ඡායාරූපය: “මෙම පරිවර්තනයට සාර්ථක ලෙස මුහුණ දිය හැකි බවට බහුතර ජනතාවක් ජාතික ජන බලවේගය සහ එහි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා කෙරෙහි විශ්වාසය තබා ඇති බව පෙනේ.” – ලයනල් බෝපගේ
හැඳින්වීම
සර්ව ජන ඡන්ද බලය ජාතියක දේශපාලන පසුබිම හැඩ ගැස්වීමේ දී ඉතා වැදගත් වේ. ඡන්ද පොලේ දී ගනු ලබන තීරණ අපගේ ජීවිත සහ අනාගතය හැඩ ගස්වන ප්‍රතිපත්තිවලට මඟ පෙන්වමින් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල හරය වශයෙන් පවතී. කෙසේ වෙතත්, ඡන්දදායකයින් විසින් කරන ලද තෝරා ගැනීම් දේශපාලන බැඳියාවන්, අපේක්ෂක ගුණාංග, ප්‍රතිපත්තිමය ස්ථාවර, සමාජ ආර්ථික තරාතිරම, සමාජයීය ආභාෂයන් සහ මාධ්‍ය බලපෑම ඇතුළු සාධක රාශියක බලපෑමට නතු වෙයි. ඒ සෑම සාධකයක් ම ඡන්දය ප්‍රකාශ කිරීමේ දී පුද්ගල ආකල්ප, මනාප සහ තීරණ හැඩ ගැස්වීම අතින් සුවිශේෂ මෙහෙවරක් ඉටු කරයි.
අනවශ්‍ය බලපෑම්වලින් තොර, කාලානුරූපී ව පවත්වන මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා මූලික වේ. මෙම මැතිවරණ පුරවැසියන්ට තම අනාගතය කෙරෙහි බලපාන තීරණ ගන්නා නියෝජිතයන් තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතුය. කෙසේ වෙතත්, දේශපාලන පක්ෂ බොහෝ විට ඡන්දදායකයින් නොමඟ යැවීමට විවිධ උපක්‍රම යොදා ගනිති. ඒවා අතර කළ නොහැකි පොරොන්දු ලබා දීම, ද්‍රව්‍යමය දිරිගැන්වීම් පිරිනැමීම වැනි දූෂිත භාවිතාවන් වල නියැලීම සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන යන දෙආකාරයේම ප්‍රචණ්ඩත්වය තුලින් බිය ගැන්වීම ද ඇතුලත් ය. නම්මා ගැනීම් කරන්නට සහ වැරදි තොරතුරු පතුරවන්නට ඉඩකඩ ලබා දීමෙන් නවීන තාක්‍ෂණ වේදයන් මෙම තත්වය තවදුරටත් සංකීර්ණ කර ලන අතර විදේශීය මැදිහත් වීම් ද සැලකිල්ලට භාජනය විය යුතු කරුණක් ව පවතී.
ශ්‍රී ලංකාවේ සන්දර්භය
ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පිරිමි අපේක්ෂකයින්ගෙන් සමන්විත දිගු ලැයිස්තුවක් තරඟයට අවතීර්ණ වී තිබේ. මෙම අපේක්ෂකයින්ගෙන් බොහෝ දෙනෙක් වෙනත් පක්ෂවල අපේක්ෂකයින්ට සහයෝගය දැක්වීම හෝ ඔවුන් අඩපණ කර දැමීම අරමුණු කරගත් ආදේශකයන් (ප්‍රොක්සි) ලෙස සැලකේ.
වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා රාජ්‍ය සම්පත් යොදා ගන්නා බවට පිළිගත හැකි චෝදනා පවතී. මහජන අවශ්‍යතා වෙනුවට මැතිවරණ වාසි තකා ව්‍යාපෘති සඳහා මහජන මුදල් වෙන් කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. විවිධ මාධ්‍ය, කෙටි පණිවිඩ යැවීම සහ පණිවිඩ යවන වේදිකා හරහා වැරදි තොරතුරු සහ බොරු ප්‍රචාරණය කිරීමේ ව්‍යාපාර සම්මත භාවිතයන් වේ. සමබර ලෙස ආවරණය කිරීමක් ලබා දිය යුතු මාධ්‍ය බොහෝ විට එසේ කිරීමට අසමත් වේ. වංචා සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඉතිහාසයන් සහිත පැරණි දේශපාලන ක්‍රියාකාරීහු ඇතැම් අපේක්ෂකයන්ට සහාය දැක්වීම සඳහා යලි මතු වී ඇත. අල්ලස් ලබා දීම, ඡන්දදායකයින් රැවටීම සහ ඡන්දය දෙන චරියාව වෙත බලපෑම් කිරීමට උත්සාහ කිරීම වැනි කටයුතු ඉතා සුලභ බවට පත් වෙමින්, නැවත වාරයක් මැතිවරණ ආශ්‍රිත ප්‍රචණ්ඩත්වයේ අශෝභන හිස ඔසවමින් පවතී.
මෙම ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයින් විසින් සලකා බැලිය යුතුව තිබෙන ප්‍රධාන කරුණු ඉස්මතු කර ලීම මෙම ලිපියේ අරමුණයි.
මැතිවරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව
ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන්, බොහෝ ලෝක නායකයෝ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් සමච්චලයට ලක් කරමින් අත්තනෝමතික වී ඇති හෝ අත්තනෝමතික විය හැකි රාජ්‍යයන්ට නොකඩවා සහයෝගය දක්වයි. ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වා ගැනීම සඳහා විවිධ මත පිළිබඳව පුළුල් පිළිගැනීමක් අවශ්‍ය වේ. එහෙත්, විකෘති කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් විසින්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනය කරමින් හා සිවිල් නිදහස යටපත් කර දමමින් රාජ වංශික හා පවුල් පාලනය ස්ථාපිත කිරීමට මඟ පාදා තිබේ. අවසානයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් ඛාදනය කර දමන කුරිරු පාලන තන්ත්‍ර පිහිටුවීමට මඟ පාදමින් අධිකරණයේ සහ මාධ්‍යයේ ස්වාධීනත්වය බොහෝ විට අතරමඟ සමාදානයට ලක් කොට තිබේ.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලි දේශය වැනි රටවල වාර්ගික ආගමික මූලධර්මවාදය ඉහල නැඟීම විසින් බහුවිධතාවය පිළි ගැනීම තවදුරටත් අඩාල කර දමා ඇත. ආගමික, සංස්කෘතික සහ භාෂාමය ආධිපත්‍යයට අනුග්‍රහය දක්වමින් බහුතර නොවන ප‍්‍රජාවන් කොන් කර දමනු ලැබේ. මෙම ප‍්‍රවණතාවය විසින් යුරෝපයේ ජන ප‍්‍රජාවන් අතර එකිනෙකා කෙරෙහි පෙර පැවති ඉවසිලිමත් බව සහ ගරු සැලකිලි දැක්වීම විනාශ කර දමන අන්ත ජාතිකවාදී පාලන තන්ත්‍රවල නැගී සිටීමට මං පාදා තිබේ. අන්ත දක්ෂිණාංශික, වර්ගවාදී, ජාතිකවාදී බහුතරවාදී දේශපාලනයේ නැගීම ගෝලීය සංසිද්ධියක් බවට පත්ව ඇත.
මේ අනුව මැතිවරණ හැම විටම ප්‍රජාතන්ත්‍රවාදය සමඟ සමාන නොවේ. කෙසේ වෙතත්, ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව රටක දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට වඩා කාර්යක්ෂම සහ දක්ෂ ක්‍රමයක් වන බව බොහෝ දෙනා විශ්වාස කරති. අත්තනෝමතික පාලන තන්ත්‍ර යටතේ තීරණ ගැනීමේදී වැරදි සිදු වීමට ඇති හැකියාව වඩා වැඩි බව විශ්වාස කෙරේ. එසේ වුවද, අද බොහෝ විට මැතිවරණ පවත්වනු ලබන්නේ ලොව පුරා නැගී එන ජනතාවාදී ගතානුගතිකත්වය ඉහළ නගින සහ අන්ත දක්ෂිණාංශික ව්‍යාපාර ශක්තිමත් වන පසුබිමක ය.
මේ හේතුවෙන් බොහෝ තරුණ ඡන්ද දායකයෝ මැතිවරණ ගැන කලකිරී සිටිති. බොහෝ රටවල නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයේ මිනුම් දණ්ඩක් ලෙස මැතිවරණවල පවතින වලංගුභාවය පිළිබඳව ඔවුහු ප්‍රශ්න කරති. සාම්ප්‍රදායික ව ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් රැක ගත් මාධ්‍ය, සිවිල් සමාජය, අධිකරණය දුර්වල කරනු ලැබ ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනි දැල් සෙමෙන් නිවා දමමින් පවතින අතර ඒ ගිනි දැල් පවත්වා ගැනීම පහසු කාර්යයක් නොවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකම පැරණි ආර්ථික කසාය
ශ්‍රී ලංකාව තුළ රජයට පක්ෂපාතී ව ගෙන යන ප්‍රචාර පැවතුනේ වුවද, ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ මඟින් ජනගහනයෙන් වැඩි පිරිසකට බලපාන බරපතළ ප්‍රශ්නවලට විසඳුම් ලබා දී නැත. ජනයා දරා ගත නොහැකි ජීවන වියදම සමඟ අරගල කරන අතරේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මග පෙන්වීමෙන් කරන ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම, පාලක ප්‍රභූ පැලැන්තිය සහ ඔවුන්ව රකින අය වෙත ප්‍රතිලාභ ලබා දෙමින් ජනයා මත තවත් පීඩනයන් පනවා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික සැලකිල්ල වී ඇත්තේ, විශේෂයෙන්ම එක්සත් ජනපදය විසින් නායකත්වය දෙනු ලබන නව ලිබරල් ප්‍රභූ පැලැන්තියේ අවශ්‍යතා රැක දීම යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගන්නා රටවල පාලක ප්‍රභූ පැලැන්තීන් බොහෝ විට පුළුල්ව පැතිරී ගිය දූෂණය, අවපාලනය සහ සම්පත් නාස්තිය විසින් සලකුණු කර තිබේ. මෙම ප්‍රභූ පැලැන්තීන් බලයේ තබා ගනිමින් පුද්ගලික ප්‍රතිලාභ සහ මැතිවරණ අරමුණු උදෙසා බොහෝ විට සම්පත් කොල්ල කනු ලැබේ. නිදසුනක් වශයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් වන විශාලතම ණයගැතියා වන පකිස්ථානය ඉක්මණින් ම තවත් ඇප ලබා ගැනීමක් ඉල්ලා සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අවාසනාවකට මෙන්, මෙම රටාව ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල නැවත නැවතත් සිදු වී තිබේ. 1950 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වීමෙන් පසු ශ්‍රී ලංකාව ණය පැකේජ දහසයක් ලබා ගෙන ඇත. වත්මන් 17 වන ණය පැකේජය, ප්‍රභූ පැලැන්තියේ අනුබලය භුක්ති විඳියි. ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම් 2028 දක්වා කල් දැමීමට ණය දෙන රටවල් කිහිපයක් එකඟ වී ඇත. උද්ධමනය සහ පොලී අනුපාත පහත වැටී, සංචාරක පැමිණීම් වැඩි වී, විදේශ සංචිත ඉහළ ගොස් ඇති අතර, ගෝලීය අවිනිශ්චිත භාවයන්, වසංගත අවදානම් සහ ආර්ථික චක්‍ර හමුවේ මෙම ප්‍රතිලාභ වල තිරසරභාවය සැක සහිත වන්නේය.
එසේ වුවද, ධනේශ්වර නිෂ්පාදන මාදිලිය පරීක්ෂාවට ලක් කරන සහ සමබර කරන ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් යටතේ ආර්ථිකය පරිණාමනය කිරීම සහ යලි ගොඩනැගීම සදහා වත්මන් ආර්ථික වාතාවරණය ඵලදායී ලෙස යොදා ගත හැකිය. මහජන චීන සමූහාණ්ඩුව සහ වියට්නාම සමාජවාදී ජනරජය අත් පත් කර ගෙන තිබෙන ප්‍රගතිය මෙයට නිදසුන් සපයා ඇත. කෙසේ වෙතත්, මූලික ව්‍යුහාත්මක සහ ව්‍යවස්ථාමය වෙනස්කම් කිරීමෙන් තොරව, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වාතාවරණය කෙටි කාලීන වනු ඇති අතර, රටට ඉක්මනින්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 18 වැනි ණය පැකේජයක් අවශ්‍ය විය හැකිය.
වඩාත් නරක අතට හැරෙන සමාජ-ආර්ථික හා දේශපාලන අර්බුදයක් වැළැක්වීම සඳහා ඉදිරි ජනාධිපතිවරණයේ දී දැඩි වෙනස්කම් ඇති කල යුතුව ඇත.
දූෂණයේ ප්‍රහේලිකාව
සමහර විශ්ලේෂකයෝ සහ ලේඛකයෝ ශ්‍රී ලංකාවේ ආර්ථික ජංජාලය තුළ දූෂණය ඉටු කරන භූමිකාව අවතක්සේරු කරමින් දූෂිත පාලන තන්ත්‍රයන් සහ දේශපාලනඥයන් ආරක්ෂා කරති. මේ අතර දූෂිත, නාස්තිකාර සහ අවපාලනයේ කොටස්කරුවන් වූ අය අදක්ෂ කම, අකාර්යක්ෂමතාව, මහා පරිමාණ දූෂණය සහ රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකෑම තවදුරටත් සිදු වන සාමාන්‍ය දෙයක් නොවන බව ප්‍රකාශ කරමින් අලුත් පොරොන්දු දීමේ යෙදී සිටිති. මේ බොරු පොරොන්දු විශ්වාස කිරීම රටටත් අනාගත පරපුරටත් විනාශකාරී වෙනවා ඇත. දූෂණය සම්පූර්ණයෙන් තුරන් කර දැමිය නොහැකි අතර, පාලනය යටපත් කර දමන්නට ඊට ඉඩකඩ ලබා නොදෙමින් එය දැඩි සේ සීමා කර දැමිය යුතුය.
ඓතිහාසික වශයෙන් ගත් විට, ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයෝ බලයට පත් වූ පසු ඔවුන් දුන් මැතිවරණ පොරොන්දු ඉටු කිරීමේ ලා අපොහොසත් වී ඇත. නිදහසින් පසු ආර්ථික සංවර්ධනය, විවිධාංගීකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන කරන ලද කතා අත් කර ගෙන ඇත්තේ මඳ ප්‍රගතියකි. රාජ්‍ය පාලිත ආර්ථිකයන් ගේ සිට නව ලිබරල් ආර්ථිකයන් දක්වාත්, සංවෘත ආර්ථිකයන් ගේ සිට විවෘත ආර්ථිකයන් දක්වාත් වන විවිධ ධනේශ්වර රාමු අනුගමනය කළේ වුවද, අවධාරණය අතින් කර ඇති සුළු වෙනස්කම් හැරෙන්නට රට තුළ දකින්නට තරම් ලොකු වෙනසක් සිදු වී නැත.
ආයෝජන ප්‍රවර්ධනය, ග්‍රාමීය ආර්ථිකය නවීකරණය කිරීම, නිදහස් වෙළඳ කලාප පිහිටුවීම, ශ්‍රමය කොල්ලකෑම සඳහා ආයෝජකයින්ට නියාමනය නොකළ පරිසර සපයා දීම සහ ලාභය උපරිම කිරීම මෙම ධනේශ්වර රාමු හරහා දැකිය හැකි පොදු තේමාවන් වේ. ධනවාදය යටතේ සිදු කරන ඕනෑම සමාජ-ආර්ථික හා සංස්කෘතික ප්‍රගතියක් රඳා පවතින්නේ වැඩවසම් ශේෂයන් මුල් කර ගත් සමාජ බාධක ඉවත් කිරීම මත යි. එහෙත්, වැඩි වෙන අස්ථාවරත්වයත් සමඟ, පාලක ප්‍රභූ පැලැන්තීහු රාජකීය සම්ප‍්‍රදායයන් පවා නැවත නඟා සිටුවමින් වැඩවසම් ශේෂයන් රඳවා තබා ගැනීමට සහ ඒවාට අනුගත වීමට වැඩි කැමැත්තක් දක්වා ඇත.
මෙම වෙනස් වීම හේතුවෙන් කලා හා සංස්කෘතික ක්ෂේත්‍රය තුළ නිර්මාණශීලිත්වය සහ උත්තේජනය ඒකාකාරී බවින් විස්ථාපනය කොට, අතාර්කිකත්වය, මිථ්‍යාව සහ එක තැන පල් වීම වෙත අවධානය යොමු කරන්නට මඟ පාදා ඇත.
අයිතිවාසිකම් සහ නිදහස රැක ගැනීම
පසුගිය මැතිවරණ වලදී ඡන්දදායකයෝ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට සහ මානව හිමිකම්වලට එල්ල වෙන ලද තර්ජන සැලකීමට ලක් කොට ඇත. එසේ වුවද, මෙම සලකා බැලීම් සිදු කරන ලද්දේ ඒවා රැක දීම පිළිබඳ ස්ථිරසාර සහතික කරනු ලැබීම් නොමැතිව ය. පවතින දේශපාලන වාතාවරණය අනුව, ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කළේ තමන් තෝරා ගන්නා අපේක්ෂකයා විසින් රට පාලනය කරන ආකාරය වෙනස් කිරීමට දායක වනවා ඇතැයි යන අපේක්ෂාවෙන් යුතුව යි. කෙසේ වෙතත්, මෙම අපේක්ෂාවන් ඉටු වූයේ ඉතා කලාතුරකිනි.
විප්ලවවාදී මාවත් මගින් නව පාලනයක් බලයට ගෙන ආව ද, එය වඩා හොඳ සැකැස්මකට මග පාදන බවට සහතිකයක් නැත. රුසියානු විප්ලවයේ සිට, විප්ලවය හරහා බලයට පත් වූ සියළුම පාලන තන්ත්‍රයන් පාහේ අවසානයේ අසාර්ථක වී ඇත්තේ, අධිරාජ්‍යවාදී හෝ නව ලිබරල් කුමන්ත්‍රණ නිසාම පමණක් නොව, ඔවුන්ගේ පිල් අතර ගැටුමට තුඩු දුන් අභ්‍යන්තර ප්‍රතිවිරෝධතාවයන් හේතුවෙනි. ප්‍රගතිශීලී පාලනයක් බලයට පත්වන ආකාරය කුමක් වුවත්, පුරවැසියා සහ සිවිල් සමාජය බල ගැන්වීමක් සිදු නොකළහොත් සහ ඔවුන්ගේ අනාගතයට බලපාන තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඔවුහු නිෂ්ක්‍රීය ව සිටිය හොත් අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ එයම යි.
“ප්‍රජාතන්ත්‍රවාදයට නොනැසී පැවතිය හැක්කේ සහ සමෘද්ධිමත් විය හැක්කේ එය භෞතික යථාර්ථයක් බවට සහ අඛණ්ඩව අලුත් කිරීමේ ක්‍රියාවලියක් බවට පත් කරවමින් ජනතාව සක්‍රියව එහි භාවිතයට සහභාගී වෙමින් දායක වන්නේ නම් පමණි. පුරවැසියන් එයින් ඉවත් වන විට, ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් සහ භාවිතයන් ඛාදනයට ලක් වේ.”
ශ්‍රී ලංකාවේ ස්ථාපිත පාලක පන්තීන් සහ ඔවුන්ගේ ගැත්තන් රට පාලනය කරන ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකු කල කිරීමට පත්ව ඇත. සාපරාධී මාර්ගයන් පවා ඇතුලත් ව ඔවුන් විසින් යොදා ගන්නා ලද ක්‍රම වේදයන් මගින් දූෂණය, නාස්තිය සහ අවපාලනය ව්‍යාප්ත කොට තීව්‍ර බවට පත් කර ඇත. මැතිවරණයට පෙර කාලය තුළ මුදල්, ආහාර, මත්පැන්, ඉඩම්, ආම්පන්න වැනි ද්‍රව්‍යමය දිරිගැන්වීම් ලබා දීමත්, මැතිවරණයෙන් පසු ඉක්මනින් අමතක කර දැමෙන පොරොන්දු ලබා දීමත් පුළුල් ලෙස පැතිරී ඇත. විරුද්ධවාදීන්ට එරෙහිව දැවැන්ත වැරදි තොරතුරු සහ බොරු ප්‍රචාරය කිරීමේ ව්‍යාපාර කර ගෙන යන අතර පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර කාල පරිච්ඡේද වලදී දක්නට ලැබුන අන්දමේ ජාතිවාදය සහ ප්‍රචණ්ඩත්වය ද යොදා ගනිමින් පවතී.
ඡන්දය ප්‍රකාශ කිරීම මගින් පුරවැසියන්ට ඔවුන්ගේ සහ ඊළඟ පරම්පරාවේ අනාගතය හැඩ ගස්වන තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහභාගී වීමට අවස්ථාව ලබා දෙයි. යමෙක් ඡන්දය නොදුනහොත්, අන් අය විසින් එම පුද්ගලයාගේ අනාගතය තීරණය කරනු ඇත. වඩා හොඳ සමාජ-ආර්ථික හා දේශපාලන වාතාවරණයක් සාක්ෂාත් කර ගැනීම සඳහා රටට අවශ්‍ය වෙනසක් ඇති කළ හැකි යැයි තමන් විශ්වාස කරන අපේක්ෂකයාට සුදුසුකම් සහිත සියළුම පුරවැසියෝ සිය ඡන්දය ප්‍රකාශ කළ යුතුය. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පුද්ගලයන්ට තමන් වැදගත් යැයි සලකන ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්නට ඉඩකඩ සලසා දෙයි.
ප්‍රජාතන්ත්‍රවාදය සෝදාපාළු වීම
පසුගිය දශක දෙකකට වැඩි කාලයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයන් ආපසු හරවන අන්දමේ ගෝලීය ප්‍රවණතාවක් පවතී. මෙය බොහෝ විට මෙහෙයවනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් සහ ආයතන බිඳ දැමීම සඳහා තම බලය භාවිතා කරන අත්තනෝමතික නායකයින් විසිනි. ශ්‍රී ලංකාව තුළ මෙය ප්‍රකාශයට පත් වී ඇත්තේ, බොහෝ විට පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් සහ ආයතන බිඳ දැමීමට දායක වෙමින්, බලය ලබා ගැනීමට හෝ පවත්වා ගැනීමට ප්‍රමුඛ පෙළේ දේශපාලන චරිත දුක්ගැනවිලි එක්රැස් කරවන හෝ ඇති කරවන තත්වයක් තුළ ය.
අධිකාරවාදීන් බලය අත්පත් කර ගන්නා ක්‍රම වේදයන් වෙනස් විය හැකි නමුදු, ඒවා අතර පොදු ලක්ෂණයක් වන්නේ අධිකාරවාදය මැඩපැවැත්වීම සඳහා නිර්මාණය කර ඇති යාන්ත්‍රණ සහ ආයතන බිඳ හෙලීමට ඔවුන් විසින් නොනවත්වා දරනු ලබන උත්සාහයයි. ව්‍යාජ මැතිවරණ, කප්පාදු කළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සහ ඛාදනයට ලක් කරන ලද පරීක්ෂාවන් සහ සමබර කිරීම් යන මේ සියල්ල, නීතියේ ආධිපත්‍යයේ සහ දේශපාලන වග වීමේ පරිහානියට දායක වී ඇත. ජීවන වියදම් අර්බුදය, දේශගුණික විපර්යාස සහ පවතින ගෝලීය ගැටුම් හේතුවෙන් මෙම පරිහානිය තවත් සංකීර්ණ බවට පත් කොට තිබේ.
“රට හමුවේ ඇති බරපතල අභියෝගවලට විසඳුම් සෙවීම සඳහාත්, තම අනාගතය රැක ගැනීම සඳහාත් රටට අවශ්‍ය කරන වෙනස ඇති කර ලන්නට ඉදිරි ජනාධිපතිවරණය වේදිකාවක් ලෙස යොදා ගැනීම සඳහා ශ්‍රී ලාංකික ඡන්දදායකයින්ට දැන් කාලය පැමිණ ඇත.”