහන් කරමින්, සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව යන දෙඅංශයෙන්ම ක්‍රියාමාර්ග ගැනීම සඳහා වාර්තාව නිර්දේශ කරයි.

එහි නිගමන සහ නිර්දේශ මෙසේය.

නිගමන සහ නිර්දේශ

60. ශ්‍රී ලංකාව ජනාධිපති සහ පාර්ලිමේන්තු මැතිවරණවලට ළඟා වෙත්ම 2022 විරෝධතා දැක්වූ ශ්‍රී ලාංකිකයන්ගේ පුළුල් සමාජ තීරුවක් ඉල්ලා සිටි පරිවර්තනීය වෙනස්කම්වලට නැවත කැපවීමට අවස්ථාවත් උදාව ඇත. ආණ්ඩුවට මැතිවරණ කාල සීමාවට පෙරාතුව, එම කාල සීමාව තුළ සහ ඉන් පසුව, විරෝධතාකරුවන්ට එරෙහිව අනවශ්‍ය සහ සීමාන්විත බලය යෙදවීමෙන් වැළකී සිටීම ඇතුළත්ව ප්‍රකාශනයේ නිදහස, සංගම් පැවැත්වීමේ සහ සාමකාමී රැස්වීමේ නිදහස ට ඇති අයිතිවාසිකම පූර්ණ වශයෙන් ආරක්ෂා කිරීම සහ ගරු කිරීම, ආගමික, ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය හෝ වෙනත් හේතු මත පදනම්ව බෙදුම්වාදී සහ වෙනස් කොට සැලකීමේ ප්‍රකාශ සහ භාවිතාවන් වැළැක්වීමට සහ පාලනය කිරීමට සහ මැතිවරණය හා සම්බන්ධ සහ අනෙකුත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සහ අපහරණ වැළැක්වීමට වගකීමක් පවතී.

61. සියලුම ශ්‍රී ලාංකිකයන් මත විශේෂයෙන්ම දුප්පත් සහ අවදානම් තත්වයේ පසුවන අනෙකුත් අය කෙරේ ඇති කරන ආර්ථික අර්බුදයේ බලපෑම සහ ණය බරින් ඇති කරන බලපෑම ගැන මහ කොමසාරිසවරයාට අවබෝධයක් පවතී. මෙම ආර්ථික පීඩනය ශ්‍රී ලංකාවට සහ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට පවතින ගෝලීය ආර්ථික තත්වය සහ අන්තර්ජාතික මූල්‍ය ව්‍යුහය නිසා තියුණු වී ඇත. ආර්ථික ප්‍රතිපත්තිය, මූල්‍ය ස්ථායිකරණ වැඩ පිළිවෙළ ගැන තිරණ ගැනිමේ දී ප්‍රමාණවත් සමාජ ආරක්ෂණයක් තහවුරු කිරීම ඇතුළත් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික මානව අයිතිවාසිකම් බැඳීම් ඊට මග පෙන්විය යුතුයැයි ඔහු ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ විදෙස් ණය හිමියන් ආණ්ඩුවට ආර්ථික, සමාජයීය සහ සංස්කෘතික අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මූල්‍ය අවකාශය ලබා දිය යුතු අතර වියදම් කපා හැරීමේ පියවර මානව අයිතිවාසිකම් පිළිබඳ බැඳීම් සපුරාලීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව දුර්වල නොකරන බවද තහවුරු කළ යුතුය.

62. නව පසුගාමී නීති, ප්‍රජාතන්ත්‍රීය සංවරණ සහ තුලනය ඛාදනයට ලක්වීම, වින්දිතයන්ට, සිවිල් සමාජයේ ක්‍රියාකාරිකයන්ට සහ ජනමාධ්‍යවේදින්ට එරෙහිව තර්ජන, හිරිහැර කිරීම් සහ ප්‍රචණ්ඩත්වය මුදා හැරීම පිලිබඳ අවස්ථා සහ අතිතයේ පැවති බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් නැවතත් මතුවීමෙන් පෙන්නුම් කරන ආකාරයට මූලික නිදහසට ගරු කිරීමක් නොමැතිවීම ඇතුළත් වාර්තා කිරීමේ කාල සීමාවේ නිරීක්ෂණය කරන ලද මතුවෙමින් පවතින ප්‍රවනතා බරපතළ කණස්සල්ලට හේතුවේ.

63. විශේෂයෙන්ම වින්දිතයන්ගේ දුක්පීඩාව හඳුනා ගැනීමට, බරපතළ මානව අයිතිවාසිකම් උල්ලංඝන සිදු කිරීමේ දී හමුදාවේ සහ අනෙකුත් ආරක්ෂක බලකායන්ගේ භූමිකාව පිළිගැනීමට අපොහොසත්වීම සහ අතීතයේ සිදු කළ සහ වර්තමානයේ සිදු වන උල්ලංඝනය කිරීම් ආමන්ත්‍රණය කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත්වීම නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනයට මූලික බාධා බවට පත්ව ඇත. බරපතළ අපරාධ සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධයැයි විශ්වාස කළ හැකි බොහෝ ව්‍යුහයන් සහ රාජ්‍ය යාන්ත්‍රණයේ සමහර සාමාජිකයන් ඒ තැන්වලම සිටීමෙන් අර්ථාන්විත වගවීමේ ප්‍රගතියක් ඇති කිරීම වළක්වන අතර මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් දිගටම සිදු වේ. මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසියට ඉදිරිපත් කළ වාර්තාවෙන් පෙන්නුම් කළ ආකාරයට ආයතන ගතව ඇති මුක්තිය, ආර්ථික අර්බූදය සහ 2022 ජනතා විරෝධයක් පැන නැගිමට දායක වූ දූෂණය සහ බල අපහරණයෙන් කැපී පෙනේ.

64. ඡන්ද විමසිම්වලින් පසුව අලුතික් තේරීපත් වන ආණ්ඩුව, හදිසි කාර්යක් වශයෙන්, ගැටුමේ මූලික හේතූන් ආමන්ත්‍රණය කරන හා සියල්ලන් ඇතුළත් වන ශ්‍රී ලංකාව සඳහා ජාතික දැක්මක් අනුගමනය කළ යුතු අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට සහ දේශපාලන අධිකාරිය විමධ්‍යගත කිරීමට අවශ්‍ය මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ ආයතනික සංශෝධන සිදු කොට වගවීම සහ සන්හිඳියාව පෙරට ගෙන ආ යුතුය.

(නිගමන සහ නිර්දේශ කොටසෙහි පරිවර්ථනය මානව හිමිකම් කවුන්සිලය විසින් සපයන ලද්දකි. වචන කිහිපයක් පමනක් වෙනස් කර ඇත.)

Archive

Latest news

Related news